ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label මගේ කෙටි කතා. Show all posts
Showing posts with label මගේ කෙටි කතා. Show all posts

Wednesday, June 25, 2014

SMS ආදරේ




පොද වැස්ස හීනියට ලා දළු තෙමනවා...අහසේ වැහිබර වලාකුළු හාත්පසට ගුප්ත බවක් එකතු කරලා..අද පරිසරය මෙහෙම පේන්නෙ මට විතරද...? නෑ ....ඇත්තටම ගුප්තයි....අපේ අම්මාටත්  වෙලාවකට විකාර...පාන්දර ඉදං ඇහැරලා මදිවට දැන් තව කට්ටක්....

"මහවලතැන්නට බස් දෙක තුනක් ම තියනවා පුතේ....අද පරක්කුයි...." අම්මා කියන්නේ හරියට මගේ නුරුස්නා මුණ හැඳිනගෙන වගේ..

"හ්ම්...."මම ඕනෑ එපාවට කීවේ අම්මාගේ සිතිවිල්ල හරි යැයි දන්වන්න..

මම බස් නැවතුමේ කණුවකට හේත්තු වීගෙන අහස දිහාවම බලන් උන්නා ....පුංචියට වැටෙන පිණි  බිඳිති දිහාව...

අනේ පුතේ...මං  ඩින්ගිත්තකට එහා පැත්තට ගිහිං එන්නං ..." අම්මා එහෙම කතා කලේත් මගේ හිත කේන්තියෙන් පුපුරු ගහන බව දන්නා නිසා..අම්මා ගියාට පස්සේ එයාට නොපෙනෙන්න මං  එයා ගිය තැන විපරම් කළා .washroom
.....බෝඩ් එක දිහාව බලලා  ආපහු මං අහසින් වැටිලා අතුරුදන් වෙන පිණි බිඳු  දිහාව බලන් උන්නා ...

පිණි  බිඳු  දිහා බලං ඉන්න මගේ දෑස් වලට එපිටින් එහා නැවතුමේ චායාවක් ...ඔවු....ටික වෙලාවක ඉඳන් මට ඒක දැනුනත්..මන් ඒ ගැන හිතන්න උත්සහා නොකරම පිණි දිහාම බලන් උන්නා....

"excuse me....! I have to tell you something....."මට ඇහුනේ පෞර්ෂවත් හඬක්....ගැස්සිලා පිටුපස බලද්දී ඔහු හිනාවීගෙනම මා දිහා බලාගෙන...මට ක්ෂණයකින් බැලුනේ ඉදිරිපස...ඔවු....ඒ චායාව තමයි මේ පිටුපස හොල්මන් කරන්නේ....

මං කලේ පිළිතුරු දෙනු වෙනුවට නිහඬවම එක එල්ලේ ඒ ඇස් දිහාවම බලං හිටපු එක....නමුත්...මගේ බැල්මෙන් ඔහු කලබල වුණා ...අපහසුතාවයට පත් වුණා  කිවුවොත් නිවැරදියි...ඔහු මගේ දෑස් මගහැරියා...මම නිහඬවම උන්නා ...තවදුරටත් ....ඒ ඇස් දිහාවම බලාගෙන....

නැවත ඔහුම කතා කළා ..ලජ්ජාශීලීව නමුත්.....කොන්ද කෙලින් තියාගෙන... "ඔයාගේ බෑග් පොකට් එකේ දෙයක් ඇති...බලන්න..., මතක තියාගන්න මං ඉන්නේ නොයිවසිල්ලෙන්....ගිහිං එන්නම්...ප්ලීස් ....මාව විහිලුවට ගන්න එපා..."  

ඔහු යන්න ගියා....ඒත්  සමගම අම්මා මං  ඉන්න තැනට එමින් හිටියා...මං අම්මත් එක්ක දුර තියාම හිනා වුණා . "මොකෝ ....මෙච්චර වෙලා මට බුම්ම බුම්ම ආවේ මග දිගට...එක පාරට විරිත්තන්න ගත්තේ.." අම්මා නෝක්කාඩු කියනවා..."අ.....අන්න බස් එක....යමු..." අම්මා ගිය පසුපසින් ගොස් මාත් අසුනකට ගොඩ වුණා .නමුත් අම්මා අසුන්ගත් අසුනට පිටුපස අසුනේ ....මට ඕන උනේ නිදහස් වෙන්න...හෙමින් සීරුවේ වටපිට බලපු මං හෙවුවේ ඒ රුව....හ්ම්ම්.....පේන මානෙක නෑ ...හිතට දැනුණේ සතුටක්....

හිතේ තිබුණේ නොයිවසිල්ලක්...ඔහු කී දේ බලන්න......දැන් තමයි හොඳම වෙලාව.ඇසිල්ලකින් සයිඩ් බෑගයේ  පුංචි පොකැට්ටුව ඇරපු මං දැක්කේ පුංචි චිට්  එකක්...ම ඒක ඉක්මනින් දිගහැරියා.

0760000009
call or msg me..plz
I'm wishmitha

ලියලා  තිබුන විදිහෙන්  කලබලයෙන් ලියු බවක් පෙනුණා .මගේ කට කොනකට හිනාවක් ආවේ ඇයිද මංදා ....මම ඉක්මනින් බැලුවේ මං තනියම හිනාවෙනවා කවුරුත් දැක්කද කියලා..නෑ .බසය රත්නපුර නැවතුමෙන් සෙමින් ඉදිරියට  ඇදෙනවා..මම ජනේලයෙන් එපිට අරමුණක් නැතිව නෙත් යැව්වේ චිට් එක පරිස්සමට පොකැට්ටුවට දාලා ඉවරවෙලා....බසය ඉදිරියට නැවතුම පිටුපසින් ඇදුනා......

