ලා දම් අහසට පායන උදවිය ..

Friday, August 30, 2013

ළය මඩළේ..විසිතුරු මල



නිසැක නිම් නොවන
සංසාරගත මගේ ප්‍රේමය
දෑත් විහිදුවා මට මගේ
පෙන්විය නොහැකි මුත්....

විසිතුරුම මල නුඹය
මා හද මඩළ තුල පිපුණ
පර නොවෙනා කිසි දිනෙක
ලියා දෙනවද සින්නක්කරව ම
ඒ සුවඳ මල මට....

මල් පරවී යාවි 
සඳ පායා බැස යාවි 
ගං දෑල සිඳී ඉවුරු තනි වේවි
ඉතිං කුමට ... මේ උපමා
මගේ ආදරය හදවතේ රැඳේවි
නුඹ වෙනුවෙන්ම
දිවිතුරාවට....!



Friday, August 23, 2013

වටලප්පන්

මෙන්න මම හදපුවා..
ළමායි........ කට්ටියම දන්නවනේ ඉතිං මේ රෙහානි කෙල්ල ගෙදරටම වෙලා පාලුවේ ඉන්න එකී කියලා....ඔන්න ඊයේ දෝණි පොඩ්ඩ අපේ ගෙදර ආවා..හපෝ එයාව ගෙන්න ගන්න තියන අමාරුවක් දැන්..අක්කලා නං එනවා කිවුවේ සෙනසුරාදා....මේ කටර් එක ටිකක් කලින් ආවා..ඉතිං දැං ගේ දේවනත් වෙලා තියේන්නේ..


මේකිත් ඉන්න එකේ අපි දෙන්නා හැදුවා රසම රස කෑමක්.. වටලප්පන්..! හොඳම වැඩේ තමයි මම වටලප්පන් ජීවිතේට හදලා නෑ..අපේ බ්ලොග් ලෝකේ සහෝදරියක් දාපු පොස්ට් එකක් බලාගෙන තමයි මම වටලප්පන් හැදුවේ..එයා වටලප්පන් හදලා තිබුනෙ අවන් එකේ..මම හැදුවේ ස්ටීමර් එකේ,, එච්චරයි වෙනස තියෙන්නේ.ඉතිං බලන්න සහොදරවරුණි කොච්චර ලොකු සේවයක්ද මේ අපේ බ්ලොග් යාලුවන්ගේන් සිද්දවෙන්නේ කියලා..  :D

ඔයාලටත් ආසනම් වටලප්පන් හදන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න.AADAMBARAKAARI

ඉතින් හදලා බලලා අපිටත් කියන්නකෝ රසද කියලා..

Saturday, August 17, 2013

අම්මා අප්පච්චිව හුරතල් කරන්නකො

ඔන්න කාලෙකට පස්සේ හිතට ෆිට් ඊයෙයි අදයි! අපේ ලොකු අක්කා කෙලි පොඩ්ඩත් එක්ක මහ ගෙදර ආවා..ඉතිං ඕන එපා කමකට විතරක් කතා බහ කරන අපෙ නැන්දම්මයි,මාමණ්ඩියි එක්ක ඉඳලා එපාවෙලා ඇතිවෙලා තිබුන මට මේක ඉතින් මහ මෙරක් වගේ තමයි..ඊයේ අපේ මාමණ්ඩිත් එක්කලා මං ගියා බලංගොඩ ඉඩමක් බලන්න.ඔවු ඔවු අපේ බ්ලොග් ලියන චන්දන අය්යලාගේ ගම් පලාතෙ තමයි..පළාත නං හරිම ලස්සනයි. ඒත් ඉතිං ඉඩම නං හරිගියේ නෑ ඔන්න.


