ලා දම් අහසට පායන උදවිය ..

2014년 8월 17일 일요일

නිසල සිත් මල 11




පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9   10  

විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය.

"ඔයා උදේට කාලද ?" විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි.

"ඔයාට බඩගිනී නේද?මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්"


"මොනාහරි කමු...යං "  විරංග කීවේ "රුසිරු" අවන්හල පැත්තට ඇවිද යමින්.

පුංචි අවන්හලේ කොනක තිබූ මේසයක අසුන්ගත් දෙපල කට්ට සම්බල් සමග උණු උණු ආප්පත්,බිත්තර ආප්පත් රස විඳිමින් උන්නෝය.

"දිලංකලගේ ගෙදරත් යනවද ...?" විශ්මි ඇසීය 

"නෑ ....දිලංකයත්  හසිනිලගේ ගෙදරට ඒවි.."


"හ්ම්ම්...." උණු කෝපි  කෝප්පයක් තොලගාමින් උන්  විශ්මිට අහම්බෙන් මෙන් යාබද අසුනේ උන් තරුණයා දෙස බැලුණි.විරංගට සමාන්තරව යාබද මේසයේ අසුනක උන් ඔහුගේ දෙනෙත විශ්මිගේ දෙනෙත හා ගැටුනේ ඇසිල්ලකිනි.හදවතට දැනුන අමුතු ,වෙනස් හැගීමක් එක්ක ඇය, ඇයට දැනුණ මහා අපහසුතාවයකින් මිදෙන්නට බොහෝ වෑයම් කලාය.

නැවත ඒ දෙස දෑස් යොමු නොකරවා ගන්නට ඇය වග බලා ගත්තේ තම සිතට තරවටු කරගනිමිනි.

"මොකද මැඩම් ...කොෆී කප් එක  දිහා බලාගෙන භාවනා කරනවද?" විරංග ඇසුවේ දඟකාර විශ්මිගේ නිහඬ බව නිසාය.

"නෑ ....ඔයා බීලා ඉවර වෙනකම් හිටියේ..." 


අවන්හලේ බිල ගෙවූ විරංග විශ්මිත් සමග ඉන් පිට වෙන්නට සැරසුණි.තවත් වරක් හැරී ඔහු දෙස බලන්නට සිත් වු නමුත්  විශ්මි ඔහුගේ සොඳුරු සිනහව හිතේ ඇඳගනිමින් පිටව ගියේ ඔහු දෙස නොබලාමය.

තිරිවානකැටියේ සිට පැල්මඩුල්ලට යන තෙක්ම විශ්මිත් විරංගත් අතර වැඩි කතා බහක් නොවීය.

"මේ නිහඬ බව බිඳින්න - තව මොනවහරි කියන්න"

විරංග කීවේ  විශ්මි බසය තුළ කතාවක් නැතිව වීදුරුවෙන් එපිට බලා යන විටකය.සිනාසුන විශ්මි කතාවකට මුල පිරීය .

"ඔයාට මතකද අර රුසිරු එකේ හිටපු බෝයි?"

"ම්ම්....මොන බෝයිද..... අ..අ...අ ...??? " විරංග ඇසුවේ සැහැල්ලුවෙන් හිනා වෙලා.

"අර එහා ටේබල් එකේ ඔයා හිටපු පැත්තේ වාඩිවෙලා හිටියේ...."

"අර.....ස්කයි බ්ලු ටී එක ඇඳලා හිටියේ...එයාද ?"

"හ්ම්ම්..."

"ඉතිං ....?"

"එයා මගේ දිහා අමුතුවට බැලුවනේ  ..."

"හෑ .....එවෙලේ කියන්න එපැයි ,දෙනවනේ හොම්බට..." විරංග කීවේ හිනාවෙන ගමන්.

ඊට සිනාසී ප්‍රතිචාර දැක්වූ විශ්මි ඉන් එහා දෙයක් විරංග සමග නොකියා උන්නාය.පැල්මඩුල්ල නගරයෙන් බැසගත් දෙදෙනා රජමහා විහාරයට ඉතා ලඟින් පිහිටි හසිනිගේ නිවසට ගොඩ වුවෝය.දෙදෙනාව සෙනෙහසින් පිළිගත් හසිනිත් ඇගේ මවත් ආගන්තුක සත්කාර අඩුවක් නොමැතිව ඉටු කළෝය.දිලංකගේ පැමිණීමෙන් පසුව පිරිස රජමහා විහාරය වන්දනා කර දිවා අහාරය සඳහා නැවත හසිනිගේ නිවසට පැමිණියෝය.

