ලා දම් අහසට පායන උදවිය ..

Friday, July 26, 2013

මෑන් පවර් .....!

"මෑන් පවර් " කියපු ගමන් මෑන් පවර් මගින් රැකියාවකට යොමු වෙච්ච කෙනෙක් නං දැනටමත් දන්නවා ඇති ඒකෙ ක්‍රියා පටිපාටිය ! මෑන් පවර් එකක් කියන්නේ රැකියා අපේක්ෂිත අයවලුන් රැකියා වල නිරත කරවන එක්තරා සමාගම් විශේෂයක් .මේක මම දන්නා තරමින් වැඩිපුරම ආරක්ෂක අංශ සඳහා යොදාගන්නවා .ඔය ගාර්මන්ට් ෆැක්ටරි ,පෞද්ගලික සමාගම් වලට  ආරක්ෂක නිලධාරින් සපයන්නේ මේ මෑන් පවර් වලින් තමයි .මෑන් පවර් වලින් එහෙම සේවයට යෙදෙව්වහම වැටුප ,දීමනා , වැනි දේවල් අදාළ ආයතනයෙන් නෙවෙයි ලැබෙන්නේ ,මෑන් පවර් ඔස්සේ තමයි ලැබෙන්නේ .මේ විදියට සේවකයන් සැපයීමෙන් සේවකයන්ගේ ප්‍රමාණය අනුව ඔවුන්ගේ වැටුපෙන්  යම්කිසි ප්‍රමාණයක් මෑන් පවර් ආයතනය වෙනුවෙන් ලබා ගන්නවා .ඒකෙන් මෑන් පවර් ආයතනයකට  ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්                                                                                                              වැටුප 22,000-25,000 ,
නවාතැන් පහසුකම් ඇත,
ආහාර සමග,
බිස්කට් ,බීම , පාවහන් ,වැනි සමාගම් රැසක අනගි රැකියා අවස්ථා
අදම පැමිණෙන්න
විමසන්න TP - 0000000000                                                                                                                                                                                                                                                දැන්වීම දැක්කහම මොකද හිතෙන්නේ ?උසස් පෙළ කරලා ගෙදර ඉන්නවනං හොඳ අවස්තාවක් කියල හිතෙනවා නේද ?  ඔව් අපේ මල්ලිත් එහෙමම හිතුවා .ඒ විතරක් නෙවෙයි එයා ඒ රැකියාවට ගියා .මේ දැන්වීම ලංකාදීප ලහිපිටේ පළවුන එකක් .සමහරවිට තවමත් ඒ ඇඩ් එක යනවා ඇති .ආ .............තව ඔය  දැන්වීමේ තිබුණා දුර පළාත්වලින් විශේෂයි කියලා .මේ මෑන් පවර් ඒජන්සිය තියෙන්නේ මහනුවර .අපේ මල්ලිත් මහා මෙරක් දේවල් හිතේ තියාගෙන ඔය රස්සාවට ගියා .කෝල් කරහම ඉස්සෙල්ලම මහනුවර ඒජන්සියට ඇවිල්ල රැකියාවට ඇතුලත් කරනවට රු.1000ක් ගෙවන්න අවශ්‍ය බව කිවුවලු .ඉතිං රත්නපුරේ ඉඳන් නුවර ගියා සල්ලි ගෙවන්න .ඊට පස්සේ එයාව ජොබ් එකට යවන තැන "අමල්  " කියලා ඒජන්සියට සම්බන්ධ කෙනෙකුගේ දුරකථන අංකෙත් දීල කඩවත ට යන්න කිවුවලු .දැන් නුවර ඉඳලා ආපහු කඩවතට !ඉතිං මල්ලි එහෙමම කඩවතට ඇවිත් කෝල් කරලා අර දීපු දුරකථන අංකයට !ඊට පස්සේ කඩවත ගෝනහේනේ තියන ඔයාල අපි කවුරුත් දන්නා "මයි කෝලා " සමාගම ලඟින් බහින්න කියලා .මල්ලි බැහැල යද්දී තව ළමයි 20-25ක් එක්ක "අමල් " ඉන්නවලු .ඒ ඔක්කොම මයි කෝලා එකේ වැඩට ආපු ළමයි .