ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label මගේ නව කතා. Show all posts
Showing posts with label මගේ නව කතා. Show all posts

Sunday, August 17, 2014

නිසල සිත් මල 11




පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9   10  

විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය.

"ඔයා උදේට කාලද ?" විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි.

"ඔයාට බඩගිනී නේද?මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්"


"මොනාහරි කමු...යං "  විරංග කීවේ "රුසිරු" අවන්හල පැත්තට ඇවිද යමින්.

පුංචි අවන්හලේ කොනක තිබූ මේසයක අසුන්ගත් දෙපල කට්ට සම්බල් සමග උණු උණු ආප්පත්,බිත්තර ආප්පත් රස විඳිමින් උන්නෝය.

"දිලංකලගේ ගෙදරත් යනවද ...?" විශ්මි ඇසීය 

"නෑ ....දිලංකයත්  හසිනිලගේ ගෙදරට ඒවි.."


"හ්ම්ම්...." උණු කෝපි  කෝප්පයක් තොලගාමින් උන්  විශ්මිට අහම්බෙන් මෙන් යාබද අසුනේ උන් තරුණයා දෙස බැලුණි.විරංගට සමාන්තරව යාබද මේසයේ අසුනක උන් ඔහුගේ දෙනෙත විශ්මිගේ දෙනෙත හා ගැටුනේ ඇසිල්ලකිනි.හදවතට දැනුන අමුතු ,වෙනස් හැගීමක් එක්ක ඇය, ඇයට දැනුණ මහා අපහසුතාවයකින් මිදෙන්නට බොහෝ වෑයම් කලාය.

නැවත ඒ දෙස දෑස් යොමු නොකරවා ගන්නට ඇය වග බලා ගත්තේ තම සිතට තරවටු කරගනිමිනි.

"මොකද මැඩම් ...කොෆී කප් එක  දිහා බලාගෙන භාවනා කරනවද?" විරංග ඇසුවේ දඟකාර විශ්මිගේ නිහඬ බව නිසාය.

"නෑ ....ඔයා බීලා ඉවර වෙනකම් හිටියේ..." 


අවන්හලේ බිල ගෙවූ විරංග විශ්මිත් සමග ඉන් පිට වෙන්නට සැරසුණි.තවත් වරක් හැරී ඔහු දෙස බලන්නට සිත් වු නමුත්  විශ්මි ඔහුගේ සොඳුරු සිනහව හිතේ ඇඳගනිමින් පිටව ගියේ ඔහු දෙස නොබලාමය.

තිරිවානකැටියේ සිට පැල්මඩුල්ලට යන තෙක්ම විශ්මිත් විරංගත් අතර වැඩි කතා බහක් නොවීය.

"මේ නිහඬ බව බිඳින්න - තව මොනවහරි කියන්න"

විරංග කීවේ  විශ්මි බසය තුළ කතාවක් නැතිව වීදුරුවෙන් එපිට බලා යන විටකය.සිනාසුන විශ්මි කතාවකට මුල පිරීය .

"ඔයාට මතකද අර රුසිරු එකේ හිටපු බෝයි?"

"ම්ම්....මොන බෝයිද..... අ..අ...අ ...??? " විරංග ඇසුවේ සැහැල්ලුවෙන් හිනා වෙලා.

"අර එහා ටේබල් එකේ ඔයා හිටපු පැත්තේ වාඩිවෙලා හිටියේ...."

"අර.....ස්කයි බ්ලු ටී එක ඇඳලා හිටියේ...එයාද ?"

"හ්ම්ම්..."

"ඉතිං ....?"

"එයා මගේ දිහා අමුතුවට බැලුවනේ  ..."

"හෑ .....එවෙලේ කියන්න එපැයි ,දෙනවනේ හොම්බට..." විරංග කීවේ හිනාවෙන ගමන්.

ඊට සිනාසී ප්‍රතිචාර දැක්වූ විශ්මි ඉන් එහා දෙයක් විරංග සමග නොකියා උන්නාය.පැල්මඩුල්ල නගරයෙන් බැසගත් දෙදෙනා රජමහා විහාරයට ඉතා ලඟින් පිහිටි හසිනිගේ නිවසට ගොඩ වුවෝය.දෙදෙනාව සෙනෙහසින් පිළිගත් හසිනිත් ඇගේ මවත් ආගන්තුක සත්කාර අඩුවක් නොමැතිව ඉටු කළෝය.දිලංකගේ පැමිණීමෙන් පසුව පිරිස රජමහා විහාරය වන්දනා කර දිවා අහාරය සඳහා නැවත හසිනිගේ නිවසට පැමිණියෝය.

"අයියලා දෙන්නා ඉන්න තිබ්බේ....එහෙනම් අමුණේ යන්න තිබ්බා" හසිනි කීවේ කෑම කන අතරවාරයේ.විශ්මිට මතක් උනේ වැරදී ගිය ඇමතුම.ඔහු සිටියා නම් තමන්ට අපහසුතාවයක් දැනෙන්න තිබුණා යැයි ඇයට සිතුණා .

"ගොඩක් දුරද මෙහෙ ඉඳන්? " විරංග ඇසුවේ අමුණ ගැන කලින් අසා තිබුණත් එතැනට නොගිහින් තිබු බැවින්.

"එච්චර දුරක් නෑ ....අයියලා හිටියා නම්නේ ඉතිං හොඳ මේ ගමනට.." හසිනි කීවාය.

"මෙයා මොකද අද ටිකක් සයිලන්ට් වෙලා ඉන්නේ..?" දිලංක ඇසුවේ විශ්මිගේ වෙනසක් දුටු නිසාවෙන්.

"ආ ...එයාට එද්දී මගදි  හොල්මං වෙලා..කොල්ලෙක් දැකලා ...." විරංග කීවේ ඔච්චමට සිනාසෙන ගමන්


"හෑ ...මොකද්ද මොකද්ද ඒ කතාව?" දිලංක අසද්දී විශ්මි කට කොනකින් ලැජ්ජාශීලීව සිනාසෙන්නට වුණා.

"ඔය බොරු බං ..." විශ්මි කීවේ නෝන්ඩියෙන් මිදෙන්නටය.

"දැන් කෝ මේ පොඩි අයියා ...?" විරංග ඇසුවේ විශ්මිගේ හිතේ ඇති ගැටලුව හඳුනාගත් නිසා.


"එයාට අද ඕඩර් එකක් ....අද නැකත් දවසක්නේ...රත්නපුරේ ගියා.." 

"එයා ....මොනාද කරන්නේ?" විරංග ඇසීය.

"එයා කරන්නේ ඩෙකරේෂන්..පෝරු සෙටිබැක් එහෙම.." 


"ශා ....කලාකාරයෙක්.....,හොඳයි හොඳයි අපටත් ඕන වෙයිනෙ ඉස්සරහට.."   දිලංක කතාව අසා හිඳ මැද්දෙන් පැන්නේය.

තවත් සුළු වේලාවක් හසිනිගේ නිවසේ රැඳුණු දෙදෙනා නිවසින් පිටව ආවේ හසිනිටත් ,ඇගේ මවටත් ආගන්තුක සත්කාරවලට ස්තුති කරමිනි.





Sunday, August 10, 2014

නිසල සිත් මල 10



පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9  

විශ්මිත් විරංගත් පාඨමාලාව ඉදිරියට කරගෙන ගියේ මහත් උනන්දුවකිනි.ආශාවකිනි.ඔවුන්ට ඉගැන්වූයේ ගුරුවරියක් බැවින් ඇය වඩාත් මිත්‍රශීලි වූවාය.පරිඝණක පාඨමාලාවේදී දෙදෙනාට හමු වුන යහළුවන් අතරින් හසිනිත්, දිලංකත් වඩාත් සමීප විය.විවේකී දිනයක තම නිවසට පැමිණෙන මෙන් හසිනි දෙදෙනාටම ආරාධනා කළාය.පැල්මඩුල්ලේ පිහිටි හසිනිගේ නිවසට යනවා නම් ඉතිරි පුංචි දුර කහවත්තට විත් තමන්ගේ නිවසටත් ගොඩවී යන්න 'යි දිලංක ද ආරාධනා කළේය.ඒ අනුව විවේකී දිනයක පැමිණෙන්නට දෙදෙනා පොරොන්දු වුවෝය. 

කෑම පැයේදී සිව්දෙනා ආහාර ගත්තේ එකටමය...කන වෙලාවේදීත් දිලංකගේ කටකාර කමේ අඩුවක් නැත.

"බත් එක ලෙහන්නත් නෑ ....අරකි සුදු ළුණු කෑල්ලට පනිනවා, මේකි තා මොහොකට හරි පනිනවා.., මූ බිත්තරේට පනිනවා..යකෝ මං මොනාද කන්නේ?" දිලංක කියවන්නේ බත් අහුරක් කටේ පුරවගන්නා ගමන්මය.

"තෝ ඔය කට පුරවන් ගලින්නේ මොනාද එතකොට...අනේ මේ කට වහගෙන කාපන්කෝ" විරංග මැසිවිලි නගද්දී විශ්මිටත් හසිනිත් සිනාසෙයි.

"කට වහගෙන කන්නේ කොහොමද බොල ? මගුලක් කියනවා මෙතන..."

"තොට ඉඳුල් කට ගාල තියෙන්නේ  සවලකින්ද කොහෙද..නැත්තං බඩේ අළුහුණු ද බලහං ..."

"පල පල යන්න...විශ්මි උඹේ බත් එක ගනිං ...මේක ඉවරයි..." දිලංක කියන්නේ  අන්තිම බත් කටත් ගිලින ගමන්. 

"දැන් කියහල්ලා .....මේ ඉරිදා අපේ ගෙදර එනවද උඹලා ?" හසිනි ඇසුවේ කතාව වෙනතකට හරවමින්.

"මං ඕන දවසක රෙඩි ...විශ්මි තමයි තීරණේ ගන්න ඕන.." විරංග කිවේ විශ්මි දෙස බලමින්.

"මං අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න ඕනනේ බං ..." විශ්මි හසිනිට කීවාය.

"මොනාද බං ...පැල්මඩුල්ල කියන්නේ මහ ලොකු දුරක්යෑ ..උඹට එන්න දෙයිනේ ?" ඒ දිලංක ය.

"දුර නෙවේනේ බං ප්‍රශ්නේ...අපි උඹලා අඳුරනවා උනාට අම්මලා උඹලා ගැන දන්නෑනේ බං " විශ්මි කීවේ ගමන ගැන අවිනිශ්චිත තීරණයක හිඳය.

"එහෙනම් මොකෝ කරන්නේ?" හසිනි දුකෙන් කීවාය.

"මං ගෙදර ගිහිං අම්මව ශේප් කරගන්න බලන්නම්...ඔක්කොමත් හරි...අපේ අයියා ශේප් කරගන්න තමයි අමාරු.." විශ්මි කිවේ දමිත්ගේ හැටි හොඳින්ම දන්නා නිසාය.

"එහෙම උනොත් දමිත් අයියට මං කතා කරන්නම්..." විරංග කීවේ ඔහු ගැන විශ්වාසයක් දමිත් තුළ ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

"අපි ඉස්සෙල්ලා කියලා බලමුකෝ..." විශ්මි කීවාය. 


සවස් කාලයේම විශ්මි කල්පනා කලේ හසිනිගේ නිවසට යාමට අම්මාගෙන් අවසර ගන්නේ කෙසේද යන්නයි.අම්මා තමන්ව නොදන්නා තැනක මෙතෙක් කල් යවා නැත.විරංගගේ ,චමිලාගේ නිවෙස්වල යන්න අවසර දුන්නේද ඒ දෙමව්පියන් සමග ඔවුන් තම නිවසට ආ පසුය.විශ්මිගේ දුරකථනය සංඥා දුන් හඬින් ඈ කල්පනාවෙන් මිදුණාය. දුරකථන තිරයේ කෙටි පණිවුඩයකි.  


"විශ්මි ...උඹ පරිස්සමට ගෙදර ගියා නේද?
අම්මගෙන් පර්මිෂන් ගත්තද?
මේ අයියගේ ෆෝන් එක  
මගේ  බැට්‍රිලෝව් "
~හසිනි~

කෙටි පණිවිඩය හසිනිගෙන් නමුත් විශ්මිට එය පුදුමයට කරුණක් විය.මක් නිසාද යත් එම පණිවුඩය ආ අංකය තම දුරකතනයේ සේව් වී ඇති නිසාවෙනි.එය පෙර දිනෙක සුදු අයියාට ඇමතුම් කරන්නට ගොස් වැරදී ගිය අංකයයි.මෙය අහම්බයකි...නමුත් එය විශ්වාස කිරීමට විශ්මිට මද වේලාවක් ගතවුනි.විශ්මි ඉක්මනින් මවගෙන් තීරණයක් ගැනීමට සිතුවාය.එසේ නොහැකි වුවොත් හසිනි නැවත අයියගේ දුරකතනයෙන් ඇමතුම් කරන්නට ඉඩ තිබේ.ඔහුට අංකය මතක  තිබුණොත් තමන් ගැන වැරදි වැටහීමක් නිසැකවම ඇති කරගනු ඇත.


"ඔයා ඔය දවසට දෙකට යාළුවො ගැන කියන්නේ කොහොමද සුදු දූ ...?" සුභාද්‍ර ඇසුවේ විශ්මි හසිනිගේ නිවැසියන් ගේ පවා හොඳ කියා යන්නට අවශ්‍ය උපරිම වෑයමත් දැරුවාට පසුය.

"අම්මා මං කියනවට විරංගගෙන් අහලා බලන්න... විරංග ඉතිං අම්මගේ සුදු පුතා තරම්ම විශ්වාසනේ " විශ්මි අන්තිම තුරුම්පුව ද ගැසුවාය.

"මං දන්නෑ ඕවා ....තාත්තා ආපුවහම අහගන්න ඔයාම..." සුභද්‍රා දැඩි තීරණයක ඇති බව වචනවලින්ම විශ්මිට තේරුම් ගියාය.

විශ්මි විරංග ට ඇමතුමක් ගෙන විස්තරය කීවාය


"මං අම්මට කතා කරන්නද..." විරංග ඇසුවේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.මවගේ හිතේ කැමැත්තක් ඇති කරගතහොත් තාත්තාව කැමති කරවා ගැනීම එතරම් අපහසු නොවේ.

"හ්ම්....දැන්ම ගන්න...මාත් එක්ක කතා කරපු බවක් අඟවන්න එපා හොඳේ.."

"කපටිච්චි "

විරංග අනෙක් අතට නිවසේ දුරකතනයට ගත්තේය.ඇමතුමට පිළිතුරු දුන්නේ සුභද්‍රා ය.

"ආන්ටි  මං විරංග..කෝ විශ්මි?"

"කාමරේ ඇති පුතේ....ඉන්න දෙන්නම්...."

"නෑ ..එපා...ආන්ටි , මේ....ඉරිදා හසිනිලගේ ගෙදර යන්න එයා ඒවිද දන්නෑ නේද ආන්ටි " විරංග එය අසද්දී සුභද්‍රාගේ කට කොනකට සිනහවක් නැගුණේ දෙදෙනාගේ කපටිකම් හැඟුන නිසාවෙනි.


" අනේ මන්දා පුතා....ඔය කොහෙද,කවුද  කියලා හරියට දන්නෙත් නැතුව...!" සුභද්‍රා කීවේ හිත රිද්දන්නට බැරි තැනය.

"එයාලා අපි වගේ තමයි ආන්ටි ...අනික මාත් යනවනේ..."

"හ්ම්...බලමුකෝ පුතා..අංකලුත් ආවහම අහලා ..."සුභද්‍රා කීවෙන් විරංගට යම් බලාපොරොත්තුවක් තියාගැනීමට හැකි විය.

"පුතා මං විශ්මිට දෙන්නද..." සුභද්‍රා ඇසුවේ හොරගල් අහුලමින් උන් විශ්මිව දැක්කාට පසුය.

"හෙලෝ..." විශ්මි කතා කලේ අම්මා මදක් ඈතට ගියායින් පසුවය.