"විශ්මිත......!"..... ඔවු....ඒ ඔහු තමයි.බසය රවුමෙන් පිටවෙන්නට හැර ඔහු නැවතුම මැද්දෙන් ඇවිත්...මගේ දිහාව හිනාවීගෙන බලන් ඉන්නවා.මට හිනා ගියේ ඉබේටමයි..."පිස්සු කොල්ලෙක්" මට හිතුනා .

මම ඒ ඇස් මගහැරියා ...නමුත් ,හිත කිවුවේ ඒ දිහාවම බලන් ඉන්න කියලා .හිතට තරවටු කරපු මං ඒ ඇස් මගහරිම්න්ම  උන්නා .බසය ඔහු නොපෙනෙන දුරකට ආවාට  පස්සේ මට මතක් උනේ උදේ අම්මත් එක්ක රණ්ඩු වුණ  හැටි.

"මොන විකාරයක්ද මේ...අර අපලලු ...මේ අපලලු ..,කොඩිවින කරලලු...එක පාරක් බෙරයක් විතර සුරයක් එල්ලුවා ..මේ සුර ටිකේ බරට කොයිවෙලේ හරි බෙල්ලත් ගැලවිලා යනවා." මම එහෙම කියෙව්වේ අදත් දෙහි කැපිල්ලක් කියලා උදේම මහවලතැන්නේ දේවාලේ මාවත් ඇදගෙන ආපු තරහට.ඒත් ඉතිං දැන් තරහා හොරු අරං ගියා වගේ...මක් උනාද මන්දා .


                                      ~~~~~~~~~~~~

ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා වෙන්නේ විශ්මිත ගැන..මොකද කරන්නේ....මැසේජ් එකක් දානවද...?ඕන නෑ ...මොකටද එක අතකට.මගේ හිත විටින් විට එක එක දේ කීවා .

"නිල්මි.....එහා පැත්තේ ගෙදර කොටහලුවක්ලු....."

"හෑ ....................අපේ සිඟිති?" මම ඇහුවේ ඇඳෙන් බැහැලා  එහා ගෙදරට දුවන ගමන්...

"කොහෙද උඹ දුවන්නේ..? මං ආවේ ඒ පළාතට යන්න එපා කියන්ඩ....,ඔය සුරේ බල බිඳෙනවා ..මළ කිල්ලට අහුවෙන්නත් එපා කීවා ඇහුනේ  නැද්ද ?" අම්මා පුපුර පුපුරා කෑ ගහනවා.මම හිටි තැනම පුටුවකට වැටුනේ හිතේ තියන කේන්තියෙන් අම්මව රිද්දන්න බැරි කමට


                             ~~~~~~~~~~~~~~~

සති අන්තේ  මම ටවුමට යන දවස්.මගේ මැහුම් කෝස් එක ඉවර වෙනකම්ම මට ඒක සාමාන්‍යයි .වෙනදා මගේ වටේ ඉන්න යාලුවෝ පෙම්වතුන් එක්ක මල් පාරේ ගිහින්.. හුදෙකලා වෙච්ච මම  ෂෙඩ් එක ළඟ කෙටි පාරෙන් ඇවිත් ධර්මපාලේ පහු කරගෙන හෙමින්  සීරුවට කහ ඉර පැනලා බස් නැවතුම පැත්තට යමින් උන්නා ..අතරමගදී ඇස ගැටෙන්නේ උපකාරක පන්ති යන ළමුන්.ඒ  අතරේ හමුවන තරුණයෙක් දෙන්නෙක් මොනවදෝ කියනවා ඇහුනත් මම නෑසුන ගානට ගියා.

 "ආ....නංගි ...බොමුද සීතල වතුර වීදුරුවක්.." මගේ ඉස්සරහටම හමු උන පිරිමි ළමයෙක් එහෙම ඇහුවේ මම ඉහලන් යන රෝස පාට කුඩේ යටින් එබිලා.නෑසුන විදිහට යන්න උත්සහ කලත්,පදික වේදිකාවේ යකඩ වැටට අත තියලා ඔහු මට බාද කළා.මම බැලුවේ ඔහුගේ මුහුණ..

විශ්මිත.......! "

මට ඉබේටම කියවුණා ..

"නම මතකයි එහෙනම්.....ඇයි ඉතිං කෝල් නොකළේ?" ඔහු මගේ කුඩේ ඇතුලටම රිංගුවා.

"මට යන්න දෙන්න..." මට ඕන උනේ ඔහුගෙන් මිදෙන්න.මම බලෙන්ම ඔහුව තල්ලු කරගෙන ඉක්මනින් යමින් හිටියා.

"අද අනිවාර්යෙන් මට මැසේජ් කරන්න..නැතුව ඊළඟ දවසේ පැනල යන්න හිතන්නෙපා..." විශ්මිත කෑ ගහලා කියද්දී මට පුදුමත් හිතුණා .විශ්මිතගේ පැහැදිලි ඇස් ඔහු මට ලං වෙද්දී මම හොඳින්ම දුටුවා.ඒත්  ඒ ඇස්වල තියන හැඟීම හරියටම තේරුම්ගන්න මට තවමත් බෑ .විශ්මිතට තියෙන්නේ හරිම පැහැපත් දුඹුරු හමක්.කොහොමත් පුංචි දවස්වල ඉදන්ම මම ආස කලේ සුදු හම  තියන අයට වඩා දුඹුරු හම තියන අයට . ඒ නිසාමදෝ මන්දා මට විශ්මිත ගැන යම් ආකර්ෂණයක් ඇත්තේ.