"අයියලා දෙන්නා ඉන්න තිබ්බේ....එහෙනම් අමුණේ යන්න තිබ්බා" හසිනි කීවේ කෑම කන අතරවාරයේ.විශ්මිට මතක් උනේ වැරදී ගිය ඇමතුම.ඔහු සිටියා නම් තමන්ට අපහසුතාවයක් දැනෙන්න තිබුණා යැයි ඇයට සිතුණා .

"ගොඩක් දුරද මෙහෙ ඉඳන්? " විරංග ඇසුවේ අමුණ ගැන කලින් අසා තිබුණත් එතැනට නොගිහින් තිබු බැවින්.

"එච්චර දුරක් නෑ ....අයියලා හිටියා නම්නේ ඉතිං හොඳ මේ ගමනට.." හසිනි කීවාය.

"මෙයා මොකද අද ටිකක් සයිලන්ට් වෙලා ඉන්නේ..?" දිලංක ඇසුවේ විශ්මිගේ වෙනසක් දුටු නිසාවෙන්.

"ආ ...එයාට එද්දී මගදි  හොල්මං වෙලා..කොල්ලෙක් දැකලා ...." විරංග කීවේ ඔච්චමට සිනාසෙන ගමන්


"හෑ ...මොකද්ද මොකද්ද ඒ කතාව?" දිලංක අසද්දී විශ්මි කට කොනකින් ලැජ්ජාශීලීව සිනාසෙන්නට වුණා.

"ඔය බොරු බං ..." විශ්මි කීවේ නෝන්ඩියෙන් මිදෙන්නටය.

"දැන් කෝ මේ පොඩි අයියා ...?" විරංග ඇසුවේ විශ්මිගේ හිතේ ඇති ගැටලුව හඳුනාගත් නිසා.


"එයාට අද ඕඩර් එකක් ....අද නැකත් දවසක්නේ...රත්නපුරේ ගියා.." 

"එයා ....මොනාද කරන්නේ?" විරංග ඇසීය.

"එයා කරන්නේ ඩෙකරේෂන්..පෝරු සෙටිබැක් එහෙම.." 


"ශා ....කලාකාරයෙක්.....,හොඳයි හොඳයි අපටත් ඕන වෙයිනෙ ඉස්සරහට.."   දිලංක කතාව අසා හිඳ මැද්දෙන් පැන්නේය.

තවත් සුළු වේලාවක් හසිනිගේ නිවසේ රැඳුණු දෙදෙනා නිවසින් පිටව ආවේ හසිනිටත් ,ඇගේ මවටත් ආගන්තුක සත්කාරවලට ස්තුති කරමිනි.





2014년 8월 10일 일요일

නිසල සිත් මල 10



පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9  

විශ්මිත් විරංගත් පාඨමාලාව ඉදිරියට කරගෙන ගියේ මහත් උනන්දුවකිනි.ආශාවකිනි.ඔවුන්ට ඉගැන්වූයේ ගුරුවරියක් බැවින් ඇය වඩාත් මිත්‍රශීලි වූවාය.පරිඝණක පාඨමාලාවේදී දෙදෙනාට හමු වුන යහළුවන් අතරින් හසිනිත්, දිලංකත් වඩාත් සමීප විය.විවේකී දිනයක තම නිවසට පැමිණෙන මෙන් හසිනි දෙදෙනාටම ආරාධනා කළාය.පැල්මඩුල්ලේ පිහිටි හසිනිගේ නිවසට යනවා නම් ඉතිරි පුංචි දුර කහවත්තට විත් තමන්ගේ නිවසටත් ගොඩවී යන්න 'යි දිලංක ද ආරාධනා කළේය.ඒ අනුව විවේකී දිනයක පැමිණෙන්නට දෙදෙනා පොරොන්දු වුවෝය. 

කෑම පැයේදී සිව්දෙනා ආහාර ගත්තේ එකටමය...කන වෙලාවේදීත් දිලංකගේ කටකාර කමේ අඩුවක් නැත.

"බත් එක ලෙහන්නත් නෑ ....අරකි සුදු ළුණු කෑල්ලට පනිනවා, මේකි තා මොහොකට හරි පනිනවා.., මූ බිත්තරේට පනිනවා..යකෝ මං මොනාද කන්නේ?" දිලංක කියවන්නේ බත් අහුරක් කටේ පුරවගන්නා ගමන්මය.

"තෝ ඔය කට පුරවන් ගලින්නේ මොනාද එතකොට...අනේ මේ කට වහගෙන කාපන්කෝ" විරංග මැසිවිලි නගද්දී විශ්මිටත් හසිනිත් සිනාසෙයි.

"කට වහගෙන කන්නේ කොහොමද බොල ? මගුලක් කියනවා මෙතන..."

"තොට ඉඳුල් කට ගාල තියෙන්නේ  සවලකින්ද කොහෙද..නැත්තං බඩේ අළුහුණු ද බලහං ..."