"මටත් කීවේ බොසාගෙන් අවසර නැතුව බෑ කියලා ..." විරංග කීවේය

"ඒ උනාට ඉස්සර තරම් තදේට නෙවෙයිනේ ඒක කිවුවේ..., ඒකත් ඇති..."


"ඔයාට එන්න දෙනවා අනිවාර්යෙන්...බය නැතුව ඉන්න..." විරංග ස්ථිරත්වයෙන් කිවේය.

විශ්මිගේ හැඟීම් හඳුනාගත් සුභද්‍රා රාත්‍රී කෑම මේසයේදී සමරවික්‍රම සමග  කතාවට වැටුනේ විශ්මිගේ ගමන ගැන ඔහුත් සමග කතිකාවකට මුල පුරන්නටය.

"දූගේ කොම්පියුටර් ස්කූල් එකේදී අලුත් යාලුවෝ දෙන්නක් හම්බවෙලානේ සමරේ ...." සුභද්‍රා කීවාය.

"ආ....අහන්නත් බැරිඋනානේ ඒ ගැන....කොහොමද සුදු දු කෝස් එක?"

"කරගෙන යනවා තාත්තේ....හොඳයි...." විශ්මි කීවාය.

"හ්ම් .....මං දන්නවනේ මයේ කෙල්ල ගැන..." සමරවික්‍රම කීවේ ආඩම්බරය මුසු හැගිමකිනි.විශ්මි මිහිරි සිනහවක් පා දමිත් දෙස බලා ඇහි බැමි උඩ යැවුවාය.

"රිසාට්ස් එන්නත් තව වැඩි කාලයක් නෑ නේද සුදු දු ?"ඒ  සමරවික්‍රම ය .
 

"ඔවු තාත්තේ ...තව මාස එකහමාරක් වගේ තියෙන්නේ..."

"කැම්පස් ෂුවර් නේ?" සමරවික්‍රම ඇසුවේ සිනාමුසුවය. විශ්මි පිළිතුරු දෙනු වෙනුවට සිනාසුනාය.


"සමරේ ....දුලගෙ කොම්පියුටර් ස්කූල් එකේ යාලුවෙක්ගෙ ගෙදරක දූ යන්න අහනවා..." සුභද්‍රා කී විට විශ්මි හොරැහින් දමිත් දෙස බැලුවේ ඔහුගේ ඉරියව් තුලින් අදහසක් ගන්නටය.

"කවුද සුදු දූ යාළුවා?" සමරවික්‍රම ඇසුවේ මදක් නිහඬව හිඳය.

"මේ....හසිනි කියලා තාත්තේ....විරංගත් යනවා..." ඈ විරංග ව ඈඳා  ගත්තේ එවිට බුරුලක් ඇති බැව් දන්නා නිසාවෙනි.

"කොහේ ඉන්න යාලුවෙක්ද ඔය?" දමිත් ඇසුවේ නුරුස්නා ස්වරයකිනි.

"පැල්මඩුල්ලේ ...." විශ්මි කීවේ දමිත්ගේ අකමැත්ත ඒ වචන ටිකෙන්ම හැඳිනගෙනය.


ඉන්පසු කෑම කා අවසන් වන තෙක්ම දමිත්ගේ කෙළවරක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දුන් විශ්මි ඉරිදා ගමන යාමේ අදහස සිතින් අත්හැරගෙන උන්නාය.අත සෝදාගෙන පැපොල් කෑල්ලක් කෑ සමරවික්‍රම මේසයෙන් නැගිට්ටේ විශ්මිට ගමන යන්නට අවසර දී ය. සතුටින් ඉපිල ගිය විශ්මි විරංගට සහ හසිනිට එය එවෙලේහිම දැන්වුවාය.






 
 

Monday, August 4, 2014

නිසල සිත් මල 9

පසුගිය කොටස්..  
1  2  3  4  5  6   7  8




"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

 විශ්මි රාත්‍රී ආහාරය තම කාමරයට වී තනිව ගත්තාය.ඇය එසේ කළේ දමිත්ට මුහුණ දීමට ඇති ලජ්ජාවටය.ඇය වෙනදාටත් කලින් නින්දට ගියේ ගෙදර තිදෙනා සමගම තරහා වීය .

"කෝ....?" සුභද්‍රා සිනහා වෙමින් ඇසුවේ දමිත්ගෙනි.

"නිදි මං හිතන්නේ..."

"පවු කෙල්ල....මෙයත් අවුස්සනවා...."



          ~~~~~~~~~~~~ 


නිවසේ දුරකථනය නාද වෙනු විශ්මිට ඇසුනේ සිහිනයෙන් මෙනි.වේලාව 12.35 ලෙස සටහන්ව තිබුණි.ඇය කලුවරේම විත් සාලයේ විදුලි පහන දල්වා රිසිවරය අතට ගත්තේ "මොන බකුසෙක්ද මන්දා ...ඇයි රෙද්ද..උන්ට නින්ද යන්නැත්තන් අපිට නිදාගන්න දීපියකෝ..." යයි සිතින් බනිමිනි.ඇය රිසිවරය ගෙන කතා කරන්නටත් ප්‍රථම ,

"හැපී බර්ත් ඩේ ......විශ්මී....." ඒ විරංගය ...සැබවින්ම විශ්මිගේ දෙනෙත තෙත් විනි....ඇයට විරංග කෙරේ ඇති සහෝදරත්වය තවත් දළු ලා වැඩුණි .
"තෑන්ක්ස් විරංග...."

"ඕකේ ...ඕකේ .....වල්කම් කිවුවලු.....ටැංකි හරියන්නෑ උදේට මං එද්දී කේක් ලෑස්ති කරලා තියන්න..."

"හ්ම්ම්...හ්ම්ම්...."

"මොකෝ හ්ම්ම් හ්ම්ම් ....බස්සියෙක්ද?, හරි හරි ඔයා නිදාගන්න..."

විශ්මි ඇමතුම විසන්ධි කර කාමරයට ගියේ සාලයේ විදුලි පහන නිවා කාමරයේ විදුලි පහන දමමිනි.ඇය ඇස් අදහා ගත නොහැකිව වට පිට බැලුවේ සතුටිනි.කාමරයේ බැලුම් එල්ලා තිබුණි.ඇගේ චායාරුපයක් විශාල කර රාමු කර තබා ඇත.එහි "පුංචි දූට සුභ උපන්දිනයක්  " යැයි ලොකුවට පෙනේ...තවත් කවි සිත්තමක් එහි කොනකය...තාත්තා වේලාසනින් ආවේ මේ හපන් කම කරන්නට බව විශ්මිට තේරුම් ගියාය.ඒත් සමගම කොට්ටය යටින්  මදක් පිටතට පෙනෙන්නට තිබුණ කොලයක් දුටු විශ්මි කොට්ටය ඉවත් කළාය .

"හැපී බර්ත් ඩේ මගේ සුදු නංගි ..." එම කොලයේ සටහන් ව තිබිණ.ඒත් සමගම තිබුණ කාඩ් බෝඩ් පෙට්ටියේ තිබුණේ ගැහැණු ළමයෙකුට ගැලපෙන හුරුබුහුටි ජංගම දුරකතනයකි.එහි කෙටි පණිවුඩයකි.එසේ නම් අයියා දුරකථනය දී ඇත්තේ සම්බන්ධතාවයත් සමග බව ඇය සිතුවාය.

"ආයෙත් රැවුලක් අඳින්න හිතුනා ....පවුනේ..."  කෙටි පණිවිඩය එවා ඇත්තේ දමිත්ය.

විශ්මි එහෙමම දමිත්ට ඇමතුමක් ගත්තාය.

"හෙ...ලෝ..." අඳුරේ මහා මෙහෙයුමක් කර නිදා ගත්  දමිත් අංකය නොබලාම කතා කලේ නින්දෙනි.

"මේ .....මිස්ටර් දමිත්...ඔහේගේ නංගිව ඕන නම් ලක්ෂ  10ක් අරං කම්බි පාලම උඩට එනවා..." විශ්මි කිවේ කතා රටාව වෙනස් කරය.

"අනේ එපා.....මං  10ක් දෙන්නං ඕකිව අරං යනවා නම්....ලොකු උදවුවක්...." දමිත් කීවේ ඇගේ හඬ හඳුනා ගනිමිනි.

"අනේ යනවා බකටුල්ලා...."

"හෑ ......ඌ කොහේ ඉන්න එකෙද්ද.....ඔයා හීනෙන් කියවන්නැතුව දෝ ගන්න මයේ අම්මේ ..."

"තැන්කිව් හොඳේ....' විශ්මි කීවේ අවංක හැගීමෙනි .

"හා ඉතිං ....දැන් නිදාගනින්කෝ මලවදේ..."

විශ්මි දුරකථනය විසන්ධි කලේ සිනාසෙමිනි.

සුභද්‍රා පාන්දරම කිරිබතක් ඉදෙවුවාය.විශ්මි නා කියාගෙන ගෙට එත්ම නැන්දාත් මාමාත් නිවසට ගොඩ වුවෝය.ඇයට සුභ පැතූ දෙදෙන පාර්සලයක් ඈ අත තැබීය .

"සුදු අයියා වැඩට යන්න කලිං පාර්සලයක් අරං තියලා ගියා ...දුට..." නැන්දා කී විට විශ්මි පුදුම විය.

"සුදු අයියා වැඩ???........එතකොට කකුල....?"

"නෑ පුතේ....ඔෆීසියේනේ ....ලියන කියන වැඩ තමයි....එයාමනේ ගෙදර ඉන්න බෑ කියලා ගියේ..."

"හරි නරකයි....ඉන්නකෝ..." විශ්මී පාර්සලය පසෙකින් තබා නිර්මලට ඇමතුමක් ගත්තාය.

ඇය ජංගම දුරකතනයේ ඔහුගේ අංකය 
සේව් කර තිබුණේ නැත.ඇය මතකයෙන් අංකය ගසා ඇමතුම් කළාය .

"මං ඔයත් එක්ක තරහම තරහයි...මට එපා ඔයාගේ තෑගි ..." විශ්මි තරහින් කීවේ ඔහු කතා කරන්නටත් ප්‍රථමයෙනි.

"තෑගී....මොන තෑගි ද ?....ඇයි  මේ බනින්නේ ..කවුද ඔය ? " අනෙක් පසින් ඇසුනේ නිර්මලගේ හඬ නොවේ.

"කෝ....නිර්මල ?"

"නිර්මල.....අයියෝ ..... මෙහෙ නම් නිර්මලත් නෑ ...පිවිතුරුත් නෑ ..."

අංකය වැරදී ඇති බව දැනුනෙන් විශ්මි ඇමතුම විසන්ධි කර නිවසේ දුරකථනයෙන් ඔහු ඇමතීය .විශ්මි ඔහුට දොස් කීවේ ඇයත් සමග කතා කරත් වැඩ පටන්ගත් බව නොකී නිසාවෙනි..අයියා ජංගම දුරකතනයක් තෑගි දුන් බව කීවත්  ඇය එහි අංකය නොකියා සිටියේ පලියට මෙනි.

"ඔයාට කෝල් ගන්න ගිහින් වෙන කාටදෝ කෝල් එක ගියා ..."

"පිරිමි කෙනෙකුටද?' නිර්මල දෙගෙඩියාවෙන් මෙන් ඇසීය .

"හ්ම්....කටහඬින් නම්  කොල්ලෙක් වගේ..."  විශ්මි තවත් ඔහුව අවුස්සන්නට සිතා කීවාය .

"එහෙනම් දැන් කෝල් ගනී ඔයාට ආයෙත් ...., ඕකුන්ට ගැණු හඬක් ඇහුනොත්  ඇති..ආන්සර් කරන්නේ එහෙම නෑ හරිද..."

"බෑ ගන්නවා.....ඉන්නවකෝ .."

"දමිතුත් ඕන නැති වැඩනේ කරන්නේ...ඒක නෙවේ..ප්‍රසන්ට් එක බැලුවද ? ලස්සනද?"

"හ්ම්ම්...ඔයා ඉතිං තෝරන ඒවා එදා ඉදන්ම මගේ හිතට මැච් වෙනවනේ..."


දිගු සංවාදයකින් පසු විශ්මී නැන්දාත් ,මාමාත් සමග කතාවට වැටුනාය.ඒ අතර විරංග ද නිවසට පැමිණීම විශ්මිගේ සතුටට හේතු විය.

සවස් කාලයේ විශ්මි උන්නේ පොතක් කියවමිනි.සුජීවගේ ආත්මීය නවකතා තුළ ජිවත් වන චරිත මෙරටේ හැබෑ ලෙසම ජීවත් වනු ඇතිද?සමහර චරිත තුළ ඇති කැපකිරීම සැබෑ ලෙසම ගැහැණුන් මිනිසුන් තුළ ඇත්ද?ආදරය මුළු ජිවිතයම බව කියමින් තමන් තුළ ඇති සියලු වටිනාකම් සල්ලාලයෙක් ඉදිරියේ වරෙක පුද කරන තරුණියක් අවසානයේ සොවින් තැවෙන්නේය.ඒ සියල්ල සිතමින් කල්පනාවේ නිමග්නව හුන් විශ්මි පියවි සිහියට එළඹුණේ ජංගම දුරකථනය නාද වීමත් සමගය.විශ්මි දුරකථනය සම්බන්ධ කරගෙන කතා නොකර අසා උන්නාය.

"හෙලෝ...."

 ඇය පිළිතුරු නොදී නිහඬව ම උන්නාය.

"හෙලෝ ....උදේ මට කතා කරලා,බැනලා සද්ද නැතිවම ෆෝන් එක කට් කරේ කවුද....???"

සුදු අයියා කීවා නිවැරදි යැයි විශ්මිට කල්පනා විය.