අර විදියට පත්තරෙන් බලලා .                                                                                                                                                                                                                                              මුලින්ම අමල් ළමයින්ව මයි කෝලා සමාගම ඇතුලේ පෙන්නන්න එක්කං ගිහිං .තේ පැන් සංග්‍රහයකුත් ලැබිලා .ඊට පස්සේ නවාතැන් පහසුකම් දෙන්න එපැයි .ඉතින් ඒ තැන් පෙන්නන්න ඊට පස්සේ එක්කං ගිහිං .අඩි 10-12 විතර කාමර කෑල්ලක් පෙන්නලා කිවුවලු මේක තමයි ඔයාලට නවතින්න තියන තැන කියලා . :D "ඈ එතකොට අපි ඔ ක්කොටම ඉන්න තියෙන්නේ මේ රුම් එකේද " එක කොල්ලෙක් හොඳටම කේන්තියෙන් ඇහුවලු . නෑ කට්ටියක් මේකේ ඉන්න අනිත් කට්ටිය අරකෙ ඉන්න කියලා පැත්තක් ටකරන් ගහපු කුකුල් කොටුවක් වගේ එකක් පෙන්නුවලු . කොල්ලන්ට කේන්ති උනත් නොපෙන්නා හිටියලු මොකද ඒ වගේ යෑ රු 25000 පඩිය ! :D ඔයාලට තුන් වේලටම කෑම හම්බුවෙයි මේ කාමරේ අයිති අර එහා පැත්තේ තියන ගෙදරින් අඩු මුදලකට .:D " යකෝ ....අඩු මුදලකට " දැන් කොල්ලන්ට ඒ කතාවට තව ටිකක් කේන්තියි ලු .ඒකත් ඉවසගෙන හිටියලු ඔන්නොහෙ ආපු එකේ දවසක් දෙකක් ඉඳලා බලලා හරියන්නේ නැත්නං යනවා කියලා .නාන්න යන්න පුළුවන් පාරෙන් එහා පැත්තේ මීටර් දෙසීයක් විතර ගියහම ලිඳක් තියනවා :D.දැන් අමල්  කාරයාගේ වචනේ වචනේ එලියට එනකොට බඩ බොකු එලියට අදින්න තරන් කේන්තියක් ඇවිත් . ඒත් රස්සාවට යනකන් කාගෙන ඉඳලා .                                                                                                                                                                                                                         ඔන්න දැන් හා හා පුරා කියලා රස් සාවට ගියා .මෑන් පවර් එකෙත් කොටස් දෙකයි .එකක් "ටෂ්මා " අනික "ටෝජා ".මල්ලි හිටියේ ටෂ්මා .එකේ වැඩ කටයුතු ටික කරන්නේ අමල් කාරයා .අනිකේ හිටපු කෙනා මට මතක විදියට ගුණවර්ධන වගේ නමක් තමයි කිවුවේ .ගෑනු ලමයිතුත් වැඩට ඇවිත් හිටියලු .ඒ අයවත් වෙනම කාමරවලට දාල .මයි  කෝලා කියන්නේ බීම ෆැක්ටරි එකක් (දන්නේ නැති අයට කිවුවේ : ), ඉතිං මල්ලි එහෙම වැටිලා තියෙන්නේ බෝතල් නිෂ්පාදන අංශයට ! ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන්නේ පී කෝන් මගින් . පී කෝන් කියලා කියන්නේ ප්ලාස්ටික් පව්ඩර් වර්ගයක් යන්ත්‍රයකට (පී කොන් මැෂිමකට ) දැමීම මගින් යන්ත්‍රය මගින් අයිස් කෝන් එකක හැඩයට නිපදවාගන්න ප්ලාස්ටික් කෝන් එකක් .ඉතිං මල්ලිට ඉස්සෙල්ලාම තිබුනේ මැෂින් එකෙන් එලියට එන පී කොන් වල ඩැමේජ් බලන්න .ඩැමේජ් ඒවා වෙන මත් හොඳ ඒවා වෙනමත් වෙන් කරලා දාන්න .ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට මල්ලිව එක්කන් ගිහින් ඇසුරුම් අංශයට දාලා .ඒ කියන්නේ අර පී කෝන් වලින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල් පොලිතීන් බෑග් වල අසුරන එක .ඉතිං පලවෙනි දවසේ ඔහොම වැඩ කරලා .                                                                                                                                                                                                                                        දෙවැනි දවසේ පාන්දර ආපු කොල්ලන්ගෙන් බාගයක්ම ආපහු ගිහිං හොරෙන්ම .නැත්තං කාපු බීපුවයේ සල්ලි ගෙවන්න වෙනවනේ .මල්ලි ඇතුලේ හිටපු කෙනෙක්ව හිතවත් උනාට පස්සේ එයාගේ කාමරේ  නතරවෙලා වැඩට ගියා .ඒ උනාට කෑම තුන් වේලම සල්ලි වලට තමයි කාල තියෙන්නේ .ඒ කෑම එකත් කොල්ලෙකුට ගැවෙන්න මදිලු .ඒත් වැඩ කරපු එකේ ඔහේ වැඩ කරගෙන ගිහිං ..ගිය පයින්ම ආපහු ගෙදර එන එකත් නොන්ඩි වැඩේනේ .ඒ හින්දා .දවසින් දවස එක එක වැඩ වලට  දානවලු .කෑමට දෙන්නේ පැය බාගයයි .ටී ටයිම් එක විනාඩි 10 යි .එක විනාඩියක් නිදහසක් නැතිලු .ඇයි මැෂින් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ .ඔහොම සතියක් විතර වැඩ කරලා , ඊළඟ සතියේ ඉඳන් දවස් දෙක තුන වැඩ නෑ ලු . සමහර සතියට එක දවසලු වැඩ .එහෙමයි කියලා ඉතින් තුන් වේල නොකා ඉන්න යෑ .වැඩත් නැතුව කන බොන ඒවාට අතින් ගෙවාගෙන රු .3500කුත් අරගෙන දෙය්යනේ කියලා මල්ලියා මාසෙකිං ගෙදරට සැපත් උනා .ඔය 3500 ගන්නත් දවස් තුනක්ම මයි කෝලා එකට යන්න උනාලු .ඔන්න මෑන් පවර් එකේ පවර් එක !                                                                                                                                                                                                                                                   මේ වගේ හොර මෑන් පවර් වලින් කරන්නේ මිනිස්සුන්ට විශේෂයෙන්ම අහිංසක ළමයින්ට බොරු කරලා ඒ අයගේ ශ්‍රමය හුරගෙන කන එක ! ඒ අහිංසකයෝ හම්බකරන එක ගසාගෙන කන එක .. ඇයි අර ඒජන්සියෙන් මුලින් ගන්න රු.1000 . එතනිනුත් ගසාගෙන කනවා .මම හිතන්නේ මේ දැන්වීම තවමත් පත්තරවල යනවා .තවමත් අහිංසක ළමයි මේවට අහු වෙනවා ඇති .පව් ඒ අහිංසක ළමයි .,මේ වගේ ලිපියකින් වත් ඒ අහිංසක ළමයි දැනුවත් වෙනවනං මට ඒ ගැන සතුටුයි . මේවට විරුද්දව නීතිමය පියවර ගන්නත් බෑ .මොකද මේ රස්සාවට යද්දී මෑන් පවර් එකේ ගිවිසුම් වලට යටත්ව අත්සන් කරනවනේ .ඒ නිසා .ඒවා අත්සන් කරද්දී මේ තරං දේවල් ටිකක් වෙයි කියලා හිතන්නෙත් නෑනේ .මේ වගේ නැති හොඳ මෑන් පවර් ආයතනත්  සමහරවිට ඇති .හැබැයි මෑන් පවර් වලින් හොඳක් වෙනවා ඇති කියලා මගේ නං පෞද්ගලික විශ්වාසයක් නෑ .

