ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label රෙහානි කාපු කටු. Show all posts
Showing posts with label රෙහානි කාපු කටු. Show all posts

Saturday, June 29, 2013

රුපියල් 600 න් දවස් දෙකක ට්‍රිප් එකක් ...කැමති අය එන්න යන්න

ඕං ඉතිං පොසොන් පෝය දා සල්ලි සල්ලි කියල බලන්නැතුව අපිත් ගියා වන්දනාවේ .. :D පොසොන් පෝයදා ට වැඩිපුරම යන්නේ මිහින්තලා ගමන නේ .ඒත් ඉතිං මගේ නං අදහස පෝය දවසට ගමේ පන්සලේ සිල් අරගෙන ,සිල් නොගන්න ඇත්තෝ පන්සලට ගොහිං (පන්සල් යන්න බැරි ඈයෝ ගෙදර බුදුන් ට හරි )දාන මානාදී පිං රැස් කොරගෙන ,හවස් අතේ එලි පහලියට බැහැල වෙසක් කුඩුවක දෙකක සිරි නරඹලා ,ගමේ අවට තියනවනං තොරනුත් බලලා (කුරුළු තොරන් හරි කමක් නෑ ඕන විදිහකට) ගෙදර ඇවිල්ල  නිදහසේ   නිදාගන්න එක තමයි  හොඳම දේ කියලා . වන්දනාවේ යනවනං  යන්න ඕන නිදහසේ  වඳ පුදාගන්න පුළුවන් දවසක් බලලා .මොකද ඉතිං සමහර ඇත්තන්ට නිවාඩු හම්බෙන්නෙත් වෙසක් පොසොන් ඇහැළ  පෝය තුනට විතරයිනේ .                                       
සිංහ පාද 
ගමේ ගොඩේ ඇත්තෝ එකතු වෙලා වන්දනාවේ යනවයි කියලා අපේ නැන්දම්මා කීවේ පොසොන් පෝයට ඉස්සරින් දා .. වෙලාවට අතේ සල්ලිත් තිබුන නිසාත් ගෙදර කම්මැලි කමේ තුන්සිය හැට පස් දවස ගෙවන හන්දා ත් මාත් ඔන්න දෝණි ත් එක්කාසු කොරගෙන වන්දනාවේ යන්න සුදානම් උනා .දැන් ඉතිං දන්නේ නෑ බස් එකේ යන අනිත් පිරිස කව්ද ,යන්නේ කොහේ බස් එකක්ද කිසිම දෙයක් . නැන්දම්මා කිවුවා  මන් ගියා .! බස් එකට එන්න කියල තිබුණේ පාන්දර 3ට ..බස් එක ඇවිල්ල නවත්තන්නේ ගමේ හන්දියේ .එතනට මී :300 විතර දුරයි .ඕං ඉතිං හොඳට ලැහැස්ති වෙලා අපිත් හන්දියට ගියා .හරියටම 3.00 ට ,හන්දිය කරුවලම කරුවලයි .බස් එකක් තියා මිනිස් පුළුටක් නෑ ."කෝ බොලව් බස් එක  ..?" අපිට ගමන සෙට් කරපු ඇන්ටි අහනවා ."ඇන්ටිට  ෂුවර් ද ඇන්ටි 3 ට එන්න කිවුවේ  කියලා " රෙහානි හොරෙන් දත් මිටි කන ගමන් ඇහුවේ යටින් අම්ම මුත්තා සිහි කරගෙන ...හි හි :D . "ඔවු ඔවු ...........3 ටනේ එන්න කිවුවේ ..." ඇන්ටි  හත් පොලේම දිව්රලා කියනවා .දැන් ඉතිං තප්පර ,විනාඩි ,විනාඩි 30 , ගෙවිලා ගියා .ඒ වෙද්දී තව නඩේ අය ඔතනට එකා දෙන්න සේන්දු උනා . "එනවා කිවුවනං වෙලාවට එන්ඩ ඕනි ..ඔන්න ඔය බොරුව තමයි මට හරියන්නේ නැත්තේ "  හුටා :D ....නැන්දම්මට පොසොන් භක්තිය දෙපිටිං ගිහිල්ලා .