"අනේ සොරි....මගේ අතින් නම්බර් එක වැරදිලා ඒ කෝල් එක ආවේ " විශ්මි එය කියා ඇමතුම විසන්ධි කළාය.නැවත ඇමතුම් අවොත් හඳුනා ගැනීමට විශ්මි එම අංකය සේව් කර තබාගත්තාය.  

~~~~~~~~

මල් වැවීම ජිවිතයේ කොටසක් කරගත් විශ්මි නගරයට යන හැම විටම විවිධ වර්ගයෙන් මල් පැල ගෙන ඒමට අමතක නොකලාය.තම දෑතින් සාත්තු  කර  හැදෙන ගස්වල පිපෙන මලක් ගානේ දැනෙන හැගීමට ඇය ආශා කළාය.ලොබ බැන්දාය.දිනක් වත්තේ පැල වලට සාත්තු කරමින් උන් විශ්මි ගේට්ටුවේ සවිකර ඇති කුඩා ලියුම් පෙට්ටියට පියුම් ලියුම් දමා යනු දුටුවාය.අත සෝදා ගත් ඇය ලියුම් එකිනෙක ගෙන බැලුවාය.ඉන් දෙකක් සමරවික්‍රම ගේ නමට ආ ඒවාය.අනෙක තම නමින් ඒවා ඇති බැවින් එවෙලෙහිම ඈ ලිපිය විවෘත කර බැලුවාය.

පසුගිය දින ටිකේම ඇය නමට ලිපි ආවේ නොයෙකුත් පාඨමාලාවලිනි.විවෘත කල ලිපියද එසේ විය.එය පරිඝණක පාඨමාලාවකිනි.එම පාඨමාලාව කෙරේ ඇගේ සිත් ගත් නිසා ඇය කල්පනා කළේ අනිවාර්යෙන්ම මේ ලිපිය විරංග ට ද ලැබී තිබිය යුතු බවයි.එසේ වන්නේ තමා ඇති හැම තැනෙක විරංග ද නිතැතින් සිටි බැවිනි.ඇය විරංගට ඇමතුමක් දී විස්තරය කියන්නට සැරසෙත්ම ඔහුම  එම පාඨමාලාව ගැන ඇයට කීවේය .දෙදෙනා ඇමතුම විසන්ධි කලේ එන සඳුදා දිනයේ පරිඝණක පාසලට යාමට තීරණය කරගෙනය.

සඳුදා දිනයේ දෙදෙනා පාසල් ගිය පුරුද්දට මෙන් එකම බසයෙන් රත්නපුර නගරයට සේන්දු විය.පරිඝනක පාසැල පිහිටියේ රත්නපුර පල්ලිය මාර්ගයේ එක් දෙමහල් ගොඩනැගිල්ලකය.විෂයානුබද්ධ කරුණු හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පරිඝණක දැනුම ලබාගන්නා අයුරු පිළිබද දේශනයක්, මුලික පරිඝණක කොටස් හඳුන්වා දීමත් කළමණාකර තුමා ඇතුළු ගුරු මණ්ඩලය පළමු දින සම්මන්ත්‍රණයේදී සිදු කළෝය .විශ්මිටත් විරංගටත්  අලුත් යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුද හමු විය.

එදින සම්මන්ත්‍රණයක් පමණක් පැවැත් වූ බැවින් වෙලාව ඉතිරි නිසා දෙදෙනා සමන් දේවාලයේ යන්නට තීරණය කළෝය .

"ඔයා සමන් දේවාලේ එන්න ආසයි නේද?" විශ්මි ඇසුවේ දේවාල භූමියේ පා නගන ගමන්ය.

"හ්ම්...වෙලාවක් ආවොත් ඉස්සර ඉදන්ම මං එනවා..." විරංග කීය .

"අපි දෙන්නා හුඟක් එකම දේට ආසයි නේද?....මතකද ඉස්සර කැන්ටිමට ගියහම...?"

"හොඳ ෆ්රෙන්ඩ්ශිප්  එකකට ඒකත් වැදගත්...."

"දකින මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා ඇති....නෙහ් ?"

"හ්ම්....මතකයිනේ ඉස්කෝලෙදි වෙච්ච දේවල්..."

"ඒක නෙවේ......ඊට පස්සේ වෙනුරි හම්බුනේ නෑ ?"

"ආපෝ....ඔය වාතේ මට දවසක් ටවුමේදී හම්බුනා....මං මගෑරලා  එන්න ආව ..පස්සෙන්ම ඇවිත් කතා කලානේ..."

"පවු විරංග....."

"පවුම තමා කියන්න ඕන ඕකිට ....අපිට කරපුවට..ඔයාගේ අනුකම්පාව මගේ නෑ .."

"හරි හරි ....ඒ කතා මතක් කරලා මේ දේවාල භුමියේ හිත් නරක් කරගන්න ඕන නෑ ....හ්ම්ම්....කියන්නකෝ...මොනාද අද ඔයා ප්‍රර්ථනා කරන්නේ?"ඇය කතාව වෙනතකට හැරවීය

"ම්ම්.....ඒක කියන්න බෑ ...ඉටු උනොත් එදාට කියන්නං ..." විරංග කීවේ තාලයකටය 


 

Saturday, July 26, 2014

නිසල සිත් මල 8



පසුගිය කොටස්..  
1  2  3  4  5  6  7

 විශ්මි ගමට ආ විගස අනිත් අතට මළ ගෙදරට ගියාය.පාර දෙපස තිබු සුදු කොඩි වැල් අතර තැනින් තැන බැනර් එල්ලා ඇත.නිවාස වටා මළ ගෙදරට ආ උදවියගෙන් පිරි තිබුණේය . මිදුල පුරා රඳවා ඇති බැනර් අතර එක් බැනරයක මෙසේ සටහන් වී තිබුණි.

"සිනහා කවටකම් මැද
අප අතර සැරිසැරූ
රන් හදවතක්...
වෙන්වීමේ දුක අපට පෙන්වා
යන්නට තරම් සැහැසි විය....
මතක ගොන්නක්
රඳවා අප හදෙහි...,
කුමක් කරම්ද අප?
නිවන් සුව පතනු හැර නුඹට....!"

~සුමන විදුහල් මිතුරු කැල ~


විශ්මිගේ නෙත් බර වී ගියේ නිතැතිනි.නිවසතුළට  පා නගන්නට තමන්ට හැකියාවක් නැති බව ඇයටම හැඟිණි .කඳුළු පුරවන් නිවසට එන විශ්මි දුටු මිලානි ඇයව තමා දෙසට වාරු කරගත්තාය.කලු ලී පෙට්ටියක දිගු නින්දේ සිටින යෙහෙළිය දුටු විශ්මිට ඉවසුම් නොවිය.විශ්මි හැඬුවාය.සුදු මේස් දමා ගැටගසා ඇති කකුල් අල්ලා වැන්දාය .පාසලේදී ගුරුතුමෙක් කීවේ කිසිදා මළ කුණකට වැඳිය නොයුතු බවය...එහෙත් මේ ඉන්නේ මගේ රත්තරං යෙහෙළියයි..වඳින්නට තරම් උතුම් ගති ඈ ළඟ තිබුණ බව ඒ ගුරුතුමා දන්නවාදැයි අසන්නට විශ්මිට සිත් විය.විශ්මි එතැනින් ඉවත්ව නිවස පිටුපස ඇති හට් එකේ පුටුවක වාඩි විය.කඳුළු පිසදා මදක් අවට බැලූ විශ්මි දුටුවේ හට් එකේ කොනක වාඩි වී බලාගත්වනම බලා සිටින විරංග වයි. 

 "විරංග....." විශ්මි කලෙකට පසු දුටු මිතුරා ආමන්ත්‍රණය කලේ කඳුළු සලමිනි.

විරංග තමන් දෙස බලා සිටින්නේ අසරණ හැගීමකින් බව ඇයට වැටහී ගියාය.වෙනදා දකින සිනා රැල්ලත්, දගකාර කමත් ඔහු කෙරෙන් අතුරුදන් වී තිබුණි.විශ්මි ඔහු අසලින් අසුන් ගන්නා තුරු ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය.

දැන්ද ආවේ ?"

ඔවු විරංග..." විශ්මි කතා කලේ තම කඳුළු වලින් රෝස පාට පුංචි මල් ලේන්සුව පොගවමිනි.

"අඬන්න එපා විශ්මි...මං ඔයා එනකං හිටියේ මේක කියවන්න..." විරංග කලිසම් සාක්කුවෙන් එලියට ගත්තේ ලිපියකි.

ලියුමක්.........?"

හ්ම්....අපි දෙන්නටම.....චමිලා ලියලා තියෙන්නේ..."

"අනේ......"

"ඔය ඉතිං ....අඬන්න ලෑස්තිවෙන්න එපා.." විරංග  කවරයෙන් ලියුම ගෙන දිග හැර බැලීය .


විරංග ලිපිය කියවගෙන යද්දී විශ්මිට කරුණු කිහිපයක් වැටහී ගියාය.එනම් ...ඇයට තිබු පිළිකා තත්වය සමග මෙලොව හැරයන්නට සිදුවන බව ඈ කල් තියා දැන තිබුණාය .ඇය කියා තිබුණේ විරංගටත් විශ්මිටත් උසස් ලෙස උසස් අධ්‍යාපනයෙන් ජයගන්න කියාය.එමෙන්ම අයියලා දෙන්නටයි අම්මටයි තාත්තාටයි තමන් නැති අඩුව මකන්න බැරි උනත් ,හැකි හැම විටෙකම ඒ ගෙදරට ගොඩවී හෝ එන්න කියන අහිංසක ඉල්ලීමත් ය.ලිපිය කියවා  අවසන් වන විට විරංගගේ ඇස් කොනකද කඳුළු කැටයක් දිලිසෙනු විශ්මි දුටුවාය. 

චමිලාගේ මල ගෙදර, හත් දින බණ ,දානය  අවසන් වනතෙක් විරංග ත් විශ්මිත් කැපවී උන්නෝය.ඒ සහෝදරත්වය හද පතුලේ වැඩෙද්දී චමිලා සදහටම මිහිකත වැළඳ උන්නාය.

                                 ~~~~~~~~~~~~~~~

විශ්මිත් විරංගත් පාසලේදී විභාග අවසර පත්‍ර සහ කාලසටහන් ලබගත්තෝය.දෙදෙනාටම එම මොහොතේ චමිලා සිහි වීය.ඒත් සමගම ලැබුණ සදාකාලික පාසල් නිවාඩුව විවිධ ප්‍රසංගයකින් කෙලවර විය.දෙනෙත් කඳුලින් පුරවා පිටවීමේ ගේට්ටුව අසලට ආ විශ්මි නැවත වරක් පාසල් මව දෙස හැරී බැලුවේ හද පතුලෙන් පාසල් මව වන්දනා කරමිනි.දැනුම මෙන්ම දඟකාර සොඳුරු මතකයක් රැගෙන පාසල් මව අද අලුත් පරපුරට දායාද කිරීම කළ යුතු වුනත් තම මව්ගේ තනයෙන් අන් දරුවකු කිරි බොන්නා සේ අවිහිංසක ඊර්ෂයාවකින් විශ්මිගේ හද පෙළෙන්නට විය.සැමරුම් පොත්වල අත්සන් පිරෙද්දී එසේ වන්නේ හැමගෙන් වෙන්ව යන්නට ලං වෙද්දී නේදෝ කියා ඇයට හැඟෙද්දී නැවත නැවතත් දෙනෙත් තෙත් විණි.මේ සුදු ගවුම ,කොණ්ඩ කරල් දෙක සුදු සපත්තු තව වැඩි කල් උරුම නැත.විභාගයෙන් පසු සදහටම මේ ඇඳුම හැඳ පාසල් ආ නොහැක,පාසලේ පිස්සු නටන්නටද බැරිය.

නියමිත පරිදි අගෝස්තුවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට විරංගත් විශ්මිත් හොඳින් මුහුණ දුන්නෝය.විභාග ශාලාවේ තමන්ට ඉදිරි අසුන නිතර හිස් වීම විශ්මිගේ දුකට හේතු වුයේ එම අසුන චමිලාගේ  නිසාය.ඇගේ ඇස් කොණින් ඉඳහිට වැටුන කඳුලක් විටෙක උත්තර පත්‍ර තෙමන්නට ඇත.සති තුනක් ඇතුලත විභාගය නිමා වෙද්දී එය එක අතකට හිත ට සහනයක් විය.නමුත් පාසල් ජීවිතය නිමා වීම ද හිතට දුකක් විය. විභාගය නිමා වීමත් සමග ම නිවසේ කාලය ගෙවූ විශ්මි රුපවාහිනිය ඉදිරියේත්,මල් වැවීමටත් වැඩිපුර කාලය යෙදවුවාය.

නිවසේ දුරකථනය නාද වෙද්දී විශ්මි උන්නේ රුපවාහිනිය නරඹමිනි.

හෙලෝ......" ඇය පිළිතුරු දුන්නාය.

හෙලෝ ....සුදු මැණික ...." විශ්මි හඬින් ඒ නිර්මල බව හැඳින්නාය .

"ආ..ආතේ...කොහොමද?........දැන් ඇවිදින්න පුලුවන්ද ...?"

"දැන් බොරුවට අහනවා..,මං මැරුණද බැලුවේ නෑ .."

"මෙහෙ වුන කරදර ඔයා දන්නේ නෑ නෙ .."

"සොරි කෙල්ලේ..., ඔයා මං ළඟ ඉඳගෙන කරපුවා මට මතක තියනවා.විහිළුවක් කරේ...අනික එක්සෑම් දවස් ටිකේ මං අම්මගෙන් ඔයා ගැන විස්තර ඇහුවා .."

"හ්ම්ම්...."

"එක්සෑම් ලේසිද?"

"..හ්ම්ම්....ටිකක්..."

"ලේසි වෙන්නේ කොහොමද ඉතිං ....අපි ක්ලාස් යන්නවත් දුන්නෑනේ , නේද සුදු නංගි ..."

"සුදු අයියා මගේ හිත නරක් කරන්නද කතා කළේ ...?"

"නෑ ......සොරි ....ආයෙත් ආයෙත්  සොරි...ආ .....බබෝ ඔයාගේ බර්ත් ඩේ ලඟයි නෙහ් ?

ආ...ඔවුනේ....." විශ්මිට එය මතකෙට ආවේ නිර්මල කී පසුය.


දිගු දුරකථන සංවාදයකට පසු විශ්මි කුස්සියට ගියේ මවට උදවුවක් කරන්නට සිතාය.

"සුදු අයියා නේද කතා කළේ ?"සුභද්‍රා ඇසුවේ එළවලු කපමිනි.

"ඔවු අම්මා ...."

"පහු ගිය ටිකේම මා එක්ක කතා කළා ..."

"මාත් එක්ක කිවුවා ....අම්මගෙන් මගේ විස්තර ඇහුවා කියලා .."

"හ්ම්ම්....ඒක නෙවෙයි...සුදු දූ දැන් ඔහොමම ඉන්නද කල්පනාව....අපරාදේ පුතේ කාලේ.." සුභද්‍රා ඇසුවේ විශ්මි නිකරුණේ කාලය ගෙවා දමන නිසාය.

"මන්දා අම්මේ...

විරංග පුතා මොකද කරන්නේ?" සුභද්‍රා ඇසුවේ ටික දවසකින් නිවසටවත් නොපැමිණි නිසාවෙනි.

"එයා අම්මා ජේම් කටින් යනවා කීවා ....ගියාද දන්නෑ .."

"ඔයත් මොනවා හරි කෝස් එකක් වත් කරන්න පුතේ...."

"ඉන්නකෝ අම්මා ....මං  විරංගට කෝල් එකක් ගන්න..."
විශ්මි විරංග ට ඇමතුම් කළේය.විරංග මැණික් කැපීමේ පාඨමාලාවට නොගිය බව දැනගත් විශ්මි තම නිවසට පැමිණෙන ලෙස විරංග ට ආරාධනා කළේ සතුටින් ඉපිලෙමිනි.ඉන්පසු කාමරයට වී ඇය තම අතීතය මොහොතකට සිහිපත් කළාය .ගමේ පාසලේ ගෙවා දැමු අවුරුදු එකොළහක අතීතයට වඩා උසස් පෙළ අධ්‍යන අවුරුදු දෙක ට මහත් සේ ඇලුම් කළාය .සමහර විට ඒ පාසලේදී හමු වුණ යහළු යෙහෙළියන්ගේ සමීප බව එයට බලපාන්නට ඇත.