ගෙදර ආපු වෙලාවේ ඉදන් සැරින් සැරේ විශ්මිත මගේ හිත අස්සේ හොල්මන් කරන්න අරං ...මට මතක් වෙන්නෙම ඔහුගේ පෞර්ෂය.ඒ දිලිසෙන ඇස් වල තිබුණ කාන්තිය.ඒ කළු පාට ඇස් එක්ක ගැලපෙන දුඹුරු පැහැපත් හම ..ඇත්තටම අයිති කරගන්න තරම් ආස හිතෙන  කොල්ලෙක්...ඒ හැමටත් වඩා ඔහුගේ දඟකාරකම.මගේ හිතේ ඇඳුන චරිතයමයි...අයිති කරගන්න තරම් වටිනා කමකුත් ඔහු තුළ ඇති.... 

අම්මා මේ ටිකේම එහා ගෙදර.මට යන්න විදිහකුත් නෑ .ගොඩක් පාලුයි."ම්ම්.....විශ්මිත මේ වෙලාවේ මොනවා කරනවා ඇද්ද....නිකමට වගේ මැසේජ් එකක් දැම්මොත්...." මං පොකැට්ටුවෙන්  චිට් එක අතට ගත්තේ ඔහුගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතමින්.."මටත් පාලු එකේ ඔන්නොහේ ඕන එකක් කියලා මැසේජ් එකක් දානවා."

දැන් මොනවද මං කියන්නේ.....කල්පනා කලත් දෙයක් ඔලුවට ආවෙම නෑ ...මම කළේ  එයා මට දීපු චිට් එකේ තිබුණ දේ ඒ විදිහටම මැසේජ් කරපු එක.



0760000009call or msg me..plz
I'm wishmitha

හරි....මැසේජ් එක සෙන්ඩ් වෙලා ඩිලිවරි රිපෝට් එකත් ආවා ..ඊළඟට ජංගම  තිරය දිහා නොයිවසිල්ලෙන් බලා සිටියේ ඇඳ උඩ එහෙට මෙහෙට පෙරලි පෙරලි...හරියටම විනාඩියකින් පිළිතුරක් ආවා ..

"hmm....mama band1e inne ane
thawa tikakin msg karannam" 

මගේ හිතට දැනුණේ මම නිකං පාච්චල් උනා වගේ හැඟීමක්...මම හිතුවේ වෙනස් විදිහේ උණුසුම් ප්‍රතිචාරයක් ගැන.ඒත් ....ඔහුට මාව ඒ තරම් ගානක් උනේ නෑ .."ගොන් හරකි....මී දෙන..."මම මටම බැනගත්ත .

හවස මල් කඩලා පහන තියලා පොතක් බලන්න ගත්තා ...."සුළඟ වගේ ඇවිදින්.." පොත පුරාම ගලාගෙන යන්නේ නව යොවුන් ප්‍රේමය.වැඩිමල් යුවතියකට පෙම් කරන පෙම්වතෙක්......ජිවිතයට සමීප බවක් පොත ඇතුලේ තියන නීසා ආසාවෙන් කියවගෙන ගියා ..

ජංගම දුරකතනය සංඥා දෙන්න ගත්තා ..කෙටි පණිවිඩයක්....!

ithin mk?

ඒ විශ්මිත....,අඩුම තරමේ සොරි කියලවත් නෑ ...මගේ හිතට ආවේ තරහක් 

"ai ahanne...awith karala dennada?"

මගේ පණිවිඩයක් එන තෙක් නොයිවසිල්ලෙන් ඉන්නවා කියූ ඔහු දැන් හැසිරෙන විදිහ..."SmS යවන්න ගිහිං මං කරගත්තු  මෝඩකම..."මටම හිතුණා .

ona nam barikamakuth ne miss

මේ පණිවුඩ එවන්නේ මම නොවන වග හැගෙන්න මම වෙනස් විදිහකට පණිවුඩ යැවුවා.දැන් මට අවශ්‍ය ඔහුගෙන් ගැලවෙන්න.

 "ochchara peranna epa machan
uba voice1wath ahuwada? "

uba kauda kiyapan?
kohenda A chit1 ?

විශ්මිත ඇත්තටම මං  කොල්ලෙක් කියලා හිතුවා වගේ..ඒ පාර ටිකක් නිහඬව ඉඳලයි පිළිතුරු එවුවේ..මතුපිටින් සුන්දරව පෙනුනට ඔහු එතරම් සුන්දර චරිතයක් නොවේ යැයි  මට හැඟුණා . 

"A kella bima daddi man ahindagaththa ban
me puluwannam reload1k dapanko"

