ලා දම් අහසට පායන උදවිය ..

Saturday, July 26, 2014

නිසල සිත් මල 8



පසුගිය කොටස්..  
1  2  3  4  5  6  7

 විශ්මි ගමට ආ විගස අනිත් අතට මළ ගෙදරට ගියාය.පාර දෙපස තිබු සුදු කොඩි වැල් අතර තැනින් තැන බැනර් එල්ලා ඇත.නිවාස වටා මළ ගෙදරට ආ උදවියගෙන් පිරි තිබුණේය . මිදුල පුරා රඳවා ඇති බැනර් අතර එක් බැනරයක මෙසේ සටහන් වී තිබුණි.

"සිනහා කවටකම් මැද
අප අතර සැරිසැරූ
රන් හදවතක්...
වෙන්වීමේ දුක අපට පෙන්වා
යන්නට තරම් සැහැසි විය....
මතක ගොන්නක්
රඳවා අප හදෙහි...,
කුමක් කරම්ද අප?
නිවන් සුව පතනු හැර නුඹට....!"

~සුමන විදුහල් මිතුරු කැල ~


විශ්මිගේ නෙත් බර වී ගියේ නිතැතිනි.නිවසතුළට  පා නගන්නට තමන්ට හැකියාවක් නැති බව ඇයටම හැඟිණි .කඳුළු පුරවන් නිවසට එන විශ්මි දුටු මිලානි ඇයව තමා දෙසට වාරු කරගත්තාය.කලු ලී පෙට්ටියක දිගු නින්දේ සිටින යෙහෙළිය දුටු විශ්මිට ඉවසුම් නොවිය.විශ්මි හැඬුවාය.සුදු මේස් දමා ගැටගසා ඇති කකුල් අල්ලා වැන්දාය .පාසලේදී ගුරුතුමෙක් කීවේ කිසිදා මළ කුණකට වැඳිය නොයුතු බවය...එහෙත් මේ ඉන්නේ මගේ රත්තරං යෙහෙළියයි..වඳින්නට තරම් උතුම් ගති ඈ ළඟ තිබුණ බව ඒ ගුරුතුමා දන්නවාදැයි අසන්නට විශ්මිට සිත් විය.විශ්මි එතැනින් ඉවත්ව නිවස පිටුපස ඇති හට් එකේ පුටුවක වාඩි විය.කඳුළු පිසදා මදක් අවට බැලූ විශ්මි දුටුවේ හට් එකේ කොනක වාඩි වී බලාගත්වනම බලා සිටින විරංග වයි. 

 "විරංග....." විශ්මි කලෙකට පසු දුටු මිතුරා ආමන්ත්‍රණය කලේ කඳුළු සලමිනි.

විරංග තමන් දෙස බලා සිටින්නේ අසරණ හැගීමකින් බව ඇයට වැටහී ගියාය.වෙනදා දකින සිනා රැල්ලත්, දගකාර කමත් ඔහු කෙරෙන් අතුරුදන් වී තිබුණි.විශ්මි ඔහු අසලින් අසුන් ගන්නා තුරු ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය.

දැන්ද ආවේ ?"

ඔවු විරංග..." විශ්මි කතා කලේ තම කඳුළු වලින් රෝස පාට පුංචි මල් ලේන්සුව පොගවමිනි.

"අඬන්න එපා විශ්මි...මං ඔයා එනකං හිටියේ මේක කියවන්න..." විරංග කලිසම් සාක්කුවෙන් එලියට ගත්තේ ලිපියකි.

ලියුමක්.........?"

හ්ම්....අපි දෙන්නටම.....චමිලා ලියලා තියෙන්නේ..."

"අනේ......"

"ඔය ඉතිං ....අඬන්න ලෑස්තිවෙන්න එපා.." විරංග  කවරයෙන් ලියුම ගෙන දිග හැර බැලීය .


