ලා දම් අහසට පායන උදවිය ..

Thursday, January 24, 2013

ඇත්තටම ඇයි ඒ ?

මේ ගැන දන්නවද ?නැත්නම් කවදාහරි හිතිලා තියනවද ?එහෙනම් උත්තරේ  අද දැනගන්න පුළුවන්
ඔයාල දන්නවද දෙන්නෙක් විවාහ වෙද්දී එකම ඇඟිල්ලට මුද්ද දාන්නේ ඇයි කියලා ,
විවාහ   වෙද්දී මුදුව දාන්නේ  වෙදගිල්ල නැත්නම් මුදුගිල්ල්ටනේ . පිරිමියෙක්  දකුණු අතේ වෙදගිල්ලටත් ගැහැණු කෙනෙක් වම් අතේ වෙදගිල්ලටත් තමයි විවාහය සලකුණු කරන මුදුව පලඳින්නේ !නිකමට හරි හිතිලා තියනවද ඇයි ඒ ඇගිල්ලටම මුද්ද දාන්නේ කියලා ..(සමහරු නම් දැනටමත් මේ ගැන දන්නවා ඇති , නොදන්නා අයත් දැනගන්නකෝ  අද )                                                                                                                                        
මේ වගේ මැද ඇගිල්ල නවාගෙන වැඳගන්න
                                                                                                                                                                  
විවාහයක් කියන්නේ කිසිදා නොබිඳෙන ප්‍රර්ථනාවකින් සිද්ද වෙන දෙයක් !දෙන්නෙක් ආවාහ විවාහ වෙන්නේ දිවි ඇති තෙක් එකට දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න .මේ මුද්ද පැලඳීමෙනුත් සංකේතවත් කරන්නේ ඒ දේම තමයි .ඉහත රුපයේ දිස්වෙන ආකාරයට මැදගිල්ල නවාගෙන වැඳගන්න !දැන් පිළිවෙලට මහපටගිල්ල , දබරගිල්ල , වෙදගිල්ල ,සුලගිල්ල වෙන්කර බලන්න .මහපටගිල්ල ,දබරගිල්ල , සුලගිල්ල පහසුවෙන් වෙන්කළ හැකි බව ඔබට වැටහේවි !නමුත් වෙදගිල්ල වෙන් කල නොහැකියි .විවාහය එවැනි තද බැඳීමක් ලෙස සංකේතවත් කිරීමට තමයි වෙදගිල්ලේ මුදුව පළඳින්නේ .


දබරගිල්ල මෙහෙම වෙන් කරන්න
       
ප.ලි.        ඔන්න ඔහොමලු ඇඟිල්ලට මුද්ද වැටුණේ
                                                                                                                                                                                                                                                                                                                                                                

Thursday, January 17, 2013

ආදරේ කියන්නේ වලත්තකමටද ?

