ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label අතීත මතකයන් අතරින්. Show all posts
Showing posts with label අතීත මතකයන් අතරින්. Show all posts

Thursday, July 3, 2014

රෙහානි නටපු නැටිලි..



හුගක් අයගේ ඉගෙනීමේ ආරම්භය වෙන්නේ පෙර පාසල.දැන් ඔයාලා කියයි ...."ඈ ....යකෝ , ඒක වෙන්නේ අම්මා තාත්තා අකුරු කියවපු දවසෙනෙ " කියලා . ඔවු ....ඒත් මං කියන්න උත්සහා කළේ ක්‍රමවත් ව අධ්‍යාපනයට යොමුවෙන මුලාරම්භය ගැන.අකුරු කියවනවා කියද්දී තව කතාවක් මතක් උනා හැලප තුමා ට වගේ.. ;) .අපේ ගමේ එකම පවුලේ අක්කෙකුයි නංගෙකුයි ඉන්නවා.ලොකු කෙල්ල දැන් ඉගෙනගෙන ගුරුවරියක්.පොඩි කෙල්ල සා /පෙළ වත් සමත් නෑ .දැන් එයත් කසාද හෙම බැඳලා.ඔය පොඩි කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්...අකුරු කියවන්න ලියන්න පුළුවන් උනාට තේරුම්ගැනීම,මතක ශක්තිය අතින් ගොඩක් දුර්වලයි.ඉතිං ඉගෙන ගන්න බෑ කියලා කියන්න ත් බෑ ,උවමනාවක් නැතිකම සහ ගුරුවරුන්ගේ නිසි අවධානය යොමු නොවීම කියලා තමයි මට නම් හිතෙන්නේ..සමහර දාට එයාගේ ඉස්කෝලෙදි දෙන ගෙදර වැඩ කරන්නේ මම...නරකම නෑ නේද? 9 පංතියේ ඉද්දි 10 ප්‍රශ්න වලට උත්තර ලියනවා කියන්නේ.. ;) හැබැයි ඉතිං ඒවා පෙන්නලා ඉස්කෝලෙදි ගුටි කනවද නම් මං දන්නෑ .කිවුවම මොකෝ මෙයාගේ අකුරු මගේ අකුරුත් එක්ක බැලුවම මුතු කැට වගේ. :D

ඉතිං ඔය ලොකු කෙල්ල පොඩි එකීට හැමදාම නෝක්කාඩු කිය කියා රණ්ඩු වෙනවා. " මී හරකි ....හු ....හු ....අදත් මිස්ගෙන් ගුටි කෑවනේ.., මං දැක්කා දණ ගස්සවලත් තියනවා " කියලා .දෙන්නා සහෝදරියෝ උනාට ටිකක් අවුල්...එකිනෙකාට ඊර්ෂ්‍යා කරන ගතියක් තිබුණා .ඉතිං ඔය ගෙදර මහා දෙන්නා නිතර කියපු කතාවක් තමයි "ලොකු කෙල්ලට පන්සලේ ලොකු හාමුදුරුවෝ අකුරු කියෙව්වයින් තමයි අද ඔය තැන ඉන්නේ..,පොඩි එකීට ඉතිං අපි එහෙම විශේෂයක් කොලේ නෑනේ " කියලා .එහෙම අකුරු කියවන කෙනාගේ උගත්කම,තත්වය අකුරු උගනින දරුවට බලපානවා කියන එක මම නං විස්වාස කොරන් නෑ  ඕන් ...මම හිතන්නේ අර අත්ගුණේ වගේ විශ්වාස කරන දෙයක්නේ ඕකත්...දරුවෙකුට අකුරු කියවන දවසක තමන්ගේ හිතේ දෙවි කෙනෙක් වගේ ඉන්න මනුස්සයෙකු ලවා ඒ දේ කරවගත්තට කමක් නෑ ,ඒක ලොකු සතුටක් වේවි. .නමුත් ඒ නිසාම දරුවා කවදා හරි හොඳ තැනකට ඒවි කියලා හිතනවා නම් ඒක විහිළුවක්.