මම පරණ පුරුදු සැහැල්ලුවෙන් කාලය ගෙවුවා .

~~~~~~~~~~

ඉරිදාවේ පුරුදු විදිහට මැහුම් පන්තියට ගිහින් ගෙදර එන්න මං නැවතුමේ...,මම හිටියේ රත්නපුර,නිවිතිගල නැවතුමේ යකඩ බටයකට හේත්තු වෙලා.මාව පහු කරගෙන යන දහසක් දෙනා අතරේ අමුතු හුරු පුරුදු බවක් මගේ ඉස්සරහින් ගිය තරුණයෙකුගේ චායාවෙන් දැනුණත් මම ඒ ගැන නොතකා මගේ පාඩුවේ උන්නා.ඒත් එක්කම වාගේ මගේ ජංගම දුරකථනය නාද වෙන්නට ගත්තා .දුරකථනය බෑග් සාක්කුවෙන් ගෙන එහි තිරයට නෙත් යොමා  බැලුවිට සත්තකින්ම මා කලබල වුණා .මන්ද යත් ඒ ඇමතුම විශ්මිතගෙන්  නිසා .ඇමතුමට පිළිතුරක් නොදීම නැවත බෑගය තුළට දුරකථනය දමාගත්තත් අනිවාර්යෙන්ම විශ්මිත කොහේ හෝ හිඳ මා දෙස බලා සිටින බව මට විශ්වාසයි..මම ඉක්මනින් වට පිට බැලුවා ....."හරිනේ..අර ඉන්නේ කණුවකට  මුවා වෙලා...." මගේ බැල්මෙන් මිදෙන්න දෝ මන්දා ඔහු මුණෙන් බාගයක් පොතකින් වහගෙන මගේ ඇස්  දිහාම බලන් උන්නා .ඉක්මනින් නිවිතිගල බසයකට නැගගත් මම ඔහුගෙන් පලා ගියා.ඒත්....ඔහු මගේ ලඟට එන්න උත්සහා නොකළේ ඇයි  කියන දේ තවමත් මම කල්පනා කරනවා..

ගෙදර ආ විගස මං දුරකථනය අතට ගෙන බැලුවා .හරිනේ...කෙටි පණිවිඩයක් තියනවා...

"thawath boru karanna epa,
oya koheda giye ada?"

මට තවත් හංගන්න දෙයක් නෑ ..මාත් ඔහුට පිළිතුරු දුන්නා .එතැනින් ඇරඹි මිතුදමක් සෙමින් ඉදිරියට ඇදුනා.නමුත්...ඔහුගේ ඇස් මායිමට නොයා ඉන්න මම ලොකු උත්සහයක් ගත්තා .ඔහුගේ හිතේ මං වෙනුවෙන් ආදරයක් ඇති බව මට විශ්වාසයි...නමුත් ඔහු ගැන මට ඇත්තේ වෙනස් හැගීමක්...

"ඉරිදා ඔයා ක්ලාස් ආවේ නැද්ද " ගොඩක් දවස්වලට විශ්මිත මගෙන් අහන්නේ..මම නැවතුමට නෑවිත් නැවතුමට පිටුපසින් රවුමෙන් එන බස්වල එල්ලිලා ගෙදර එන බව නොදැන..එහෙම වෙලාවට කටට එන පිළිතුරක් දීල මම විශ්මිතව මග හරිනවා...

"I love you.."

විශ්මිතගෙන් කෙටි පණිවුඩයක් ආවේ  නොහිතපු විටෙක...

"epa"

මට වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා ..

"ei nilmi oya mage adare epa kiyanne?"

"mata adarayak thiyana nisa"

"deiyane kohomada nilmi mn
oyawa amathaka karanne"

"kohomahari"

"mata oya nethuwa jiwath wenna be.
oya mage nilmi..
mama kohomada oya wena kenekge
wenawa balan inne?"

"plz...mawa therumganna,adin passe 
magen oyata msg nathiwei"

"oyath mathaka thiyaganna..adin passe
oya nisa mage jivithe wenas wei"

 ඊට පස්සේ විශ්මිතගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ .කොහොමත් විශ්මිත ඕනෑවට වඩා බැගෑපත් වෙන චරිතයක් නොවන විත්තිය මං දැනන් හිටියා ..මම ටිකක් රෑ වෙන්න ඇරලා විශ්මිතගේ යාළුවා ලක්ෂාන් ට ඇමතුමක් දීලා විශ්මිත ගැන බලන්න කියලා කීවේ හිතේ පුංචි චකිතයක් ඔහුගේ අන්තිම කෙටි පණිවිඩයත් සමගම ඇතිවෙලා තිබුන නිසා.

ලක්ෂාන්  කියපු විදිහට විශ්මිත කොහේ නමුත් මත් පැන් බොන තැනක සිටි බව දැනගන්නට ලැබුණා .



 මම ඒක ඇසුන සැණින් විශ්මිතට ඇමතුමක් ගත්තා ..මද වෙලාවකින් ඔහු කතා කළා .

"හෙලෝ නිල්මි කතා කරන්න ඉතිං ...හෙලෝ.....නිල්මි.....කතා කරන්ඩෝ...."

මම තවදුරටත් නිහඬව අහගෙන උන්නා ..පසුබිමෙන් බීමත් පුද්ගලයන් ගේ සිංදු  කීම් , නොයෙක් තට්ටු කිරිලි ආදී ශබ්ද ඇසෙන්න වුණා ..මං විශ්මිතගෙන් දැකපු පෞර්ෂත්වය මිරිඟුවක්...මට මහා අපුලක් දැනෙන්න ගත්තා ..කෙල්ලෙක් කැමති උනේ නැති පලියට එහෙමත් බොනවද? ප්‍රශ්නවලට බෝතලෙන් විසඳුම් හොයන්න යන පිරිමි  මට එපා උනේ මගේ අප්පච්චිගෙන්..

"මට ඔයාව ඇහෙන්නේ නෑ රත්තරනේ..මං පාටි එකක ඉන්නේ.....හෙලෝ....මං කියන දේ අහන්නකො ...මාත් එක්ක කතා කරන්නකෝ ඔයා ....හෙලෝ...මං ඔයාට ආදරෙයි...අයි ලව් යූ නිල්මි..මං තියනවා ඔයා කතා කරන්නේ නෑනේ..." විශ්මිත කියවගෙන කියවගෙන ගිහින් ඇමතුම විසන්දි කළා .