මාත් හිනාව අභ්‍යන්තරයට තල්ලු කොරගෙන දෝණි ගේ අතක් මිරිකගෙන කාගෙන හිටියා .වෙන මක් කොරන්නෙයි ඉතිං ..ඕං 3.45 විතර වෙද්දී යන්තන් බස් එක ආව .හිතුවේ ආපහු ගෙදර යන්ඩ  වෙන්ඩ  ඇති කියල නේ /? එහෙම උන් නෑ මං කිරිත් එක්ක මයිලෝ බොනවනේ .දැන් බස් එකට ගොඩ වෙලා හොඳ සීට් එකක් හොයන්  ඉඳගත්තා .යන්තන් ඇති කියලා හිතලා .කට්ටිය ඔක්කොම වාඩිවෙලා ,බස් එක යන්නේ නෑ "කෝ මේ සුරංගයා එහෙම තාම නෑනේ " ඒ ගමන සුරංගයෙක් එනකං ඉන්නවා .කෝල් කරලා කරලා 4:30 වෙද්දී යන්තං ඒ සුරංගයත් ආවා .ඔව් ඔව් ඒ පාර නං ගමන පිටත් උනා :D                                                                            
සීගිරි බිතු සිතුවම් 
පිටත් උනා කිවුවට කිවුවයෑ යන්නේ කොහෙද කියලා මිහින්තලේ කියලද හිතුවේ? නෑ  අනේ " සීගිරි -දඹුළු " මේගොල්ලන්ගේ  ආරම්බේ හැටියටම මට නං තේරුනා සිගිරිවත් හරියට නැග ගන්න බැරිවෙනවා කියලා .දෑල තිරිවනාකටියෙන් පහසුවෙන්ම යන්න පුළුවන්කම තියෙද්දී මෙන්න කහවත්ත පැල්මඩුල්ල පාරෙන් රත්නපුරේට යන්න යනවා .මේ අපබ්‍රන්ශේ මොකද්ද බලනකොට එහෙන් මෙහෙන් යන්තං කනට වැටුණා පැල්මඩුල්ලේ සෙට් එකකුත් නග්ගගෙන යන්නේ කියලා .. 'හෑ .......... බස් එක සීට් පිරෙන්න කට්ටිය ඉන්නවා .ඒ මදිවට දෙතුන් දෙනෙක් හිටගෙනත් ඉන්නවා ..තව ඇවිල්ල කොහෙද යන්නේ ඔලු උඩද ?" නෑ මං එහෙම කාගෙන්වත්  ඇහුවේ  නෑ හිතුවා විතරයි .. :D හි හි !ඒවා අපිට අදාළ නෑ අපිට ඉදගෙන පාඩුවේ යන්න තියනවනම් එච්චරනේ කියල හිතන්  හිටියා ඉතිං .හ්ම්ම් ... පැල්මඩුල්ලෙන් තව 10ක් විතර නැග්ගා .දැන් නිකං කලවාන -රත්නපුර බස් එකක ඇතුල වගේ .ටිකක් වයස අම්ම කෙනෙකුත් ඒ අතරේ ඉන්නවා .ඒ අම්ම බැන බැන ආපහු බහින්න යද්දී කව්දෝ ඉස්සරහින් නැගිටලා සීට් එකක් දුන්නා .ටික දුරක් ඔහොම යද්දී හිටගෙන යන අය ගැන අනුකම්පා හිතුන  දෝණි යි මමයි මාරුවෙන් මාරුවට කට්ටියට ඉඩ දුන්නා වාඩිවෙන්න .                          දන්සලක් පහුවෙන්න බෑ ..."අනේ අයිස් කිරිං ,අනේ පැණි කොමඩු ,අනේ කොස් ,අනේ නුඩ්ල්ස් ,අනේ මඥ්ඥොක්ක .. " මුං ජීවිතේට දැකල කාල නෑ වගේ කෑ ගහන්නේ ..ඒ කියන කියන පාරට නතර කලානං බස් එකේ ගිහිං ආපහු බස් එකේම ගෙදර එන්ඩ තිබුණා .අපේ ඩ්‍රයිවර් උන්නැහේ දවල් 12.30 විතර වෙනකොට  දෙය්යනේ  කියල  අපිව  දඹුල්ලට  අරන් ගියා .  දඹුලු  පන්සලට  නෙවෙයි ටවුම  පහුකරා විතරයි .   