ආදරය කියන වචනය ජීවිතයකට කොයිතරම් සමීපද ? ආදරයෙත් තියනවා වර්ග කිරීමක් ! මවක් පියෙක් , දරුවෙකුට ආදරය කිරීම ,සහෝදරයෙක් සහෝදරියකට ආදරය කිරීම ,මුනුබුරු මිනිබිරියන් සීය තාත්තට , ආච්චි අම්මට ආදරය කිරීම ,ඇයි මනුෂ්‍යයෙක් සතෙක් සිවුපාවෙක්ට ආදරය කිරීම ..ඒ හැම  එකකටම වඩා වෙනස්ම ආදරේ පෙම්වතෙක් පෙම්වතියකට ආදරේ කිරීම .ඔය මුලින් කියු  හැම ආදරේකටම වඩා මට  ප්‍රශ්නයක් තියනවා  අන්තිමට  කියපු ආදරේ සම්බන්ධව .                                                                                          
                                                                                                             මුලින්ම මං කියන මේ කතාව අහලා ඉමුකො ..මගේ එක යාලුවෙක් හිටියා ඒකි ආදරේ කරේ ෆෝන් එකෙන් . කොල්ලව දකින්නත් කලින් ඉඳන් .ඒක අපේ හරකිගේ ගොන් කම කියල තමයි මම නං හිතන්නේ .ඒ කොල්ලා මාස ගානක් මේකිට කෝල් කරලා .ආදරෙත් ප්‍රකාශ කරලා මාස ගානක් ලව් එක යනකන් අපි දන්නෙත් නෑ .කොල්ලා කියලා "හැමදාම මෙහෙම කතා කරලා බැහැනේ , මට ඔයාව බලන්න ඕනේ කියලා .."කොල්ලා බෑන්ඩ් එකක නිවේදක විදිහට ඉඳලා තියනවා . කොල්ලගේ බෑන්ඩ් එකෙන් කරපු  මියුසිකල් ෂෝ එකක වීඩියෝ පටයකින් මේකිනන් පස්සේ කොල්ලව දැකලාලු තිබුනේ .මේකි එච්චරම ලස්සනකුත් නෑ ,ඉතින් මේකි හැමදාම හමුවෙන එක කල් ද දා හිටියා .පස්සේ බැරිමතැන මේකි ඕන දෙයක් වුනාවේ කියලා ක්ලාස් ඇරෙන වෙලාව කියලා කොල්ලා ආවා .ඇවිත් කතාත් කරලා යන්න ගියා .. ගිහින් විනාඩි පහක් ගියේ නෑ ..කෙල්ලගේ ෆෝන් එකට එස් එම් එස් එකක් ආවා . " අපි දෙන්නා එකතු වෙන්න ඉන්න දෙන්නෙක් නෙවෙයි .පරිස්සමෙන් ගෙදර ගිහින් මට මිස් කෝල් එකක් දෙන්න "කියලා. හැබැයි මිස් කෝල්  එකට ප්‍රතිචාර විදිහට මිස් කෝල් එකක් වත් නැවත ලැබුනේ නෑ කවදාවත්ම . කොටින්ම එතනින් ඒ ලව් එක ඉවරයි .
                                                                                                              මං මුලින් කියපු හැම ආදරේකටම වඩා අන්තිම ආදරේ වෙනස් .. පෙම්වතියෙකුට  පෙම්වතෙක්  ආදරේ  කරද්දී කොන්දේසි  ගොඩක් තියනවා . ඒත් වෙන කිසිම ආදරේකට කොන්දේසි නෑ ,තමන්ට මොනවගේ සහෝදරයෙක් සහෝදරියක් ලැබුනත් (අබ්බගාත ,මන්ද බුද්ධික ) ඒ ආදරේ වෙනසක් නෑ ..හැබැයි පෙම් කරද්දී තමන්ට ඇහැ යන ,ප්‍රිය උපදවන කෙනෙක් තමයි තෝරාගන්නේ ..එතකොට එක අතකින් ආදරය කියල කියන්නේ ආකර්ෂණය !හැබැයි කිසිම විටක ලස්සන ගැන නොහිතා දකින දකින කෙල්ලෝ එක්ක යාළුවෙලා හොටෙල්  කාමර ගානේ අරන් යන කොල්ලොත් ඉන්නවා .එතන තියෙන්නේ වලත්තකම .ඕක  දෙපාර්ශවයටම අදාලයි .මම  එහෙම කෙනෙක්ව(කොල්ලෙක් ) දන්නවා .ඌ ලස්සනයි .ඌ කරන්නේ ලස්සන පාවිච්චි කරලා කෙල්ලෝ රවට්ටගන්න එක .ඒ වගේම ආදරය වෙනුවෙන් කියලා කෙල්ලෙකුගේ කන්‍යාභාවය පවා ඉල්ලන කොල්ලෝ ඉන්නවා ..කෙල්ලෙකුට කොල්ලෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ ආකර්ශනයද ?ආදරේද ? මං හිතන්නේ ආකර්ෂණය !ආකර්ෂණය ඔස්සේ කෙනෙක්ව තමන්ගේ කරගැනීමට ලෝබ කමක් ඇතිවෙනවා .ඒ ලෝබකම තමයි ආදරයට පෙරලෙන්නේ .ඒ ආදරේ හරිම ආත්මාර්ථකාමියි !වෙන කිසිම ආදරේකට වඩා .ඔයාල හිතන්නේ මොකද්ද ?ඇත්තටම නවකතාවල ඉන්න පරම පිවිතුරු ආදරේ හැබෑ ජීවිත තුල තිබෙනවාද ?

Thursday, January 10, 2013

මුසල්මානුවන්ගේ රාජධානිය !