Wednesday, July 24, 2013

ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :D

ගමනක් බිමනක් යන එන අතර මගදී අපි කොයිතරම් දේ දකිනවද අහනවද ? ඒ දේවල් වලින් අපේ ජීවිතවලට ගන්න තියන දේ අඩුයි .අහක් කරලා දාන්න තියන දේ වැඩියි .දවසක් මම රත්නපුරේ අක්කලාගේ ගෙදර ගිහිං ගෙදර එන්න  තිරිවානකැටිය කෝවිල ළඟ පාර අයිනේ ඉන්නවා ,බස් එක  එනකං .දෝණි ත් මාව පාරට ඇරලවන්න මගෙත් එක්ක ආවා .දෝණි මාව බස් එකට නග්ගවලා ම තමයි ගෙදර යන්නේ .හැමදාම එහෙමයි .ඉතිං පාරේ යන කවුරුහරි ගැන ඇද කියව කියවා හිනාවෙන එක තමයි දෝණි කරන්නේ .ඒක නරක වැඩක් කියලා කියල දුන්නට ඒ වැඩ පිළිවෙල නං වෙනස් වෙන එකක් නෙවෙයි .ඔය උපදෙස් දුන්නට මට ත් පුදුම හිනාවක් යන්නේ ඒකි කියන ඒවාට .. මිස්සුන්ගෙන් බැනුම් අහලත්  තියනවා හිනාවෙලා . දවසක්  බස් ස්ටෑන්ඩ් එකේදී හිනාවෙලා මනුස්සයෙක් ඒ මනුස්සයට කියලා හිතලා  අපි දෙන්නට බැන්නා . "පංති ඇරුනානං පලයල්ල ගෙවල්වලට මෙතන හුකු හුකු ගාන්නේ නැතුව "කිවුවා  :D..ඒ මනුස්සයගේ හිතේ අපි පන්ති යන  අය කියලා                                                                                                                                                                                                                                                                                                                                                                                                                               ඉතිං ඔහොම සුපුරුදු විදියට හිනා වීගෙන පාර අයිනේ ඉන්නකොට හාදයෙක් ෆෝන් එකත් කනේ ගහගෙන අපි පහුකරගෙන ගියා . අපි දෙන්නගේ දිහාත් හොඳට බලාගෙන ගියේ .ඇඳලා හිටියේ සරමක් .උඩට මුකුත් නෑ .වයස අවු : 28 -30 වගේ ඇති ..අපි ගණන් නොගෙන දැන් අපේ කතාව .ටිකකින් ෆෝන් එකත් කනේ ගහන් ගිය මිනිහා ආපහු යනවා .ආයෙත් අපි දෙන්නා දිහා   හොඳට බලන් යනවා ..දැන් ඔහොම තුන් හතර පාරක් එහාට මෙහාට ගියා ආවා. දැන් අපි දෙන්නට සැකයි .කැරකෙන්නේ මොකද කියලා කල්පනා කළා .අපි ඉන්න තැනම වතුසුදු මල් ගහක් තියනවා .දැන් හාදයා මල් ගහෙන් එහා පැත්තේ නැවතිලා කෝල් කරනවා .     "කෝ බං නෑ නේ "  හාදයා කියන ඒවා දැන් අපිට ඇහෙනවා . එයා මොනවා හරි හොයන වග අපිට තේරුනා .හැබැයි අපි එයාගේ කථාව  අහගෙන ඉන්න බව  ඇඟේව්වේ නෑ . "මොන වගේ කොලයක්ද  ?" දැන් එයා අහන ගමන් අපි ඉන්න පැත්තට ටික ටික එනවා . "ආ සිගරට් පෙට්ටියක්ද '' හාදයා එහෙම අහන ගමන් අපි දෙන්නගේ කකුල් දෙක මුල තිබුන පොඩි කරලා වීසිකරලා තිබුණ සිගරට් පෙට්ටියක් ඇහිඳගෙන ගියා .