හරි...දැන් කතාවට....! සුටි කාලේ ඉතිං මම පෙර පාසල් ගියේ මාසයයිලු ..හේතුවක් නම් මතක නෑ ...කොටින්ම මම පෙර පාසල් ගියාද වත් මතක නෑ .මගේ යාලුවෝ ළග තියන "මොන්ටිසෝරි කොන්සට් " එකේ නැටුම් කරපු ඇඳුම් ඇඳලා ගත්තු පොටෝ දැක්කම නං මට ඉරිසියයි.මක් කොරන්නද ඉතිං :( පස්සේ "කෙලින්ම ඩිරෙක්ට් ' එක වසරට.මට තවම මතකයි සුදු ගවුම් පොඩිත්තේ උඩ සාක්කුවේ ආයා කටුවකින් එල්ලලා තිබ්බ ලේන්සුවේ කොනක් හප හපා අම්මගේ අතේ එල්ලිලා මට පන්තියට යන්න බෑ කියලා හොටු පෙරාගෙන අඬපු හැටි,අම්මා වදෙන් පොරෙන් මාව ඉන්දවලා ඉස්කෝලේ බිත්තියට උඩින් ගහල තිබිච්ච කොටු දැල් අතරින් බෙල්ල උස්සලා මා දිහා බලලා හිනා වෙනවා.මට එතකොට ගානක් නෑ .එත්...ටික වෙලාවකින් අම්මා අතුරුදහන් වෙනවා..මුල් දවස් ටිකේ අම්මා නැති වුණහම ඇඩුවට  පස්සේ ඒක ගානක් නෑ ...පුංචි දවස්වල ඉදන්ම මං සිංදු කියන්නයි නටන්නයි ආසලු.ගෙදර සිංදුවක්  දාපු ගමන් නොතේරෙන කාලෙත් මං නටනවලු.

ඔය නැටුමට පිං සිද්ද වෙන්න මං තූර්ය වාදන කණ්ඩායමේත් හිටියා නේ.මුලින්ම මාව ගත්තේ රබාන ගහන්ඩ.හරි අකමැත්තෙන් තමයි ගැහුවේ.මට නිකං ඒක සාටර් වගේ හිතුනා අප්පා.පස්සේ කාලේ මට තම්මැට්ටම හම්බ උනා .ඒක නම් ආසාවෙන් ගැහුවා.ඒත් ඕකට පැනගන්ඩ කෙල්ලෝ හීන මවනවනේ ඉතිං ;) ඔය ලොකු ලොක්කෙක් ඉස්කෝලෙට එන දාට තූර්ය වාදන කණ්ඩායම අනිවාර්යයි නේ.ගොඩක් වෙලාවට අපේ ඉස්කෝලේ උත්සව වලට, හවුස් මීට් වලට එන්නේ ජෝන් ඇමති තුමා තමයි.වැඩේ කියන්නේ එතුමාගේ අවාසනාවකටද අපේ අවාසනාවට ද මන්දා එතුමා ආවොත් අපි නානවා.

"නොදකිං ගල් මුසලය....මූ ආවොත් වහිනවා..."එතුමාව පිළිගන්ට බෑන්ඩ් ගහන අපේ උන්ගේ කටවල් වලිං වචන පනිනවා හෙමීට ..

"මුද කොහෙද වැහි දෙයියන්නාන්සේත් නාවන්නේ ...හෙනම ගහපිය මේ වැස්සේ අපිට නොවැදී .."




ඉතිං රෙහානිගේ මේ නැටිල්ල උග්‍ර අතට හැරුණේ 6 වසරෙන් පස්සේ..හයේ පන්තියේදී තියනවනේ එක අංශයක් තෝරාගන්න.මට මතකයි අපේ පන්තියේ ගෑණු ළමයින්ගෙන් බාගයක්ම  නැටුම් කරන්න ආවා ..ඒත් අඩියක්වත් තියාගන්න බැරි උන් හැලිලා හැලිලා අන්තිමට අපේ පන්තියෙන් ඉතුරු උනේ හය දෙනයි.මට මතක විදිහට අපි හය දෙනා නැති උත්සවයක් අපේ ඉස්කෝලේ තිබුණේ නෑ ;) ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් නම් අපි මාසෙකට විතර කලින් පෙර පුහුණුවීම් පටන් ගන්නවනේ..අපිට ඉතිං ඊට වඩා දෙයක් නෑ ..මුලින් මුලින් ඕෆ් පීරියඩ් එකක් ආවොත් නැටුම් කාමරේ..උත්සවේ ළං වෙන්න සතියක් විතර තියෙද්දී එක පීරියඩ් එකක් වත් පන්තියේ නෑ ඒ දවස්වල අපිට ගණන් උගන්නපු සර් ටිකක් ගණන් ;) ඔහොම දවසක අපි හය දෙනා පන්තියේ නෑ කියලා සර් ට නෝට් වෙලා. ..ළමයින්ගෙන් ඇහුවම කියලා "ආ ඒගොල්ලෝ සර්  නැටුම් කාමරේ බහිරව පුජා පවත්තනවා මේ දවස්වල "කියලා .අපේ නැටුම් ටීචර් හරි සුවිටි කෙල්ල එතකොට.බැඳලත් නෑනේ.ඉතිං සර් ආවේ නැතෑ මල කරේ තියන් නැටුම් කාමරේට.