මම ආපහු විශ්මිතට කෙටි පණිවිඩ නොයවාම උන්නා.විශ්මිත මට කරදර කලෙත් නෑ .දවස් දෙක තුනකට පස්සේ දවසක හවස 6.30 -7.00 පමණ වන විට නැවත විශ්මිතගෙන් ඇමතුමක්..

"හෙලෝ නිල්මි...අනේ මගේ රත්තරනේ මාව මේ තත්වෙන් ගොඩගන්න..මාව ජිවත් කරවන්න පුලුවන්නම්.."

"අනේ...විශ්මිත...ඔයා  ගෙදර යන්න දැන්...." මට විශ්මිත කියන දේවල් අහන් ඉන්න හයියක් නැති තැන මම කිවුවා...හිතේ සියුම් වේදනාවක් එහා මෙහා යනවා.. විශ්මිතට ආදරේ කරන්න බලාපොරොත්තුවක් මගේ හිතේ ඇතිවෙලා තිබුණේ නෑ ..

 ටික වෙලාවකින් විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්...!


"me ahinsaka adare ai oyatama lan
une Nilmi?"

"I'm sorry wishmitha...mata oyata
msg nokara inna thibuna"

"ne Nilmi ...eda man oyawa dakka wele
nodekka wage giya nam me mukuth ne"

ඇත්තටම මගේ හිත රිදුණා ..මහා  වරදකාරී හැගීමකින් මගේ හිත පිරිලා ගියා .ගිය දේ අලි ඇත්තු ලවාවත් ආයේ ගෙන්න ගන්න බැරිලු.අන්තිමට ඉතිරි උනේ විඳවීමක් විතරයි.අද ආයෙත් විශ්මිතගෙන් ඇමතුමක්...

"හෙලෝ නිල්මි...අහගෙන ඉන්න නිල්ම් මං  කියන දේ ..."

'දෙයියනේ....අදත් බීලා ...." මගේ හිතේ තිබුණ වේදනාව තවත් පෑරිලා විසිරුණා .

"මං  ඔයා  වෙනුවෙන් ගොඩක් ඉවසුවා  නිල්මි..ඔයාට මගේ ආදරේ නොදැනෙන්න ඇත්තේ මං ඔයා ළඟ නොහිටපු නිසා වෙන්න ඇති..ඔයාට මේ ආදරේ එක විහිළුවක් වෙන්න ඇති...ඒත් ...මට? මන් ඔයාට මෙච්චර ලං උනේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ  නිල්මි...දැන් ඔයාව මට මගේ හැම හුස්මක්ම නිල්මි...හැම හුස්මක්ම....! ඔයාව මට මොකක් නිසා මගේ ජිවිතේට කොහොම ලං උනාද දන්නෑ  නිල්මි..ඔයාව මට හම්බවුණේ මගේ ජිවිතේ කොතනකට අරං යන්නද කියලා මට හිතා ගන්න බෑ නිල්මි....මං ඔයා ගැන ගොඩක් හීන මැවුවා  නිල්මි..ඒත්  නිල්මි අද......? ඔයා .....? ඔයාට තේරුම්ගන්න බැරිවුණ මගේ ආදරෙන් මං පළිගන්නවා නිල්මි .......මං  පළිගන්නවා."

මගේ ඇස් අගින් කඳුලක් වැටෙද්දී කිසිත් නොකියාම මම දුරකථනය විසන්ධි කළා.

ඒත්....විශ්මිත නැවත ඇමතුම් කළා....

"ඇයි  රත්තරනේ කට්  කරන්නේ? තව පොඩ්ඩක් අහන් ඉන්න රත්තරනේ...තව එකම එක දෙයක් ඔයාට කියන්න ඕන නිල්මි මට...මන් අඬ අඩා  හරි අද ඒක ඔයාට කියනවා නිල්මි...මං ......මං  නිල්මි මාව මේ ලෝකෙට බිහිකරපු අම්මාව මගේ ඇස් දෙකෙන් දැකලා නෑ නිල්මි....මගේ රත්තරං අම්මව මට අද ගොඩක් මතක් උනා නිල්මි...ඒ අඩුව මට අද ගොඩක් දැනුණා නිල්මි....මන් දන්නේ නෑ ඒ ඇයි  කියලා ..මට ගොඩක් වේදනා දෙනවා නිල්මි මේ ජිවිතේ...මට ඉක්මනටම මේ ජිවිතේ අන්තිම මොහොතට ලඟා වෙන්න තියනවා නම්..."

දැන් ඇති විශ්මිත....ඔය හොඳටම ඇති...මට ඒ තරම් ලං වෙන්න කලින් ඔයාට මං  ගැන හොයලා බලන්න තිබුණා ...ඔයා  ඉස්කෝලේ යන ළමයෙක්...මම ඔයාට වඩා වැඩිමල්...අනික මම ටැමිල් ගර්ල් කෙනෙක්....මගේ අම්මා සිංහල තාත්තා ටැමිල්...ඔයා  ගෙදරට කොහොමද ඒවා කියන්නේ? ඔයා  හිතනවද ඒ ටික කිවුවම මට කැමති වෙයි කියලා ....ඔය හැම දේකටම වඩා මට ,මගේ ජිවිතේට ආදරයක් තියනවා...වෙනස් නොවෙන ආදරයක්...! මම ඒ ගැන ඔයාට කිවුවා කලිනුත්...හරියටම තව මාස 3 කින් අපි මැරී  කරනවා..
දැන් ඔයා මාව තේරුම්ගන්න...ප්ලීස්...."

පසුදින උදයේම විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්....

"Nilmi....mata den aherune...mama
clz yanna hadanne"

ඒ මට ඔහුගෙන් ආ අවසාන කෙටි පණිවිඩය...!



"දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු..
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු..
හිත කියනවා තව ජීවත්වෙන්නට බැලූ...
ඔබ ලං නොවුනානම් නෑ මේ දුක පාලු.."