අපි දෙන්න චුට්ටක් බයත් උනා අපි ළඟටම එනකොට නං :D                                                                                                                                               දැන් ප්‍රශ්නයක් එනවා නේ ? සිගරට් පෙට්ටිය ඇතුලේ මොනවද තිබුනේ ..තිබුනේ ඇත්තටම කුඩු . ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :Dහැබැයි නිශ්චිත වශයෙන් අන්න අතන කුඩු තියනවා ..මෙන්න මෙතන කුඩු තියනවා නොකිවුවට රත්නපුරේ කුඩු තියනවා කියල නං කියන්න දන්නවා .බලන්න ඒගොල්ලෝ කුඩු හුවමාරුවට යොදා ගත්තු ක්‍රමය ! කවුද හිතන්නේ වීසිකරල  තියන සිගරට් පැකට්ටුවක් ඇතුලේ කුඩු තියේවි කියලා .පාරේ තියන කුණු ගොඩවල් කවුරුවත් අදින්න යන්නේ නෑනේ.අපේ ලංකාවේ මිනිස්සුන්ට බුද්ධිය නෑ කියනවා නේද ? අපේ වැඩිමනක් එවුන්ට බුද්ධිය තියෙන්නේ මත් වෙළඳාම් කරන්න ,හොරකං කරන්න ,මිනී මරන්න , ස්ත්‍රී දුෂණය කරන්න ඒ වගේ ජරා වැඩ කරන්න තමයි. මේ මිනිස්සුන්ගේ     බුද්ධිය යහපත් දේකට යොදවා ගත්තොත් දවසක අඟහරු ලෝකෙත් පදිංචියට යාවි .                                                                                                                                                            ඇත්තටම කුඩු කොහොමද ලංකාවට ලැබෙන්නේ ? විදේශයෙන් ගෙන්වීම මගින් .එවැනි දෙයක් රට ඇතුලට එන්නේ කොහොමද ? මම දන්නා තරමින් නං ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නැහැ .ගෙන්වන්නේ පිට රටවලින් . හැමෝගෙම ඇස්  වහලා එවැනි දෙයක් පිට රටකින් ගෙන්වන්න නං ලොකු හය්ය කකුලක උදව් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ .ඒ කියන්නේ අනිවාර්යෙන්ම දේශපාලනික ලොකු පුටුවක හය්යක් .එහෙම  කරලා මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන යද්දී පොලීසියෙන් වටලපු ගමන් කොහේ  හරි ඉන්න මිනිහෙක් අහු කරලා ලොකු පුටුවල ඉන්න අය හොඳ මිනිස්සු වෙනවා තමන් බේරිලා .ඒකත් අර මත්ස්‍ය න්‍යාය තමයි .හැමදාම ඇත්ත තියෙන්නේ ඇතුලේ හැංගිලා ..හැමවිටම වෙන්නේ බොරුව උලුප්පා පෙන්වන එක !                                                                                                                                                                      ප ලි   :::::::::::: මෙහෙම පෝස්ටුවක් ලිව්වේ හිරු අක්කගේ ලිපිය කියෙව්වට පස්සේ  methanin   එකත් බලලම එන්න .          