"ශ්‍යාමලී මිස් ...මගේ ළමයි හයදෙනා දෙන්න.."

මිස් අන්ඥකොරෝස් .....හිහ්  සර් ට ළමයි හය දෙනෙක්........! හපුච්චේ.

"සර් ....කොන්සට් එක ලගයිනේ ..ඒකයි ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් වලට මම ළමයි ටික ගත්තේ.

 "ඒවා මට අදාල නෑ ...මගේ පීරියඩ් එකේ ළමයි ටික ඉන්න ඕන.." කිවුවා ...වාෂ්ප උනා ..

සර් ඒ  පීරියඩ් එකේ අපිට ආදරේට අපිව අරන් ගියා නෙවෙයි හපුච්චේ...ඒක සර් මිස් ගෙන් ගත්තු ආදර පළියක් කියලා පසුව දැනගන්න ලැබුනලු....හිහ් :D

ඔන්න එතකොට මං 10 වසරේ..වර්ෂ අවසාන තෑගී ප්‍රධාන උත්සවය මට මතක විදිහට.අපේ හය දෙනයි, ඒ අවුරුද්දේ ඉස්කෝලෙන් අවුට් වෙන සෙට් එකේ අක්කලා 5 දෙනයි "දෑතට වළලු " ගීතයට නර්තනයක් කළා .අක්කලා සෙට් එක අපිත් එක්ක ලොකු එකමුතු කමකින් හිටියා .ඒක නම් මාරම ලස්සනට කළා .ඒකට මහපු පාට පාට කොටු කොටු රෙද්දයි හැට්ටෙයි මං ගොඩක් අසාවෙන් මේ ලඟක් වෙනකං තියන් ඉඳලා නැටුමකට කියලා ගෙදරටම ඇවිත් ඉල්ලපු ළමයෙකුට දුන්නා .ඇත්තටම පුංචි කාලේ නටපු ඇඳුම් වලට මං මෙච්චර ආදරේ ඇයි කියලා මට තේරෙන්නෑ.මං කරපු නැටුම් වලින් මට වැඩිපුරම ඇඟට දැනුණ එකක් තමයි ඔය "දෑතට වළලු " ගීතයට නටපු එක.

ඔය උත්සවේටම අපේ හය දෙනා වන්නම් ඇරෙන්න තව ගීත දෙකකට නැටුවා ..එකක් "නමස්තේ " හිංදි සිංදුව .අනික හිරුද "මුවා වී " කියන ගීතය.ඔය දෙකේම අංග චලන අපි අපි කතා වෙලා තමයි හදාගත්තේ.අපේ මිස් කිවුවේ ඒවාට පණු නැටුම් කියලා ... "මිස් අපිට ස්ටෙප් එකක් අල්ලලා දෙන්නකෝ "කීවාම මිස් කියන්නේ "අනේ උඹලගේ පණු නැටුම් මං දන්නෑ " කියලා .වන්නමක් නම් අන්න ඕන එකක්..

ඔය නමස්තේ ගීතයට අපි පුහුණු වීම් වෙන්න ගියාම පොඩි අවුල් ටිකක් තබ්බා.අපි ඔක්කොම පන්තිවල නැටුම් පුහුණුවීම් කරන්න තිබුණේ පුංචි කාමර කෑල්ලක් ඇතුලේ.. අනික තිබුණේ එක ගුවන් විදුලි යන්ත්‍රයයි..ඕකේ තමයි අදාළ කැසට් එක දාගෙන නටන්නේ.ඉතින් එක සෙට් එකක පුහුණු වීම් ඉවර වෙනකං අනිත් සෙට් එක වේලෙනවා.සමහර වෙලාවල් වලදී පාසල් කාලය අවසන් වෙලත් අපි හවස නැවතිලා පුහුණු වීම් කරනවා.හයේ පන්තියේ ඉදන් 11 පන්තියට එනකං නටන ඔක්කොටම ඔය සෙතේ තමයි.පස්සේ අපි පන්ති ටික කාලය වෙන් කරගත්තා .එතකොට බොරුවට වේලෙන්න ඕන නෑනේ..ඉතිං දවසක් උදේ වරුව අටේ පන්තියේ කෙල්ලෝ ටික කාමරේ බදු අරගෙන හිටියේ..12 වෙද්දී අපිට කාමරේ ලැබෙන්න ඕන...12 ට කලින් ඔතනට එකෙක් වත් නොගියොත් වෙන සෙට් එකක් කැසට් එක බදු ගන්න හන්දා කස්ටිය කිවුවා "රෙහා...උඹ දැන්ම ගිහින් ඇලට් එකේ ඉදහන් " කියලා .පීරියඩ් එකකුත් පාඩු කරන් ඔන්න මම කාමරේට රිංගුවා.අටේ සෙට් එක නටන්නේ ලතා වල්පොල මහත්මියගේ "ගලනා සීත ජලේ"...ඉතිං කස්ටිය ඔහොම ජලේ පා වේවි ඉද්දි එක කට හැකරිච්චියෙක් දැක්කා මාව. 