~~~~~ 

Saturday, August 10, 2013

සඳට ආදරේ මල මම

හත්දොහේ බෝධි පූජා පින්කමේ හයවෙනි දවස අද.මයුරි වේලාසනින්ම මල් කඩලා මල් මාලා අමුනලා කොඩි වැල් මහලා තිබ්බා.පස්සේ අම්මා ගිලන්පස දැහැත් පුජා හදාගෙන එනකං මයුරි අල්ලපු ගෙදර පුංචි එකාවත් අඬගහන් බෝධියට ගියා .යමින් ගමන් පාර දෙපැත්තෙ තියන මල් ගස් වල පිපිච්ච මල් හිනා වෙවී "අනේ මාවත් කඩන් යන්න" කියලා වගේ බලන් ඉන්න ලස්සන මල් කඩලා අරන් ලොකු වට්ටිය පුරවගත්තා.

බෝ කොල හැමතැනම වැටිලා.අදත් බෝධි පූජා තියන්න කවුරුත් ඇවිත් නැති හැඩයි.මල් ටික මල් ආසනයෙන් තියලා බෝධි ගෘහය ඇතුලත අමදින ගමන් පුංචි එකාට මල් වට්ටි ටික සෝදන්න දුන්නා.හැමදාමත් බෝධි ගෘහයට ආපුවහම දැනෙන අමුතු පහන් සිතුවිලි වලින් මයුරිගෙ හිත පිරිලා ගියා.ඒ හැඟීමට මයුරි හැමදාමත්  ආසයි.

මල් ආසනය පිරිසිදු කරලා මයුරි බෝධිය වටේ හැලිල තියන කොල අහිඳලා දැම්මා, ඒ කරලා මිදුල අමදින්න එනකොට පුංචි කොලු වට්ටි පැත්තකින් තියලා වතුර ටැප් එක ලඟ හොඳටම මඩ කරගෙන දඟලනවා.එයාට රජ මගුල් වගේ.හතිය තියන හින්දා ගෙදරදි වතුර අල්ලන්නවත් තහනම්.මෙතන තහංචි දාන්න කවුරුත් නැති හන්දා නිදහස අසීමිතව බුක්ති විඳිනවා.

"තරිඳු..............! ඔයාට වතුරෙ දඟලන්න හොඳ නෑ නේද?යන්න ඔය ඇති වට්ටි ටික හේදුවා.අර මල් ටික බිම වට්ටන්නෙ නැතුව අහුරන්න."මයුරි මිදුල අමදින ගමන් කිවුවා.

ඒත් එක්කම බෝධියට තවත් පිරිසක් බෝධි පූජාවක් තියන්න ආවා.ආවේ මැදි වියේ කාන්තාවක් සමග තවත් පුංචි දැරිවියක්.මයුරි ඇයත් සමග අහින්සකව සිනාසුනා.දැන් ඉතින් පුංචි එකා මල් අහුරනවා බොරු " මයුරි සිතුවා.

පුංචි ළමයි ලොකු මිනිස්සු වගේ නෑ .යලුවෙන්න ත්ප්පර ගානයි ඕනි ඊට පස්සෙ සෙල්ලම තමයි.ලොකු මිනිස්සුන්ගෙ හිත් ඉරිසියාවෙන් දුශ්ටකම් වලින් පිරිලා.පුංචි උන්ගෙ වගේ සිරියාවෙන් ලොකු මිනිස්සුන්ගේ ඇස් දිලිසෙන්නෙත් නෑ.වට්ටිවලට මල් අහුරන ගමන් මයුරි හිතුවා.

මල් ටික අහුරලා ඉවර වෙද්දි අම්මත් බෝධියට ආවා.මයුරි අම්මාත් එක්ක එකතු වෙලා මල් මාලා කොඩි වැල් එල්ලලා, ඖෂධ පූජා තියලා ,ගිලන්පස දැහත් ආදියද සකස් කරලා බෝධි පූජාව ට අවශ්ය සියල්ල කරලා ඉවර වෙලා බෝධින් වහන්සේ පැනින් නහවලා බෝධි ගෘහයේ පැදුරක්  එලාන වාඩි වුනා.

තරිඳු අනිත් පුංචි එකී එක්කලා දුව පැන දඟලලා මයුරි ලඟට ඇවිත් වාඩි වුනා.ඒ වෙනකොට පුංචි එකීගෙ අම්මත් හඳුන්කූරු පහන් කපුරු ආදිය දල්වලා සියල්ල අවසන් කරලා ඇවිත් පැදුරක් එලාන මයුරිලාට ඉස්සරහින් වාඩි උනා.ගමේ බෝධිපූජා කටයුතු කරාපු ,කරන මල් එතනා හාමි සුදු පිරුවටින් සැරසිලා බෝධියට අතුල් උනා.දැන් තියෙන්නේ බෝදි පූජා කටයුතු පටන් ගන්න.

නංගිගෙ පූජාව හෙටින් ඉවර්යි නේද? මල් එතනා හාමි ඇහුවා.

ඔවු හෙටට හත් දොහයිනේ අක්කේ..

හ්ම්ම්... හෙට මම හොඳට ශාන්තිය කරලා දෙන්නම්කො...පුලුවන්නම් පලතුරු පූජාවකුත් ලැහැත්ති කරගන්ටකො නංගියෙ...ඒක වඩා හොඳයිනෙ.

"හා ...........මං ඒක සූදානං කරගන්නං"මයුරිගේ මව පිලිතුරු දුන්නා

කෝ පුතා ආවෙ නැද්ද? එතනා හාමි ඒ ඇහුවෙ බෝධි පූජාවට ආපු අනිත් ඇත්තිගෙන්

"එනවා එතනා හාමි නැන්දේ....... දැන් මග එනවා ඇති "ඈ පිලිතුරු දුන්නා.

හා..... එහෙනං එතකං අපි පූජාව කරගෙන යං...