අපි හොයන්නේ වවන්න ඉඩමක් තමයි..තේ රබර් වගේ ඉඩමක්...ඒත් ඉතිං තවම අපිට හරියන ඉඩමක් සෙට් උනේ නෑනේ අප්පා..අපි බලන්න ගිය ඉඩම මුඩු අක්කර පහක්.අරගෙන වගා කරනවා කියලා හිතාගෙන තමයි බලන්න ගියේ,ඉඩමත් හොඳයි,පදිංචියට  උනත් සුදුසුයි,ඒත් ඒක වගා කරන්න සුදුසු නෑ කියලා තමයි හිතෙන්නේ..ඒ නිසා අපි වැඩේ අතඇරලා දැම්මා.


හොඳම වැඩේ කියන්නේ ඒ ඉඩම අයිති කෙනෙකුට නෙවෙයි, ඒක 7 දෙනෙකුට අයිතිය තියන ඉඩමක්...අපිට ඉඩම පෙන්නන්න ආවේ ඒ අයගෙන් එක අයිතිකාරයෙක්.එයා කියපු විදිහට එයා පල්ලියක මොකක් හරි සංගමයක ප්‍රධානියෙක්..! ඒ සංගමයේ 7 දෙනෙකුත් එක්ක තමයි ඒ ඉඩම අරං තියෙන්නේ...මේ මට එතුමා කියපු කතාව...! 

"අපි පල්ලියක සංවිධානයක වැඩ කටයුතු කරන අය.. (එතුමා ඇවිත් හිටියේ එතුමාගෙ බිරිඳ සමග ) මම තමයි ඒ සංවිධානයේ ප්‍රධානියා..අපි මේ ඉඩම ගත්තේ පුනරුත්තාපන කඳවුරක් හදන්න...ඒත්........අපි බලාපොරොත්තු උන දේ අපිට කරගන්න බැරි උනා..

අපි මේ ඉඩම අරං මුල් පියවර තියනකොටම ගමේ මිනිස්සු කුලප්පු කෙරෙව්වා පන්සලේ හාමුදුරුවොයි , ලොකු ලොකු උදවියයි  'ආගම පතුරවන්න කුමන්ත්‍රණයක් තමයි මේ ගෙනියන්නේ' කියලා ...පස්සේ මිනිස්සු ඉඩමට ගිනි තිබ්බා..ඒකෙන් මගේ හිතනං ගොඩාක් කලකිරුණා මෙච්චර හොඳ දෙයක් කරන්න හදලත් මෙහෙමද අපිට සැලකුවෙ මිනිස්සු කියලා.."

ඉතිං ඒ ඉඩම විකුණන්න තීරණය උනේ ඔන්න ඔහොමලු... ඇත්තටම ඒගොල්ලො කරන්න හදපු දේ නං මොකද්ද කියන්න මම දන්නෙ නෑ..කොහොමහරි ඒ ඉඩම ලුණු තිරිවනාව තියනවා කියලා අපේ හස්බන්ඩ් ගේ තාත්තා නං කිවුවා.එහෙම තියෙනකොට මුකුත් වගාවන් හරියන්නේ නැතිලුනේ..

ඉතිං ඔය ඉඩම බලලා එද්දී තමයි රත්නපුරේ ඉඳලාම අපේ අක්කලත් අපිත් එක්ක මෙහේ ආවේ..පුංචි කෙල්ල නං හරිම කටකාරි.දැං  එයා ඉන්නේ තුනේ පංතියේ..අද හවස එයාලා ආපහු ගියා...දැන් ඉතින් මට හරිම පාලුයි.අක්කලා ආයේ ලබන සෙනසුරාදා මෙහේ එනවා කිවුවා දෝණිත් එක්කරගෙනම.(මේ කියපු පුංචි කෙල්ල දෝණිගේ නංගි ) දෝණි මේ දවස්වල පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ..ඉතිං එයා ආවෙත් නෑ කාලෙකින්...හ්ම්ම්..! මේ දවස්වල අගෝස්තු නිවාඩුව නිසා අක්කට මං කිවුවා පුංචි එකී මගේ පාලුවට තියලා යන්න කියලා..ඒ උනාට තියලා ගියේ නෑ . පන්ති තියනවා කියලා අරං ගියා...  :( කෙල්ල නං මාර ට්‍රයි එකක් දුන්නෙ ඉන්න.