Thursday, July 18, 2013

මම පොටෝ ගන්න දන්නේ නෑ

ෆොටෝ ගන්න දන්නේ නැති කෙනෙක් ෆොටෝ අරං , බලන්නකෝ කොහොමද කියලා ..හික් 
නරකම නෑ නේද :D 
පුංචි කහමලක් 
මේ මල් වල නම දන්නේ නෑ 
මන් හිතන්නේ මේ හතු වර්ගයක් 
:)
මේවා පිපෙන්නේ දවල්ට විතරයි 

Friday, July 12, 2013

ගිජු කතාව සහ නිල් යකා ..

ඒ දවස්වල අපේ ගෙවල් වලට කරන්ට් දීල නෑ , අපිට ගෙවල් තුන හතරකට එහායින් තිබුන සුනිල් මාමලාගේ ගෙදරට කරන්ට් එක තියනවා ...ඒ කියන්නේ මීටර් හාරසියයක විතර දුරින් වගේ .ඉතිං ඔය කාලේ අපි ටෙලි නාට්‍ය බලන්න යන්නේ සුනිල් මාමගේ දිහාවට .එතකොට අහුවෙන්නේ එක චැනල්  එකයි ..ජාතික රුපවාහිනිය විතරයි .ඉතින් 8.30 ටෙලි නාට්‍ය බලන්න අපි එහාට යනවා සමහර දාට ..දවසක් අපේ අය්යා අපිට එහා පැත්තේ ගෙදර සඳුන් අය්යත් එක්ක ගියා නාට්‍ය බලන්න ,තාත්තගෙනුත් අවසර අරං .එතකොට දෙන්නගේ වයස කියනවනම් අපේ අය්යට අවු ;12 ක් ,සඳුන් අය්යට අවු ;15 ක් වගේ .මං හිතන්නේ ඔයාලට මතක ඇති ඉස්සර ගියපු "ගිජු " කතාව .ජයසේකර අපෝන්සු රඟපෑවේ .ඒක තමයි එදා බලන්න දෙන්න එක්ක ගියේ
                                                                                      මට මතක හැටියට වෙලාව 7.45 විතර ඇති, '"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ " කියාගෙන අය්යා ගෙදර ආපි .මායි තාත්තයි මල්ලියි එතකොට ඇහැරලා හිටියේ ..මල්ලියි මමයි අපිට හොල්මං උනා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා .අය්යා  හොදටම බය වෙලා වෙව්ලනවා .,අඩනවා .අපේ අප්පොච්චත් මොකද කොලේ දන්නවද?කුස්සිය මුල්ලේ තිබුන ඉලපතක් හොයාන ඇවිත් අය්යාගේ පිටට ගහගෙන ගහගෙන ගියා .අපේ තාත්තලාගේ විශ්වාසයක් තියනවා බය වුන කෙනෙකුට ඉලපතෙන් පහර දුන්නම බය  ඇරෙනවා කියලා ..මෙලෝ දෙයක් නොතේරෙන මම අඩන අය්යාට ගහන තාත්තට හිතින්  බැන බැන අඩ අඩා බලන්  හිටියා .තාත්තා අය්යාට  නූලක් මතුරවලා දාල පස්සේ හෙමින් සීරුවේ  ඇහුවා මොකද රෑ උනේ කියලා
"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ "
                                                                                                              " මම කතාව බල බල ඉන්නකොට සඳුන් අය්යාට කතාව බලන්න කම්මැලියි කියලා මට ගෙදර යන්න අඬගැහුවා , මං කිවුවා බැහැ ඔයා යන්න කියලා , මොකද මං හොල්මං කතාවට ගොඩක් ආසයිනේ ..එහෙනං උඹ බලලා වරෙන් කියලා එයා ගියා .මං කතාව බලලා තනියෙන් එනකොට මගදී කරුවලේ බය හිතුනා .ඉතිං මං අත්  දෙකෙන්ම මුණ වහන් ඇඟිලි කරු අතරින් බල බල ආවේ ..අපේ ගෙට එහා වංගුවේදී (එතන පෙරේත තටු දාන තුන් මං හන්දියක් ) උඩහ පාරෙන් කවුදෝ එකෙක් කෑ ගහගෙන මයේ ඇඟට පැන්නා .ඌ මට පෙනුනේ නිල් පාටින් " අය්යා බිය මුසු මුහුණින් විස්තරේ ප්‍රකාශ කරාන ගියා .                            ***************************************************                                                                                                                ප .ලි .   ::::::::::::  අපේ විද්වත් උදවිය හොල්මං පිළිගන්නේ නෑ නේද ආයිබෝවන් .. :D   හැබැයි , අපේ අය්යා දැක්කේ හොල්මන තමයි සඳුන් අය්යා :D එයා අඬ ගහද්දි අපේ අය්යා ආපු නැති කේන්තියට තමයි එහෙම කරලා තියෙන්නේ .අය්යාට බයට මතක් වෙලාත් නැහැ සඳුන් අය්යා ඇඳගෙන හිටියේ නිල් පාට ටී ෂර්ට් එකක් කියලා .මේං පහුවෙනිදා විස්තරේ වමාරලා සඳුන් අය්යා "ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " කියපි . අනේ ඉතිං අපේ අප්පොච්චා හන්දා හොඳයි ඉතිං :D  
"ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " 

Wednesday, July 10, 2013

මෙන්න මැජික් එකක් / *Real Magic* Try This

1.ඔයාගේ සපත්තුවේ ප්‍රමාණය (size)මතක තියා ගන්න
2.දැන් ඒක 5 න්  වැඩි කරන්න
3.ඒ එන උත්තරයට 50ක් එකතු කරන්න
4.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න
5.ඒ එන  උත්තරේට 1012ක් එකතු කරන්න
6.ඒ  ආපු  උත්තරෙන් ඔයාගේ උපන් වර්ෂය අඩු කරන්න
7.දැන් ලැබුන උත්තරේ තියන අන්තිම ඉලක්කම් දෙක ඔයාගේ වයස ! ඊට ඉදිරියෙන් තියෙන්නේ ඔයාගේ සපත්තුවේ (Size)ප්‍රමාණය !