කස්ටිය කුණු කුණු ගාල කන් වලට කොඳුරගත්තා  , පස්සේ හැකරිච්චි හැකර කමට අහපි."ආ ....රෙහා අක්කෝ....මුකෝ ....."

"මුකෝ ...අහන්නේ ඊළඟට සෙට් එක අපේ...." හැකරිච්චි ට දෙවැනි නොවෙන්ඩ මාත් කියපි.

"හා.....තව පැය බාගයක්ම තියෙන්නේ...තමුසේ අපේ කෑලි අල්ලන්න නේද ආවේ ..."

"නිකං හිනා යන කතා කියන්න එපා ඕයි ...ඇටිකිච්චියන්ගේ කෑලි අහුලන්න තරං අපි බාල වෙලා නෑ යකෝ.."

"ඒ උනාට කමක් නෑ , තමුසේ යනවා..." හත් උලවූවයි මෙන්න තුන් හතර දෙනෙක්ම වට උනා .

"යනවා තමයි යකෝ ....උඹලා ගේ හැකර කටවල් වලට බයේ නෙවෙයි ,මේක අපෙත් නැටුම් කාමරේ..." අන්තිම හරිය කීවේ දොරටුව පයින ගමං ටිකක් සද්දෙට..ඇටිකිච්චියන්ගෙන් කාල සාටර් වෙන්න ඕනැයි.


මම ගොහින් අපේ සෙට් එකට වැඩේ වාර්තා කළ වහාම ඔක්කොටම කේන්තියි."දොළහ වෙන්න ඕන නෑ ..දැන් යමල්ලා " ගිහින් උන් ටික පන්නලා අක්කලාගේ ආධිපත්‍ය පැතිරුවා.

ඔන්න දැන් කොන්සට් දිනය උදාවුණා.අපේ වන්නමකුයි,නමස්තේ ගීතයටයි අපි නටලා අනිත් විශේෂාංග යන අතරේ ඊළඟ එකට කිට් එක දාගෙන ඉක්මනට දුවගෙන ආවා  අටේ පන්තියේ එවුන්ගේ හැංගි හැංගි නටපු ලොකු නැටුම බලන්ඩ.පොඩි හරි මිස්ටේක් එකක් උනොත් "හු ...කියපල්ලා " කියලා අපේ කොල්ලන්ටත් උගන්නලා තිබුණේ ;) හරි පටාන් ගත්තා ..............

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත ජලේ.........."

හැකරිච්චි ඉස්සරහින්ම විරිත්තගෙන හොඳට පස්ස අඹර අඹර නටනවා....අප්පා බලන්ඩ එපෑ මුණේ තියන ආඩම්බර කම.අම්මපා මුං නටන තාලෙටම මගේ ඇගේ මාලුත් නටනවා...., අපේ අනිත් උන්ගේ කටවල් ඇරිලා.....


දෙවැනි පාරටත් යනවා......

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න......" 


හුකෑස් .....කරන්ට් ගියා . හැකරිච්චිගේ මුණ විලි ලැජ්ජාවෙන් රතුවෙලා,මිරිකිලා ( දැන් නම් පවු කියල හිතෙනෝ ) අනේ ඉතින් දෙයියන්ට වැඳ වැඳ අපි සතුටු වුණා .අපේ කොල්ලන්ගෙන් පටං ගත්තු හුව මුළු ශාලාවේම හිටපු කොල්ලන්ගේ කටවල් අවදි කරලා තමයි නතර වුණේ .එක පාරටම ආයෙත් කරන්ට් ආවා ...හැකරිච්චිලා හිත හදන් නටන්න ගත්තා .දැන් අපිට කොහොමත් එකයි.උන් චාටරේ කෑවනේ....

"ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත...."

අනේ දෙවියනේ....ආයෙත් කරන්ට් ගියා ....ඒ පාර නම් දෙයියෝ කාගේ ප්‍රාර්ථනාවකට ඒක කරාද මන්දා ..දෙවැනි පාරටත් කොල්ලෝ හු තිබ්බම අටේ පන්තියේ උන් සටස් ගාල පිටිපස්සෙන් පැනගත්තා.ඊළඟට අපේ නැටුම..අම්මපා අපි නැටුවේ බිත්තර තම්බන්න පුළුවන් තරමට බොක්ක රත් කරගෙන.කරන්ට් ගියොත් කොහොමද සනීපෙ... 


