මේ මාසේ 15 වෙනිදා මම දෝණිත් (අක්කගේ දූ ) එක්ක නිවිතිගල නගරයට ගියේ පුංචි පුංචි උවමනා ටිකක් සපුරගන්න.ඒ වැඩ ටික හමාර කරගෙන බස් එකක් එනකං කියලා ස්ටෑන්ඩ් එකේ බලාගෙන ඉන්නකොට ඈතින් මතු උනා සුපුරුදු මූණක්...
'දෝණි.........., අපේ පංතියේ එකට හිටපු බෝයි කෙනෙක් එනවා මේ පැත්තට............මාව දකීද.............? 'කියලා කියනකොටම එයා මාව දැක්කා..
පස්සෙ එයා අපි ඉන්න තැනටම ආවා...
'කොහොමද ඉතිං........' එයා කතා කරන්නත් කලින් ඇහුවේ මම.
'හොඳයි...බස් එකක් එනකන්ද ඉන්නේ?' එයා ඇහුවා.
'ඔවු.........දැං කැම්පස් එකෙන් නම් අවුට් ඇතිනේ?'
'ඔවු........දැන් ජොබක් කරගෙන ඉන්නවා..'
'එහෙමද?'
ඔහොම කතා කර කර ඉඳලා අපේ පරණ යාලුවො ගැන මම අහන්න ගත්තම හැමෝගෙම වගේ විස්තර කියාගෙන ගියා.
'අසිතයි ,ලසන්තයයි , නාලකයයි පොලිසියේ..තිළිණ කොතලාවල එකේ, දතා ඩිග්‍රියක් ගැහුවා...අනිත් සමහර උන් බැඳලා, ඊයේ පෙරේදා එකෙක් මැරිලා ගියා විහින්...........'
'මැරුණා? ඒ කවුද...?'
'දන්නවද දන්නෙ නෑ...අපේ බැජ්වල නෙවෙයි හිටියේ ..සහනා...'
'හෑ.......සහන්? ඇලෝසියස් ගිය සහන්?'
'ඔවු.......මතකද ඌව?'
'මට මතකයි...'
ඉන් පස්සට කතාව බොහෝ දුර ඇදුනා..කතාව අහපු මට මහා කළකිරීමක් ඇති වුණා.
සහන් අපේ ඉස්කෝලෙන් ඉවත් වෙලා ඇලෝසියස් එකට මාරු වෙලා තිබුණේ 9 පංතියේදී.ඒ නිසා මට සහන්ව අඳුරගන්න අවස්ථාවක් හම්බුනේ නෑ..නමුත් හවුස් මීට් දවස්වල එක දවසක් සහන් අපේ ඉස්කෝලෙ ඇතුළට ඇවිත් හිටියා.එදා එයා හිටියේ මගේ යාළුවෙක් (පිරිමි ) එක්ක.එයාල දෙන්නා ළඟින් පංති කමරයට යද්දී මම මගේ යාළුවා එක්ක කතා කරලා තමයි එතනින් ආවේ.එතකොට සහන් මගේ මූණ දිහා බැලුවත් හිනා උනේ නෑ...ආඩම්බරකාරයා!
පස්සේ මගේ යාළුවා පංතියට ආවම මම ඇහුවා ඒ කවුද කියලා.එතකොට මට සහන්ගේ විස්තර ටිකක් එයා කිවුවා.ඊට පස්සේ තමයි මම දැනගත්තේ එයා ආදී ශිෂ්‍යයෙක් කියලා.
පස්සේ බස් ස්ටෑන්ඩ් එකකදී ,ටවුන් එකේදි වගේ දැක්කම මාත් එක්ක හිනා උනා.ඒත් කවදාවත් කතා කරලා නෑ..
ඊටත් අවුරුදු ගානකට පස්සෙ මෙහෙම අහන්න ලැබෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ.අනික බුද්ධිමත් කෙනෙක් වෙලත් සහන් ඒ වගේ තීරණයක් ගහ්තු එක ගැන මට හරිම කනගාටුයි.ඒත් එක්කම මට දැනගන්න ලැබුණා සහන් සියදිවි නසාගන්න තැත් කරපු සිව් වෙනි අවස්ථාව තමයි මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ කියලා.