ඉතින් අම්මෙ සඳුදාට ඉංග්‍රීසි පංති විතරයිනේ මග ඇරෙන්නේ මන් ඉන්නම්කො...

එතකොට අක්කා කියනවා "ඒ උනාට පුංචි එකී නැති උනහම මට පාලුම පාලුයි නේ ඉතින්

ඉතිං අම්මට දෝණියි සුදුයි දෙන්නම ඉන්නවනේ පාලුවට

ඒ උනාට ඌදි (උශාදි නම කෙටි කරලා) නැතුව මට කවුරුත් හිටියට වැඩක් නෑ ,ඒගොල්ලො හුරතල් කරන්න බෑනේ මට... 

එහෙනං අප්පච්චි ඉන්නේ අම්මා අප්පච්චිව හුරතල් කරන්නකො ඉතින් :D




ප.ලි ::::::::: ඔන්න ඔයලාට දැනගන්න ලැබුනොත් අක්කර 3-5 ක වගේ සාධාරණ මිලක් ඇති ඉඩමක් ගැන තේ රබර් වවපු හරි මුඩු ඉඩමක් හරි මේ රෙහානිට පොඩ්ඩක් දැනුම් දෙන්න ඈ.. පිං සිද්ධ වෙනවා...!

Saturday, August 10, 2013

සඳට ආදරේ මල මම

හත්දොහේ බෝධි පූජා පින්කමේ හයවෙනි දවස අද.මයුරි වේලාසනින්ම මල් කඩලා මල් මාලා අමුනලා කොඩි වැල් මහලා තිබ්බා.පස්සේ අම්මා ගිලන්පස දැහැත් පුජා හදාගෙන එනකං මයුරි අල්ලපු ගෙදර පුංචි එකාවත් අඬගහන් බෝධියට ගියා .යමින් ගමන් පාර දෙපැත්තෙ තියන මල් ගස් වල පිපිච්ච මල් හිනා වෙවී "අනේ මාවත් කඩන් යන්න" කියලා වගේ බලන් ඉන්න ලස්සන මල් කඩලා අරන් ලොකු වට්ටිය පුරවගත්තා.

බෝ කොල හැමතැනම වැටිලා.අදත් බෝධි පූජා තියන්න කවුරුත් ඇවිත් නැති හැඩයි.මල් ටික මල් ආසනයෙන් තියලා බෝධි ගෘහය ඇතුලත අමදින ගමන් පුංචි එකාට මල් වට්ටි ටික සෝදන්න දුන්නා.හැමදාමත් බෝධි ගෘහයට ආපුවහම දැනෙන අමුතු පහන් සිතුවිලි වලින් මයුරිගෙ හිත පිරිලා ගියා.ඒ හැඟීමට මයුරි හැමදාමත්  ආසයි.

මල් ආසනය පිරිසිදු කරලා මයුරි බෝධිය වටේ හැලිල තියන කොල අහිඳලා දැම්මා, ඒ කරලා මිදුල අමදින්න එනකොට පුංචි කොලු වට්ටි පැත්තකින් තියලා වතුර ටැප් එක ලඟ හොඳටම මඩ කරගෙන දඟලනවා.එයාට රජ මගුල් වගේ.හතිය තියන හින්දා ගෙදරදි වතුර අල්ලන්නවත් තහනම්.මෙතන තහංචි දාන්න කවුරුත් නැති හන්දා නිදහස අසීමිතව බුක්ති විඳිනවා.

"තරිඳු..............! ඔයාට වතුරෙ දඟලන්න හොඳ නෑ නේද?යන්න ඔය ඇති වට්ටි ටික හේදුවා.අර මල් ටික බිම වට්ටන්නෙ නැතුව අහුරන්න."මයුරි මිදුල අමදින ගමන් කිවුවා.