"පල පල යන්න...විශ්මි උඹේ බත් එක ගනිං ...මේක ඉවරයි..." දිලංක කියන්නේ  අන්තිම බත් කටත් ගිලින ගමන්. 

"දැන් කියහල්ලා .....මේ ඉරිදා අපේ ගෙදර එනවද උඹලා ?" හසිනි ඇසුවේ කතාව වෙනතකට හරවමින්.

"මං ඕන දවසක රෙඩි ...විශ්මි තමයි තීරණේ ගන්න ඕන.." විරංග කිවේ විශ්මි දෙස බලමින්.

"මං අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න ඕනනේ බං ..." විශ්මි හසිනිට කීවාය.

"මොනාද බං ...පැල්මඩුල්ල කියන්නේ මහ ලොකු දුරක්යෑ ..උඹට එන්න දෙයිනේ ?" ඒ දිලංක ය.

"දුර නෙවේනේ බං ප්‍රශ්නේ...අපි උඹලා අඳුරනවා උනාට අම්මලා උඹලා ගැන දන්නෑනේ බං " විශ්මි කීවේ ගමන ගැන අවිනිශ්චිත තීරණයක හිඳය.

"එහෙනම් මොකෝ කරන්නේ?" හසිනි දුකෙන් කීවාය.

"මං ගෙදර ගිහිං අම්මව ශේප් කරගන්න බලන්නම්...ඔක්කොමත් හරි...අපේ අයියා ශේප් කරගන්න තමයි අමාරු.." විශ්මි කිවේ දමිත්ගේ හැටි හොඳින්ම දන්නා නිසාය.

"එහෙම උනොත් දමිත් අයියට මං කතා කරන්නම්..." විරංග කීවේ ඔහු ගැන විශ්වාසයක් දමිත් තුළ ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

"අපි ඉස්සෙල්ලා කියලා බලමුකෝ..." විශ්මි කීවාය. 


සවස් කාලයේම විශ්මි කල්පනා කලේ හසිනිගේ නිවසට යාමට අම්මාගෙන් අවසර ගන්නේ කෙසේද යන්නයි.අම්මා තමන්ව නොදන්නා තැනක මෙතෙක් කල් යවා නැත.විරංගගේ ,චමිලාගේ නිවෙස්වල යන්න අවසර දුන්නේද ඒ දෙමව්පියන් සමග ඔවුන් තම නිවසට ආ පසුය.විශ්මිගේ දුරකථනය සංඥා දුන් හඬින් ඈ කල්පනාවෙන් මිදුණාය. දුරකථන තිරයේ කෙටි පණිවුඩයකි.  


"විශ්මි ...උඹ පරිස්සමට ගෙදර ගියා නේද?
අම්මගෙන් පර්මිෂන් ගත්තද?
මේ අයියගේ ෆෝන් එක  
මගේ  බැට්‍රිලෝව් "
~හසිනි~

කෙටි පණිවිඩය හසිනිගෙන් නමුත් විශ්මිට එය පුදුමයට කරුණක් විය.මක් නිසාද යත් එම පණිවුඩය ආ අංකය තම දුරකතනයේ සේව් වී ඇති නිසාවෙනි.එය පෙර දිනෙක සුදු අයියාට ඇමතුම් කරන්නට ගොස් වැරදී ගිය අංකයයි.මෙය අහම්බයකි...නමුත් එය විශ්වාස කිරීමට විශ්මිට මද වේලාවක් ගතවුනි.විශ්මි ඉක්මනින් මවගෙන් තීරණයක් ගැනීමට සිතුවාය.එසේ නොහැකි වුවොත් හසිනි නැවත අයියගේ දුරකතනයෙන් ඇමතුම් කරන්නට ඉඩ තිබේ.ඔහුට අංකය මතක  තිබුණොත් තමන් ගැන වැරදි වැටහීමක් නිසැකවම ඇති කරගනු ඇත.


"ඔයා ඔය දවසට දෙකට යාළුවො ගැන කියන්නේ කොහොමද සුදු දූ ...?" සුභාද්‍ර ඇසුවේ විශ්මි හසිනිගේ නිවැසියන් ගේ පවා හොඳ කියා යන්නට අවශ්‍ය උපරිම වෑයමත් දැරුවාට පසුය.

"අම්මා මං කියනවට විරංගගෙන් අහලා බලන්න... විරංග ඉතිං අම්මගේ සුදු පුතා තරම්ම විශ්වාසනේ " විශ්මි අන්තිම තුරුම්පුව ද ගැසුවාය.

"මං දන්නෑ ඕවා ....තාත්තා ආපුවහම අහගන්න ඔයාම..." සුභද්‍රා දැඩි තීරණයක ඇති බව වචනවලින්ම විශ්මිට තේරුම් ගියාය.