විශ්මිගේ දැහැන බිඳී ගියේ විරංගගේ බයිසිකලයේ හඬිනි.ඉදිරිපස දොර වසා තිබුණ බැවින් විරංග බෙල් එක නාද කරන්නට විය.විශ්මි නෑසුන ගානට දොර අසලම උන්නාය.

"විශ්මි....." විරංග බැරිම තැන කෑ ගසා කතා කළේය.

විශ්මි සිනහව පිටතට නොඇසෙන්නට කට අතින් තද කරගත්තාය.සුභද්‍රා විරංග කෑ ගසන ශබ්දයට සාලයට එත්ම විශ්මි කතා නොකරන ලෙස අතින් සන් කළාය .

"විශ්මි....මං යනවා...."

"හිටපං පොඩ්ඩක් ඉතිං ....." විශ්මි සිනාසෙන ගමන්ම දොර ඇරියාය.

"ආ...දැන් ඇහුනේ නේද?" විරංග විශ්මිගේ කන මිරිකුවේය.


"ඌයි ......අතාරිනවා මෝඩයා...."

"කන්න මොනාද තියෙන්නේ.....සෑහෙන දෙයක් තිබුනොත් සලකලා බැලුවෑකි.." විරංග කිවේ කන තව ටිකක් තදට අල්වාගෙන.

"ඌයි ....ඇපල් තියේ......"

"හා හා මදි ....තව...."

" අයිස් ක්‍රීම් තියේ....අතෑරපන් "

"බෑ ....මදි මදි....තව...."

"අනේ අම්මා ....බලන්නකෝ...,අර ෆ්‍රිජ් එකත් එක්කම කාපියකො ..."

"ආ....අන්න දැන් හරි..."

විරංග කුස්සියට ගියෙන් විශ්මි කන අතගාමින් ඔහු පසුපස වැටුනාය.විරංග ශීතකරණය විවෘත කර ඇපල් ගෙඩියක් ගෙන කෑවේ කෑම කාමරයේ පුටුවක අසුන් ගනිමිනි.


පෙරේතයා ...." විශ්මි කීවේ ඇපල් ගෙඩිය නොකපා ම කන්නට වු නිසාය.විරංග නැගිට ගත්  පසු විශ්මි දිව ගියේ නැවත කන මිරිකවාගන්නට බැරි නිසාය.විශ්මි දිව විත් නැවතුණේ මිදුලේ පිහිඹියා ගස යට බංකුව මතය.විරංග ද පැමිණ ඈ අසලින් වාඩි වුණේය .විශ්මි විරංග අතේ තිබුණ ඇපල් කෑල්ල කඩන් කෑවාය .

"හා....දැන් පේනවනේ කවුද පෙරේතී කියලා ..."විරංග කීවේ අත උලුක් කරමිනි.

"මට තුන් වෙනි පාර්ශවේ මතක් උනා .." විශ්මි කිවේ චමිලා මතක් වීමෙනි.

"අපිට එහෙ යන්නත් බැරි උනා නේද?" විරංග කිවේ දුකෙනි.

"හ්ම්ම්..අපි හෙට යං ..." විශ්මි යෝජනා කළෙන් විරංග එය අනුමත කළේය.


දිවා කාලය විරංග සමග ගෙවා දැමු විශ්මි සවස් කාලයේ මග බලන් උන්නේ අයියා එනතුරුය.වාහනයක හඬ ට ඉදිරිපස දොරටුව වෙත ගිය විශ්මිට දැකගත හැකි වුයේ නිවසට එන සමරවික්‍රමවය.

"අම්මා .....අද තාත්තා ඉක්මනට එනවා...." විශ්මි සතුටින් ඉපිලුණි.

"මං කලින්ම කියා තිබ්බා අද වේලාසන එන්න කියලා ..." සුභද්‍රා පිළිතුරු දුනි.

"ඇයි අම්මා ....විශේෂයක්ද?"

"නෑ පුතේ.....නිකං ..."

අම්මා එසේ කීවද යම් දෙයක් ඇතැයි විශ්මිට නිකමට සිතුණි .

තවත් මොහොතකින් දමිත්ද නිවසට ගොඩ විණි .

"මං කොච්චර වෙලා ඉදන්ද පාර බලන්නේ..." විශ්මි මැසිවිලි නැගුවාය .

"ඇයි ....සීනි බෝල ගේනවා කිවුවේ නෑනේ මං ..."


"අනේ...තමුසෙගෙ සීනි  බෝල මට ඕනිත් නෑ ..."

දමිත් නිවසට ආ විගස විශ්මිව ඇවිස්සුවේය.

"එහෙනං පීසා ...?"

"අනේ....මගුල.....! " විශ්මි ගස්සාගෙන ගොස් ඇඳට වැටුණාය.දමිත් ඇඳුම් මාරු කරගෙන එන තෙක්ම විශ්මි එලියට විත් නොතිබුණ බැවින් දමිත් විශ්මිගේ කාමරයට ගියේ ඇයව යාලු කරගන්නට සිතාය.


ඇය නින්දේ හිඳිනු දුටු දමිත් මවට ඒ බව සැල කළේය.

"සුදු දු ......නැගිටින්න...නැගිටලා කාලා  නිදාගන්න..." සුභද්‍රා  කතා කලද විශ්මි අනෙක් පසට හැරී නිදාගත්තාය.

"අනේ...මට නම් බෑ මේ ළමයා ඇහැරවන්න.." යැයි කියමින් සුභද්‍රා කාමරයෙන් ආවාය.

"මං ඇහැරවන්නම් ...., ඉන්නකෝ අම්මා ..." දමිත් කාමරයට පැන්නේ දඟ වැඩකට බව සුභද්‍රා  ට වැටහිණ .


වට පිට බැලූ දමිත් විශ්මිගේ පොත් මේසය උඩ ඇති පෑන් රඳවනයේ තිබුණ කලු ප්ලැටිග්නම් පෑනෙන් රැවුල් ඇන්දේය.විශ්මි අවදි උනත් ළග සිටින්නේ අයියා බව දුටු විට අඩ නින්දේම නැවත නෙත් පියා ගත්තාය.දමිත් තම කාර්යය අවසන් කර නැගණිය පිබිදෙව්වේය.."නිදාගන්න දෙන්නෙත් නෑ සීනි බෝලයා ..." යනුවෙන් මැසිවිලි නගමින් විශ්මි කෑම කාමරයට ගියේ නිදිමතින් ඔලුව කසමිනි.සමරවික්‍රමත් සුභද්‍රාත් උන් බර කතාව නතර කර පුදුමයෙන් විශ්මි දෙස බලා උන්නෝය.දෙදෙනා නතර නොවී සිනාසෙන අයුරු දැක විශ්මි උභතෝකෝටික ප්‍රශ්නයකය.ඒ අතර දමිත් ද එතැනට සේන්දු විය.තිදෙනාම සිනාසෙන්නට වුයෙන් විශ්මි තරහින් නාන කාමරයට ඇතුල් වූයේ මුහුණ කට සෝදා ගැනීමටය..කන්නාඩිය ඉදිරියේ විශ්මිගේ මුහුණ දුටු විශ්මිටම සිනහා පහල විය.

I'm wishmi ලෙස එක් කම්මුලක ලියා තිබුණි.

"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

Friday, June 20, 2014

නිසල සිත් මල - 7

මෙතෙ ක්  කතාව කෙටියෙන්  ~

අ.පො.ස. සා/පෙ. සමත් වී උසස් අධ්‍යාපනය ලබන්නට යන විශ්මිට අලුත් පාසලේදී හමුවන හොදම මිතුරිය චමිලා.මිතුරා විරංග.පාසලේදී සිදුවන කම්කටොලු අතර , චමිලා හදිසියේ අසනීප තත්වයකට මුහුණ පානවා ....විශ්මිගේ ආදරණිය නැන්දණියගේ පුතු නිර්මල පො.වී.කා . බලකායේ සේවය කරද්දී ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ පා තුවාල ලබා රෝහල් ගත කරනවා..

සම්පුර්ණ කතාව පහත ලින්කු ඔස්සේ බලන්න..


 
1  2  3  4  
6

 
සුභද්‍රා..........කොල්ලා කලබල වෙලාවේ එතනට ගිහින් තියනව..එයත් එක්ක ගිය තුන් දෙනෙක්ම නැතිවෙලාලු..මගෙ කොල්ලා හොස්පිටල් ගෙනිහිං...අයියා විස්තරේ දැනගත්තු ගමන් පිටත් උනා..මාත් මේ ලොකු පුතා එක්ක යන්න කියලා හදන්නේ..අනේ සුහද්‍රා.....' තම එකම අයියාගේ බිරිඳ හඬා වැටෙද්දී සුභද්‍රාට ඉවසාගත නොහැකි විය.සුභද්‍රා නිර්මලට ඇලුම් කළේ තම කුසින් වැදූ දරුවෙකු ගානටය.

"සුදු දූ...අයියට ඇහැරවන්න...., අපිත් යන් සුදු අයියා බලන්න.." සුභද්‍රා කීවේ සාංකාවෙන් බලා උන් අත බලා සිටින විශ්මිගේ ඔලුව අතගාමිනි.

තාත්තා ඇහැරවන්න ඕන නෑ...අපි යමු ..යමින් ගමන් කතා කරලා විස්තරේ කියමු.. නැත්නම් තාත්තා ඔක්කොටම වඩා කලබල වෙයි...' සුභද්‍රා දමිත්ට කීවේ විශ්මි ඔහුව ඇහැරවාගෙන ආ පසුවය.

විශ්මි නාන කාමරයට වී කල්පනා කරන්නට වූයේ විරංගට මේ බව කිව යුතු බවයි.නැතිනම් පසු දින ඇය නැති වූ වහා ඔහු තමන්ව සොයන්නට ඉඩ තිබෙන බව ඇය සිතුවාය.චමිලා උනත් තමන් නොගියහොත් වරදවා සිතන්නට බැරි නැත.ඒ නිසාවෙන් ඇය විරංග අමතා සියළු විස්තර කීවාය.චමිලා බලන්නට යාමට නොහැකි වීම ගැන ඇයට අවංක සිත් තැවුලක් විය.විරංග දුරකථනය විසන්ධි කිරීමට පෙර ඇයට කියූ වදන යළි ඇගේ මතකයට නැගුණි. "කොහේ ගියත්, මොනවා කරත් පාඩම් වැඩ ටික හරියට කරන්න.එතන තමයි අපේ අනාගතේම තියෙන්නේ" විරංග කියුවේ සැබවින්ම සත්‍යක් බව ඇයට හැඟුණාය.


'අම්මෙ..........පව් අම්මෙ චමිලා........මට බලන්න යන්න වෙන්නෑනේ...ඊයේ ඩොක්ටර්ලා බලන්න දුන්නෙත් නෑ..මට දුකයි...' විශ්මි කීවේ රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ කාරයේ නිහඬ බව දුරලමිනි.


'මොනවා කරන්නද ළමයෝ කරදර එන්නේ කියලා නෙවෙයිනේ...ඔයා විරංගට කියන්න විස්තරේ...එයා කියාවිනේ...' සුභද්‍රා කීවේ පිටුපස ආසනයේ සිට ඉදිරිපස ආසනයේ උන් විශ්මි දෙස බලමිනි.

'න..නංගී............ඇයි චමිලා නංගිට මොකද වෙලා තියෙන්නේ?' අයියා මදක් කලබල වී එසේ ඇසුවෙන් යමක් මතකෙට ආ විශ්මිට සිනා ආවත් ඇය ආයාසයෙන් එය මැඩගෙන කතා කළේය.විශ්මි සියල්ල අයියාට කීවාය.අයිය්ගේ මුහුණ අඳුරු වී යනු විශ්මිට මනාව දැකගත හැකි විය.තමන් දැන දැනම කළේ මෝඩ වැඩකැ'යි ඇයට කල්පනා විය.

'ඇයි මට ඒ ගැන කිව්වෙ නැත්තේ......කලින් කිව්වා නම් මාත් යනවනේ බලන්න...' දමිත් කතා කළේ කනගාටුව මුසු හැඟීමකිනි.

අයියාගේ සිතේ චමිලා ගැන ආදරයක් ඇති බව විශ්මි දැනගත්තේ දැනට මාස කිහිපයකට කලිනි.ඒ දමිත්ගේ කාමරය අස් පස් කරන විටදී දමිත් අතින් ලියැවුනු කවියක ඈ ගැන සටහනක් තබා තිබුණු නිසාවෙනි.ඔහුට තම නැගණියගේත් ඇයගේත් මිත්‍රත්ත්වය පළුඳු වේ යැයි බියක් සිතෙහි විය.

සොරි අයියා.........මට ඒක අමතක උනා...."  විශ්මි කීවේ  සැබවින්ම සිදු වුණ කාරණාව ය .

දමිත් ගේ ජංගම දුරකථනය නාද වනවාත් සමගම ඔහු කාරය මාර්ගය අයිනට කොට නැවතීය . කුඩා වතුර බෝතලය අතට ගත්  ඔහු වතුර උගුරු දෙක තුනක් ගිල දමා ඇමතුමට පිළිතුරු සැපයුවේය.ඇමතුම නිර්මලගේ පියාගෙනි. ඔහු පැවසූ පරිදි නිර්මලව අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත යොමු කරවනු ඇත.මිහින්තලයේ පුංචි උන්නේ වාසනාවට යැයි  විශ්මිට හැඟුණේ දමිත් විස්තරය දෙදෙනාට කීවාට පසුවය.

 මිහින්තලයේ රාත්‍රිය ගත කළ  විශ්මිත්, පවුලේ අයත් පසුදා පාන්දර යුධ හමුදා රෝහල වෙත ගියෝය.ලොකු මාමා දුන් තොරතුරු අනුව නිර්මල උන් තැන සොයාගැනීම එතරම් අපහසු නොවීය .නිර්මලගේ  වෙඩි වැදුන කකුල අවාසනාවන්ත අයුරින් නිර්මලගෙන්  වෙන් කර තිබුණි .දෑස්  අදහාගනු නොහැකිව ඒ දෙස බලා  සිටි විශ්මිගේ දෑස්  වලින් කඳුළු කැට රූරා වැටුනේ නිමක් නොමැතිවය.කවදාවත් කඳුළු තෙත් කර තිබෙනු නොදුටු ලොකු මාමාගේ පවා දෑස්  අග කඳුළු රැඳී තිබෙනු දුටු විශ්මිට වාවාගනු නොහැකිව හැඬුම් ආවාය.විශ්මි කල්පනා කළේ  සුදු අයියාගේ අනාගතය කෙසේ විසඳේ ද යන්නය.

සුදු අයියාට සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබන්නට වෙන බව විශ්මිට හැඟී ගියාය.එහෙන් චමිලාට කුමක් සිදු වුවාදැයි දන්නේ ද නැත.දැන් සුදු අයියා දමා යන්නට ඈ ට සිත හදාගන්නට බැරිය.ඒ නිසාවෙන්ම ඈ මිහින්තලයේ නවතින්නට තීරණය කළා ය."ඉස්කෝලේ, පාඩම්, පංති .....කමක් නෑ මම ඒවා සුදු අයියා  වෙනුවෙන් කැප කරනවා..,දැන් රිවිශන්නේ ..කොහොම හරි තියරියෙන් ගොඩ යනවා...පාස් පේපර් තියනවනේ.." විශ්මි දුර දිග කල්පනා කළා ය.අඩුම තරමේ මාස දෙක තුනක් වත් ඔහු ළඟ තමන් සිටිය යුතු යැයි ඈ සිතුවාය.

දැන් විශ්මිගේ ජිවිතයේ පළමු තැන සුදු අයියාගේ  සැප දුක් සොයා බැලීමය.,මාස  දෙකක් රෝහලේ නේවාසිකව සිටි ඔහුව විජේසේකර  මිහින්තලයේ නවත්වාගෙන ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන යාම යි සිදු කළේ .විශ්මි විසි හතර පැයේම  ඔහු ගැන සොයා බැලිය.විශ්මිගේ පාඩම් වැඩ වලට ඈ ඔහුව හවුල් කර ගන්නීය.ඔහු ප්‍රශ්න අසන විට ඈ පිළිතුරු දෙන්නීය.වැරදුන විට ටොකු පහර ද ලබන්නීය . නිර්මලව සනසන්නට, ඔහුගේ ගිලිහුන මානසිකත්වය යථා  තත්වයට ගන්නට ව්ශ්මි බොහෝ වෙහෙසෙයි.