සහන්ට විෂාදය වැනි රෝගී තත්ත්වයක් තිබුණාවත්ද කියලා මට වෙලාවකට හිතෙනවා.මොකද මීට් පෙර තුන් වතාවක් එයා සියදිවි නසාගන්න උත්සාහා කරලා තියනවා.කතාවේ හොඳම හරිය තමයි මැරෙන්න ටික වෙලාවකට කලින් එයා කළු ජැකට් ඇඳලා මූණට කලු මූණු දාගෙන එක එක විදිහට පින්තූර දාල බුකියේ.එයා සියදිවි නසාගන්න බවත් කියලා.බුකියේ ඒ වෙලාවේ හිටපු කෙනෙක් එක්ක චැට් කරලා.එයා ඒ දේ කරන්න එපා කියලා සහන්ට කියලා තියනවා.සහන්ට තිබුණේ බුකියත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්ද කියන්න මම දන්නෙ නෑ.නමුත් එයා කරපු මෝඩ වැඩේ ගැන දුක් වෙනවා ඇරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ...කෙසේ නමුත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා..
ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්.ඒ ප්‍රශ්න එකින් එක ලිහාගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ.අපිට බුද්ධිය කියල දෙයක් තියෙන්නේ කල්පනා කරලා නිවැරදි තීරණය ගන්න.ජීවිතේට හිතුවක්කාර වෙන්න දෙන්න නරකයි.අපේ ජීවිත අපිට ඕන විදිහට මට්ටු කරලා හදාගන්න ඕනත් අපිමයි.ප්‍රශ්න වලින් පැනලා යන එක ලොකු දෙයක් නෙවේ.ඕනෑම ප්‍රශ්නයකට අභියෝගාත්මකව මුහුණ දෙන එකයි හපන්කම.! මේ ලියන මටත් "අනේ මැරිලවත් යන්නෙ නෑනේ " කියලා හිතුණු වාර අනන්තයි.මම හිතනවා කියවන ඔයාටත් එහෙම ඇති.ඒත් ඒ වෙලාවට තමයි අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ..කවදාවත් අපේ අම්මා දුක් විඳගෙන අපිට අරන් දුන්නු මේ ජීවිතේ හෑල්ලු වෙන විදිහට මරලා දාන්න එපා.ඒ ජීවිතේට පුලුවන් උපරිම වටිනාකම අරගෙන දෙන්න උත්සාහා කරන්න.
******************************
කෙනෙක් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නට හේතු මොනවද?
ප්‍රධාන වශයෙන්
1. ආර්ථික දුෂ්කරතා
2. අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටීම.
හැඳින්විය හැක.
පුළුල් ලෙස කරුණු රැස් කළ විට..
* හින්නොන්මාදය
* මානසික ආතතිය
* බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල
* අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී
* ඖෂධ අනිසි ලෙස භාවිතා කරන අවස්ථාවලදී
* අධික මානසික පීඩවක් වූ වෙනත් ඕනෑම අවස්ථාවක
මේ අවුරුද්ද තුළ මගේ ගම් ප්‍රදේශයේ සියදිවි නසා ගැනීම හා සම්බන්ධ මට අසන්නට ලැබුණ තෙවන මරණය තමයි සහන්ගේ මරණය.ඊට කලින් අවු : 27 ක එක් දරු පියෙක් ගෙල වැල ලා ගත්තා.තවත් පාසල් යන සිසුවෙකු ගෙල වැල ලා ගත්තා.මේ මට අහන්න දකින්න් ලැබුණ ඒවා.එහෙම බලද්දී ලංකාව ඇතුළෙම මේ වගේ මරණ කොයි තරම් සිදු වෙනවා ඇත්ද?ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන 10-20 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර තිබෙනවාලු.සියදිවි නසා ගැනීමට හේතු, ඒවා අවම කරගන්නේ කොහොමද?, කියන කරුණු සහ තවත් වැදගත් කරුණු රැසක් සහිත වටිනා ලිපියක් විකිපීඩියා වේ තිබුණා,ඒකත් බලන්න.ජීවිතයට ගොඩක් වැදගත් වේවි.
 |
| අප අතරින් වියෝ වුන සහන් |
ප.ලි. - සහන් යනු මන: කල්පිත නමකි.සහන් කොහොම ලෝකෙක මොන විදියකට උපදීද කියලා මම දන්නෙ නෑ...නිවන් සුව ලබන්න සහන්ට බෑ කියලා මම දන්නවා.නමුත්...ඉක්මනින් යහපත් අයෙකු ලෙස , යහපත් ආත්මයක උපදීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.