විශ්මි විරංග ට ඇමතුමක් ගෙන විස්තරය කීවාය


"මං අම්මට කතා කරන්නද..." විරංග ඇසුවේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.මවගේ හිතේ කැමැත්තක් ඇති කරගතහොත් තාත්තාව කැමති කරවා ගැනීම එතරම් අපහසු නොවේ.

"හ්ම්....දැන්ම ගන්න...මාත් එක්ක කතා කරපු බවක් අඟවන්න එපා හොඳේ.."

"කපටිච්චි "

විරංග අනෙක් අතට නිවසේ දුරකතනයට ගත්තේය.ඇමතුමට පිළිතුරු දුන්නේ සුභද්‍රා ය.

"ආන්ටි  මං විරංග..කෝ විශ්මි?"

"කාමරේ ඇති පුතේ....ඉන්න දෙන්නම්...."

"නෑ ..එපා...ආන්ටි , මේ....ඉරිදා හසිනිලගේ ගෙදර යන්න එයා ඒවිද දන්නෑ නේද ආන්ටි " විරංග එය අසද්දී සුභද්‍රාගේ කට කොනකට සිනහවක් නැගුණේ දෙදෙනාගේ කපටිකම් හැඟුන නිසාවෙනි.


" අනේ මන්දා පුතා....ඔය කොහෙද,කවුද  කියලා හරියට දන්නෙත් නැතුව...!" සුභද්‍රා කීවේ හිත රිද්දන්නට බැරි තැනය.

"එයාලා අපි වගේ තමයි ආන්ටි ...අනික මාත් යනවනේ..."

"හ්ම්...බලමුකෝ පුතා..අංකලුත් ආවහම අහලා ..."සුභද්‍රා කීවෙන් විරංගට යම් බලාපොරොත්තුවක් තියාගැනීමට හැකි විය.

"පුතා මං විශ්මිට දෙන්නද..." සුභද්‍රා ඇසුවේ හොරගල් අහුලමින් උන් විශ්මිව දැක්කාට පසුය.

"හෙලෝ..." විශ්මි කතා කලේ අම්මා මදක් ඈතට ගියායින් පසුවය.

"මටත් කීවේ බොසාගෙන් අවසර නැතුව බෑ කියලා ..." විරංග කීවේය

"ඒ උනාට ඉස්සර තරම් තදේට නෙවෙයිනේ ඒක කිවුවේ..., ඒකත් ඇති..."


"ඔයාට එන්න දෙනවා අනිවාර්යෙන්...බය නැතුව ඉන්න..." විරංග ස්ථිරත්වයෙන් කිවේය.

විශ්මිගේ හැඟීම් හඳුනාගත් සුභද්‍රා රාත්‍රී කෑම මේසයේදී සමරවික්‍රම සමග  කතාවට වැටුනේ විශ්මිගේ ගමන ගැන ඔහුත් සමග කතිකාවකට මුල පුරන්නටය.

"දූගේ කොම්පියුටර් ස්කූල් එකේදී අලුත් යාලුවෝ දෙන්නක් හම්බවෙලානේ සමරේ ...." සුභද්‍රා කීවාය.

"ආ....අහන්නත් බැරිඋනානේ ඒ ගැන....කොහොමද සුදු දු කෝස් එක?"

"කරගෙන යනවා තාත්තේ....හොඳයි...." විශ්මි කීවාය.

"හ්ම් .....මං දන්නවනේ මයේ කෙල්ල ගැන..." සමරවික්‍රම කීවේ ආඩම්බරය මුසු හැගිමකිනි.විශ්මි මිහිරි සිනහවක් පා දමිත් දෙස බලා ඇහි බැමි උඩ යැවුවාය.

"රිසාට්ස් එන්නත් තව වැඩි කාලයක් නෑ නේද සුදු දු ?"ඒ  සමරවික්‍රම ය .
 

"ඔවු තාත්තේ ...තව මාස එකහමාරක් වගේ තියෙන්නේ..."

"කැම්පස් ෂුවර් නේ?" සමරවික්‍රම ඇසුවේ සිනාමුසුවය. විශ්මි පිළිතුරු දෙනු වෙනුවට සිනාසුනාය.


"සමරේ ....දුලගෙ කොම්පියුටර් ස්කූල් එකේ යාලුවෙක්ගෙ ගෙදරක දූ යන්න අහනවා..." සුභද්‍රා කී විට විශ්මි හොරැහින් දමිත් දෙස බැලුවේ ඔහුගේ ඉරියව් තුලින් අදහසක් ගන්නටය.

"කවුද සුදු දූ යාළුවා?" සමරවික්‍රම ඇසුවේ මදක් නිහඬව හිඳය.