විශ්මි නිර්මල පසුපසම වැටී සිටියා මිස විරංග ට ඇමතුමක් දෙන්නට පවා සිතුවේවත් නැති බව ඇය කනගාටුවෙන් සිහි කළාය .දැන් චමිලාද සුව අතට හැරී ඇති බව ඇය  සතුටින් සිහි කළා ය.චමිලාත් ,විරංග ත් දැන් එකට පාඩම් කරනවා ඇති,ලයිබ්‍රි  යනවා ඇති ..."විශ්මි තමාත් ඒ දෙදෙනාත් කළ  කෙළිලොල් දගකාරකම් මදකට සිහියට නංවාගෙන සිතුවාය.සතුටු වුණා ය.විශ්මි වහා චමිලාගේ නිවසේ දුරකථනයට ඇමතුම් කළාය .එහෙ ත් එම මොහොතේ එය ක්‍රියා විරහිත කර තිබුණි. නැවත  නැවතත් උත්සහ කළද පලක් නොවූයෙන් ඇය විරංග ගේ නිවසට ඊ  ළඟ ඇමතුම  ගත්තාය.දුරකථනය නාද වෙනු ඇසීම විශ්මිගේ සතුටට හේතු විය.

"හෙලෝ.....' පිළිතුරු ඇසුනේ පිරිමි හඬකිනි.නමුත් ඒ විරංගගේ හඬ නොවේ..
අංකල් ....විරංග ඉන්නවද ?' විශ්මි ඇසුවේ අනිවාර්යෙන්ම ඒ විරංගගේ පියා  විය යුතු බව දන්නා නිසාය.

ආ...දුව.....! ,විරංග මල ගෙදරක ගිහින්නේ.....ඔයා එයාගේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න ...' විරංග ගේ පියා ඇය ව හඳුනා ගත්තේ නැත.

"හෑන්ඩ් ෆෝන් ? අප්පටසිරි කොල්ල දියුණුවෙලා " විශ්මි යටින් සිතමින් "අංකල්  නම්බර් එක දෙන්නකෝ එහෙනං " කියා එය ඉල්ලාගෙන එම අංකයට ඇමතීය .


 හෙලෝ....." කාලයකට පසුව ඇසුන විරංගගේ හඬ වෙනදා නොවෙන තරම් වෙනසක් ඇතැයි  ඇයට නිකමට මෙන් සිතුණි .

විරංග.....මං ......"

විශ්මි.....ඔයා ඇයි  කෝල් එකක් වත් නොදුන්නේ.." විශ්මිට කතා කිරීමට අවස්ථාවක් නොදීම විරංග කතා කළේය.

"අනේ මං  කතා කරන්න හිටියේ....ඒත් ...දවසින් දවස ඒක පහු වුණා ..සොරි  විරංග...ඒක  නෙවෙයි , කොහොමද චමිලට ?"

"ඒ ගැන මං  කොහොමද ඔයාට කියන්නේ විශ්මි...?" විරංග කීවේ කනගාටුව මුසු ස්වරයකිනි.

"ඒ කිවුවේ.......?" විශ්මි ඇසුවේ කලබලයෙනි.

"අපි දෙන්නව පාට පාට හීන ලෝකවලට....එක්කගෙන ගිහිං ...අපිව සතුටු කරවපු...අපිව හිනා ගස්සපු එයා....අපිව දාල  ඒ හීන  ලෝකෙට ඇත්තටම ගියා  විශ්මි....ඇත්තටම ගියා..." විරංග බිඳුණු හඬින්  ඒ ටික කියද්දී විශ්මිගේ වාවාගත නොහැකි කඳුළු දෝර ගලන්නට විය.


"ම..ම... තාම  මිහින්තලේ....,මගේ රත්තරං  අයියා මේක දන්නවද විරංග?" විශ්මි කතා කලේ විනාඩි ගානක නිහැඬියාවකින් පසුවය.

"ඔවු විශ්මි....මං  එයා  පස්සෙන්ම ඉන්නවා..., ඔයා  ඒ ගැන වැඩිය හිතන්න එපා..මේ දැනුත් මාත් එක්ක ඉන්නේ "

"මං  අදම එනවා විරංග .....මට දුක......එයාව යන්න කලින් එක මොහොතක් බලාගන්න බැරි වුන එකට...,එක වචනයක්....එයත් එක්ක කතා කරන්න බැරි වුන එකට...කවදද මේක උනේ විරංග?"

"ඊයේ හවස.....බොඩි එක ගෙනාවේ අද පාන්දර....,එයාට  හැදිලා තිබුණේ  කාලකන්ණි  කැන්සර්  එකක් විශ්මි..., ඔයා  එන්න විශ්මි..මට දෙයක් තියනවා ඔයා ආවට  පස්සේ කරන්න..."


"දෙයක්.............?"

"ඔවු......විශ්මි.......ඉක්මනින් එන්න......"

Sunday, January 12, 2014

නිසල සිත් මල - 6

1  2  3  4  5 



විශ්මිත් විරංගත් කාර්යාල මේසය ඉදිරිපිට නිහඬව බලා උන්නෝය.

වාඩිවෙන්න...' ගුරුවරයා ඉදිරි අසුන් පෙන්වා කීවේය.


ඉස්සෙල්ලාම මේක බලන්න..'  ගුරුවරයා තුනට හතරට නැවූ කොලයක් විරංගට දුන්නේය.විරංග කොලය දිග හැර බැලුවේය.විශ්මිද උන්නේ ඒ දෙස දෙනෙත් යොමු කරවාගෙනය.විරංග  දුටුවහා එය හඳුනා ගත්තේය.තම නිවසට ආ ලියුමත් මෙයත් දෙකම එක සමානය.එය දුටු දෙදෙනාගේ සිත් නැවත කම්පා විය.


'මට දැන් විනය පිළිබඳ තීරණයක් ගන්න වෙනවා.ඔය ළමයින්ගේ දෙමව්පියන්ට හෙට ඉස්කෝලෙට  එන්න කියන්න..දැන් යන්න,එක අතකට මේවා ඔය ළමයි එක්ක කතා කරලා තේරුමක් නෑ...' විදුහල්පතිවරයා ලිපිගොනුවක් අතට ගනිමින්  කීවේය.ඒ වන විටත් විශ්මිගේ දෙනෙත් කඳුලින් තෙත් වී තිබුණාය.

සර්.................පොඩ්ඩක් මේකත් බලන්න...' විරංග නිවසට ආ ලිපිය විදුහල්පතිවරයා අත තැබීය.විශ්මිට තදින් හැඬුම් එන්නට ආවත් ඈ අමාරුවෙන් එය නවතාගත්තාය.ලිපිය කියවා කවරය දෙස නෙත් යොමු කළ විදුහල්පතිවරයා විරංග දෙස එක එල්ලේ බැලීය.

'විරංගගේ තාත්තා මේක දන්නවා එහෙනම්..?' විදුහල්පතිවරයා ඇසුවේය.

'නෑ සර්.....අම්මා දන්නවා....' විරංග කණගාටුවෙන් පැවසීය.

එතකොට විශ්මිලගෙ ගෙදරටත් මෙහෙම ලියුමක් ආවද?' 

'නැහැ සර්.....' විශ්මි කඳුලු පිසදමමින් කීවාය.

'දැන් ඔය ළමයින්ගෙ ගෙවල් දෙකේම  අය මේක දන්නවද?' 


ඔවු සර්.....' විරංග පිළිතුරු දුන්නේය.

කවුද මේ ඔය ළමයින්ට කරදර කරන්නේ...? මේක මහා විකාරයක් උනානේ..මේක මම පොලිසියට බාර දෙනවා...' ගුරුවරයා ලියුම් දෙක ලාච්චුවට දමා ගනිමින් කීවේය.

'අනේ එපා සර්....අපිට ඉස්කෝලේ එන්න තියා පාරේ බැහැලා යන්නත් බැරිවෙයි..' විරංග ආයාචනාත්මකව කීවේය.


'ඊළඟට තව මොනවා වෙයිද කවුද දන්නේ?මමත් කැමති නෑ ඉස්කෝලේ නම කැත කරගන්න.ඒ උනත් මේක සුලුවෙන් තකන්නත් බැහැ...කොහොම උනත් ඔය ළමයින්ගෙ දෙමපියන්ට හෙට ඉස්කෝලෙට එන්න කියන්න.'

'ඔය ළමයි දෙන්නා ඔය තමන්ට ගැලපෙන යාලුවො හොයාගත්ත නම් ඔය ප්‍රශ්න නෑනේ...' ඔහු  අවසානයේ කීවේය.

විරංගත් විශ්මිත් ශාලාවට එන තෙක්ම කතා නොකළෝය.


'මොනාද විරංග අපට මේ වෙන්නෙ...? ' විශ්මි ඇසුවේ ශාලාවේ කොනේ තිබූ පුටුවක් ඇද අසුන් ගමිනි.විරංග කතාවක් නොමැතිවම ඒ ඉදිරියෙන් අසුන් ගෙන මේසය මත හිස තබාගත්තේය.

'විරංග.............' විශ්මි ඔහුට කතා කළේ කතාවක් නොමැතිව හිස ගසාගෙනම ඉන්නා නිසාවෙනි.එකම මේසයේ දෙපැත්තේ දෙදෙනා උන් නිසා විශ්මිගේ කකුලට වැටුණ උණුසුම් කඳුලු බිංදුව විරංගගේ සියලු හැඟීම් කියා පෑවේය..ඇයට එය අදහාගත නොහැකි කරුණක් විය.

ශාලාව කොනේ උන් දෙදෙනා දුටු වෙනුරි අනෙක්පසින් ගොස් කන්දීගෙන සිටියාය.දෙදෙනාම ඉන්නේ සිත් තැවුල්න් බව ඔවුන්ගේ ඉරියව් වලින් ඈ හැඳින්නීය.

විශ්මී............අපි අපිට ගැලපෙන යාලුවො හොයාගමු සර් කිව්වා වගේ...' විරංග හිස ඔසවා කීවේය.විශ්මිට තව තවත් හැඬුණි.

'අද ඔයා එසේ මෙසේ අපහාසයක් නෙවේ ඔය විඳින්නෙ....ඔයා කෙල්ලෙක් විශ්මි.....කෙල්ලෙක් ....මට කොහොමත් එකයි මම කොල්ලෙක්...ඔයාගෙ ජීවිතේට කැලලක් ඇති කරගෙන අපි දෙන්නා මේ අරන් යන යාලුකමේ තේරුම මොකද්ද විශ්මි...අපේ යාලුකම තියෙන්නෙ අපේ හිත්වලනෙ....ඒක කවදාවත් මැරෙන්නෙ නෑ....අපි ගතින් විතරක් ඈත් වෙලා ඉමු...ප්ලීස් විශ්මි...මුකුත් කියන්නෙපා.....අපිට ඈත්වෙන්න කාලෙ හරි.... අඩුම තරමේ මේක කරපු එකා  හොයාගන්නකං  හරි..'

'ඔවු විරංග...........අපහාස විඳින්නෙ මම විතරක් නෙවෙයිනේ ..ඒ නිසා අපි ඈත්වෙලා ඉමු..මෙන්න මේ වගේ අපි ළඟින් ඉදීවි හිතින්..' විශ්මි කීවේ අතේ ගැටගැසූ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක පෙන්වමිනි.

සියල්ල අසා සිටි වෙනුරිට තමා පිහිටා උන් වැරදි මතය පැහැදිලි විය.ගැහැණු ළමයෙක් හැටියට තමා අතින් ගැහැණු ළමයෙකුටම උන වරද සුලු පටු නොවේ යැයි ඇයට හැඟිණි.වෙනුරි දෙදෙනා අතරට ආවාය.

ඔයාලා දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉස්සරහට කවදාවත් නැතිවෙන්නෙ නෑ...' වෙනුරි කීවේ දෙදෙනාම දෙස බලමිනි.වෙනුරි කතා කරනා අයුරු විශ්මිත් විරංගත් පුදුමයෙන් අසා සිටියෝය.


'මං ආවේ ඔයාලා දෙන්නගෙන් සමාව ගන්න..' වෙනුරි කියනා විට ඇගේ දෑස් කඳුලින් තෙත් වෙනු දෙදෙනාටම පෙනුණි. 'මම........මම සමාව ගන්න තරම් වත් වටින්නෑ....ඒත් ....දැන් මට මේක කියන්න ඕනේ..'ඇය කියවාගෙන ගියාය.දෙදෙනා නිශ්ශබ්දව අසා උන්නෝය.

මම තමයි ගෙදරටයි ඉස්කෝලෙටයි ලියුම් එව්වේ විරංග...'වාර්තා පොතෙන් ඔයාගේ ගෙදර එඩ්ඩ්‍රස් එක ගත්තා....'වෙනුරි කීවේ බයාදු හඬකිනි.විරංගගේ දෑත් කේන්තියෙන් වෙව්ලන්නට විය.


පට්ට බැල්ලි...' විරංග උන් තැනින් ඉබේම නැගිට්ටුනේය.'වාඩිවෙන්න විරංග' විශ්මි ඔහුව බලෙන්ම වාඩි කරවීය.වෙනුරි සියල්ල පැහැදිළි කළාය.වෙනුරිගේ කතාව විරංග කේන්තියෙන් අසා උන්නත් විශ්මි සාවදානව කන් දීගෙන උන්නාය. අවසානයේ විශ්මිට සිතුණේ ඇය පව් කියාය.

වෙනුරි......මොනවා උනත් ඔයා අන්තිමේ ඇත්ත තේරුම් ගත්තා.., අපෙන් සමාව ගත්තා...මොනවා නැතත් ඇත්ත තේරුම් ගත්ත එක වටිනවා.වැරදි කා අතිනුත් වෙනවනේ...දැන් ඔයා ඒ හැම දෙයක්ම අමතක කරන්න.ඊට පස්සෙ හොඳින් ඉන්න...ඔයා මේ ගැන කාටවත් කියන්න ඕන්නෑ...අපි කියන්නෙත් නෑ..අපිත් ඒක අමතක කරලා දාන්නම්...'විශ්මි කියවගෙන ගියාය.විරංග විශ්මි දෙස රවාගෙනම සිටියේය.වෙනුරි හනිකට ඉවත්ව ගියේ හඬමිනි.

'මොනවද ඒ කියෙව්වේ.....ආ.........සමාව දෙන්න ඕකිට......, මම හොඳ ගේමක් සෙට් කරලා තමයි පස්ස බලන්නේ...' විරංග කේන්තියෙන් කීවේය.

'මට පේන්නෙ ඒකි ඔයාට සීරියස් ලව්....ඒකනෙ හලෝ ඔයාව ලබාගන්න එයා එච්චර ටිකක් කලේ...' විශ්මි සියල්ල අමතක කර මනමාල සිනහවක් පා කීවාය.

'බම්බුව.........' විරංග තව තවත් කෝපයෙන් පිපිරුවේය.

'අපි එයාට සමාව දෙමු......කෙල්ල ඇත්ත කීවනේ අපිට.....' විශ්මි කීවාය.


'ඔයා ඉතිං අර පැනගෙන දුන්නේ.....තව දෙන්න දෙයක් නෑනේ.....' විරංග අසුනින් නැගිට පංති කාමරය දෙසට යමින් කීවේය.

විශ්මි පංති කාමරයට ආ වහා සෙව්වේ චමිලාවය.ඈ පෙනෙන්නට නැත.චමිලා විශ්මි නැති විට එකට සිටිනා යෙහෙළිය මිලානි පංතියේ වාඩිවී මොනවාදෝ ලියමින් උන්නාය.

කෝ මිලානි චමිලා?' විශ්මි ඇගෙන් විමසුවාය.

ඇයි ඔයා දන්නෙ නැද්ද.....? මිලානි කී ආකාරයෙන් විශ්මිගේ හදගැස්ම වේගවත් වූවාය.

මොකද්ද...? විශ්මි ඇසුවේ කලබලයෙනි.


එයාව හදිසියේම අසනීප උනානේ.....හිටිගමන් නහයෙනුයි කටිනුයි ලේ ආවා....ලොකු කැස්සකුත් එක්ක...' මිලානි කීවාය.

බලන්න විරංග......අපි නැති තප්පරේටමනෙ ඒකත් වෙලා තියෙන්නේ...' මිලානිගේ කතාව ඇසී එතැනට ආ විරංග දෙස බලා විශ්මි කීවේ හැඬුම් ස්වරයෙනි.

'අපි හවස හොස්පිටල් යමු විරංග.....' විශ්මි කීවේ චමිලාගේ හිතවත්කම් සියල්ල එක පෙළට සිතට නැගුණු නිසාවෙනි.