විරංග ලිපිය කියවගෙන යද්දී විශ්මිට කරුණු කිහිපයක් වැටහී ගියාය.එනම් ...ඇයට තිබු පිළිකා තත්වය සමග මෙලොව හැරයන්නට සිදුවන බව ඈ කල් තියා දැන තිබුණාය .ඇය කියා තිබුණේ විරංගටත් විශ්මිටත් උසස් ලෙස උසස් අධ්‍යාපනයෙන් ජයගන්න කියාය.එමෙන්ම අයියලා දෙන්නටයි අම්මටයි තාත්තාටයි තමන් නැති අඩුව මකන්න බැරි උනත් ,හැකි හැම විටෙකම ඒ ගෙදරට ගොඩවී හෝ එන්න කියන අහිංසක ඉල්ලීමත් ය.ලිපිය කියවා  අවසන් වන විට විරංගගේ ඇස් කොනකද කඳුළු කැටයක් දිලිසෙනු විශ්මි දුටුවාය. 

චමිලාගේ මල ගෙදර, හත් දින බණ ,දානය  අවසන් වනතෙක් විරංග ත් විශ්මිත් කැපවී උන්නෝය.ඒ සහෝදරත්වය හද පතුලේ වැඩෙද්දී චමිලා සදහටම මිහිකත වැළඳ උන්නාය.

                                 ~~~~~~~~~~~~~~~

විශ්මිත් විරංගත් පාසලේදී විභාග අවසර පත්‍ර සහ කාලසටහන් ලබගත්තෝය.දෙදෙනාටම එම මොහොතේ චමිලා සිහි වීය.ඒත් සමගම ලැබුණ සදාකාලික පාසල් නිවාඩුව විවිධ ප්‍රසංගයකින් කෙලවර විය.දෙනෙත් කඳුලින් පුරවා පිටවීමේ ගේට්ටුව අසලට ආ විශ්මි නැවත වරක් පාසල් මව දෙස හැරී බැලුවේ හද පතුලෙන් පාසල් මව වන්දනා කරමිනි.දැනුම මෙන්ම දඟකාර සොඳුරු මතකයක් රැගෙන පාසල් මව අද අලුත් පරපුරට දායාද කිරීම කළ යුතු වුනත් තම මව්ගේ තනයෙන් අන් දරුවකු කිරි බොන්නා සේ අවිහිංසක ඊර්ෂයාවකින් විශ්මිගේ හද පෙළෙන්නට විය.සැමරුම් පොත්වල අත්සන් පිරෙද්දී එසේ වන්නේ හැමගෙන් වෙන්ව යන්නට ලං වෙද්දී නේදෝ කියා ඇයට හැඟෙද්දී නැවත නැවතත් දෙනෙත් තෙත් විණි.මේ සුදු ගවුම ,කොණ්ඩ කරල් දෙක සුදු සපත්තු තව වැඩි කල් උරුම නැත.විභාගයෙන් පසු සදහටම මේ ඇඳුම හැඳ පාසල් ආ නොහැක,පාසලේ පිස්සු නටන්නටද බැරිය.

නියමිත පරිදි අගෝස්තුවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට විරංගත් විශ්මිත් හොඳින් මුහුණ දුන්නෝය.විභාග ශාලාවේ තමන්ට ඉදිරි අසුන නිතර හිස් වීම විශ්මිගේ දුකට හේතු වුයේ එම අසුන චමිලාගේ  නිසාය.ඇගේ ඇස් කොණින් ඉඳහිට වැටුන කඳුලක් විටෙක උත්තර පත්‍ර තෙමන්නට ඇත.සති තුනක් ඇතුලත විභාගය නිමා වෙද්දී එය එක අතකට හිත ට සහනයක් විය.නමුත් පාසල් ජීවිතය නිමා වීම ද හිතට දුකක් විය. විභාගය නිමා වීමත් සමග ම නිවසේ කාලය ගෙවූ විශ්මි රුපවාහිනිය ඉදිරියේත්,මල් වැවීමටත් වැඩිපුර කාලය යෙදවුවාය.

නිවසේ දුරකථනය නාද වෙද්දී විශ්මි උන්නේ රුපවාහිනිය නරඹමිනි.

හෙලෝ......" ඇය පිළිතුරු දුන්නාය.