ඒත් එහෙම අවුලක් උනේ නෑ අපේ වෙලාවට.අටේ කෙල්ලෝ ටික කොන්සට් එක ඉවරවෙලා අපිට මුණ නොදී හරි අමාරුවෙන් යනකොට අපේ එකෙක් හීනියට හින්ට් පාරක් දුන්නා .

"අර දිට්ඨ ධම්මවේදනීය කර්මේද මොකද්ද එකකුත් තියේලු නේ නේද රෙහෝ...." 

Thursday, August 1, 2013

Yanjeriso ge malpeyo mogesso ?


මම දන්නවා හෙඩිම දැක්කම මොකද මොකද වගේ උනා කියලා , මේ මොකද්ද මේ හරුපේ කියලා .හරුපේ තව ටිකකින් දැනගන්න හම්බෙයි ...හි හි ..ඔන්න මේක අපේ හස්බන්ඩ් ගේ කතාවක් .ඉරිදා දවස කියන්නේ අපේ එක්කෙනාට විතරක් නෙවෙයි කොරියාවේ වැඩ කරන හැමෝටම දිව්‍ය විමානෙට ගියා වගේ තමයි .සමහර කොරියාවේ වැඩ කරන අයට ඉරිදාට නිවාඩුවක් ලැබෙන්නෙත් නෑ .එහෙම අය නං හරිම පව් .



ඉතිං මේ කියන දවසෙත් ඔන්න අපේ එක්කෙනා මගෙත් එක්ක චැටක් දාගෙන හිටියේ .(ඇත්තටම මෙහෙම මුණට මුණ බලාගෙන කතා කරන්න පුළුවන් කම තියන එක කොච්චර වටිනවද ..ඉස්සර රට රටවල් වල හිටපු උදවිය පාළුව තනිකම කාන්සිය කොහොම නිවාගත්තද මන්දා ,ඔය ඉඳලා හිටලා කරන්ට් එක කපපු දාට එපා වෙනවා ..එක දවසට අපිට එහෙම නං අවුරුදු ගානක් නොදැක මාසෙකට දෙකකට සැරයක් ලියුම් විතරක් හුවමාරු කරගත්තු උදවිය අනේ මන්දා හිතා ගන්නත් බෑ ..ඒ අතින් අපි වාසනාවන්තයි කියා හිතෙනවා .)චැට් කරන අතරතුරේ මෙයාට තව අය්යා කෙනෙක් මැසේජ් කරනවා .එයා ලංකාවේදී අපේ එක්කෙනාත් එක්ක එකට කොරියා යන්න හැමදෙයක්ම කලේ, ගයාන් කියලා අය්යා කෙනෙක් .භාෂා පුහුණු පංති වලට එහෙම එකට ගියේ .


දැන් මෙයා මැසේජ් කරන්නේ තනිකරම කොරියන් වලින් ලු .අපේ එක්කෙනත් හිනාවෙවී ඒවා කියවන ගමන් අතෑරියේ නෑ වැඩේ .දැන් එයත් කොරියන් වලින්ම රිප්ලයි දෙනවා .ඔහොම දිගටම කතා බහ ඇදීගෙන යනවා .

දැන් බැරිම තැන අපේ එක්කෙනා ඇහුවලු "උඹේ ඔලුව කොහේ හරි හය්යෙන්  වැදුනද ?"

නෑ බං ..............................ඇයි ඒ ?

එහෙනං දන්නා සිංහලෙන් කතා කරහන් :D

එහෙම කිවුවම හොඳට හිනාවෙලා ආපහු කොරියන් වලින් මැසේජ් කරනවලු .  :D

එයා එවපු කොරියන් මැසේජ් එකකට කොරියන් වලින්ම රිප්ලයි දාල මෙන්න මෙහෙම ඇහුවලු 


Yanjeriso ge malpeyo mogesso  ?



හෑ ...............අඩේ ඒක මට තෙරුන් නෑ නේ බං 



ප .ලි :::::: කොහේ තේරෙන්නද ඉතිං ඒක එක කොරියන් වචනයක් වත් නැතිකොට ! :D බේරෙන්න බැරිම තැන ඉතිං ඔන්න ඔහොමලු යාළුවාව කොර කලේ .ඊට පස්සේ පහු කාලෙක දවසක් කට්ටිය සෙට් උනාම මේ කතාව කියලා ඉතිං ඇට්ටි හැලෙන්න හිනා එහෙම උනාලු .

Friday, July 12, 2013

ගිජු කතාව සහ නිල් යකා ..