ඒත් එක්කම බෝධියට තවත් පිරිසක් බෝධි පූජාවක් තියන්න ආවා.ආවේ මැදි වියේ කාන්තාවක් සමග තවත් පුංචි දැරිවියක්.මයුරි ඇයත් සමග අහින්සකව සිනාසුනා.දැන් ඉතින් පුංචි එකා මල් අහුරනවා බොරු " මයුරි සිතුවා.

පුංචි ළමයි ලොකු මිනිස්සු වගේ නෑ .යලුවෙන්න ත්ප්පර ගානයි ඕනි ඊට පස්සෙ සෙල්ලම තමයි.ලොකු මිනිස්සුන්ගෙ හිත් ඉරිසියාවෙන් දුශ්ටකම් වලින් පිරිලා.පුංචි උන්ගෙ වගේ සිරියාවෙන් ලොකු මිනිස්සුන්ගේ ඇස් දිලිසෙන්නෙත් නෑ.වට්ටිවලට මල් අහුරන ගමන් මයුරි හිතුවා.

මල් ටික අහුරලා ඉවර වෙද්දි අම්මත් බෝධියට ආවා.මයුරි අම්මාත් එක්ක එකතු වෙලා මල් මාලා කොඩි වැල් එල්ලලා, ඖෂධ පූජා තියලා ,ගිලන්පස දැහත් ආදියද සකස් කරලා බෝධි පූජාව ට අවශ්ය සියල්ල කරලා ඉවර වෙලා බෝධින් වහන්සේ පැනින් නහවලා බෝධි ගෘහයේ පැදුරක්  එලාන වාඩි වුනා.

තරිඳු අනිත් පුංචි එකී එක්කලා දුව පැන දඟලලා මයුරි ලඟට ඇවිත් වාඩි වුනා.ඒ වෙනකොට පුංචි එකීගෙ අම්මත් හඳුන්කූරු පහන් කපුරු ආදිය දල්වලා සියල්ල අවසන් කරලා ඇවිත් පැදුරක් එලාන මයුරිලාට ඉස්සරහින් වාඩි උනා.ගමේ බෝධිපූජා කටයුතු කරාපු ,කරන මල් එතනා හාමි සුදු පිරුවටින් සැරසිලා බෝධියට අතුල් උනා.දැන් තියෙන්නේ බෝදි පූජා කටයුතු පටන් ගන්න.

නංගිගෙ පූජාව හෙටින් ඉවර්යි නේද? මල් එතනා හාමි ඇහුවා.

ඔවු හෙටට හත් දොහයිනේ අක්කේ..

හ්ම්ම්... හෙට මම හොඳට ශාන්තිය කරලා දෙන්නම්කො...පුලුවන්නම් පලතුරු පූජාවකුත් ලැහැත්ති කරගන්ටකො නංගියෙ...ඒක වඩා හොඳයිනෙ.

"හා ...........මං ඒක සූදානං කරගන්නං"මයුරිගේ මව පිලිතුරු දුන්නා

කෝ පුතා ආවෙ නැද්ද? එතනා හාමි ඒ ඇහුවෙ බෝධි පූජාවට ආපු අනිත් ඇත්තිගෙන්

"එනවා එතනා හාමි නැන්දේ....... දැන් මග එනවා ඇති "ඈ පිලිතුරු දුන්නා.

හා..... එහෙනං එතකං අපි පූජාව කරගෙන යං...