හෙලෝ ....සුදු මැණික ...." විශ්මි හඬින් ඒ නිර්මල බව හැඳින්නාය .

"ආ..ආතේ...කොහොමද?........දැන් ඇවිදින්න පුලුවන්ද ...?"

"දැන් බොරුවට අහනවා..,මං මැරුණද බැලුවේ නෑ .."

"මෙහෙ වුන කරදර ඔයා දන්නේ නෑ නෙ .."

"සොරි කෙල්ලේ..., ඔයා මං ළඟ ඉඳගෙන කරපුවා මට මතක තියනවා.විහිළුවක් කරේ...අනික එක්සෑම් දවස් ටිකේ මං අම්මගෙන් ඔයා ගැන විස්තර ඇහුවා .."

"හ්ම්ම්...."

"එක්සෑම් ලේසිද?"

"..හ්ම්ම්....ටිකක්..."

"ලේසි වෙන්නේ කොහොමද ඉතිං ....අපි ක්ලාස් යන්නවත් දුන්නෑනේ , නේද සුදු නංගි ..."

"සුදු අයියා මගේ හිත නරක් කරන්නද කතා කළේ ...?"

"නෑ ......සොරි ....ආයෙත් ආයෙත්  සොරි...ආ .....බබෝ ඔයාගේ බර්ත් ඩේ ලඟයි නෙහ් ?

ආ...ඔවුනේ....." විශ්මිට එය මතකෙට ආවේ නිර්මල කී පසුය.


දිගු දුරකථන සංවාදයකට පසු විශ්මි කුස්සියට ගියේ මවට උදවුවක් කරන්නට සිතාය.

"සුදු අයියා නේද කතා කළේ ?"සුභද්‍රා ඇසුවේ එළවලු කපමිනි.

"ඔවු අම්මා ...."

"පහු ගිය ටිකේම මා එක්ක කතා කළා ..."

"මාත් එක්ක කිවුවා ....අම්මගෙන් මගේ විස්තර ඇහුවා කියලා .."

"හ්ම්ම්....ඒක නෙවෙයි...සුදු දූ දැන් ඔහොමම ඉන්නද කල්පනාව....අපරාදේ පුතේ කාලේ.." සුභද්‍රා ඇසුවේ විශ්මි නිකරුණේ කාලය ගෙවා දමන නිසාය.

"මන්දා අම්මේ...

විරංග පුතා මොකද කරන්නේ?" සුභද්‍රා ඇසුවේ ටික දවසකින් නිවසටවත් නොපැමිණි නිසාවෙනි.

"එයා අම්මා ජේම් කටින් යනවා කීවා ....ගියාද දන්නෑ .."

"ඔයත් මොනවා හරි කෝස් එකක් වත් කරන්න පුතේ...."

"ඉන්නකෝ අම්මා ....මං  විරංගට කෝල් එකක් ගන්න..."
විශ්මි විරංග ට ඇමතුම් කළේය.විරංග මැණික් කැපීමේ පාඨමාලාවට නොගිය බව දැනගත් විශ්මි තම නිවසට පැමිණෙන ලෙස විරංග ට ආරාධනා කළේ සතුටින් ඉපිලෙමිනි.ඉන්පසු කාමරයට වී ඇය තම අතීතය මොහොතකට සිහිපත් කළාය .ගමේ පාසලේ ගෙවා දැමු අවුරුදු එකොළහක අතීතයට වඩා උසස් පෙළ අධ්‍යන අවුරුදු දෙක ට මහත් සේ ඇලුම් කළාය .සමහර විට ඒ පාසලේදී හමු වුණ යහළු යෙහෙළියන්ගේ සමීප බව එයට බලපාන්නට ඇත.

විශ්මිගේ දැහැන බිඳී ගියේ විරංගගේ බයිසිකලයේ හඬිනි.ඉදිරිපස දොර වසා තිබුණ බැවින් විරංග බෙල් එක නාද කරන්නට විය.විශ්මි නෑසුන ගානට දොර අසලම උන්නාය.

"විශ්මි....." විරංග බැරිම තැන කෑ ගසා කතා කළේය.