ඒ දවස්වල අපේ ගෙවල් වලට කරන්ට් දීල නෑ , අපිට ගෙවල් තුන හතරකට එහායින් තිබුන සුනිල් මාමලාගේ ගෙදරට කරන්ට් එක තියනවා ...ඒ කියන්නේ මීටර් හාරසියයක විතර දුරින් වගේ .ඉතිං ඔය කාලේ අපි ටෙලි නාට්‍ය බලන්න යන්නේ සුනිල් මාමගේ දිහාවට .එතකොට අහුවෙන්නේ එක චැනල්  එකයි ..ජාතික රුපවාහිනිය විතරයි .ඉතින් 8.30 ටෙලි නාට්‍ය බලන්න අපි එහාට යනවා සමහර දාට ..දවසක් අපේ අය්යා අපිට එහා පැත්තේ ගෙදර සඳුන් අය්යත් එක්ක ගියා නාට්‍ය බලන්න ,තාත්තගෙනුත් අවසර අරං .එතකොට දෙන්නගේ වයස කියනවනම් අපේ අය්යට අවු ;12 ක් ,සඳුන් අය්යට අවු ;15 ක් වගේ .මං හිතන්නේ ඔයාලට මතක ඇති ඉස්සර ගියපු "ගිජු " කතාව .ජයසේකර අපෝන්සු රඟපෑවේ .ඒක තමයි එදා බලන්න දෙන්න එක්ක ගියේ
                                                                                      මට මතක හැටියට වෙලාව 7.45 විතර ඇති, '"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ " කියාගෙන අය්යා ගෙදර ආපි .මායි තාත්තයි මල්ලියි එතකොට ඇහැරලා හිටියේ ..මල්ලියි මමයි අපිට හොල්මං උනා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා .අය්යා  හොදටම බය වෙලා වෙව්ලනවා .,අඩනවා .අපේ අප්පොච්චත් මොකද කොලේ දන්නවද?කුස්සිය මුල්ලේ තිබුන ඉලපතක් හොයාන ඇවිත් අය්යාගේ පිටට ගහගෙන ගහගෙන ගියා .අපේ තාත්තලාගේ විශ්වාසයක් තියනවා බය වුන කෙනෙකුට ඉලපතෙන් පහර දුන්නම බය  ඇරෙනවා කියලා ..මෙලෝ දෙයක් නොතේරෙන මම අඩන අය්යාට ගහන තාත්තට හිතින්  බැන බැන අඩ අඩා බලන්  හිටියා .තාත්තා අය්යාට  නූලක් මතුරවලා දාල පස්සේ හෙමින් සීරුවේ  ඇහුවා මොකද රෑ උනේ කියලා
"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ "
                                                                                                              " මම කතාව බල බල ඉන්නකොට සඳුන් අය්යාට කතාව බලන්න කම්මැලියි කියලා මට ගෙදර යන්න අඬගැහුවා , මං කිවුවා බැහැ ඔයා යන්න කියලා , මොකද මං හොල්මං කතාවට ගොඩක් ආසයිනේ ..එහෙනං උඹ බලලා වරෙන් කියලා එයා ගියා .මං කතාව බලලා තනියෙන් එනකොට මගදී කරුවලේ බය හිතුනා .ඉතිං මං අත්  දෙකෙන්ම මුණ වහන් ඇඟිලි කරු අතරින් බල බල ආවේ ..අපේ ගෙට එහා වංගුවේදී (එතන පෙරේත තටු දාන තුන් මං හන්දියක් ) උඩහ පාරෙන් කවුදෝ එකෙක් කෑ ගහගෙන මයේ ඇඟට පැන්නා .ඌ මට පෙනුනේ නිල් පාටින් " අය්යා බිය මුසු මුහුණින් විස්තරේ ප්‍රකාශ කරාන ගියා .                            ***************************************************                                                                                                                ප .ලි .   ::::::::::::  අපේ විද්වත් උදවිය හොල්මං පිළිගන්නේ නෑ නේද ආයිබෝවන් .. :D   හැබැයි , අපේ අය්යා දැක්කේ හොල්මන තමයි සඳුන් අය්යා :D එයා අඬ ගහද්දි අපේ අය්යා ආපු නැති කේන්තියට තමයි එහෙම කරලා තියෙන්නේ .අය්යාට බයට මතක් වෙලාත් නැහැ සඳුන් අය්යා ඇඳගෙන හිටියේ නිල් පාට ටී ෂර්ට් එකක් කියලා .මේං පහුවෙනිදා විස්තරේ වමාරලා සඳුන් අය්යා "ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " කියපි . අනේ ඉතිං අපේ අප්පොච්චා හන්දා හොඳයි ඉතිං :D  
"ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " 