Sunday, July 7, 2013

සමරු පොතේ පිටු ගැලවී

ඉස්කෝලේ කාලේ කොහොමද ? පුංචිම පුංචි කාලේ ඒ කාලේ වැඩිපුරම මතකයන් තියෙන්නේ රණ්ඩු ගැන තමයි . චුට්ට එහා මෙහා උන ගමන් බලන්නේ කොක්කක් ඇදගන්න .ඕ ලෙවල් කරන කාලේ එහෙම නෑ  ගෑනු පිරිමි භේද නෑ ,එකමුතුයි !මට මතකයි ඔය කාලෙත් අපි හැංගි මුත්තං තිබ්බා . අර අඩි අඩි පොල්ල කියන්නේ .ආං ඒක , නැත්තං ගුඩු පනිනවා ඒවටනං කොල්ලෝ නෑ .එල්ලේ ගහනකොට ආය කොල්ලොත් ඉන්නවා .ඒ කාලේදී තිබුනේ දාංගලේ තමයි .හැබැයි ඔය හැම කාලෙකටම වඩා වෙනස් ඒ ලෙවල් කරන කාලේ ...මේ කාලෙට කියන්නේ ගුස්පී අදින කාලේ කියලා .මේ කාලේදී කාට හරි ගිනි දීල සතුටු වෙන කාලේ ,නැත්තං කාවහරි මඩවල සතුටු වෙන කාලේ .අපිත් ඉතිං ඔය කාලේදී ඔව්වට සහභාගී උනාලු ඇ . ඒ විතරක් යෑ ඇයි සම වයස්  ප්‍රේමය නැගලා යන කාලේ .කොල්ලන්ගේ වැඩේ ඉතින් කෙල්ලන්ට රබර් ඇහැ දාන එක තමයි .අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ එකතු උනහම හරි අමුතු මාතෘකා තමයි ඇදල ගන්නේ .ඒවා සාකච්චා කරලා බඩ පැලෙන්න හිනා වෙනවා .ඔන්න අපේ හෙඩ් ෆ්රිෆෙක්ට් බෝයි දවසක් ඇදල ගත්තු මාතෘකාවක් !"මචන්ස් මිනිස්සුන්ට නැටි තිබුනනං කොහොම වෙයිද ?" ඕං පුරස්නේ  දීපන්කො උත්තර ! අනේ දෙය්යනේ කියලා මුළු පන්තියම වාගේ කට ඇති දුවරු පුත්තු තමයි උන්නේ . "එහෙනං බං කෙල්ලන්ගේ සුදු ගව්මේ හිලක් හදන්න වෙනවා " එක අහපු අපෙ කට ඇති දුවෙක් කියපි 'ඉතිං උඹලගේ හිල් හදන්න වෙන්නේ නැද්ද එතකොට "හොඳම කතාව කිවුවේ සමනා "එහෙම උනානං ඒකෙනුත් හුප්පේ අපිට තමයි ,බලහං මේ කාන්තා පාර්ශවේ කේශ කල්‍යාණය
  හින්දා බස් එකක් ඇතුලෙදි කොච්චර  කට්ටක්ද අපි කන්නේ ? මුන්ට තව නැටිත් තියෙන්ඩ තිබුණේ ..එහෙනං හෙන කචල් ටිකක්  බලාගන්න තිබුනා කට්ටියගේ නැටි පැටලිලා " අම්බෝ .. ඒ කතාවටනං රෙහානියා චිත්ත රූප මවාගෙන  උණ්ඩුකපුච්චයෙනුත් හිනා උනා ."ඇයි මචං කෙල්ලෝ පස්සේ ටෝක් දදා යන කොල්ලෝ "නංගි පොඩ්ඩක් ඉන්ඩකෝ " , "නංගි ඔයාගේ නම මොකද්ද" කියල එහෙම නැට්ටෙන් ඇදල ටෝක්ස් දෙයිනේ බං "...මේවා ඔක්කොම අහන්  ඉඳපු අපේ කටකාර කෙල්ලෙක් කියනවා"ඇයි බං නැට්ට අගිස්සෙන් ස්ට්‍රේට් කරලා ,කලර් කරලා , කටු ගහල එහෙම ස්ටයිලුත් කරයි එහෙනං " කියලා .ඊට පස්සේ මේ කතාව  ඔහොම ඔහොම  බොහෝ  දුර ඇදුනලු !
රබර් ඇහැ දාන කොල්ලෝ :D 