එතනා හාමි තෙරුවන් සරනේ සියල්ල පිහිටුවලා පූජාව ඉදිරියට අරගෙන ගියා.එතනා හාමිට අනුව ගාථා පාඨ කියමින් උන් මයුරිගේ හිත එකවර මෝටර් සයිකලයක හඬින්  විසිරිලා ගියා.මයුරිගේ ඇස් යොමුවුනේ බෝධි ගෘහයේ දොරටුව දිහාවට.කඩවසම් තරුනයෙකුගේ ඇස්  තමා දෙසටම යොමු වෙලා තියනවා මයුරි දුටුවා.ඒ ඇවිත් ඉන්නේ අද බෝධි පූජා තියන අනිත් නැන්දාගේ පුතා වෙන්න ඇති කියලා මයුරි හිතුවා.මල් ආසනයට වැඳලා ඔහු  නැන්දා ලඟින්ම වාඩි උන පසු ඇගේ සිතුවිල්ල තහවුරු වුනා.බෝධි පූජා ගාඨා කියන අතරවාරයේ  තමන් ඉදිරියේ මුහුණට මුහුණලා ඉඳගෙන සිටින තරුණයා තමන් දෙස පමණට වඩා බලනවා යැයි මයුරිට තෙරෙන්න මහා වෙලාවක් ගියේ නෑ.ඒ හේතුව නිසා මයුරි ඔහු දෙස නොබලාම උන්නා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අද බෝධි පූජාවේ අවසාන සත් වන දිනය.මයුරි වෙනදා මෙන්ම පුංචි එකා එක්ක බෝධියට පිටත් උනා.වෙනදාට ඇරලා නැති බෝදි ගෘහය ඇරලා තියනවා දැකලා මයුරිට පුදුම හිතුණා.සාමාන්යෙන් බෝධි පූජාවක් පටන්ගන්නේ 6.30=7.00 වගේ.මේ වෙද්දි  වෙලාව පහට වත් නෑ.මයුරි කලින්ම බෝධියට එන්නේ අස් පස් කරලා දාන්න ඕන නිසා,.මයුරි බෝධියට ඇතුල් උනා.පුංචි එකා දුවගෙන ගිහින් "මයුරි අක්කේ ...........මං මල් වට්ටි සෝදනවා." කියලාවට්ටි ටිකත් අරන් ටැප් එක ලඟට දිව්වා.

"ආ ........අදත් ඔයාගෙ ගෑණු ළමයා ඒවි..." මයුරි බෝ කොළ ඇහිඳින ගමං තරිඳුට කිවුවා. පුංචි එකා ලැජ්ජාවෙන් දිවත් එලියට දාගෙන ඇඹරුනා.

එහෙනං මට සෙල්ලං කරන්න පුලුවං..." පුංචි එකා කිවුවා.

හ්ම්ම්....

එහෙම කියලා ඉදලත් අරගෙන ඉස්සරහා අමදින්න ගෘහය වටෙන් ඉස්සරහට ආපු මයුරි දැක්කේ පුරුදු ඇස් දෙකක්! "එහෙනං මෙයා තමයි අද බෝධිය ඇරියේ......මෙයා මොකද මෙච්චර වේලාස්සනින් ඇවිත් .....! "මයුරි කල්පනා කලා.මයුරි මයුරිගේ පාඩුවේ මයුරිගේ වැඩ ටික කලා..

විකුම් හිත යටින් හුඟාක් හීන දැක්කා.ඔවු .....ඒ තරුණයා තමයි විකුම්! විකුම්ගේ හිත ඇදිලා යන තරමේ අහින්සක ගැමි කමක් මයුරිගේ තිබුණා. දෙපතුල ලඟට දිගට ඇඳලා උන්නු ලස්සන සුදු දිග සාය හරි මැද්දට වැටිලා තිබුණ දිග කොණ්ඩය ඇයට ආභරණයක් උනා.ඒ අහින්සක කම ගැමි කම තමන්ගේ හිතේ ඇඳිලා තිබුන හීන කුමාරිගේ නේද කියලා විකුම්ට මයුරිව පෙනෙන හැම මොහොතකම හිතට දැනුණා.මයුරි තමන්ව දුටු මොහොතේ ඉඳන්ම නොදැක්ක ගානට ඉන්න හදන්නෙ ඇයි කියලා විකුම් කල්පනා කලා.හීන පොදි හුඟාක් හිත යට තියාගෙන අද මයුරි හමුවෙන්න ආපු එක තේරුමක් නෑ වගේ කියලා විකුම්ට හිතුනේ  ආ වෙලාවේ ඉඳන් මයුරි විකුම්ව ගනණ් ගත්තේ වත් නැතිනිසා.ඊයෙ මයුරිව දුටු පසු විකුම් සිතාගත්තේ අද මයුරි හමුවන අවසාන දිනය විය හැකි නිසාත් තමන් හෙට දිනයේ නැවත කොලඹ ගිය පසු නැවත කිසි දිනෙක ඇයව හමු නොවන්නට ඉඩ ඇති නිසාත් ඇය හා කෙසේ හෝ කතා කළ යුතු බවයි.