දවල්ට කාලම තමයි ගලේ නැග්ගේ . අපේ සංවිධායක  තුමිය කියලා තියනවා දිවා    ආහාරය දෙනවාය, ගේන්න එපාය කියලා . ඉතිං අපි උදේ කෑම විතරයි අරන්  ගියේ .බත් දන්සලුත් සේරම පෝලිං වලිං පිරිලා .දන්සැලකින් කන්න ගියොත් ගලේ නැගල හමාරයි .ඒ නිසා ඉතින් කඩේකින් අත දිග ඇරලා වියදං කරලා දිවා ආහාරය අනුභව කරගත්තා ,ඔය කෑම කඩේට අල්ලපු කඩේ කොමිනිකේෂන් එකක් .මට කාර්ඩ් එකක් ගන්න ඕන වෙලා එකට  ගියා දෝනිත් එක්ක, කඩේ අයිතිකාරයා අතුගානවා . "හදිස්සිද " ඇහුවා . "ඔව් බස් එක යයි "  මං උත්තර දුන්නා .අතුගාලා ඉවරවෙලා" මොනවද ඕන කාර්ඩ් එක ?" ඇහුවා . "මොබිටෙල් "මං කිවුවා .මනුස්සයා ටිකක් හිතල මතලා වගේ කාර්ඩ් 2ක් දුන්න මට .මාත් අරං සාක්කුවේ දාන් බස් එකට නැග්ගා .නැගලා ඩ්‍රයිවර් තවම එළියේ ඉන්නවා දැකල මන් කාර්ඩ් එක දාන්න හිතාගෙන අතට ගත්තා "හෑ .......මෙන්න හච් කාර්ඩ් එකක් .." ඇස්  දෙක ගිනි බෝල වගේ කරගෙන දත් මිටි කාගෙන කේන්තියෙන් වෙව්ලගෙන යක්ෂනියෙක් වගේ කඩං පැන්නා කොමිණිය ඇතුලට ! නෑ .....එහෙම උන් නෑ , සාන්ත දාන්තව ගිහිං කේන්තිය ඔක්කේ හංගාගෙන කිවුවා මේක හච් මට මොබිටෙල් එකක් දෙන්න කියලා " එයා හිතුවේ මම ගොඩක් කලබලෙන් යන්න ආවා කියලා ,ඉතිං මාරු උන විදිහට එයා  විකිනෙන්නේ නැති කාර්ඩ් මගේ ඇඟේ ගහන්නයි හැදුවේ .                                                  ඕං සීගිරි භූමියට ඇතුල් උනා .ටිකක් නැගගෙන ගියා .ඔක්කොම හරි !අපි දඹුළු යන්න ආවේ නෑ කියල හිතලා හිත හදාගත්තා .සූ  ගාලා සෙනග .ඒ විතරක්ද මාර බ්ලොක් එකක් තියෙන්නේ .නැගපු අය අම්ම මුත්තා සිහි කර කර බහිනවා .මගින් මගට පොලිසියෙන් හරක් වගේ ඉබාගාතේ රිංගන අයව පාලනය කරනවා .අනේ පව් ඒ මිනිස්සු ! ඇයි හත් දෙය්යනේ අපිත් පව් .හතරවටෙන්ම හිරවෙලා .ඔන්චිල්ලාවේ වගේ ඉස්සරහට යනවා ආයේ පස්සට එනවා .අම්මලා කොහෙවත් .අතින් අල්ලන් හිටපු හන්දා දෝණි යි මායි එක තැන .දොඩන් ගෙඩි දෙකක් උස නැතුව දෝණි අමාරුවෙන් හුස්ම ගන්නවා මං දැක්ක .කට්ටිය ඉස්සරහට යන්නේ කුඹි යන ගානට .මොනවා කරන්නද ආපහු හැරෙන්න යෑ .අමාරුවෙන් නැග්ගා කොහොමහරි .කොලු කුරුට්ටන්ටනං හරි ජොලි .කෙල්ලන්ට ටෝක් කෝටියයි . අම්මලා සිංහ පාදේ ළඟ නැවතුනා .එතනින් උඩට අම්මලට යන්න අමාරු හින්දා .මම නං දෙපාරක්ම කලින් නැග්ගා ..දෝණිගේ පලවෙනි වතාව හින්දා අමාරුවෙන් උඩටත් නැග්ග අපි දෙන්නා . නඩේ උදවිය කොහෙද නෑ .