විරංගත් විශ්මිත් කතා කරගත් ලෙසින්ම සවස් කාලයේ රෝහල වෙත ගොස් චමිලාගේ තොරතුරු විමසා බැලුවෝය.වෛද්‍යවරු ද නිශ්චිත වචනයක් ඈ ගැන කියා තිබුණේ නැත.චමිලාගේ මව සහ අයියලා දෙදෙනා රෝහලේ සිටිනු දෙදෙනා දුටුවෝය. ඔවුන් කියනා ආකාරයට චමිලා හදිසි උවටැන් ඒකකය වෙත යොමු කර තිබුණි.විශ්මිටත් විරංගටත් චමිලාව බලන්නට හැකි වුනේ නැති නිසා ඔවුහු කනගාටුවෙන් නැවත නිවෙස් කරා පැමිණුනහ.

විශ්මි ඇඟ සෝදාගෙන රාත්‍රී ඇඳුමට මාරු වී තේ එකක් හදාගෙන බීවේ කෑම කන්නට පිරියක් නැති නිසාය.ඇය රූපවාහිනිය ඉදිරියේ වාඩි උනේ දුරස්ථපාලකය අතට ගනිමිනි..

අර ළමයා හිටපු ගමන් අයි සී යූ දාන්න තරම් ඒ ළමයාට මොකද උනේ සුදු දූ....' සුභද්‍රා යාබද අසුනකින් අසුන්ගන්නා ගමන් ඇසුවාය.


'මම දන්නෑ අම්මෙ....කාටවත් කරදරයක් නැති අහිංසක   කෙල්ල......ඒකයි මට දුක....' විශ්මි කීවේ අරමුණක් නැතිව දුරස්ථ පාලකය ඔබන ගමන්ය.එක වර ඈ දුටුවේ හමුදා පිරිසකගේ කලබලයකි.ඇය කලබලයෙන් නැවත එම චැනලය හමුවනතුරු දුරස්ථපාලකය එබුවාය.

ඇයට අවශ්‍ය චැනලයට මරු වුන පසු ඈ මුව අයාගෙන පුවත නැරඹීය.නිහඬ රූපරාමු වලින් පසු එම ප්‍රවෘතිය නැවත විකාශය විය.ප්‍රහාරවලට ලක් වී තිබුණේ පුඩුකුඩි ඉරිප්පු ප්‍රදේශයයි.විශ්මිගේ හද ගැහෙන්නට වූයෙන් ඉබේම ඇගේ අත පපුව මත රැඳුණි.'අනේ අම්මෙ සුදු අයියා....' විශ්මිට ඉබේටම කියවිණි.

'සුදු අයියා එහේ හිටියට කෑම්ප් වෙනස් ඇතිනේ ළමයෝ.....අපි කෝල් කරලා බලමු..,බය නැතිව ඉන්න..' සුභද්‍රා දුරකතනය වෙත ළං විණි.

'වැඩක් නෑ අම්මා.....කොහොමත් සුදු අයියගේ ෆෝන් එකට සිග්නල් නෑ......' එයා පුලුවන් වෙලාවට  තමයි මට ගන්නෙ...' විශ්මි කීවාය.


අපි නැන්දලා අරගෙන බලමු...එතකොට තොරතුරක් දැනගත්තැහැකිනෙ....' සුභද්‍රා ඇමතුමක් ගත්තාය.

ඇයි...?' විශ්මි ඇසුවේ රිසිවරය කනේ තබාගෙන මව පමණට වඩා වෙලා ගත් හෙයිනි.


'රින් වෙනවා....ආන්ස්වර් කරන්නෑනෙ.....' සුභද්‍රා කීවේ නැවත ඇමතුම සම්බන්ධ කරගැනීමට උත්සහා ගනිමින්ය.එම උත්සාහයද පෙර පරිදි විය.සුභද්‍රා නැවත අසුන්ගත්තාය.එවිටම නිවසේ දුරකථනය නාද විණි.

'අරං බලන්න....' සුභද්‍රා කීවේ විශ්මිටය.

'මට බෑ....අම්මා ගන්න..' විශ්මි එය කීවේ බිය මුසු ස්වරයකිනි..

'විකාර........' එසේ කී සුභද්‍රා ඇමතුමට පිළිතුරු දුන්නාය.

''ආ පුතා....
ඔව් ඔව්
හා ඒකට නම් කමක් නෑ,
හැබැයි රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්න..
සුදු පුතාලගෙ කෑම්ප් එක පැත්තෙ කලබලයක්ලු..
පුලුවන්නම් තොරතුරක් දැනගන්න බලන්න..''

අම්මා මේ කතා කරන්නේ තමන්ගේ අයියා සමග බව විශ්මිට පැහැදිලි විය.සුසුමක් හෙලූ ඈ කාමරයට ගොස් ඇඳට වැටුණි.

බොහෝ වේලාවක් නිදිවර්ජිතව උන් විශ්මිගේ දෙනෙත් පියවී ආවා පමණි.නිවසේ දුරකථනය බොහෝ වේලාවක් නාද වෙනු ඇයට ඇසිණි.ඇය කාමරයෙන් පිට වන විට මවද සාලයට විත් තිබුණි.විශ්මි වහා ඇමතුමට පිළිතුරු දුන්නාය.

හෙලෝ...............සුදු දූ...........' කතා කළ විලාශයෙන්ම ඒ ලොකු නැන්දා බව විශ්මි හැඳින්නීය.

ඇ.....ඇයි ලොකු නැන්දේ මේ පාන්දර....' ඇය ඇසුවේ බියපත්වය.ඒ සුදු අයියා ගැන තොරතුරක් විශ්මිගේ හිත බලාපොරොත්තුවෙන් උන් නිසාය.

පුතේ............සුදු අයියා....' ඇයට කතා කරගැනීමට අපහසු බව විශ්මිට තේරුම් ගියාය.විශ්මි තව තවත් බියපත් වීය.ඇගේ හිත අස්සෙන් ආ සියුම් වේදනාවක් ඉක්මනින් හිත පුරා පැතිර ගියාය.

'ලොකු නැන්දේ අයියට මොකද....' විශ්මිගේ දෑත් වෙව්ලුවාය.මේ පාන්දරත් ඇගේ නළලතෙහි සිහින් ඩහදිය බිඳු මතු විය.


'කියන්නකො ලොකු නැන්දේ.....' ඇය නැවත ඇසුවේ ලොකු නැන්දා ගේ සිහින් ඉකිබිඳුම ඈව තවත් කලබල කළ නිසාවෙනි.

මගෙ කොල්ලට වෙඩි වැදිලා පුතේ.........' ලොකු නැන්දාගේ වචන කන් පසාරු කරගෙන යනවා දෝයි ඇයට හැඟිණි..ඒ වචන කන වැටුණේ මහත් වේදනාවක්ද සමගිනි.විශ්මි ඒ ළඟම අසුනින් අසුන්ගත්තේ රිසිවරය අතහැර දමමිනි.






Saturday, December 28, 2013

නිසල සිත් මල - 5


1  2  3  4



ආපන ශාලාවේ බංකුවක් මත එක පෙළට අසුන්ගත් තිදෙනා පොපිට් කමින් සිටියෝය.

'චමියෝ....උඹ හිතන්නේ මේ ගින්න දුන්නේ කවුරු කියලද? මොකද්ද එහෙම කරලා ඒකා බලාපොරොත්තු වෙන්න ඇත්තේ?' විරංග පොපිට් ඇට අහුරක් කටේ හලාගනිමින් ඇසුවේය.

'අනේ මංදා බං.......අපිත් එක්ක නයි වෛරෙන් ඉන්න එකෙක් හිටියා නං අන්න ඌව සැක කරන්න තිබුණා....දැන් කාව කියලා සැක කරන්නද..., ඔක්කොම බොක්කෙ ෆිට් වගේනේ ඉන්නේ...' චමිලා කීවේ මද කෝපයෙනි. 

'අපි ඔන්නෝක අතෑරලා දාමු විරංග.....ඕන කෙනෙක් ඕන එකක් හිතාගත්තුදෙන්....අපි අපේ පාඩුවේ ඉමු...' විශ්මි කීවාය.

'අනේ මේ....ඔයා ඉන්න පාඩුවේ...මම එහෙම ඉන්නෑ...මට ඕකාගේ බෙල්ලෙන් අල්ලනකන් නින්ද යන්නෑ....' විරංග එසේ කියමින් යෙහෙළියන්ගෙන් වෙන්ව ගියේය. 

**************************************

නිවසට පැමිණි වහා විශ්මි කළේ මව සමග සියළු විස්තරය පැවසීමය.මව සියල්ල සාවදානව අසා සිටියාය.

'සුදු දූ.........., මාත් ඕක ඔයාට කියන්න කියලා හිත හිතමයි හිටියේ..,ඔයායි විරංගයි ගැන අපි දන්නවා, ඒත් රටේ ලෝකේ මිනිස්සු දන්නෙ නෑනේ...ඒ නිසා කතා හදාගන්නැතුව ඉන්න ඕනේ....ඔයා ගෑණු ළමයෙක්නේ...'සුභද්‍රා කියවාගෙන ගියාය.

'අනේ අම්මා..........මට ඔය කතාව නොකියා වෙන ඕන දෙයක් කියන්න...විරංග මගේ යාළුවා..ඒක වෙනස් කරන්න බෑ...'විශ්මි කීවේ ආයාචනාත්මක ස්වරූපයෙනි.

'මම ඉස්කෝලෙට ඇවිත් හෙට ප්‍රින්සිපල් එක්ක කතා කරන්නංකො...,දැන් ඔයා ඇඳුම් මාරු කරගන්න' සුභද්‍රා කීවේ ඈ චාරිකාවේ සියලු තොරතුරු තමන්ට කියා තිබුණු නිසාවෙනි.

'අම්මා....සුදු අයියා කතා කලේ නැද්ද? ' විශ්මි ඇසුවේ කාමරයට යන ගමන්ය.

'නෑ..............ඇයි දූට කතා කරනවා කිව්වද?'


හ්ම්ම්.....' විශ්මි කීවේ එපමණකි.

සුපුරුදු ලෙස විරංග ,විශ්මි, චමිලා , දිමුත් මේසයක වට සාකච්චාවක යෙදී සිටියේ, එම කාල පරිච්ඡේදයට අදාල ගුරුවරයා වෙනත් වැඩකට ගොස් සිටි නිසාවෙනි.

විරංග....'

විරංගට කතා කළේ විරංගට හිතවත්ව සිටි නමුත් විශ්මිලා තරම් සමීප නොවුනු ගැහැණු ළමයෙකි.ඈ වෙනුරිය.ඇය පන්තියේ වෙනම කල්ලියක සාමාජිකාවක් යැයි හැඳින්වීම නිවැරදිය.හදිසියේ ඇය කතා කිරීම පිළිබඳව සිතමින් විරංග පුටුවෙන් නැගිට්ටේය.

'මට.........මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද...? වෙනුරි ඇසුවේ තරමක් නොසන්සුන්ව බව විරංගට වැටහුණේය.

'ඇයි වෙනුරි.......?' විරංග ඇසුවේ අසුන් ගෙන සිටිනා තිදෙනා දෙස බලමින් , නැවත ඈ දෙසට හැරෙමිනි.

'අපි ටිකක් එහාට යමුද..? ' වෙනුරි යෝජනා කලේ තිදෙනාගේ මුහුණ දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි.ඒ අනුව විරංග පන්ති කාමරයෙන් පිටත කොරිඩෝවට පැමිනියේය.ඒ අනුව වෙනුරිද පැමිණියාය.


'විරංග දැන් ඉස්සර වගේ නෑ.....විශ්මියි ,චමිලයි අපේ ඉස්කෝලෙට ආවට පස්සේ තමයි ඔයා වෙනස් උනේ...ඉස්සර උදේට 'ගුඩ් මොර්නින්' හරි කියනවා,දැන් ඒකත් නෑ.....ඔය අලුත් උන්ව එච්චර කරට ගන්න එපා විරංග...' වෙනුරි කියවාගෙන ගියාය.

'මට ඉතිං මුලු ඉස්කෝලෙම ළමයින්ට 'ගුඩ් මොර්නින් කියන්න බෑනේ වෙනුරි...,ප්‍රායෝගික දෙයක්ද කියන්නකෝ ඒක...ආ.....' විරංග කරුණාවෙන් කීවේය.'හරි මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ ...ඕ කේ....... ' ඔහු නිහතමානිව පැවසුවේය.' දැන් මට මොකටද කතා කරන්න ඕනෙයි කීවේ?

'නිකං............අර සෙට් එක එක්කම ඉන්න ඕන නෑනේ ඉතිං...අපි පරණ එව්වෝ...ඉතිං අපිත් එක්කනේ ඉන්නම ඕන..' වෙනුරි කියෙව්වාය.

'හ්ම්ම්....හරි හරි............දැන් මට පොඩි වැඩක් තියේ....යන්න අවසරද මැඩම්... ' විරංග ඇසුවේ සිනාසෙමිනි.ඔහු කාගේවත් හිත රිද්දන්නට කැමති නැත.

'අවසරයි .............හැබැයි මේක බලලා....' වෙනුරි පුංචි කොල කැබැල්ලක් විරංග අත තැබීය.

'මොකද්ද මේ...?' විරංග ඇසුවේ චකිතයෙනි...

'හරි දැන් යන්න ඉතිං....ඕක තනියම බලන්න....මම යනවා...' වෙනුරි එසේ කියමින් ඇගේ පන්ති කාමරය වෙත දිව ගියේ ලැජ්ජාවෙන් සිනාසෙමිනි. 

විරංග කොල කැබැල්ල දිග හැර බැලුවේය. 'මම ඔයාට ආදරෙයි' මුතු වන් අකුරින් එහි සටහන් වී තිබුණි. 'මල දෙයියනයි........!' විරංගගේ මුවින් ඒ වචන පිටවුණේ ඉබේටමය. ඔහු එය වහා කලිසම් සාක්කුවට ඔබා ගත්තේය.වෙනුරි ගිය දෙස බැලුවත් ඈ පේන මානයේ නොවීය.විරංග නැවත විශ්මි ඇතුලු කල්ලියට වැටුණි.

බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවීම නිසා විරංගගේ මදක් කලබලකාරී ස්වරූපයක් දිස් විය.

'මොකෝ උනේ..........?' චමිලා ඇසූ පසු විරංග සිනාසුනා පමණි.

'ඇයි .......වෙනුරි උඹට මොනාද කිව්වේ ඔය තරං කලු වෙන්න...' විශ්මි කීවේ ලැජ්ජවෙන් මිරිකෙන විරංගගේ මුහුණ දෙස බලාය.විරංග වෙනුරි දුන් කොළ කැබැල්ල තිදෙනා වෙත පෑවාය.'උඹලා කාටවත් මේ ගැන කියන්න එපා...,ඒකි පව්නේ' විරංග කියද්දී චමිලා කට කොනින් සිනා සුනාය.දිමුත්ද සමච්චල් සිනහවක් පෑවේය.

'මං දැන් මොකද බං කරන්නෙ........මට එහෙම අයිඩියා තියනව නං ඒකි කියනකං බලං ඉන්නවයෑ,...අනේ මංදා..........' විරංග කීවේ කාගේවත් හිත රිදවන්නට අකමැති නිසාවෙනි..

විශ්මි හා විරංග අතර ඇති දැඩි සහෝදරත්වය වෙනුරිගේ ඇහේ කටු අනින්නට මෙන් විය.ඒ හේතුවෙන් ඈ විනය කමිටුව වෙත දැන්වූ දේවලින් ද පලක් නොවූ බව ඈ දැනගත්තේ දහවල සුභද්‍රා පාසලට පැමිනි ආරංචියත් සමගිනි..ඉන් තවත් කෝප වූ වෙනුරි අලුතින් කරන්නට යමක් කල්පනා කළේ විරංගට තම ආදරය ප්‍රකාශ කළත් තවමත් ප්‍රතිචාරයක් නොමැති නිසාවෙනි.වෙනුරි තරයේම විශ්වාස කළ කරුණ නම්., තමන්ට විරංගව ලබා ගැනීමට ඇති එකම බාධාව විශ්මි බවයි.ඒ නිසා තවත් ගින්නක් අවුලුවාලීමට ඈ ඉටාගත්තාය.