චූටි බබෝ අද අම්මා එන්නේ නැද්ද ඔයාගේ ...? විකුම් පුංචි එකාව කතාවට අල්ලගත්තා..

අපේ අම්මා නං එන්නේ නෑ ...මයුරි අක්කාගෙ අම්මා තමයි එන්නේ... " පුංචි එකා හුරතලෙන් කිවුවා..

"ඇත්තද?" ................එහෙනම් මෙයාගෙ නම මයුරි. හ්ම්ම්..............ලස්සන නමක්..! විකුම් හිතුවා.

"මයුරිලා ඉන්නෙ මේ ලඟද?" විකුම් පහන් වැටේ පහන් අහුරලා ඒවාට පහන් තිර එලන මයුරි ලඟට ගිහිං කතා කළා.

ම්ම්ම්.........ටිකක් ලඟ...! මහත්තයා කිවුවට දන්නෙ නෑ.. මයුරි කිව්වා.

අපොයි මේ මොකද මහත්තයා කියන්නෙ...? මාත් ඔයා වගේම අහින්සක දුප්පත් අම්මෙක්ගේ පුතෙක්... විකුම් හිනාවෙලා කිව්වා..

මං මහත්තයාව අඳුනන්නෙත් නෑ....එහෙව් එකේ මං වෙන මොනා කියලා කතා කරන්නද?

මම විකුම් ..... නම කියලා කතා කරන්න.

මේ වෙද්දි විකුම්ගෙත් මයුරිගෙත් අම්මලා බෝධියට ආවා. විකුම්ට කතාව වැඩිදුර ගෙනියන්න හම්බුනේ නෑ..පහන් වැට ලඟ පහන් පත්තු කරන මයුරිගේ මුහුණ පහන් එලියෙන් දිලිසෙනකොට පහනකටත් වඩා එලියයි නේද කියලා විකුම්ට හිතුනා..හඳට ආදරේ කරන කඩුපුල් මලක් වගේ හඳේ ලස්සන දිහා බලන් සැනසෙනවා මිසක කවදාවත් ළං වෙන්න බෑ නේද කියලා විකුම් කල්පනා කලා.ඒත් මේ මල නං කොහොමහරි අයිති කරගන්නවා කියලා විකුම් හිතුවා...කොලඹ ගියාට හැමදාම කොලඹ ඉන්නෙ නෑ නේ.ආපහු ගමට ආපු ගමන් මයුරි ඉන්න දිහා හොයාගන්නවා කියලා විකුම් හිතාගත්තා.එතකං මේ ලස්සන රූපෙ හිතේ ඇඳන් ඉන්නවා කියලා විකුම් හිත හදා ගත්තා.

මයුරිගේ අම්මා අවසාන දිනයේ පළතුරු පූජාවත් එතනා හාමි  කියූ ලෙසම සකස් කර ගත්තා.සුපුරුදු විදියට පූජාව ඉස්සරහට අරං ගියා.පූජාවේ අන්තිම දවස හින්දා පිරිත් කියලා දෙවියන්ට පළතුරු පූජාවත් කරලා ඉවර වෙද්දි රෑ 9 ත් පහු උනා.ඒ වෙනකම් විකුම්ලගේ අම්මත් හරිම කැමැත්තෙන් හිටියා.