මට මහා පුරුදු බවක් දැනුණා ,ඇත්තටම එතැන මාරම පුරුදුයි ..ඒ වැලි පාර දිගේ මම කවදාම හරි ගිහින් තියනවා ..අඳුරුයි !ඒක හරියට හැන්දෑවක්ද රැයක්ද කියල හිතාගන්න බෑ .හරියට ගහක් කොළක් පෙන්නේ නෑ ..හැබැයි වැහි අඳුර වගේ ගහ කොළේ  චායාව පේනවා ..ඒ වැලි පාර දිගේ මම ඇවිදන් ඉස්සරහට ගියා . යද්දී අතුරු වැලි පාරක් !ඔව් ...,මන් මේ පාර පහු කරගෙන දහස් වතාවක් ගිහින් ඇති .කවදාවත් මේ පාරෙන්  ඇතුල් වෙලා ඇවිදන් යන්න ,මේ පාරේ තියෙන්නේ මොනවද ,ඉන්නේ කව්ද කියලා හොයන්න මට   හිතුනේ නැති හැටියක් !
                                                                                                             ඒත් ...නොහිතපු විධිහට අද මට ඒ පාරේ යන්න වෙලා. මම යන්න  ඕනේ මගේ රත්තරං  හොයාගෙන ! උන් මගේ රත්තරංව අරන් ගියේ හරකෙක් මරන්න ගෙනියන ගානට .ඒ මොකටද මොන වැරද්දකටද කියල මන් දන්නේ නෑ .ඒ අතුරු පාරෙන් ඇතුලේ ලෝකය උන්ට අයිතියි .ඒ මුසල්මානුවෝ !ඒක මුසල්මානුවන්ගේ රාජධානිය !මට මේ ඉන්න විදිහට මෙතනින් ඇතුල් වෙන්න බෑ .ඒත් මේ වෙලාවේ මන් කොහෙන් හොයාගන්නද මුසල්මානුවන්ගේ ඇඳුමක් ,කමක් නැහැ .. කොයි දේට මුහුණ දෙන්න හරි මට යන්න සිද්දවෙනවා . සමහරවිට මේ මගේ ජීවිතයේ අවසානය කරා ලඟා වීමක් !ඒත් කමක් නැහැ ..මගේ රත්තරං ටත් එවැනි ඉරණමක් අත් උනොත් !මට ඔහු වෙනුවෙන් හෙලන්නට  හැකි අවසන්  දහඩිය බිඳුව හෙලන්නට සුදානම්
                                                                                                           