"මේ....හසිනි කියලා තාත්තේ....විරංගත් යනවා..." ඈ විරංග ව ඈඳා  ගත්තේ එවිට බුරුලක් ඇති බැව් දන්නා නිසාවෙනි.

"කොහේ ඉන්න යාලුවෙක්ද ඔය?" දමිත් ඇසුවේ නුරුස්නා ස්වරයකිනි.

"පැල්මඩුල්ලේ ...." විශ්මි කීවේ දමිත්ගේ අකමැත්ත ඒ වචන ටිකෙන්ම හැඳිනගෙනය.


ඉන්පසු කෑම කා අවසන් වන තෙක්ම දමිත්ගේ කෙළවරක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දුන් විශ්මි ඉරිදා ගමන යාමේ අදහස සිතින් අත්හැරගෙන උන්නාය.අත සෝදාගෙන පැපොල් කෑල්ලක් කෑ සමරවික්‍රම මේසයෙන් නැගිට්ටේ විශ්මිට ගමන යන්නට අවසර දී ය. සතුටින් ඉපිල ගිය විශ්මි විරංගට සහ හසිනිට එය එවෙලේහිම දැන්වුවාය.






 
 

2014년 8월 6일 수요일

නියඟය සහ රජයේ සේවකයෝ...





අප්පච්චි කුසගිනි නිවෙවුවේ
කුඹුරු හාලේ  බත් එක්ක
කට්ටා කරවල හොද්ද
කන්න දී අපට
අඳේට ලැබුණු  
කුඹුරට පිං සිද්ද වෙන්ට..

රබර් සෙරෙප්පුවෙන්
විලුඹේ ඇනෙන ගල්
කතා කරන්න ඇති
අපි වින්ද දුක් 


ඉස්කෝලේ මහතත්තෑන්
කිස්කන්න දුන් කෝටු පාරේ
අප්පච්චි තෙල් ගෑවේ ,
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්

කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."


මං දහදුක් විඳලා
උනා රජයේ සේවකයෙක්...
යන්තං අට පාස් මගේ අයියණ්ඩිත්
දැන් සොල්දාදුවෙක්.
රජයේ සේවකයෙක්...


"අද ඉදන් ජනසවි නෑ
සමෘද්දී නෑ ...."

"අනේ ඇයි රාලහාමි..."

"ඇයි  අහන්නේ...?
ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි..."


 "පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."

 කියපු අප්පච්චිගේ කට
යතුරු වැටිලා වාගෙයි අද..


අපට කන්න දීපු අප්පච්චිගේ
අඳ කුඹුරත් නෑ අද..
නියං සායට ඉරිතලා ඇත
සේ ජිවිත අපගේ....
බොන්න වතුරත් කඳුකරෙන්ලු..
අර සංවිධාන
මේ සංවිධාන
දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...

අප්පද බොල ....
කෝ අපට සහනාධාර ?


එහෙම නෑ සහනාධාර...
රජයේ සේවකයන්ට...

උගේ ආච්චිට හාල් ගරන්ඩ
ඇයි යකෝ........
නියඟේ පොදු නැද්ද අපට...
රජයේ සේවකයෝ!!
අපි ඔටුවොද
කාන්තාරේ ලගින..?  


 "පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."

අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,
කජු ලෙල්ල වාගේ අද හරියට...!



2014년 8월 4일 월요일

නිසල සිත් මල 9

පසුගිය කොටස්..  
1  2  3  4  5  6   7  8




"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

 විශ්මි රාත්‍රී ආහාරය තම කාමරයට වී තනිව ගත්තාය.ඇය එසේ කළේ දමිත්ට මුහුණ දීමට ඇති ලජ්ජාවටය.ඇය වෙනදාටත් කලින් නින්දට ගියේ ගෙදර තිදෙනා සමගම තරහා වීය .

"කෝ....?" සුභද්‍රා සිනහා වෙමින් ඇසුවේ දමිත්ගෙනි.

"නිදි මං හිතන්නේ..."

"පවු කෙල්ල....මෙයත් අවුස්සනවා...."



          ~~~~~~~~~~~~ 


නිවසේ දුරකථනය නාද වෙනු විශ්මිට ඇසුනේ සිහිනයෙන් මෙනි.වේලාව 12.35 ලෙස සටහන්ව තිබුණි.ඇය කලුවරේම විත් සාලයේ විදුලි පහන දල්වා රිසිවරය අතට ගත්තේ "මොන බකුසෙක්ද මන්දා ...ඇයි රෙද්ද..උන්ට නින්ද යන්නැත්තන් අපිට නිදාගන්න දීපියකෝ..." යයි සිතින් බනිමිනි.ඇය රිසිවරය ගෙන කතා කරන්නටත් ප්‍රථම ,

"හැපී බර්ත් ඩේ ......විශ්මී....." ඒ විරංගය ...සැබවින්ම විශ්මිගේ දෙනෙත තෙත් විනි....ඇයට විරංග කෙරේ ඇති සහෝදරත්වය තවත් දළු ලා වැඩුණි .
"තෑන්ක්ස් විරංග...."