එතනා හාමි තෙරුවන් සරනේ සියල්ල පිහිටුවලා පූජාව ඉදිරියට අරගෙන ගියා.එතනා හාමිට අනුව ගාථා පාඨ කියමින් උන් මයුරිගේ හිත එකවර මෝටර් සයිකලයක හඬින්  විසිරිලා ගියා.මයුරිගේ ඇස් යොමුවුනේ බෝධි ගෘහයේ දොරටුව දිහාවට.කඩවසම් තරුනයෙකුගේ ඇස්  තමා දෙසටම යොමු වෙලා තියනවා මයුරි දුටුවා.ඒ ඇවිත් ඉන්නේ අද බෝධි පූජා තියන අනිත් නැන්දාගේ පුතා වෙන්න ඇති කියලා මයුරි හිතුවා.මල් ආසනයට වැඳලා ඔහු  නැන්දා ලඟින්ම වාඩි උන පසු ඇගේ සිතුවිල්ල තහවුරු වුනා.බෝධි පූජා ගාඨා කියන අතරවාරයේ  තමන් ඉදිරියේ මුහුණට මුහුණලා ඉඳගෙන සිටින තරුණයා තමන් දෙස පමණට වඩා බලනවා යැයි මයුරිට තෙරෙන්න මහා වෙලාවක් ගියේ නෑ.ඒ හේතුව නිසා මයුරි ඔහු දෙස නොබලාම උන්නා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අද බෝධි පූජාවේ අවසාන සත් වන දිනය.මයුරි වෙනදා මෙන්ම පුංචි එකා එක්ක බෝධියට පිටත් උනා.වෙනදාට ඇරලා නැති බෝදි ගෘහය ඇරලා තියනවා දැකලා මයුරිට පුදුම හිතුණා.සාමාන්යෙන් බෝධි පූජාවක් පටන්ගන්නේ 6.30=7.00 වගේ.මේ වෙද්දි  වෙලාව පහට වත් නෑ.මයුරි කලින්ම බෝධියට එන්නේ අස් පස් කරලා දාන්න ඕන නිසා,.මයුරි බෝධියට ඇතුල් උනා.පුංචි එකා දුවගෙන ගිහින් "මයුරි අක්කේ ...........මං මල් වට්ටි සෝදනවා." කියලාවට්ටි ටිකත් අරන් ටැප් එක ලඟට දිව්වා.

"ආ ........අදත් ඔයාගෙ ගෑණු ළමයා ඒවි..." මයුරි බෝ කොළ ඇහිඳින ගමං තරිඳුට කිවුවා. පුංචි එකා ලැජ්ජාවෙන් දිවත් එලියට දාගෙන ඇඹරුනා.

එහෙනං මට සෙල්ලං කරන්න පුලුවං..." පුංචි එකා කිවුවා.

හ්ම්ම්....

එහෙම කියලා ඉදලත් අරගෙන ඉස්සරහා අමදින්න ගෘහය වටෙන් ඉස්සරහට ආපු මයුරි දැක්කේ පුරුදු ඇස් දෙකක්! "එහෙනං මෙයා තමයි අද බෝධිය ඇරියේ......මෙයා මොකද මෙච්චර වේලාස්සනින් ඇවිත් .....! "මයුරි කල්පනා කලා.මයුරි මයුරිගේ පාඩුවේ මයුරිගේ වැඩ ටික කලා..

විකුම් හිත යටින් හුඟාක් හීන දැක්කා.ඔවු .....ඒ තරුණයා තමයි විකුම්! විකුම්ගේ හිත ඇදිලා යන තරමේ අහින්සක ගැමි කමක් මයුරිගේ තිබුණා. දෙපතුල ලඟට දිගට ඇඳලා උන්නු ලස්සන සුදු දිග සාය හරි මැද්දට වැටිලා තිබුණ දිග කොණ්ඩය ඇයට ආභරණයක් උනා.ඒ අහින්සක කම ගැමි කම තමන්ගේ හිතේ ඇඳිලා තිබුන හීන කුමාරිගේ නේද කියලා විකුම්ට මයුරිව පෙනෙන හැම මොහොතකම හිතට දැනුණා.මයුරි තමන්ව දුටු මොහොතේ ඉඳන්ම නොදැක්ක ගානට ඉන්න හදන්නෙ ඇයි කියලා විකුම් කල්පනා කලා.හීන පොදි හුඟාක් හිත යට තියාගෙන අද මයුරි හමුවෙන්න ආපු එක තේරුමක් නෑ වගේ කියලා විකුම්ට හිතුනේ  ආ වෙලාවේ ඉඳන් මයුරි විකුම්ව ගනණ් ගත්තේ වත් නැතිනිසා.ඊයෙ මයුරිව දුටු පසු විකුම් සිතාගත්තේ අද මයුරි හමුවන අවසාන දිනය විය හැකි නිසාත් තමන් හෙට දිනයේ නැවත කොලඹ ගිය පසු නැවත කිසි දිනෙක ඇයව හමු නොවන්නට ඉඩ ඇති නිසාත් ඇය හා කෙසේ හෝ කතා කළ යුතු බවයි.

චූටි බබෝ අද අම්මා එන්නේ නැද්ද ඔයාගේ ...? විකුම් පුංචි එකාව කතාවට අල්ලගත්තා..

අපේ අම්මා නං එන්නේ නෑ ...මයුරි අක්කාගෙ අම්මා තමයි එන්නේ... " පුංචි එකා හුරතලෙන් කිවුවා..

"ඇත්තද?" ................එහෙනම් මෙයාගෙ නම මයුරි. හ්ම්ම්..............ලස්සන නමක්..! විකුම් හිතුවා.