Sunday, July 7, 2013

සමරු පොතේ පිටු ගැලවී

ඉස්කෝලේ කාලේ කොහොමද ? පුංචිම පුංචි කාලේ ඒ කාලේ වැඩිපුරම මතකයන් තියෙන්නේ රණ්ඩු ගැන තමයි . චුට්ට එහා මෙහා උන ගමන් බලන්නේ කොක්කක් ඇදගන්න .ඕ ලෙවල් කරන කාලේ එහෙම නෑ  ගෑනු පිරිමි භේද නෑ ,එකමුතුයි !මට මතකයි ඔය කාලෙත් අපි හැංගි මුත්තං තිබ්බා . අර අඩි අඩි පොල්ල කියන්නේ .ආං ඒක , නැත්තං ගුඩු පනිනවා ඒවටනං කොල්ලෝ නෑ .එල්ලේ ගහනකොට ආය කොල්ලොත් ඉන්නවා .ඒ කාලේදී තිබුනේ දාංගලේ තමයි .හැබැයි ඔය හැම කාලෙකටම වඩා වෙනස් ඒ ලෙවල් කරන කාලේ ...මේ කාලෙට කියන්නේ ගුස්පී අදින කාලේ කියලා .මේ කාලේදී කාට හරි ගිනි දීල සතුටු වෙන කාලේ ,නැත්තං කාවහරි මඩවල සතුටු වෙන කාලේ .අපිත් ඉතිං ඔය කාලේදී ඔව්වට සහභාගී උනාලු ඇ . ඒ විතරක් යෑ ඇයි සම වයස්  ප්‍රේමය නැගලා යන කාලේ .කොල්ලන්ගේ වැඩේ ඉතින් කෙල්ලන්ට රබර් ඇහැ දාන එක තමයි .අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ එකතු උනහම හරි අමුතු මාතෘකා තමයි ඇදල ගන්නේ .ඒවා සාකච්චා කරලා බඩ පැලෙන්න හිනා වෙනවා .ඔන්න අපේ හෙඩ් ෆ්රිෆෙක්ට් බෝයි දවසක් ඇදල ගත්තු මාතෘකාවක් !"මචන්ස් මිනිස්සුන්ට නැටි තිබුනනං කොහොම වෙයිද ?" ඕං පුරස්නේ  දීපන්කො උත්තර ! අනේ දෙය්යනේ කියලා මුළු පන්තියම වාගේ කට ඇති දුවරු පුත්තු තමයි උන්නේ . "එහෙනං බං කෙල්ලන්ගේ සුදු ගව්මේ හිලක් හදන්න වෙනවා " එක අහපු අපෙ කට ඇති දුවෙක් කියපි 'ඉතිං උඹලගේ හිල් හදන්න වෙන්නේ නැද්ද එතකොට "හොඳම කතාව කිවුවේ සමනා "එහෙම උනානං ඒකෙනුත් හුප්පේ අපිට තමයි ,බලහං මේ කාන්තා පාර්ශවේ කේශ කල්‍යාණය
  හින්දා බස් එකක් ඇතුලෙදි කොච්චර  කට්ටක්ද අපි කන්නේ ? මුන්ට තව නැටිත් තියෙන්ඩ තිබුණේ ..එහෙනං හෙන කචල් ටිකක්  බලාගන්න තිබුනා කට්ටියගේ නැටි පැටලිලා " අම්බෝ .. ඒ කතාවටනං රෙහානියා චිත්ත රූප මවාගෙන  උණ්ඩුකපුච්චයෙනුත් හිනා උනා ."ඇයි මචං කෙල්ලෝ පස්සේ ටෝක් දදා යන කොල්ලෝ "නංගි පොඩ්ඩක් ඉන්ඩකෝ " , "නංගි ඔයාගේ නම මොකද්ද" කියල එහෙම නැට්ටෙන් ඇදල ටෝක්ස් දෙයිනේ බං "...මේවා ඔක්කොම අහන්  ඉඳපු අපේ කටකාර කෙල්ලෙක් කියනවා"ඇයි බං නැට්ට අගිස්සෙන් ස්ට්‍රේට් කරලා ,කලර් කරලා , කටු ගහල එහෙම ස්ටයිලුත් කරයි එහෙනං " කියලා .ඊට පස්සේ මේ කතාව  ඔහොම ඔහොම  බොහෝ  දුර ඇදුනලු !
රබර් ඇහැ දාන කොල්ලෝ :D 