මං වගේ යකෙකුටවත් බය නැති කෙල්ලෝ හින්ද හොඳයි .හි හි :D ...ආ මට බ්ලොගියකුත් තියනවනේ දැන් විස්තර ලියන්න .පොටෝ ටිකක් ගහගන්න එපයි කියලා ගත්තා ෆෝන් එක අතට ..දැන් හිරවෙලා තෙරපිලා අමාරුවෙන් එහෙට මෙහෙට පැද්දී පැද්දී අමාරුවෙන් අවට චායාරූප 2-3ක් ගත්තා ..තුන්වෙනි එක ගද්දිම ෆෝන් එක ගල පල්ලට වැටුණා ..." අය්යෝ ..................මගේ ගැලක්සීය !" අනිවාර්යෙන් ඕක වෙන්න පුළුවන්
 කියලා මගේ චිත්ත රූප වලට පෙනුන නිසා මං ගත්තේ නෑ එක පොටෝවක් ආයුබෝවන්  :D                                                               අමාරුවෙන් ගලටත් නැගලා කොලු ටෝක් වලිනුත් නුලේන් බේරිලා යන්තං ගල පල්ලට බැහැ ගද්දි හවස හතටත් කිට්ටුයි .බස් එක ලඟට යනකොට අපේ නඩේ සමහරු බීල !ඒ උන්දැල ගලේ නැගලත් නෑ .තාත්තෙක් දුවෙකුට බනිනවා ගෙදර වගේ හිතාන ! මදැයි වෙහෙස නිවාගන්න බස් එකට ගොඩ උනා .බස් එකට ඇවිත් දැන් ඔක්කොම වාඩි  වෙලා ආපහු යන්නයි සුදානම !පොසොන් දවසේ බුදුන් වැදගන්නවත් නෑ .අන්තිම සීට් එකේ කොල්ලේ බස් එක ඇතුලෙම සිගරට් එකක් බොනවා .එක දැකපු තව කොල්ලෙක් එයාට බනිනවා "යකෝ පොඩි එවුනුත් ඉන්නවා මේක ඇතුලේ ඕනි එකෙක් එලියට ගිහිං බීපල්ලා" කියලා .හෆොයි ...කචල් විමානයයි .එක සෙට් එකක් අනිත් සෙට් එකට නොදී බිව්වා කියලා තව කේස් එකක් !උදේ බස් එක ස්ටාර්ට් කල වෙලාවේ ඉදන් සින්දු කියපු කට්ටිය රෑ හෙන සයිලන්ට් !හේතුව හොයා බලද්දී නොදී බිවුව එකටලු !කොච්චර සින්දු කිවුවත් මට ඇහුනේ අර "මගේ තැඹිලි ගෙඩිය රත්තරං "කියන සින්දුව විතරයි තාලෙකට කියනවා .අන්තිමට ඒකත් නැති තැන ඩ්‍රයිවර් කන පැලෙන්න සින්දු දාගත්තා .රෑ කෑමත් කඩෙන් කාලා ආපහු එන්න හැරුනා .පොසොන් වන්දනාවේ ගිය වාහන නිසාත් ටවුමක් මැද්දේ තිබුන තොරණක් නිසාත් පාර බ්ලොක් ..එතනත් පැය  ගානක් කට්ට කාල අන්තිමේදී ගෙදර එද්දී පහුවදා උදේ 7.30යි .මේ ට්‍රිප් එක හන්දා මං ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි කොහේ හරි වන්දනාවක හෝ වේවා .,මල ගෙදරක ,මගුල් ගෙදරක හෝ වේවා යද්දී තමන් යන්නේ කාත් එක්කද කොයි වගේ මිනිස්සු එක්කද කියන එක අංක එකට හිතන්න ඕන කාරණාවක් !තැනක හැසිරෙන්න දන්නේ නැති මේ වගේ අය නිසා අපිව අපහසුතාවලට පත් වෙන නිසා .රු :600ට දවස් දෙකක ට්‍රිප් එකක් යන්න ඕන නම් අමතන්න රෙහානි !                 ප.ලි                 :                     පින්තුර ගුගල් වෙතිනි