ඉතිං මේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට යන පාසල් කාලේ ගැන වදනක් විතරයි මේ .අම්බෝ තවනං කොච්චරද ?ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් සමුගන්න කාලේ වෙනකොට  මාර දුකක් හිතේ තියෙන්නේ ..සුදු ගව්ම ඇඳලා අන්තිමට ඉස්කෝලේ ගිය දවසේ ගේට්ටුවෙන් එලියට ඇවිත් තව තවත් ඉස්කෝලේ දිහා හැරිලා බැලුව ..ඇත්තටම ඒ දුක දැනුත් මගේ හිතට දැනෙනවා .අර මොරටුවේ වේල්ස් කුමරේ කරනවා වගේ ආයෙත් ඉස්කෝලේ යන්න දවසක් එනවනං කියලා බොළඳ සිතුවිල්ලකුත් මට ඇතිවෙනවා .දැනුත් ඉස්කෝලේ ඉස්සරහින් යද්දී අපි හිටපු තැන්වල වෙන අය ඉන්නවා දැක්කහම පුංචි ඉරිසියාවකුත්  එක්ක පුංචි දුකක් එනවා .ඒ ඉස්කෝලේ කාලේ අන්තිම දවස් ටිකේ හැමෝම වගේ කරන වැඩක් තමයි සමරු පොත් ෂෙයාර් කරලා අත්සන් ගන්න  එක .මේ වැඩේ කරන්නේ හුඟක්ම ගැහැණු ළමයි තමයි .පිරිමි ළමයිනුත් ටික දෙනෙක් කරනවා .මට අද  අල්මාරියේ තිබිල මගේ සමරු පොත හම්බ උනා ..එකේ  දුක හිතෙන ලියමන් ,හිනා යන ලියමන් ඔය වගේ අපුරු දේවල් ගොඩයි .බලන්නකෝ ඇත්තද කියලා
මේ ම‍ගේ හොඳම යාලුවා
මෙයා කෙටි කතාවක් වගේ හුඟාක් දේවල් ලියලා තියනවා මගේ සමරු පොතේ .පිටු හතක විතර .අපේ සෙට්  එකේ හිටපු එක කට කාරියෙක් තමයි මේකි ,නැති දවසට පන්තිය පාලුයි .


                            මෙයා ටිකක්  විතර අහිංසක පාර්ට් එකෙන් ඉන්නේ .ඒ උනාට යටින් හොඳ හොඳ ගේම් දෙන්නේ .මෙයා අපි එක්ක හිටියේ පොඩි කාලයයි .ඒ උනාට යාළුවන්ට පණ උනත්  දෙන මනුස්සකම තියන කෙල්ලෙක් .

                          මෙයා තමයි අපේ සෙට් එකේ ඇත්තටම අහිංසක කෙල්ල .වැඩිය කතාවක් නෑ .නපුරුත් නෑ .නූලෙන් කැම්පස් යා ගන්න බැරි  උනා අපරාදේ ..කෙල්ල දක්ෂයි .
                          
මෙයත් කටකාරියක් ..රචනාවක්ම ලියල තිබුණා
                           
     


ඔන්න අන්තිමට තියෙන්නේ පිස්සු පිටු ලු ඇ ...මුං පිස්සු පිටුවල ලියල තියන  සමහර එව්වා මේකේ දාන්න බැරි  නිසා බලධාරියා  විසින් කපා හරින ලදී . තවත් ලියපුවා නම් බොහොමයි  . අප්ලෝඩ් කරන්න  ගියාම පන යනවා  අනේ . ඒ නිසා  ඔය මදැයි, වැඩියෙන්ම පන්තිය පාලු කටකාරිගේ ලියමන  පොස්ටුවට එකතු කරන්න බැරිව ගියා .ඒකිගේ තරම කියනවනං ඉස්කෝලේ ලොකු හාමුදුරුවොත් විහිලුවට අල්ලගන්න ජාතියේ එකියක් !වක්කඩ කැඩුවා වගේ කියවිල්ල.රසබර කතා එහෙම එමට දන්නවා .අපිත් ඕව අහන්නේ කටවල් ඇරගෙන . මෙයාල දැන් තැන් තැන්වල .සමහරු අලුත් ජීවිත ගත කරනවා .සමහරු රස්සාවල් වල .තවත් සමහරු තවමත් ඉගෙන ගන්නවා .මෙතන සමරු නැති මගේ ජීවිතේට සමීප ගොඩක් ය ඉන්නවා .එයාල ගැන තොරතුරක් දැනගන්න මං ආසාවෙන් බලන් ඉන්නවා .

                                                                                                          
ප ලි   ::::::::::ඔන්න දැන් මේ පොස්ට් එක බලලා අද ඉඳන් මට හාවා කියන්න ඔට්ටු නෑ හරිද ?ඒක සම්පුර්ණයෙන්ම ඉස්කෝලෙට විතරක් අයිති නමක්  ! පිටදී පාවිච්චිය තහනං . ඉස්කෝලෙදි අපේ සෙක්ෂන් ටීචර් ,ලොකු හාමුදුරුවෝ එහෙම ප්‍රශ්න අහද්දී "ආ හා පැටියා කියන්න බලන්න උත්තරේ " කියල එහෙම කිවුවේ නෑලු .