විශ්මි සිනහව පිටතට නොඇසෙන්නට කට අතින් තද කරගත්තාය.සුභද්‍රා විරංග කෑ ගසන ශබ්දයට සාලයට එත්ම විශ්මි කතා නොකරන ලෙස අතින් සන් කළාය .

"විශ්මි....මං යනවා...."

"හිටපං පොඩ්ඩක් ඉතිං ....." විශ්මි සිනාසෙන ගමන්ම දොර ඇරියාය.

"ආ...දැන් ඇහුනේ නේද?" විරංග විශ්මිගේ කන මිරිකුවේය.


"ඌයි ......අතාරිනවා මෝඩයා...."

"කන්න මොනාද තියෙන්නේ.....සෑහෙන දෙයක් තිබුනොත් සලකලා බැලුවෑකි.." විරංග කිවේ කන තව ටිකක් තදට අල්වාගෙන.

"ඌයි ....ඇපල් තියේ......"

"හා හා මදි ....තව...."

" අයිස් ක්‍රීම් තියේ....අතෑරපන් "

"බෑ ....මදි මදි....තව...."

"අනේ අම්මා ....බලන්නකෝ...,අර ෆ්‍රිජ් එකත් එක්කම කාපියකො ..."

"ආ....අන්න දැන් හරි..."

විරංග කුස්සියට ගියෙන් විශ්මි කන අතගාමින් ඔහු පසුපස වැටුනාය.විරංග ශීතකරණය විවෘත කර ඇපල් ගෙඩියක් ගෙන කෑවේ කෑම කාමරයේ පුටුවක අසුන් ගනිමිනි.


පෙරේතයා ...." විශ්මි කීවේ ඇපල් ගෙඩිය නොකපා ම කන්නට වු නිසාය.විරංග නැගිට ගත්  පසු විශ්මි දිව ගියේ නැවත කන මිරිකවාගන්නට බැරි නිසාය.විශ්මි දිව විත් නැවතුණේ මිදුලේ පිහිඹියා ගස යට බංකුව මතය.විරංග ද පැමිණ ඈ අසලින් වාඩි වුණේය .විශ්මි විරංග අතේ තිබුණ ඇපල් කෑල්ල කඩන් කෑවාය .

"හා....දැන් පේනවනේ කවුද පෙරේතී කියලා ..."විරංග කීවේ අත උලුක් කරමිනි.

"මට තුන් වෙනි පාර්ශවේ මතක් උනා .." විශ්මි කිවේ චමිලා මතක් වීමෙනි.

"අපිට එහෙ යන්නත් බැරි උනා නේද?" විරංග කිවේ දුකෙනි.

"හ්ම්ම්..අපි හෙට යං ..." විශ්මි යෝජනා කළෙන් විරංග එය අනුමත කළේය.


දිවා කාලය විරංග සමග ගෙවා දැමු විශ්මි සවස් කාලයේ මග බලන් උන්නේ අයියා එනතුරුය.වාහනයක හඬ ට ඉදිරිපස දොරටුව වෙත ගිය විශ්මිට දැකගත හැකි වුයේ නිවසට එන සමරවික්‍රමවය.

"අම්මා .....අද තාත්තා ඉක්මනට එනවා...." විශ්මි සතුටින් ඉපිලුණි.

"මං කලින්ම කියා තිබ්බා අද වේලාසන එන්න කියලා ..." සුභද්‍රා පිළිතුරු දුනි.

"ඇයි අම්මා ....විශේෂයක්ද?"

"නෑ පුතේ.....නිකං ..."

අම්මා එසේ කීවද යම් දෙයක් ඇතැයි විශ්මිට නිකමට සිතුණි .

තවත් මොහොතකින් දමිත්ද නිවසට ගොඩ විණි .

"මං කොච්චර වෙලා ඉදන්ද පාර බලන්නේ..." විශ්මි මැසිවිලි නැගුවාය .

"ඇයි ....සීනි බෝල ගේනවා කිවුවේ නෑනේ මං ..."


"අනේ...තමුසෙගෙ සීනි  බෝල මට ඕනිත් නෑ ..."