 මම රාජධානියට ඇතුල් වුනා ..මට දැනුනෙ මහා මුසල හැගීමක් !විස්තර කල නොහැකි තරමේ .පාරෙන් ටිකක් ඇතුලට යද්දී විශාල මන්දිර එක පෙළට !හරියට ඒවායේ බිත්ති පල්ලිවල වගේ උසයි .ඒවා කාලෙකින්  අලුත් වැඩියා කර නැති පාටයි. ඒත්  ඒවායේ  කවුරුත් පෙනෙන්න  හිටියේ නැහැ .. මම  තවත්  ඉදිරියට ගියා . විශාල තේ වත්තක් එක්ක ලොකු බංගලාවක් !ඒකෙ නම් ඇතුලේ කවුරුන් හෝ ඉන්න  පාටයි , දැන් නම් ඇත්තටම හවස්  වෙලා වෙන්න  ඕනේ ..හඳ හරිම ලස්සනට පායලා තිබුණා .තේ යායට හඳ එලිය  වැටිලා  බබළනවා . එතකොටයි අහම්බෙන් මට පෙනුනේ මගේ කිරි පාට ගවුමට හඳ එලිය වැටිලා ගවුමේ කාන්තිය  වැඩිවෙලා   නේද  කියලා . දැන් නං  මාව මුසල්මානුවෙකුගේ ඇස ගැටීමට පහසු බව වැටහුණු මම තේ පඳුරු අස්සෙන් නැමි නැමී බංගලා භුමිය වෙත ඇදුනා .                                                                                                                                                ඇතුලතින් කසු කුසුවක් ඇහෙනවා ." දෙයියනේ .......... මුසල්මානුවෙක්!"     බංගලාව පාර දිගේ  එනවා . මම තේ යාය  දිගේ ගිහිං   මැද්දට  වෙලා හැංගුනා. රත්තරං මෙහෙ  ගෙන ආ බවට නං කිසිම සාක්ෂියක් නැහැ . මම ඇවිත් ඉන්නේ වැරදි තැනටද ?වෙන්න බැහැ !වෙන කිසිම තැනක හැල හොල්මනක් නැහැ .මේක මුසල්මානුවන්ගේ රාජධානිය වුනත් මුසල්මානුවෝ ඉන්න බව පෙන්නේ මේ බංගලාවේ විතරයි .බංගලාවේ විශාලත්වයේ  තරමට ඔවුන් කී දෙනෙක් ඇත්ද ?ඔවුන් ක්රූරයි ..මගේ රත්තරං ව ඇදන් ආ හැටි දුටුවනේ !  මම තේ යාය දිගේ බංගලාව ළඟටම ගියා .එය බංගලාව පිටුපස !විශාල වලං !තනිකරම වලං වලට වෙන්වුන ස්ථානයක් !වලඳක විශාලත්වය කියනවානම් එකක මන් වගේ දෙන්නෙකුට   හැංගෙන්න ඇහැකි.මුසල්මානුවන් දෙදෙනෙක් ඇවිත් ලොකු  මුට්ටියක් උස්සන්  ගියා. මම තවමත්  ඒ අසල  තේ  පඳුරක් යට !                           
                                                                                                              ලස්සන   ගැහැණු දැරිවියක එවෙලේම සිනාසලමින් වලන් මැස්ස ඉස්සරහින් දුවනවා .තරුණයෙකුත් ඈ පිටුපසින් දිව ආවා .ඇවිත් ඈ ආදරයෙන් තුරුළු කරගත්තා .ඇය ඔහුගෙන් මිදී තේ යාය වෙත දිව එනවා .. ඔහුත්  ඈ පසුපස එනවා ..ඔහ්....එන්නේ මා දෙසටමයි !දැන් මට කරගන්නටම දෙයක් නැහැ .මම  නොසෙල්වී උන්නා. මම රත්තරං ගැන ඇසුවොත් මොවුන් දෙදෙනා මට උදවු කරාවිද ?මොවුනුත් ආදරවන්තයින්නේ ,මට සිතුණා . නැහැ නැහැ .. මුසල්මානුවෝ මුසල්මානුවොමයි !..කිසිම හැගීමක් නැතිඋන් !මුන්ගේ උදවු මට එපා ! එහෙම හිතලා මම නිහඬව හිටියා ..ඈ දැන් මා අසලමයි . නමුත් ඈ මාව දුටුවේ නැහැ .තරුණයා දෑත් ඇගේ බඳ වටා යවා අහසේ දිදුලන සඳ පෙන්නුවා ..ඇයගේ සපත්තුවලට මගේ අතක් පෑගිලා ..පුදුම විදිහට රිදුම් දෙනවා .එතරම් ළඟ හිටියත් ඔවුන් මාව දුටුවේ  නැහැ .ඔවුන් ප්‍රේමාන්විත සඳ දිහාම බලන් උන්නා ..මම වේදනාවෙන් මිරිකී හඬ නොනගා ඉන්නට සෑහෙන ප්‍රයත්නයක් දැරුවා .වේදනාව එන්න එන්නම වැඩියි ..අත තුවාල වී ඇති
යැයි  මට හැඟුණා                                                                                                                                                     
                                                                                                                                                       
                                                                                                                                                                         (ප.ලි . අතේ වේදනාවෙන්ම සිහිනයෙන් මිදුන මම කාමරේ විදුලි බල්බය දල්වා අතට කුමක් වී ඇත්දැයි බැලීමි . මේ දිනවල සිහිනයෙන් පෙනෙන්නේද මුසල්මානුවෝය ..හි හි !)
                                                                                                                                           

Friday, January 4, 2013

අපි ඇහුවොත්............. බැඳලා!!!!!