ඉතිං මේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට යන පාසල් කාලේ ගැන වදනක් විතරයි මේ .අම්බෝ තවනං කොච්චරද ?ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් සමුගන්න කාලේ වෙනකොට  මාර දුකක් හිතේ තියෙන්නේ ..සුදු ගව්ම ඇඳලා අන්තිමට ඉස්කෝලේ ගිය දවසේ ගේට්ටුවෙන් එලියට ඇවිත් තව තවත් ඉස්කෝලේ දිහා හැරිලා බැලුව ..ඇත්තටම ඒ දුක දැනුත් මගේ හිතට දැනෙනවා .අර මොරටුවේ වේල්ස් කුමරේ කරනවා වගේ ආයෙත් ඉස්කෝලේ යන්න දවසක් එනවනං කියලා බොළඳ සිතුවිල්ලකුත් මට ඇතිවෙනවා .දැනුත් ඉස්කෝලේ ඉස්සරහින් යද්දී අපි හිටපු තැන්වල වෙන අය ඉන්නවා දැක්කහම පුංචි ඉරිසියාවකුත්  එක්ක පුංචි දුකක් එනවා .ඒ ඉස්කෝලේ කාලේ අන්තිම දවස් ටිකේ හැමෝම වගේ කරන වැඩක් තමයි සමරු පොත් ෂෙයාර් කරලා අත්සන් ගන්න  එක .මේ වැඩේ කරන්නේ හුඟක්ම ගැහැණු ළමයි තමයි .පිරිමි ළමයිනුත් ටික දෙනෙක් කරනවා .මට අද  අල්මාරියේ තිබිල මගේ සමරු පොත හම්බ උනා ..එකේ  දුක හිතෙන ලියමන් ,හිනා යන ලියමන් ඔය වගේ අපුරු දේවල් ගොඩයි .බලන්නකෝ ඇත්තද කියලා
මේ ම‍ගේ හොඳම යාලුවා
මෙයා කෙටි කතාවක් වගේ හුඟාක් දේවල් ලියලා තියනවා මගේ සමරු පොතේ .පිටු හතක විතර .අපේ සෙට්  එකේ හිටපු එක කට කාරියෙක් තමයි මේකි ,නැති දවසට පන්තිය පාලුයි .


                            මෙයා ටිකක්  විතර අහිංසක පාර්ට් එකෙන් ඉන්නේ .ඒ උනාට යටින් හොඳ හොඳ ගේම් දෙන්නේ .මෙයා අපි එක්ක හිටියේ පොඩි කාලයයි .ඒ උනාට යාළුවන්ට පණ උනත්  දෙන මනුස්සකම තියන කෙල්ලෙක් .

                          මෙයා තමයි අපේ සෙට් එකේ ඇත්තටම අහිංසක කෙල්ල .වැඩිය කතාවක් නෑ .නපුරුත් නෑ .නූලෙන් කැම්පස් යා ගන්න බැරි  උනා අපරාදේ ..කෙල්ල දක්ෂයි .
                          
මෙයත් කටකාරියක් ..රචනාවක්ම ලියල තිබුණා
                           
     


ඔන්න අන්තිමට තියෙන්නේ පිස්සු පිටු ලු ඇ ...මුං පිස්සු පිටුවල ලියල තියන  සමහර එව්වා මේකේ දාන්න බැරි  නිසා බලධාරියා  විසින් කපා හරින ලදී . තවත් ලියපුවා නම් බොහොමයි  . අප්ලෝඩ් කරන්න  ගියාම පන යනවා  අනේ . ඒ නිසා  ඔය මදැයි, වැඩියෙන්ම පන්තිය පාලු කටකාරිගේ ලියමන  පොස්ටුවට එකතු කරන්න බැරිව ගියා .ඒකිගේ තරම කියනවනං ඉස්කෝලේ ලොකු හාමුදුරුවොත් විහිලුවට අල්ලගන්න ජාතියේ එකියක් !වක්කඩ කැඩුවා වගේ කියවිල්ල.රසබර කතා එහෙම එමට දන්නවා .අපිත් ඕව අහන්නේ කටවල් ඇරගෙන . මෙයාල දැන් තැන් තැන්වල .සමහරු අලුත් ජීවිත ගත කරනවා .සමහරු රස්සාවල් වල .තවත් සමහරු තවමත් ඉගෙන ගන්නවා .මෙතන සමරු නැති මගේ ජීවිතේට සමීප ගොඩක් ය ඉන්නවා .එයාල ගැන තොරතුරක් දැනගන්න මං ආසාවෙන් බලන් ඉන්නවා .

                                                                                                          
ප ලි   ::::::::::ඔන්න දැන් මේ පොස්ට් එක බලලා අද ඉඳන් මට හාවා කියන්න ඔට්ටු නෑ හරිද ?ඒක සම්පුර්ණයෙන්ම ඉස්කෝලෙට විතරක් අයිති නමක්  ! පිටදී පාවිච්චිය තහනං . ඉස්කෝලෙදි අපේ සෙක්ෂන් ටීචර් ,ලොකු හාමුදුරුවෝ එහෙම ප්‍රශ්න අහද්දී "ආ හා පැටියා කියන්න බලන්න උත්තරේ " කියල එහෙම කිවුවේ නෑලු .