"ඕකේ ...ඕකේ .....වල්කම් කිවුවලු.....ටැංකි හරියන්නෑ උදේට මං එද්දී කේක් ලෑස්ති කරලා තියන්න..."

"හ්ම්ම්...හ්ම්ම්...."

"මොකෝ හ්ම්ම් හ්ම්ම් ....බස්සියෙක්ද?, හරි හරි ඔයා නිදාගන්න..."

විශ්මි ඇමතුම විසන්ධි කර කාමරයට ගියේ සාලයේ විදුලි පහන නිවා කාමරයේ විදුලි පහන දමමිනි.ඇය ඇස් අදහා ගත නොහැකිව වට පිට බැලුවේ සතුටිනි.කාමරයේ බැලුම් එල්ලා තිබුණි.ඇගේ චායාරුපයක් විශාල කර රාමු කර තබා ඇත.එහි "පුංචි දූට සුභ උපන්දිනයක්  " යැයි ලොකුවට පෙනේ...තවත් කවි සිත්තමක් එහි කොනකය...තාත්තා වේලාසනින් ආවේ මේ හපන් කම කරන්නට බව විශ්මිට තේරුම් ගියාය.ඒත් සමගම කොට්ටය යටින්  මදක් පිටතට පෙනෙන්නට තිබුණ කොලයක් දුටු විශ්මි කොට්ටය ඉවත් කළාය .

"හැපී බර්ත් ඩේ මගේ සුදු නංගි ..." එම කොලයේ සටහන් ව තිබිණ.ඒත් සමගම තිබුණ කාඩ් බෝඩ් පෙට්ටියේ තිබුණේ ගැහැණු ළමයෙකුට ගැලපෙන හුරුබුහුටි ජංගම දුරකතනයකි.එහි කෙටි පණිවුඩයකි.එසේ නම් අයියා දුරකථනය දී ඇත්තේ සම්බන්ධතාවයත් සමග බව ඇය සිතුවාය.

"ආයෙත් රැවුලක් අඳින්න හිතුනා ....පවුනේ..."  කෙටි පණිවිඩය එවා ඇත්තේ දමිත්ය.

විශ්මි එහෙමම දමිත්ට ඇමතුමක් ගත්තාය.

"හෙ...ලෝ..." අඳුරේ මහා මෙහෙයුමක් කර නිදා ගත්  දමිත් අංකය නොබලාම කතා කලේ නින්දෙනි.

"මේ .....මිස්ටර් දමිත්...ඔහේගේ නංගිව ඕන නම් ලක්ෂ  10ක් අරං කම්බි පාලම උඩට එනවා..." විශ්මි කිවේ කතා රටාව වෙනස් කරය.

"අනේ එපා.....මං  10ක් දෙන්නං ඕකිව අරං යනවා නම්....ලොකු උදවුවක්...." දමිත් කීවේ ඇගේ හඬ හඳුනා ගනිමිනි.

"අනේ යනවා බකටුල්ලා...."

"හෑ ......ඌ කොහේ ඉන්න එකෙද්ද.....ඔයා හීනෙන් කියවන්නැතුව දෝ ගන්න මයේ අම්මේ ..."

"තැන්කිව් හොඳේ....' විශ්මි කීවේ අවංක හැගීමෙනි .

"හා ඉතිං ....දැන් නිදාගනින්කෝ මලවදේ..."

විශ්මි දුරකථනය විසන්ධි කලේ සිනාසෙමිනි.

සුභද්‍රා පාන්දරම කිරිබතක් ඉදෙවුවාය.විශ්මි නා කියාගෙන ගෙට එත්ම නැන්දාත් මාමාත් නිවසට ගොඩ වුවෝය.ඇයට සුභ පැතූ දෙදෙන පාර්සලයක් ඈ අත තැබීය .

"සුදු අයියා වැඩට යන්න කලිං පාර්සලයක් අරං තියලා ගියා ...දුට..." නැන්දා කී විට විශ්මි පුදුම විය.

"සුදු අයියා වැඩ???........එතකොට කකුල....?"

"නෑ පුතේ....ඔෆීසියේනේ ....ලියන කියන වැඩ තමයි....එයාමනේ ගෙදර ඉන්න බෑ කියලා ගියේ..."