දමිත් නිවසට ආ විගස විශ්මිව ඇවිස්සුවේය.

"එහෙනං පීසා ...?"

"අනේ....මගුල.....! " විශ්මි ගස්සාගෙන ගොස් ඇඳට වැටුණාය.දමිත් ඇඳුම් මාරු කරගෙන එන තෙක්ම විශ්මි එලියට විත් නොතිබුණ බැවින් දමිත් විශ්මිගේ කාමරයට ගියේ ඇයව යාලු කරගන්නට සිතාය.


ඇය නින්දේ හිඳිනු දුටු දමිත් මවට ඒ බව සැල කළේය.

"සුදු දු ......නැගිටින්න...නැගිටලා කාලා  නිදාගන්න..." සුභද්‍රා  කතා කලද විශ්මි අනෙක් පසට හැරී නිදාගත්තාය.

"අනේ...මට නම් බෑ මේ ළමයා ඇහැරවන්න.." යැයි කියමින් සුභද්‍රා කාමරයෙන් ආවාය.

"මං ඇහැරවන්නම් ...., ඉන්නකෝ අම්මා ..." දමිත් කාමරයට පැන්නේ දඟ වැඩකට බව සුභද්‍රා  ට වැටහිණ .


වට පිට බැලූ දමිත් විශ්මිගේ පොත් මේසය උඩ ඇති පෑන් රඳවනයේ තිබුණ කලු ප්ලැටිග්නම් පෑනෙන් රැවුල් ඇන්දේය.විශ්මි අවදි උනත් ළග සිටින්නේ අයියා බව දුටු විට අඩ නින්දේම නැවත නෙත් පියා ගත්තාය.දමිත් තම කාර්යය අවසන් කර නැගණිය පිබිදෙව්වේය.."නිදාගන්න දෙන්නෙත් නෑ සීනි බෝලයා ..." යනුවෙන් මැසිවිලි නගමින් විශ්මි කෑම කාමරයට ගියේ නිදිමතින් ඔලුව කසමිනි.සමරවික්‍රමත් සුභද්‍රාත් උන් බර කතාව නතර කර පුදුමයෙන් විශ්මි දෙස බලා උන්නෝය.දෙදෙනා නතර නොවී සිනාසෙන අයුරු දැක විශ්මි උභතෝකෝටික ප්‍රශ්නයකය.ඒ අතර දමිත් ද එතැනට සේන්දු විය.තිදෙනාම සිනාසෙන්නට වුයෙන් විශ්මි තරහින් නාන කාමරයට ඇතුල් වූයේ මුහුණ කට සෝදා ගැනීමටය..කන්නාඩිය ඉදිරියේ විශ්මිගේ මුහුණ දුටු විශ්මිටම සිනහා පහල විය.

I'm wishmi ලෙස එක් කම්මුලක ලියා තිබුණි.

"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

27 comments:

  1. ඔය තියෙන්නේ එල කිරි වගේ .. නිකං බොරුවට , කම්මැලි කමට මූ වෙලාව නෑ ගගා මැරෙන්න හදනවා.
    අල්ලලම ගිය කෑල්ල තමා " ගමේ පාසලේ ගෙවා දැමු අවුරුදු එකොළහක අතීතයට වඩා උසස් පෙළ අධ්‍යන අවුරුදු දෙක ට මහත් සේ ඇලුම් කළාය"" මම හිතන්නේ හුඟ දෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය යුගය තමයි මේ A/L අවුරුදු දෙක. එක මාරම හීන ලෝකයක් .. දැන් ඉතින් අනික් කොටස ලිව්වේ නැත්තම් දන්නවනේ ??

    ReplyDelete
    Replies
    1. ඉවානගේ කතාවට මාත් ලයික්

      Delete
    2. @ඉවා .. :D :D


      කාටත් සුන්දර මතක ගොඩක් ඉතිරි කරපු හරි ලස්සන කාලයක් ඒක ...

      දන්නවා දන්නවා ....ලියන්ඥන් ....

      දෙන සප් එකට හදවතින්ම තුති අයියණ්ඩි ...