විරංග තම කාමරයේ කෙටි සටහන් වගයක් සකසමින් උන්නේය.එදින පාසල් නොගිය ඔහු නිවසේ එවෙලෙහි සිටියේ, මව නගරයට ගොස් සිටීම සහ පියා රැකියාවට ගොස් සිටීම හේතු කොටගෙන තනිවමය.එකම ඉරියව්වෙන් සිට කම්මැලි වූ විරංග උයන ගෙට පියමැන්නේ කමලා ට කියා තේ එකක් සාදවා ගැනීමටය.කමලාට පණිවිඩය දුන් විරංග සාලයේ සැටිය මත අසුන්ගෙන මදකට රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.ගේට්ටුව අසලින් නාදවන බෙල් හඬ නිසා අවධානය ඒ වෙත යොමු කළ විරංග ගේට්ටුව දෙසට ඇදෙද්දී , කුඩා ලියුම් පෙට්ටියට ලියුමක් දමා පියුම් යන අයුරු ඔහුට පෙනුණි. 

ලියුම් පෙට්ටියේ ලියුම් තුන හතරක්ම විය.ඒවා කලින් ඒවා වන්නට ඇතැයි,කමලාට ලියුම් ගන්නට අමතක වෙන්නට ඇතැයි සිතමින් විරංග එකින් එක ලියුම් කාටදැයි බැලුවේය.සියල්ල පියාගේ නමට ආ ඒවාය.ඉන් එකක් හැර අනෙක් සියල්ල බැංකු ලිපි,අන්තර්ජාල බිල් පත්,ඉන්ෂුවරන්ස් සමාගම් වලින් ආ ඒවා විය.කුඩා ලියුම් කවරයක තිබුණ අනෙක් ලියුම ගැන විරංගට සැක පහළ වූයේ ප්‍රමාණයෙන් කුඩා ලියුම් කවරයක බොහොම අපිළිවෙලට ලියූ ලිපිනය දැකීමෙනි.මක් නිසාද යත් පියාට එසේ ලියුම් එවන්නට නෑදෑයෙකු හෝ නොමැති නිසාවෙනි.ඔවුන්ට අවශ්‍යතාවයක් තිබේනම් ඔවුන් කරන්නේ දුරකථන ඇමතුමක් දීමයි.මේ සියල්ල කල්පනා කළ විරංග ලියුම කඩා බලන්නට තීරණය කළේය.

විවෘත කල ලිපිය ඔහු සාවදානව කියවාගෙන ගියේය.එහි අකුරින් අකුර විරංගගේ සිතේ ඇති කලේ කෝපයකි.ඔහුට ඇස් අදහාගත නොහැකි විය.මෙය පියා අතට ගියා නම් ලොකු ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.වරක් පාසල තුළ ඇති වන්නට ගිය එම ප්‍රශ්නයම තම නිවස තුළත් ඇති කරවන්නට කවුරුන් හෝ වෑයම් කරන බව දැන් ඔහුට පැහැදිළිය.ඔහු කල්පනා කලේ විශ්මිට මෙය කියනවාද යන්නයි.හඳුනා ගැනීමට අපහසු අයුරින් තඩිස්සි අකුරින් ලියූ එම ලිපියේ අන්තර්ගත බොහෝ දෑ ,ඇයට කියන්නට තරම් සුදුසු මට්ටමක නොවීය.මේ ලිපිය තුළ විරංග හා විශ්මි යන චරිත දෙක එතරම් පහත් අයුරින් නිර්වචනය කර තිබේ.මේ මොහොතේ විරංග සිතුවේ විශ්මිගේ පැත්තෙනි.නිශ්ශබ්දව සිට මේ ගැන විශ්මිට පමණක් කියන්නට ඔහු සිතාගත්තේය.

'හෙලෝ..............' විරංගගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ විශ්මිමය.

'හෙලෝ........විරංග.., ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ අසනීප වෙලාද? ' විශ්මි ඇසුවාය.ඔහුගේ කටහඬ ඈට හුරුය.මෙවන් දුක සැප සොයනා යෙහෙළියක් නැති කරගන්නට විරංගට ලෝබ කමක් ඇත.අහිංසක ඈගේ චරිතය ඝාතනයට කවුරුන් හෝ සැරසේ,මෙය ඈට කියනවාදැයි විරංග නැවත කල්පනා කළේය.

'විරංග.........ඇයි කතා නැත්තේ..? ප්‍රශ්නයක්ද?' ඔහුගේ නිහඬ බව නිසා ඇය ඇසුවාය.

'අද කම්මැලි හිතුණා එන්න....' විරංග කීවේ ය.

'උඹේ කටහඬ අමුතුයි..........ඇයි කියපන්....ප්‍රශ්නයක් නේද? ' 

'නෑ.........මම හෙට කියන්නම් මෙහෙම කතා කරන්න බෑ..'විරංග කීවේ ඇයට මෙය ඇඟවීම මෝඩකමකැයි කියා සිතමිනි.

'මේ මේ............දැන් නම් මට දැනගන්නම ඕන...දන්නවනේ ඕක අහගන්නකම් මට දැන් නින්ද යන්නෑ...අනේ විරංග ප්ලීස්......කියන්න.....'

ඔයා කලබල වෙන්න එපා....මම කියන්නම්..අපි දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවසන්න බැරි එකෙක් ඉන්නවා විශ්මි...' විරංග කීවේ විශ්මිගේ පෙරැත්තයෙන් බේරෙන්නට දැන් නොහැකි බව දන්නා නිසාවෙනි.

'දැන් මොකද වෙලා තියෙන්නේ?' විශ්මි කීවේ ඔහු කී ගැටපදය හරි හැටි ලෙහාගන්නට නොහැකිවය.

අද මං වෙලාවට ගෙදර හිටියේ...අපේ තාත්තගෙ නමට ලියුමක් ආවා...මට සැක හිතිලා මම කඩලා බැලුවා..දෙයියො පෙන්නුවා වගේ, ඒ ලියුම අපි දෙන්නා ගැන හරිම පහත් විදියට ලියලා අපේ තාත්තගේ නමට තැපැල් කරලා..."එතැන් සිට කියන්නට හැකි ලියුමේ ඇති දෑ ඔහු විශ්මිට කීවේය.ඈ අසා උන්නේ කලකිරීමෙනි.


'අපි කාට වරදක් කලාටද විරංග මේවා මෙහෙම වෙන්නේ...?'

අනේ මන්දා විශ්මි..අද මගේ අතට ලියුම ආපු හන්දා හොඳයි....තව දවසක තාත්තා අතට මේ වගේ එකක් අවොත්...විශ්මී................ඔයා අම්මලාට කියලා තියන්න.ඔයාලගෙ ගෙදරටත් මේ වගේ ලියුමක් එවන්න බැරි නෑ...ගිනි තියන්න ඕන එකා කෝමහරි ගිනි තියාවි...මමත් අම්මට මේ ගැන කියනවා...ලියුම නම් පෙන්නන්න බෑ....ඒ තරම් අසික්කිතයි..,ඔයාට හෙට බලන්න මම ඒක ගේන්නම්කො....


විරංග සියල්ල විශ්මි හා පැවසුවේය.විරංග දුරකථනය තැබුවේ ලොකු කතා බහකින් අනතුරුවය.විරංග මව නිවසට ආ විගස සියල්ල ඈ හට පැවසුවේය.විරංග කීවේ නිකරුණේ පියාගේ ඔලුවට මේ දේවල් දාන්නට අවශ්‍ය නැති බවයි.එය පියාගේ නමට ආ ලියුමක් බව විරංග නොපවසා උන්නේ එය තමන් අතින් සිදු වූ විශාල වරදක් බව දන්නා නිසාවෙනි.එය කීවානම් තමන්ට අම්මාගෙන් විසුමක් නොවන බව ඔහු දැන සිටියේය. 

විරංගට උදෙන්ම ඇමතුමක් දුන් විශ්මි ඉක්මනින් පාසලට එන ලෙස කීවාය.ඇය ද  පාන්දරින්ම පාසලට ගියේ මේ පිලිබඳ ඉක්මනින් දැනගන්නට තිබූ අවශ්‍යතාවය නිසාවෙනි.චමිලාවද උදෙන්ම ගෙන්වාගත් විශ්මි විරංග පැමිණෙන්නට මත්තෙන් සියලු විස්තරය චමිලාට කීවාය.ගේට්ටුව දෙසම උවමනාවෙන් බලා උන් විශ්මී විරංගගේ රුව දුටුවාත් සමගම ඔහු දෙසට දිව ගියාය.ඔහුගේ අඳුරු මුහුණ ඈ හොඳින් හැඳින්නීය.ඔහු සිනා සුනත් එය ව්‍යාජ යැයි විශ්මිට සිතුණි.

'ගුඩ් මොර්නින්....' විරංග අමාරුවෙන් මෙන් වචන ගලපා කීවේය.

'ගුඩ් මොර්නින්.....' විශ්මි කියද්දී විරංග පාර දෙසට හැරී මුහුණ සඟවාගත්තේය.

'කෝ.........දෙන්න.........' විශ්මි කීය.


විශ්මි ඉල්ලනා දේ දන්නා නිසාවෙන් විරංග අනෙක් පසට හැරී එහෙමම පොත් අතරින් ලියුම ගෙන ඈ අත තැබුවේය.තබා පංති කාමරය වෙත ගියේ විශ්මි දෙස නොබලාමය.

'දෙය්යනේ..........කවුද මේ තරම් මගේ ආත්මෙම පහළට දැම්මේ...?' විශ්මි කීවේ හැඬුම් අතරින් ලිපිය කියවාගෙන යන අතරතුරය.විරංග නොකියූ යමක් ඈ මෙම ලිපියෙන් දැනගත්තාය.එය සිත් පිත් නැති අමනයෙකු ලියූවක් බව ඇය යටින් සිතුවාය.මෙම ලිපිය විරංගගේ පියා අතට නොගියේ වාසනාවට යැයි විශ්මි සිතීය.


'අපි හෙමින් සැරේ මේ බලු වැඩ කරන එකා හොයාගමු...දැන් උඹලා කලබල නොවී ඉඳහල්ලා...මේක පිටට ගියොත් එක හත වෙලා විශ්මිට පාරට බහින්නත් බැරිවෙයි..' චමිලා ද කීවේ හිතේ අමාරුවෙනි..ඒ අතර විරංගද සෙමින් යෙහෙළියන් දෙපල වෙත ආවේය.

'විශ්මි ................වැඩිය හිතන්න එපා...කලබල නොවී අපි මේක විසඳගමු..' විරංග කීවේ හඬමින් උන් විශ්මිගේ ඔලුව අතගාමිනි.විශ්මි බිම බලාගෙන හඬමින්ම උන්නාය.

එකවරම පාසල් ගේට්ටුවෙන් ඇතුළ් වූයේ වෙනුරිය.විරංගගේ අත විශ්මිගේ ඔලුව මත තිබෙනු දුටු ඈ කෝපයෙන් උන්නාය."තාම ගින්දර ඇවිලිලා නෑ වගේ........උඹලා තව කී දවසද ඔහොම ඉන්නේ' වෙනුරි යටින් සිතමින් පිරිස පසුකර යන්නට සැරසුනාය.

'ගුඩ් මොර්නින් විරංග' වෙනුරි තාලයකට කීවාය.


ගුඩ් මොර්නින්' විරංග ඈව කනකට නොගෙන කීවේය. 'ඔක්කොටම මුල මෙන්න මේකි' වෙනුරි විශ්මි දෙස යටැසින් බලා සිතීය.බොරු හිතවත් කමක් පාමින් වෙනුරි විශ්මි හා චමිලාටද ගුඩ් මොර්නින් කියා පන්ති කාමරය වෙත ඇදුනාය.

බිඳකට සියල්ල අමතක කර දමා විශ්මි ඇතුළු පිරිස විවේක කාලයේදී අරලිය යාය යට පුටු තබාගෙන උන්නෝය.එතැනට කලවාන නිවිතිගල මාර්ගය මනාවට දිස් වේ..පාරේ යන ගෑණු ළමයින්ට වට පිට බලා උසුලු විසුලු කිරීම පිරිමි ළමුන්ගේ විනෝදාංශයයි.

'මොකද මේ පාරට සේල් දාලා වගේ....යනවලා ඔය පුටුත් අරගෙන පන්තිවලට...' නුවණි මිස් යක්ෂාවේසයෙන් කෑගැසුවාය.ඒ අනුව පිරිස පුටුද රැගෙන පන්තිය ඇතුළට රිංගුවේ නුවණි මිස්ට යටින් හොඳහැටි දෙහි කපමිනි.

'විශ්මි...........විරංගත් එක්ක යනවා ඔෆිස් එකට....' නුවණි මිස් කීවේ තරහෙන් පුපුරමිනි.

'ඒ ගමන මොන ගිනි ගෙඩියක්ද..........? ' විරංග තමන්ටම කියා ගත්තේය,

විශ්මිගේ දෑත් ගැහෙන්නට විය. 'අනේ..විරංග....' විශ්මි කීවේ හැඬුම්බරවය.

'බය වෙන්න එපා...එන දේකට මූණ දෙමු... අපි වැරදි කරලා නෑනේ විශ්මී..' විරංග ස්ථිර ස්වරයෙන් කියද්දී විශ්මිගේ සිතට හයියක් දැනුණි.

දෙදෙනා කාර්යාලය තුලට පිවිසියේ බියෙනි.මේ දිනවල තමන්ට සිදුවෙන දේවල් නිසාම ඒ බිය දෙගුණ වී තිබුණි.විදුහල්පතිවරයාගේ තියුණු දෙනෙත දුටු විරංගත් විශ්මිත් ප්‍රශ්නයක් ඇති වී ඇතැයි අනුමාන කළෝය.


එමු එමු මෙහාට..........' විදුහල්පතිවරයාගේ හඬ ද වෙනදාට වඩා තියුණු බව දෙදෙනාට වැටහුණි.




Tuesday, December 24, 2013

නිසල සිත් මල - 4



1  2  3 

'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...'

කවුරු කැමති වුණත්.....මම කැමති නැත්තං..'

ඔයා මට කැමති නැද්ද? ' එවර නම් නිර්මලගේ හඬ වෙනස් විය.නිර්මල විශ්මිට ආදරය කරන්නේ හදවතින්මය.

'සුදු අයියේ ..........ම.....මං...........ඔ..'

'ඇති ඇති........මං දන්නවා ඔයා කියන්න යන දේ..මාව තවත් අප්සෙට් කරන්න.මුකුත් කියන්න එපා.ඔයා මට ආදරෙයි,මං දන්නවා.

විශ්මි ඉන් එහාට ඒ ගැන කතා නොකළාය.ඔහු ඔහොමමය.යමක් කියන්නට උත්සාහ ගද්දී නවතා දමයි,පසුව වැරදි වැටහීම් ඇති කර ගනී.අවසන අසරණ වන්නේ විශ්මිය.

ඔයා කවදාද ගෙදර එන්නේ?කතාව වෙනතකට හරවා විශ්මි ඇසීය.

තව මාසෙකින් විතර තමයි.. සමහරවිට එන්නම බැරිවෙයි....'

ඒ ඇයි?

ඇයි ක්ලේමෝ එකකට අහුවෙලා ඩෝං ගාලා පණ ගියොත්..


මොනවද සුදු අයියේ මූසල කතා කියන්නේ... තරහයි...මං...ඔයත් එක්ක.. විශ්මි කීවේ අවංක හැඟීමෙනි.

'සොරි සොරි.......සුදු නංගි...,ඒක නෙමේ ඔයාලා ට්‍රිපක් ගියා කියලා ආරංචීයි...කෝ.....මොනාද මට ගෙනාවේ?'

'ම්ම්......පොඩි බඩුවක් ගෙනාව ආවම දෙන්නම්...' විශ්මි බොරුවක් ගොතා කීවාය.ඔහු අසනා තෙක් එවැනි දෙයක් ඇයට සිතුණේ නැත.එසෙ නොකීවනම් ඔහුගේ හිත සවුත්තු වන බව ඈ දැන සිටියාය.නිර්මල යහපත් ගති ඇත්තෙකු වූයේය.රූ සපුවෙන් ද අඩුවක් නොවූ ඔහු කඩව්සම් තරුණයෙකු ද වීය.නිර්මල "සුදු  අයියා"  වූයේ කුඩා කල සිටම  පැහැපත් වූ බැවිනි.


'සුදු නංගී.......අපි පස්සෙ කතා කරමු..මං පොඩ්ඩක් බිසී...ඒත් ඉතිං කතා කළා, කතා නොකර බැරි නිසා කතා කළේ..වෙලාවට කාලා පරිස්සමින් ඉන්න ඕන හොඳද?ආ...පාඩම් කරන්න හරිද..බුදුසරණයි එහෙනම්.........' ඔහු කියවාගෙන යන විට සත්තකින්ම ඈට දුක සිතිණි.