අලුත් අවුරුද්ද හැමෝටම යහපත් කියලා හිතනවා. අලුත්  අවුරුද්දේ   ඉස්සෙල්ලම  වෙනස් පෝස්ටුවක්  දාන්න හිතන් හිටියේ ..කොහෙද මේ නෙට් අවුල් වෙන්න ගත්තනේ ..ඉතින් හිතුවා පාලු වෙන්න නොදී මොනවහරි  ලියන්න ඕන කියල .සීත දෙසැම්බරයේ වර්ෂ අවසාන සල්පිල සුපුරුදු විදිහට මේ අවුරුද්දෙත් පැවැත්වුවා .ඒක කරන්නේ අපේ ගමේ එක්සත් සුභ සාධන සංගමය  මගින් ..සංගමයට ආධාර පිණිස .අපිත් ඉතිං සංගමයේ ඉන්න නිසා බැහැලාම හිටියා සල්පිලට .ඒ උනාට ඉතිං ලංසු නම් තිබ්බේ නෑ ,ලංසු තිබ්බේ හොඳ මැණික් මුදලාලිලා එහෙම තමයි .                                                                                                                              
                                                                                                              සල්පිලෙන් එකතුවෙන සල්ලි සංගමයෙන් කරන සුභ සාධන කටයුතු වලට ගන්නවා ..මරණයක් වුනොත් සංගමයෙන් දැනට රු .28000ක් දෙනවා ,මිය ගිය නිවෙසට .අපේ පුංචි සල්පිලෙන් සංගමයට ලැබුනේ රු .ලක්ෂ දෙකහමාරක් වගේ මුදලක් ..සල්පිල කරේ විනිවිදබාවය රැකෙන විධිහට ,කිසිම ගැහිල්ලක් හොරයක් බොරුවක් නෑ ..සල්පිලේ යන භාණ්ඩ 15-20 දී ලැබුණ වටිනාකම කියනවා එවෙලේම ,ඊළඟ භාණ්ඩ 20දී කලින් එකතුවත් එක්කම ලැබුන වටිනාකම කියනවා ..ඔය විදිහට තමයි සල්පිල ඉස්සරහට අරන් ගියේ ..ගමේ කොල්ලෝ එකතුවෙලා "චැලේන්ජ් "කියලා පුංචි සංගීත කණ්ඩායමකුත් හදාගෙන තියනවා ,සල්පිල අවසානයේ ඒගොල්ලන්ගේ  මිහිරි  සංගීතයත්   විඳින්න  අපිට හැකියාවක්  ලැබුණා . පුංචි උනත් අපේ දේ අපිට වටිනවනේ ;)                                                                                                                            
                                                                                                               මම මේ කියන්න යන කතාව වුනේ සල්පිලේදී නිසයි ඒ ගැන පුංචි විස්තරයකුත් කලේ,සල්පිල්  වේදිකාව  දෙපසින්  සංවිධායක මහත්වරු  එන අයට අසුන්ගන්න පුටු තියලා  හට් ගහල ලස්සනට හදල තිබුණා ,අපි හිටියේ ඉතිං සංග්‍රහ කිරීම් භාරව තමයි :) අපේ චැලේන්ජ් කොල්ලන්ගේ සංගීතය පටන් ගද්දි ඔන්න අපිත් පුටුවල වාඩි  වුණා.මං  හිටියේ අපේ දෝණි එක්ක (අපේ සත්තලන්ගේ ලොකු අක්කගේ දුව ,මේ අර ඕලෙවල් කරලා ඉන්නේ )තුන්වැනි පුටු පේලියේ ඉඳගෙන ,සංගීතය පටන් ගත්තට පස්සේ ඉස්සරහා පේළිවල කට්ටිය අඩු වෙලා අපි දෙන්නව නටන (තෙල් බීම බීල ඩාන්ස් කරන) අයගේ පැත්තට හොඳට නිරාවරණය වුණා . වැඩිපුරම නටන්නේ පිරිමි උදවිය ,ඒ අයගෙනුත් වැඩි පිරිස තරුණයෝ .එක අතකට මට කලකිරීමකුත් ආවා . මේ  කොල්ලෝ  නටන   පිස්සු දැකල .පස්සේ හිතුණා තරුණ කාලේදී ඇතිවෙන හැගීම්නේ  කියලත් .                                                                                                                                                                     අපේ දෝණිට චුටි දේටත් හුඟාක් හිනා යනවා ..