      @ශානු , ප්‍රියා ... තැන්කිව්

      Delete
  2. කම්මැලිච්චි ඔය ලියලා තියෙන්නේ මල් 7ට ඊලගය දාමු....

    ReplyDelete
    Replies
    1. හරි ශානුවෝ ....ස්තුතියි හොදේ...

      Delete
  3. රෙහානියෝ ලස්සනයි................. අගෙයි................ නියමයි.............. එළස්........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගොඩක් ස්තුතියි කුරුටු...

      Delete
  4. මේක කොහෙන් අහවර වෙයිද කියලා මම කම්පනා කොරන්නෙ???? :)

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නේ ප්‍රියා ...

      තැන්කිව්

      Delete
  5. හාකෙ තා තතත් දැුඤ තකනා ්ත ාකෙත්....

    කාතෙ ත්ා තෙ ා ා කා් ත කත් ත කාසා‍ෙ

    හරිද?
    කථාව ලස්සනයි...ඉතිරියත් ඉක්මනට
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ............. දැන් ලංකාවේ නෙමෙයි ද ඉන්නේ......... මේ භාෂාව කතා කරන රට මොකක්ද ???

      Delete
    2. හා ඥ්ග්න් ච තා ත තු ඥ ගතත ..

      තග් ද බ්ග ඥ ත ද්ග්ජක් ...

      මං හිතන්නේ උත්තරේ තේරුණා... :D
      ස්තුතියි...


      කුරුටු...මේක හියානාවේ භාෂාව මං විදානෙට හොරෙං කියා දුන්නේ :D ඒක මෙතන කියලා ගම කෑවනේ

      Delete
  6. කතාව ලස්සනයි..... ඊලග කොටසත් තියේද...?

    ReplyDelete
    Replies
    1. ඔවු නිහිංසා...තව කොටස් ගොඩායි ...... :)

      Delete
  7. අහ්, ලියන්න මතක් වෙලා.. කියෙවුව්වා.. දැන් ඊගාව එක කවද්ද??

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් සහ මරණ තර්ජන ....ඇයි අප්පා දැන්ම මැරෙන්න පුලුවන්ද ....හැක්

      හෙට අනිද්දම... ;)
      තැන්කිව්

      Delete
  8. අම්මේ මේක කියවන්නගිය වෙලාවක්...
    ඇයි ඉතිං මෙලෝ දෙයක් තේරෙනව කියලයැ මැදිං පැන්නම...
    මුල ඉදලම කියෙවව හන්ද මහන්සියි...
    කතාව පට්ටය..
    ගලායාම උපරිමය
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි මුල ඉදලා කියවපු එක ගැන...
      එතකොට සතුටු හිතෙනවා....ලියන්න ආස හිතෙනවා...
      ආයෙත් ස්තුතියි..

      Delete
  9. ඇයි බං මේක මේ එහෙන්,මෙහෙන් ලියන්නේ..?
    එක දිගට ලියපන් කෝ.
    ඔය වගේ මුණේ,අතපය වල කුරුටු බලි අඳින එක අපිත් කරලා තියෙනවා ඉස්සර.එකත් මරු වැඩේ තමයි ඉතින්.

    ReplyDelete
    Replies


    1. හාකෝ ...ඉක්මනින් ලියන්නං
      එහෙම අත්දැකීම් අපි හැමෝටම ඇති
      ටැංකිව් :)

      Delete
  10. මටත් කියන්න තියෙන්නේ එක දිගටම ඔබත් ලියනවා මමත් බලනවා හැබැයි රසයේ
    නම් අඩුවක් නැත කියාය :)

    ReplyDelete
  11. පොඩ්ඩක් හිටින්නකෝ... මුල ඉඳන් කියවල එන්නම් :)

    ReplyDelete
  12. උසස් පෙළ දෑ අවුරුද්ද මේ තරම් සුන්දර මතකයක් විදියට අපේ හිත් වල සටහන් වෙන්නෙ යොවුන් ප්‍රේමයේ අතු ඉති මේ කාලෙදි දළු ලා වැඩෙන නිසා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හේතුවක් වෙන්ට ඕන

      Delete