'හරි ....සුදු අයියේ.......ඔයත් ගොඩා..........ක් පරිස්සමින් ඉන්න හොඳද?; මං තියන්නම්.බුදු සරණයි..!



දුරකථනය තබා විත් ඇය  කල්පනාවට වැටුණාය.සුදු අයියා "පව්" කියා ඇය සිතුවාය.ඇය ඔහුට කතා කළා එච්චර හරි නැතැයි කියා ඇය සිතුවාය.ඒ පිලිබඳ ඈ තුළ වූයේ කණගාටුවකි.



පසුදින උදෑසන විශ්මි ,චමිලා ද සමගින් පාසල වෙත ළඟා වෙමින් උන්නෝය.දෙදෙනාම පාසල වෙත එන්නේ බස් වල එකටමය.


ගුඩ් මෝර්නින් විශ්මී.........' ඈත සිට යම් කෙනෙකු කෑ ගසනවා ඇසුන නමුදු ඒ දිසාව හොයාගන්නට ඇයට සුළු වෑයමක් දරන්නට සිදු විය.තම පංති ශාලාවට ශාලා දෙකකට ඉහළින් කණ්ඩිය මත පිහිටි තුන් මහල් ගොඩ නැගිල්ලේ තුන්වන තට්ටුවේ බැම්මක් මත සිට කෑ ගසන විරංග හඳුනාගැනීමට ඇයට අපහසු වූයේ නොවේ.ඔහුට අත වැනූ ඈ පහළට එන ලෙස අතින් සංඥා කර පංති කාමරය කරා ඇදුනේ චමිලාද සමගිනි.


මුල් කාළ පරිච්ඡේද දෙක අවසන් වූවාට පසු තුන් වැනි හා සිව් වැනි කාල පරිච්ඡේද තොරතුරු තාක්ෂණ විෂය වෙනුවෙන් වෙන් වී තිබුණි.කවදත් මග හරින එම කාල පරිච්ඡේද දෙකෙහි විශ්මි ,චමිලා යෙහෙළියන් හා කල්ලි ගැසී කියවන්නට වූවෝය.විශ්මි චමිලා සමග බර කතාවක පැටලී ඉද්දී විරංග අතරමැදට පැන්නේය.කන් වල ඇබ ගසාගන්නට වෙලාව පැමිණ ඇතැයි සිතූ චමිලා එය විශ්මිට කීවේ විරංගටද ඇසෙන සේය.විශ්මිගේ මේසය ඉදිරිපසට පුටුවක් හරවාගත් විරංග චමිලාට රැව්වේය....


'මේ.......මං කියන්නද කතාවක්............' ඔහු දෙදෙනා දෙසම බලා කීවේය.

'හා කියන්න'.........චමිලා කීවාය.

'අනේ මට බෑ......මම දන්නේ හාවගෙයි ඉබ්බගෙයි කතාව විතරයි..' විශ්මි කීවෙන් විරංග සමච්චල් සිනහවක් පෑවේය.

'අනේ මේ.........ඔයා බබා........!'  විරංග කීවේ විශ්මිටය.

අනේ විරංග ..........උඹම කියහං....' චමිලා කීවාය.


'ම්ම්ම්? හිනා කතාවක් නම් මතක් වෙන්නෑ මේ වෙලාවේ.........ආ..........හරි' ඔන්න අහගන්න...විරංග කතාවට මුල පිරුවේය.

'ඔන්න කොල්ලෙක් ඉන්නවලු..මූට හොඳට සල්ලි තියේලු.මෙයා ගත්තලු බස් එකක්..අරන් තමන්ගේ නම එහෙම දාගෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙකුත් ගත්තලු., මෙයාම තමයි කොන්දොස්තර.'

'මෙයාම තමයි කිව්වේ? 'චමිලා අතරමැදින් ප්‍රශ්නයක් යොමු කළාය.


'ඒ කිව්වේ බස් එක ගත්ත කොල්ලා බං......අනේ.......උඹත්..!  හරි ආපහු කතාවට..........දැන් දවස ගානේ බස් එක දුවනවලු.ඔහොම යද්දී දවසක් ඩ්‍රයිවර්ට මොකද්දෝ හේතුවකට වැඩට එන්න බැරිවෙලා.උදේ පාන්දර වෙන ඩ්‍රයිවර්ලා හොයන්නත් බැරිලු.කොල්ලගේ තාත්ත කියලා 'අද මම වැඩ කරන්නම් ' කියලා.

'වෙන පිළියමකුත් නැති නිසා පුතාත් කැමති වෙලා.ඔහොම වැඩ කරද්දි, මනුස්සයෙක් බැස්සට පස්සේ කොල්ලට කියවිලා "හරි මචං යං" කියලා.කොල්ලට අමතක වෙලා අද ඉන්නෙ තාත්තා බව.පස්සේ හරි තාත්තෙ යං" කීවලු.

'අපෝ.........ඉවරද? ඕක කතාවක්ද? විශ්මි මාව කුචිකවපන්කෝ...." චමිලා කීවේ සරදමටය.


'මං කිව්වනේ....හිනා කතාවක් නෙමේ කියලා එච්චර..! ඉතිං ඊට පස්සේ ගමේ මිනිස්සු එදා ඉඳන් කොල්ලට කියන්නේ "හරි මචාං යං තාත්තෙ " කියලලු.

උඹලාට හොඳ කතා නම් තියනව...මට කියන්න විදිහක් නෑ..' විරංග කීවේ චමිලාට වැලමිට උලුක් කරන ගමන්ය.තවත් මොන මොනවාදෝ කියමින් පිරිස හිනා වෙමින් ඉන්න අතරට විත් "විශ්මි" කියන්නේ කවුදැයි පාසල් කාර් ‍යාල සේවිකාවක් ඇසුවාය.

'ඇයි?.........' විශ්මි අසනාවිට පිරිස නිහඬව සේවිකාව දෙස බලා සිටියෝය.

'ඔයාට ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කීවා.." එසේ කියූ ඈ පිටව ගියාය.


'ඇයි දන්නෑ........' විශ්මි කීවේ දෙගෙඩියාවෙනි...මම බලලා එන්නම්.." කියූ විශ්මි කාර්යාල කාමරය වෙත ගියාය.

ලිපි ගොනුවක් වෙත අවධානය යොමු කරගෙන උන් විදුහල්පතිවරයා තමන්ව දකිනා තුරු ඈ සිටගෙන සිටියාය.

'ආ...විශ්මි.......වාඩිවෙන්න...' විදුහල්පති තුමා ඉදිරි අසුන පෙන්වා කීවේ ලිපි ගොනුව හකුළා මේස ලාච්චුවට දමමිනි.

"විශ්මි වෙනත් පාසලකින් ආපු දරුවෙක් උනත්...විශ්මිට ප්‍රිෆෙක්ට් බැජ් එක අපි දුන්නේ ඔය දරුවගේ දක්ෂතා වලට සලකලා.ඒ විතරක් නෙවේ , බොහොම අඩු කාලෙකින් විශ්මි කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුන නිසා.

විශ්මි සාවදානව අසා සිටියේ මේ විදුහල්පති තුමා මුල පුරන්නේ කුමකට දැයි අවිනිශ්චිතවය.


මම ඔය දරුවට එන්න කීවේ..........අවවාදයක් කරන්න.ඔය ළමයා ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසයි මෙහෙම ගෙන්නුවේ, මොකද මට අනිත් ළමයි ටික හදාගන්න ඕනේ...ඔයාලත් මෙහෙම කරද්දී මම කොහොමද වෙන දරුවෙකුට අවවාදයක් දෙන්නේ?

'ස...සර්............මොනා ගැනද මේ ...'

ඇයට කතා කරන්නට ඉඩ නොදීම ඔහු නැවත කතා කළේය.

මම කෙළින්ම කියන්නම් විශ්මි....මම කියන්නෙ ඔයාගෙයි විරංගගෙයි සම්බන්ධේ ගැන.මං පාසලේ විනය ගැන ආයේ ඔයාට කියලා දෙන්න ඕනේ නෑනේ..මොකද කියන්නේ මම මේ ගැන ගෙවල් වලට දන්වලා ඇක්ෂන් එකක් ගන්නද?ඔය ළමයා මේක මෙතනින්ම ඉවර කරනවද?

'සර්...........ම..........'

'විශ්මී...........මම ආයෙමත් කියන්නේ මම ඔය ළමයා නිසයි මෙහෙම කතා කරන්නේ' ගුරුවරයා කතා කරනා ස්ථිර බව විශ්මිව කම්පනය කරන්නට සමත් විය.

'සර් අපි හොඳ යාළුවෝ............එ......එච්චරයි...' විශ්මි බිඳුණු හඬින් කීවාය.

'ඔයා ට්‍රිප් එක ගිහින් හැසිරිලා තියන විදිහ අන්තිමයි...අනික පංතියේ දෙන්නා උගන්නන වෙලාවටත් ඉන්නෙ එකටලු නේද?මීට පස්සේ ඒ වගේ දේවල් අපිට ආරංචි වෙන්න බෑ ...ඕකේ..." විදුහල්පති තුමා කතා කරනා අතරතුර, අංශ භාර ගුරුවරියද එතැනට පැමිණ විශ්මි දෙස හෙළු බැල්මෙන්ම ඈද මෙය දන්නා වග විශ්මිට තේරුම් ගියාය.


විශ්මි නිහඬව සිටියාය.හිත ඇතුළේ කකියන්නට වූ වේදනාව ඇගේ දෑස් දෙකොණින් බේරෙන්නට විය.

මේ වෙලෙහි නිහඬ වනවාට වඩා වැඩි යමක් තමන්ට කළ නොහැකි බව ඈ සිතුවාය.

'ඔය ළමයා දැන් යන්න.... ' දෙනෙත් බිමට හරවා කඳුලු සලන ඈ දෙස මදක් බලා සිටි විදුහල්පතිවරයා කීවේය.

කාර්යාලයෙන් ඉවතට බට ඈ හනි හනිකේ කඳුළු සලමින් ශාලාව වෙත දිව ආවේ පුස්තකාලය පසු කරමිනි.පංති කාමරයේ තම අසුනින් අසුන් ගත් ඈ හිස මේසයට ගසා ගත්තාය.ඉන් පිටත උන් චමිලා ඈ දැක කාමරය තුළට ආවේ මොන යම් හෝ දෙයක් වී ඇතැයි සැක සිතමිනි. 

ඇයි උඹ අඬන්නේ? මොකද උනේ?මූණත් හොඳටම රතු වෙලා, සර් බැන්නද?' චමිලා ඇසුවේ කරුණාවෙනි.

සර් විරංගටත් එන්න කියලා....ඔන්න ගියා....' චමිලා කී විගසින් විශ්මිගේ හිස ඉබේටම එසවුණි.විරංග තමාව මග හැරී ගියේ අපරාදේ යැයි විශ්මිට සිතුණේ චමිලා එය කීවාට පසුවය.

'මොනාද බං උනේ....................කියපං..' චමිලා ඇසුවෙන් විශ්මි සිදුවීම චමිලාට කීවේ හැඬුම් අතරිනි.

'හරි.....දැන් උඹ අඬලා වැඩක් නෑනේ කෙල්ලේ...අපි බලමුකො මොකක් හරි .., මට බය විරංග කලබල වෙලා අනාගනීද කියලා...ඕකාට මූලග්ගින්නනේ..'

මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා....එක්කෝ මම විරංග එක්ක වැඩි බජනෙට නොයා ඉන්නවා.....' විශ්මි කීවේ කම්මුල පිසදමමිනි.

 'උඹ මේ මල ඉලව් කතාවක් හින්දා විරංග එක්ක කතා නොකර ඉන්නද යන්නේ?විකාර නැතුව හිටපං...' චමිලා කීවේ ඔවුන් දෙදෙනා අතර ඇත්තේ තමාගේ සහ විරංගගේ අතර ඇති සබඳතාවය මෙන් ම සබඳතාවයක් බව දන්නා නිසාවෙනි.

විදුහල්පතිවරයා ඉදිරියේදී විරංගගේ කන වැටුණේ ද එම කතාවමය.ඔහු ද පහදා දෙන්නට උත්සාහ කළ නමුත් එය පලක් නොවීය.ඔහුට ලැබුණේද විශ්මිට ලැබුණ අනතුරු ඇඟවීම සහ අවවාදයන්මය.විරංගද විශ්මි මෙන්ම ගුරුවරයා ඉදිරියේදී ඉවසා සියල්ලට සවන් දුන්නේය.විරංග පරාජිත පෙනුමෙන් පංති කාමරය වෙත සෙමින් ඇදෙද්දී ,චමිලා ඔහු වෙත දිව ගියාය.

'උඹ සර් එක්ක කට ගහගෙන ගියෙ නෑ නේද....?' චමිලා මුලින්ම ඇසුවේ එයයි.

විරංග නැතැයි කියා කීවේ හිස වනමිනි..ඉන් චමිලාගේ සිතට අස්වැසිල්ලක් ලැබුණි.ඔහුගේ මුහුණේ දගකාර සිනා රැල්ල අතුරුදහන් වී පාළු සොහොනක මූසල පෙනුමක් දිස් වෙන්නට තිබුණි.දෙදෙනාම පව් කියා චමිලාට සිතුණි.


විශ්මිට විරංගගේත්,විරංගට විශ්මිගේත් මුහුණ බැලීම අපහසු වී තිබුණි.දෙදෙනාම එක වර දෙදෙනා දෙස බැලීය.ඇස්වල තිබුණ මැලවුණ ස්වභාවය දෙදෙනාගේම යටි සිත කියා පෑවා මෙන් විය.

'මට සමාවෙන්න විශ්මී...........මම නිසා ඔයාට කතන්දරත් හැදුණා...' විරංග දැඩි කනස්සල්ලෙන් කීවේය.ඔහුගේ දෑස් යන්තමින් තෙත් වී ඇති අයුරු විශ්මි හොඳින්ම දුටුවාය.

'නෑ..........විරංග....ඔයා තව දුරටත් මගෙ බෙස්ට් එක..දාන්න පහක්..!' විශ්මි කඳුලු අතරින් සිනාසී අත පෑවාය.විරංග පහක් දමා ඇගේ අත හදින් අල්වාගත්තේය.සියල්ලටම වඩා සතුටු චමිලාටය."මුං දෙන්නව මේ කපේදි කඩන්න හම්බෙන්නෑ" චමිලා යටින් සිතුවේ දෙදෙනා දෙස බලා සිනාසෙමිනි.

'හා හා .....ඇති තොඳොලේ.......අත ඇරපන් ඔය අත..ඊළඟට තව ගින්නක්....දැන් කතා හදාගෙනනේ ඉන්නේ..පරිස්සමෙන්" චමිලා විරංගගේ අත ඇද දමා කීවාය.

'විරංග...අපි ටික දවසක් යනකං වැඩිය කතා නොකර ඉමු...' විශ්මි යෝජනා කලාය.


'පිස්සුද....එතකොට හැමෝම හිතයි ඒ කතාව ඇත්තක්..අපි බයට තමයි මෙහෙම ඉන්නෙ කියලා..මේ කේලම සර්ගේ කනේ තියපු එකා අපි වටේම ඉන්න එකෙක්...ඌට වාසි තියන්න ඕන නෑනේ නිකං.....' විරංග කියවාගෙන ගියේ මද කෝපයකිනි.

'ඔයා ඇයි එහෙම කීවේ...?' චමිලා විරංගගෙන් ඇසුවේ චකිතයෙනි.

'මේක කියලා තියෙන්නේ අපිත් එක්ක ට්‍රිප් එක ගිය එකෙක්....නැත්තං කොහොමද ට්‍රිප් එකේ විස්තර දන්නේ.....මම ලෙඩ උන වෙලාවෙවත් වචනයක් නොකියපු මිස්ලා ,සර්ලා මේක කියන්න ඇති කියලා ඔයාලා හිතනවද.....මේක ළමෙක්ගේ වැඩක්.....අනිවා....මට ෂුව.....' විරංග කියවාගෙන ගියේය.


'හරි හරි...........බැරෑරුම් ප්‍රශ්න පැත්තකින් තියලා අපි යං පොපිට් කන්න.....' එසේ යෝජනා කළ චමිලා විරංග විශ්මි සමගින් ආපන ශාලාව දෙසට ඇදුනෝය.