අර නටන පිරිසේ එක එක විකාර විදිහට නටන අයව මට පෙන්න පෙන්න දෝණි හිනාවෙනවා , මටත් එතකොට පුදුම විදිහට හිනා යනවා අප්පා ;) හි හි .... ඔහොම ටික වෙලාවක් හිටියා ,හෙල්මට් එකක් අතේ තියන් ජැකට් එකක්  දාන්  හිටපු කොල්ලෙක්  අපේ   පැත්තට   ඇවිත්  අපිට පුටු දෙකකට  එහායින්  වාඩි වුණා . අපි හිටපු පුටු  පේලියේම .ඉස්සරහ  ඉඩ තියෙද්දිත්  අපි ළඟටම  ආපු නිසා මටනම් සැක හිතුණා. වාඩිවුණේ  අපේ   දෝණි  හිටපු පැත්තෙන් , මම හෙමිහිට  දෝනිට කිව්වා  එහා පැත්තෙන්  කවුද  වාඩිවුණා කියල ,දෝනිත් ඒක දැකල තිබුණේ .අපේ  දෝණි   ඇඳන්  හිටියේ කළු  ටී ෂර්ට් එකක් , මම  රතු . අර කොල්ල ටික වෙලාවකින්  කියනවා ."රෙඩ් මැඩම් " චුට්ටක්  බලන්නකෝ .. මම  ඇහුනේ  නැති  විධිහට හිටියා හි හි ...ඊට  පස්සේ කියපි "බ්ලැක් මැඩම් .. රෙඩ් මැඩම්ට කතාකරනවද ?"ඒක මටත් ඇහුණා ..අපි දෙන්නම බීරො වගේ හිටියා . මේන් ටිකකින් මු අපිට ගල් කැට වලින් ගහනවා ,රැව්ව රැවිල්ලක් අළු දුලි වෙලා යන්න ..හික් ..ඒ පාර මු ගිහින් පැත්ත නොබලා නටනවා ..අපි හිතුවා කරදරේ ඉවරයි කියලා ..ම්හු ....මෙන් ටික වෙලාවකින් මු සිංදුවල කෑලි වලට මගේ පැත්තට ඇඟිල්ල දික් කරනවලු  .දෝණිය දැකල මට කිව්වා, විලි ලැජ්ජාවේ බෑ .. පිටිපස්සේ  පුටුවල ඉන්න  අයටත් මේක පේනවනේ .. ඔක්කොම ඉන්නෙ  ගමේ මිනිස්සු .ඒත් මු නං ගමේ නෙවෙයි අපි දැකල නෑ .. ඔහොම නට නට ඉඳල මගේ පැත්තෙන් ඇවිත් මට පිටිපස්සේ පුටුවක මු ආයේ වාඩි වුණා. මම  මුකුත්  දැක්කේ  නැති  විදිහට තමයි ඉන්නේ හි හි ... මු හොඳටම බීල ගඳත් එනවා දැන් ..දෝණි බයවෙලා ..ඇයි  ඉතිං බීපු එකෙකුට මුකුත් කියන්නත්  බෑනේ ඔය  වගේ  වෙලාවක . දැන් මු ආයේ එක එක ඒවා කියෝනව .. අපි හිටපු  තැනම  පිටිපස්සේ අපි අඳුරන අය්ය කෙනෙකුයි ඒ පවුලේ  කට්ටියයි හිටිය ..ඒ හින්ද අපි බය වුනේ නෑ ,මට හිතෙන විධිහට මේ කොල්ල මට වඩා බාලයි ..පොඩි කොල්ලෙක් !" ප්ලීස් කෝල් මී  මැඩම් " කියලා මු නම්බර්  එක මගේ ඔඩොක්කුවට දාල යනවා කියල  ගියා . ටික වෙලාවකින්  මු   ඉන්නවා  දෝණි දැකලා මට කිවුව ඉන්නවා කියලා , හිටියේ අපේ ගමේ කොල්ලෙක් එක්ක කතාකර කරලු ..ඊට පස්සේ හෙල්මට්  එක පැත්තකින් තියලා ජැකට් එකේ කොන් දෙකෙන් අල්ලන් මු නටනවා ..මටයි දොනිටයි පලු  යන්න හිනා (ඌට පෙන්නේ  නැතිවෙන්න ).. මු නටන්න  දන්නේ නෑ  , කුඹුරේ මඩ  පාගනවා  වගේ වෙලාවකට  ප්ලේන් එකක් යනවා  වගේ හික් හික් .. නටල නටල එකපාරටම  අපේ ඉස්සරහට  ඇවිත්   අත්  දෙක  දෙපැත්තට  විහිදවල අපේ පැත්තට  හැරිලා මු කියපි                                                                                                                                                                               අපි ඇහුවොත්............. බැඳලා!!!!!                                                         ප.ලි . ඔය වගේ තැන්වලදී කොල්ලෝ වැඩිපුර ගන්නේ (ඒගොල්ලන්ගේ වචනෙන්ම කියනවනං )ආතල් ..ඒත් ඒ වගේ බීගෙන නටලා කොල්ලෙකුට කවදාවත් කෙල්ලෙක්ව යාලු කරගන්න බෑ වගේම ,කොල්ලෙක්ගේ තියන පෞර්ෂත්වය කියන දේත් තමන් විහින්ම බිංදුවට වට්ටගන්නවා .