හැමදාම බෝධි පූජාව අවසානයේ තමන්ගේ පුංචි බෝධි ගෘහයට උදව් උපකාර කරපු ඇත්තන්ට පින් දෙන එක මල් එතනා හාමි ගෙ පුරුද්දක්...! 

"මොකද්ද නංගියෙ පුතාගෙ නම.. හැමදාම බෝධි පූජාව දෙද්දි කිව්වට මට මතක හිටින්නෙ නෑ නෙ " එතනා හාමි කියනවා.

"රුවන් " මයුරිගෙ අම්මා එතකොට උත්තර දෙනවා..

ඒ රුවන් කියන දරුවාට යම් කිසි අපල උපද්‍රවයක් ඇත්නම් සියලු දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරාක්ශාවෙන්......" එතනා හාමි මේ විදියට බොහෝ දේ කියමින් සෙත් පතනවා...අවසානයේ... "ඒ රුවන් කියන දරුවා තමයි මේ බෝධියට විදුලි බලය ලබා දුන්නේ...ඒ දරුවාට ඒ කල කුසල කර්මයෙන් නිල් මිණි වන් ඇස් ලැබිලා මතු උපදින................" ඔය විදියට සෙත් පතනවා..කළ ගුණ සැලකීමක් වශයෙන්.

මයුරිලගේ අම්මා පූජා වට්ටියෙන් පළතුරු කොටසක් එතනා හාමිටත් .., විකුම්ගේ අම්මාටත් දුන්නා.හිඳ උන් පැදුරේ කොනක නින්ද ගිහින් හිටපු තරිඳුත් ඇහරවාගෙන පිරිත් නූලකුත් බන්දවගෙන මයුරිලා යන්න පිටත් වුනේ මයුරිගේ අම්මාත් විකුම්ගේ අම්මාත් සුහද යෙහෙලියන් ලෙසින් වෙන්වෙලා.විකුම්ගේ ඇස් නම් තිබුනේ මයුරි ඈතට ගිහින් නොපෙනී යනතුරුම මයුරි ලඟමයි.

මයුරිලා ගියාට පස්සේ විකුම්ලගේ අම්මත්, පොඩි නංගියත් ,විකුම් නුත් එතනා හාමි ලවා පිරිත් නූල් බන්දවා ගන්න සූදානම් උනා.ඒ ගමන් ම විකුම්ගේ අම්මා හිතේ තිබුණ පැනයක් එතනා හාමිට යොමු කලා...

අර දරුවා ලයිට් අරං දුන්නා කිව්වෙ එතනා හාමි නැන්දෙ?

"ආ............... ඔව් , ඒ දරුවා වැඩ කරන්නෙ පිට රටකනේ... ඔය ඇවිත් හිටපු මයුරි කෙල්ල බැඳලා ඉන්නේ ඒ දරුවා තමයි.පිංවන්ත දරුවෙක්! " එතනා හාමි ඒ ටික කිව්වේ විකුම්ගේ අතේ පිරිත් නූල බඳින ගමන්.........!  

Friday, August 9, 2013

කවුරුහරි මට sinhala translate කරගන්ඩ පුලුවන් ලින්ක් එකක් දෙන්නකො

මේ ගුගල් sinhala translate වලට මොනවා වෙලාද මන්දා ...මෙච්චර වසක් කෙටුවෙ ඒකෙන් තමයි.වෙන එකක් තියනවා ... ඒ උනාට මේක මට හුරු නෑ අප්පා .post එකක් ලියාගන්න මේකෙන් නම් බෑ . මගෙ පන යයි. ඔයාල දන්න මොනාහරි හොද එකක් තියනවනම් ගුගල් වලට සමානව යන මට ලින්ක් එකක් දෙනවද ..අය්යො මගෙ ඔලුව රිදෙනවා මේකෙන් ටයිප් කරලා ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

Thursday, August 1, 2013

Yanjeriso ge malpeyo mogesso ?