"මයුරිලා ඉන්නෙ මේ ලඟද?" විකුම් පහන් වැටේ පහන් අහුරලා ඒවාට පහන් තිර එලන මයුරි ලඟට ගිහිං කතා කළා.

ම්ම්ම්.........ටිකක් ලඟ...! මහත්තයා කිවුවට දන්නෙ නෑ.. මයුරි කිව්වා.

අපොයි මේ මොකද මහත්තයා කියන්නෙ...? මාත් ඔයා වගේම අහින්සක දුප්පත් අම්මෙක්ගේ පුතෙක්... විකුම් හිනාවෙලා කිව්වා..

මං මහත්තයාව අඳුනන්නෙත් නෑ....එහෙව් එකේ මං වෙන මොනා කියලා කතා කරන්නද?

මම විකුම් ..... නම කියලා කතා කරන්න.

මේ වෙද්දි විකුම්ගෙත් මයුරිගෙත් අම්මලා බෝධියට ආවා. විකුම්ට කතාව වැඩිදුර ගෙනියන්න හම්බුනේ නෑ..පහන් වැට ලඟ පහන් පත්තු කරන මයුරිගේ මුහුණ පහන් එලියෙන් දිලිසෙනකොට පහනකටත් වඩා එලියයි නේද කියලා විකුම්ට හිතුනා..හඳට ආදරේ කරන කඩුපුල් මලක් වගේ හඳේ ලස්සන දිහා බලන් සැනසෙනවා මිසක කවදාවත් ළං වෙන්න බෑ නේද කියලා විකුම් කල්පනා කලා.ඒත් මේ මල නං කොහොමහරි අයිති කරගන්නවා කියලා විකුම් හිතුවා...කොලඹ ගියාට හැමදාම කොලඹ ඉන්නෙ නෑ නේ.ආපහු ගමට ආපු ගමන් මයුරි ඉන්න දිහා හොයාගන්නවා කියලා විකුම් හිතාගත්තා.එතකං මේ ලස්සන රූපෙ හිතේ ඇඳන් ඉන්නවා කියලා විකුම් හිත හදා ගත්තා.

මයුරිගේ අම්මා අවසාන දිනයේ පළතුරු පූජාවත් එතනා හාමි  කියූ ලෙසම සකස් කර ගත්තා.සුපුරුදු විදියට පූජාව ඉස්සරහට අරං ගියා.පූජාවේ අන්තිම දවස හින්දා පිරිත් කියලා දෙවියන්ට පළතුරු පූජාවත් කරලා ඉවර වෙද්දි රෑ 9 ත් පහු උනා.ඒ වෙනකම් විකුම්ලගේ අම්මත් හරිම කැමැත්තෙන් හිටියා.

හැමදාම බෝධි පූජාව අවසානයේ තමන්ගේ පුංචි බෝධි ගෘහයට උදව් උපකාර කරපු ඇත්තන්ට පින් දෙන එක මල් එතනා හාමි ගෙ පුරුද්දක්...! 

"මොකද්ද නංගියෙ පුතාගෙ නම.. හැමදාම බෝධි පූජාව දෙද්දි කිව්වට මට මතක හිටින්නෙ නෑ නෙ " එතනා හාමි කියනවා.

"රුවන් " මයුරිගෙ අම්මා එතකොට උත්තර දෙනවා..

ඒ රුවන් කියන දරුවාට යම් කිසි අපල උපද්‍රවයක් ඇත්නම් සියලු දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරාක්ශාවෙන්......" එතනා හාමි මේ විදියට බොහෝ දේ කියමින් සෙත් පතනවා...අවසානයේ... "ඒ රුවන් කියන දරුවා තමයි මේ බෝධියට විදුලි බලය ලබා දුන්නේ...ඒ දරුවාට ඒ කල කුසල කර්මයෙන් නිල් මිණි වන් ඇස් ලැබිලා මතු උපදින................" ඔය විදියට සෙත් පතනවා..කළ ගුණ සැලකීමක් වශයෙන්.

මයුරිලගේ අම්මා පූජා වට්ටියෙන් පළතුරු කොටසක් එතනා හාමිටත් .., විකුම්ගේ අම්මාටත් දුන්නා.හිඳ උන් පැදුරේ කොනක නින්ද ගිහින් හිටපු තරිඳුත් ඇහරවාගෙන පිරිත් නූලකුත් බන්දවගෙන මයුරිලා යන්න පිටත් වුනේ මයුරිගේ අම්මාත් විකුම්ගේ අම්මාත් සුහද යෙහෙලියන් ලෙසින් වෙන්වෙලා.විකුම්ගේ ඇස් නම් තිබුනේ මයුරි ඈතට ගිහින් නොපෙනී යනතුරුම මයුරි ලඟමයි.

මයුරිලා ගියාට පස්සේ විකුම්ලගේ අම්මත්, පොඩි නංගියත් ,විකුම් නුත් එතනා හාමි ලවා පිරිත් නූල් බන්දවා ගන්න සූදානම් උනා.ඒ ගමන් ම විකුම්ගේ අම්මා හිතේ තිබුණ පැනයක් එතනා හාමිට යොමු කලා...

අර දරුවා ලයිට් අරං දුන්නා කිව්වෙ එතනා හාමි නැන්දෙ?

"ආ............... ඔව් , ඒ දරුවා වැඩ කරන්නෙ පිට රටකනේ... ඔය ඇවිත් හිටපු මයුරි කෙල්ල බැඳලා ඉන්නේ ඒ දරුවා තමයි.පිංවන්ත දරුවෙක්! " එතනා හාමි ඒ ටික කිව්වේ විකුම්ගේ අතේ පිරිත් නූල බඳින ගමන්.........!