"හරි නරකයි....ඉන්නකෝ..." විශ්මී පාර්සලය පසෙකින් තබා නිර්මලට ඇමතුමක් ගත්තාය.

ඇය ජංගම දුරකතනයේ ඔහුගේ අංකය 
සේව් කර තිබුණේ නැත.ඇය මතකයෙන් අංකය ගසා ඇමතුම් කළාය .

"මං ඔයත් එක්ක තරහම තරහයි...මට එපා ඔයාගේ තෑගි ..." විශ්මි තරහින් කීවේ ඔහු කතා කරන්නටත් ප්‍රථමයෙනි.

"තෑගී....මොන තෑගි ද ?....ඇයි  මේ බනින්නේ ..කවුද ඔය ? " අනෙක් පසින් ඇසුනේ නිර්මලගේ හඬ නොවේ.

"කෝ....නිර්මල ?"

"නිර්මල.....අයියෝ ..... මෙහෙ නම් නිර්මලත් නෑ ...පිවිතුරුත් නෑ ..."

අංකය වැරදී ඇති බව දැනුනෙන් විශ්මි ඇමතුම විසන්ධි කර නිවසේ දුරකථනයෙන් ඔහු ඇමතීය .විශ්මි ඔහුට දොස් කීවේ ඇයත් සමග කතා කරත් වැඩ පටන්ගත් බව නොකී නිසාවෙනි..අයියා ජංගම දුරකතනයක් තෑගි දුන් බව කීවත්  ඇය එහි අංකය නොකියා සිටියේ පලියට මෙනි.

"ඔයාට කෝල් ගන්න ගිහින් වෙන කාටදෝ කෝල් එක ගියා ..."

"පිරිමි කෙනෙකුටද?' නිර්මල දෙගෙඩියාවෙන් මෙන් ඇසීය .

"හ්ම්....කටහඬින් නම්  කොල්ලෙක් වගේ..."  විශ්මි තවත් ඔහුව අවුස්සන්නට සිතා කීවාය .

"එහෙනම් දැන් කෝල් ගනී ඔයාට ආයෙත් ...., ඕකුන්ට ගැණු හඬක් ඇහුනොත්  ඇති..ආන්සර් කරන්නේ එහෙම නෑ හරිද..."

"බෑ ගන්නවා.....ඉන්නවකෝ .."

"දමිතුත් ඕන නැති වැඩනේ කරන්නේ...ඒක නෙවේ..ප්‍රසන්ට් එක බැලුවද ? ලස්සනද?"

"හ්ම්ම්...ඔයා ඉතිං තෝරන ඒවා එදා ඉදන්ම මගේ හිතට මැච් වෙනවනේ..."


දිගු සංවාදයකින් පසු විශ්මී නැන්දාත් ,මාමාත් සමග කතාවට වැටුනාය.ඒ අතර විරංග ද නිවසට පැමිණීම විශ්මිගේ සතුටට හේතු විය.

සවස් කාලයේ විශ්මි උන්නේ පොතක් කියවමිනි.සුජීවගේ ආත්මීය නවකතා තුළ ජිවත් වන චරිත මෙරටේ හැබෑ ලෙසම ජීවත් වනු ඇතිද?සමහර චරිත තුළ ඇති කැපකිරීම සැබෑ ලෙසම ගැහැණුන් මිනිසුන් තුළ ඇත්ද?ආදරය මුළු ජිවිතයම බව කියමින් තමන් තුළ ඇති සියලු වටිනාකම් සල්ලාලයෙක් ඉදිරියේ වරෙක පුද කරන තරුණියක් අවසානයේ සොවින් තැවෙන්නේය.ඒ සියල්ල සිතමින් කල්පනාවේ නිමග්නව හුන් විශ්මි පියවි සිහියට එළඹුණේ ජංගම දුරකථනය නාද වීමත් සමගය.විශ්මි දුරකථනය සම්බන්ධ කරගෙන කතා නොකර අසා උන්නාය.

"හෙලෝ...."

 ඇය පිළිතුරු නොදී නිහඬව ම උන්නාය.

"හෙලෝ ....උදේ මට කතා කරලා,බැනලා සද්ද නැතිවම ෆෝන් එක කට් කරේ කවුද....???"

සුදු අයියා කීවා නිවැරදි යැයි විශ්මිට කල්පනා විය.