මම දන්නවා හෙඩිම දැක්කම මොකද මොකද වගේ උනා කියලා , මේ මොකද්ද මේ හරුපේ කියලා .හරුපේ තව ටිකකින් දැනගන්න හම්බෙයි ...හි හි ..ඔන්න මේක අපේ හස්බන්ඩ් ගේ කතාවක් .ඉරිදා දවස කියන්නේ අපේ එක්කෙනාට විතරක් නෙවෙයි කොරියාවේ වැඩ කරන හැමෝටම දිව්‍ය විමානෙට ගියා වගේ තමයි .සමහර කොරියාවේ වැඩ කරන අයට ඉරිදාට නිවාඩුවක් ලැබෙන්නෙත් නෑ .එහෙම අය නං හරිම පව් .



ඉතිං මේ කියන දවසෙත් ඔන්න අපේ එක්කෙනා මගෙත් එක්ක චැටක් දාගෙන හිටියේ .(ඇත්තටම මෙහෙම මුණට මුණ බලාගෙන කතා කරන්න පුළුවන් කම තියන එක කොච්චර වටිනවද ..ඉස්සර රට රටවල් වල හිටපු උදවිය පාළුව තනිකම කාන්සිය කොහොම නිවාගත්තද මන්දා ,ඔය ඉඳලා හිටලා කරන්ට් එක කපපු දාට එපා වෙනවා ..එක දවසට අපිට එහෙම නං අවුරුදු ගානක් නොදැක මාසෙකට දෙකකට සැරයක් ලියුම් විතරක් හුවමාරු කරගත්තු උදවිය අනේ මන්දා හිතා ගන්නත් බෑ ..ඒ අතින් අපි වාසනාවන්තයි කියා හිතෙනවා .)චැට් කරන අතරතුරේ මෙයාට තව අය්යා කෙනෙක් මැසේජ් කරනවා .එයා ලංකාවේදී අපේ එක්කෙනාත් එක්ක එකට කොරියා යන්න හැමදෙයක්ම කලේ, ගයාන් කියලා අය්යා කෙනෙක් .භාෂා පුහුණු පංති වලට එහෙම එකට ගියේ .


දැන් මෙයා මැසේජ් කරන්නේ තනිකරම කොරියන් වලින් ලු .අපේ එක්කෙනත් හිනාවෙවී ඒවා කියවන ගමන් අතෑරියේ නෑ වැඩේ .දැන් එයත් කොරියන් වලින්ම රිප්ලයි දෙනවා .ඔහොම දිගටම කතා බහ ඇදීගෙන යනවා .

දැන් බැරිම තැන අපේ එක්කෙනා ඇහුවලු "උඹේ ඔලුව කොහේ හරි හය්යෙන්  වැදුනද ?"

නෑ බං ..............................ඇයි ඒ ?

එහෙනං දන්නා සිංහලෙන් කතා කරහන් :D

එහෙම කිවුවම හොඳට හිනාවෙලා ආපහු කොරියන් වලින් මැසේජ් කරනවලු .  :D

එයා එවපු කොරියන් මැසේජ් එකකට කොරියන් වලින්ම රිප්ලයි දාල මෙන්න මෙහෙම ඇහුවලු 


Yanjeriso ge malpeyo mogesso  ?



හෑ ...............අඩේ ඒක මට තෙරුන් නෑ නේ බං 



ප .ලි :::::: කොහේ තේරෙන්නද ඉතිං ඒක එක කොරියන් වචනයක් වත් නැතිකොට ! :D බේරෙන්න බැරිම තැන ඉතිං ඔන්න ඔහොමලු යාළුවාව කොර කලේ .ඊට පස්සේ පහු කාලෙක දවසක් කට්ටිය සෙට් උනාම මේ කතාව කියලා ඉතිං ඇට්ටි හැලෙන්න හිනා එහෙම උනාලු .