"අනේ සොරි....මගේ අතින් නම්බර් එක වැරදිලා ඒ කෝල් එක ආවේ " විශ්මි එය කියා ඇමතුම විසන්ධි කළාය.නැවත ඇමතුම් අවොත් හඳුනා ගැනීමට විශ්මි එම අංකය සේව් කර තබාගත්තාය.  

~~~~~~~~

මල් වැවීම ජිවිතයේ කොටසක් කරගත් විශ්මි නගරයට යන හැම විටම විවිධ වර්ගයෙන් මල් පැල ගෙන ඒමට අමතක නොකලාය.තම දෑතින් සාත්තු  කර  හැදෙන ගස්වල පිපෙන මලක් ගානේ දැනෙන හැගීමට ඇය ආශා කළාය.ලොබ බැන්දාය.දිනක් වත්තේ පැල වලට සාත්තු කරමින් උන් විශ්මි ගේට්ටුවේ සවිකර ඇති කුඩා ලියුම් පෙට්ටියට පියුම් ලියුම් දමා යනු දුටුවාය.අත සෝදා ගත් ඇය ලියුම් එකිනෙක ගෙන බැලුවාය.ඉන් දෙකක් සමරවික්‍රම ගේ නමට ආ ඒවාය.අනෙක තම නමින් ඒවා ඇති බැවින් එවෙලෙහිම ඈ ලිපිය විවෘත කර බැලුවාය.

පසුගිය දින ටිකේම ඇය නමට ලිපි ආවේ නොයෙකුත් පාඨමාලාවලිනි.විවෘත කල ලිපියද එසේ විය.එය පරිඝණක පාඨමාලාවකිනි.එම පාඨමාලාව කෙරේ ඇගේ සිත් ගත් නිසා ඇය කල්පනා කළේ අනිවාර්යෙන්ම මේ ලිපිය විරංග ට ද ලැබී තිබිය යුතු බවයි.එසේ වන්නේ තමා ඇති හැම තැනෙක විරංග ද නිතැතින් සිටි බැවිනි.ඇය විරංගට ඇමතුමක් දී විස්තරය කියන්නට සැරසෙත්ම ඔහුම  එම පාඨමාලාව ගැන ඇයට කීවේය .දෙදෙනා ඇමතුම විසන්ධි කලේ එන සඳුදා දිනයේ පරිඝණක පාසලට යාමට තීරණය කරගෙනය.

සඳුදා දිනයේ දෙදෙනා පාසල් ගිය පුරුද්දට මෙන් එකම බසයෙන් රත්නපුර නගරයට සේන්දු විය.පරිඝනක පාසැල පිහිටියේ රත්නපුර පල්ලිය මාර්ගයේ එක් දෙමහල් ගොඩනැගිල්ලකය.විෂයානුබද්ධ කරුණු හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පරිඝණක දැනුම ලබාගන්නා අයුරු පිළිබද දේශනයක්, මුලික පරිඝණක කොටස් හඳුන්වා දීමත් කළමණාකර තුමා ඇතුළු ගුරු මණ්ඩලය පළමු දින සම්මන්ත්‍රණයේදී සිදු කළෝය .විශ්මිටත් විරංගටත්  අලුත් යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුද හමු විය.

එදින සම්මන්ත්‍රණයක් පමණක් පැවැත් වූ බැවින් වෙලාව ඉතිරි නිසා දෙදෙනා සමන් දේවාලයේ යන්නට තීරණය කළෝය .

"ඔයා සමන් දේවාලේ එන්න ආසයි නේද?" විශ්මි ඇසුවේ දේවාල භූමියේ පා නගන ගමන්ය.

"හ්ම්...වෙලාවක් ආවොත් ඉස්සර ඉදන්ම මං එනවා..." විරංග කීය .

"අපි දෙන්නා හුඟක් එකම දේට ආසයි නේද?....මතකද ඉස්සර කැන්ටිමට ගියහම...?"

"හොඳ ෆ්රෙන්ඩ්ශිප්  එකකට ඒකත් වැදගත්...."

"දකින මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා ඇති....නෙහ් ?"

"හ්ම්....මතකයිනේ ඉස්කෝලෙදි වෙච්ච දේවල්..."

"ඒක නෙවේ......ඊට පස්සේ වෙනුරි හම්බුනේ නෑ ?"

"ආපෝ....ඔය වාතේ මට දවසක් ටවුමේදී හම්බුනා....මං මගෑරලා  එන්න ආව ..පස්සෙන්ම ඇවිත් කතා කලානේ..."

"පවු විරංග....."

"පවුම තමා කියන්න ඕන ඕකිට ....අපිට කරපුවට..ඔයාගේ අනුකම්පාව මගේ නෑ .."

"හරි හරි ....ඒ කතා මතක් කරලා මේ දේවාල භුමියේ හිත් නරක් කරගන්න ඕන නෑ ....හ්ම්ම්....කියන්නකෝ...මොනාද අද ඔයා ප්‍රර්ථනා කරන්නේ?"ඇය කතාව වෙනතකට හැරවීය

"ම්ම්.....ඒක කියන්න බෑ ...ඉටු උනොත් එදාට කියන්නං ..." විරංග කීවේ තාලයකටය