ලා දම් අහසට පායන උදවිය ..

2014년 6월 25일 수요일

SMS ආදරේ




පොද වැස්ස හීනියට ලා දළු තෙමනවා...අහසේ වැහිබර වලාකුළු හාත්පසට ගුප්ත බවක් එකතු කරලා..අද පරිසරය මෙහෙම පේන්නෙ මට විතරද...? නෑ ....ඇත්තටම ගුප්තයි....අපේ අම්මාටත්  වෙලාවකට විකාර...පාන්දර ඉදං ඇහැරලා මදිවට දැන් තව කට්ටක්....

"මහවලතැන්නට බස් දෙක තුනක් ම තියනවා පුතේ....අද පරක්කුයි...." අම්මා කියන්නේ හරියට මගේ නුරුස්නා මුණ හැඳිනගෙන වගේ..

"හ්ම්...."මම ඕනෑ එපාවට කීවේ අම්මාගේ සිතිවිල්ල හරි යැයි දන්වන්න..

මම බස් නැවතුමේ කණුවකට හේත්තු වීගෙන අහස දිහාවම බලන් උන්නා ....පුංචියට වැටෙන පිණි  බිඳිති දිහාව...

අනේ පුතේ...මං  ඩින්ගිත්තකට එහා පැත්තට ගිහිං එන්නං ..." අම්මා එහෙම කතා කලේත් මගේ හිත කේන්තියෙන් පුපුරු ගහන බව දන්නා නිසා..අම්මා ගියාට පස්සේ එයාට නොපෙනෙන්න මං  එයා ගිය තැන විපරම් කළා .washroom
.....බෝඩ් එක දිහාව බලලා  ආපහු මං අහසින් වැටිලා අතුරුදන් වෙන පිණි බිඳු  දිහාව බලන් උන්නා ...

පිණි  බිඳු  දිහා බලං ඉන්න මගේ දෑස් වලට එපිටින් එහා නැවතුමේ චායාවක් ...ඔවු....ටික වෙලාවක ඉඳන් මට ඒක දැනුනත්..මන් ඒ ගැන හිතන්න උත්සහා නොකරම පිණි දිහාම බලන් උන්නා....

"excuse me....! I have to tell you something....."මට ඇහුනේ පෞර්ෂවත් හඬක්....ගැස්සිලා පිටුපස බලද්දී ඔහු හිනාවීගෙනම මා දිහා බලාගෙන...මට ක්ෂණයකින් බැලුනේ ඉදිරිපස...ඔවු....ඒ චායාව තමයි මේ පිටුපස හොල්මන් කරන්නේ....

මං කලේ පිළිතුරු දෙනු වෙනුවට නිහඬවම එක එල්ලේ ඒ ඇස් දිහාවම බලං හිටපු එක....නමුත්...මගේ බැල්මෙන් ඔහු කලබල වුණා ...අපහසුතාවයට පත් වුණා  කිවුවොත් නිවැරදියි...ඔහු මගේ දෑස් මගහැරියා...මම නිහඬවම උන්නා ...තවදුරටත් ....ඒ ඇස් දිහාවම බලාගෙන....

නැවත ඔහුම කතා කළා ..ලජ්ජාශීලීව නමුත්.....කොන්ද කෙලින් තියාගෙන... "ඔයාගේ බෑග් පොකට් එකේ දෙයක් ඇති...බලන්න..., මතක තියාගන්න මං ඉන්නේ නොයිවසිල්ලෙන්....ගිහිං එන්නම්...ප්ලීස් ....මාව විහිලුවට ගන්න එපා..."  

ඔහු යන්න ගියා....ඒත්  සමගම අම්මා මං  ඉන්න තැනට එමින් හිටියා...මං අම්මත් එක්ක දුර තියාම හිනා වුණා . "මොකෝ ....මෙච්චර වෙලා මට බුම්ම බුම්ම ආවේ මග දිගට...එක පාරට විරිත්තන්න ගත්තේ.." අම්මා නෝක්කාඩු කියනවා..."අ.....අන්න බස් එක....යමු..." අම්මා ගිය පසුපසින් ගොස් මාත් අසුනකට ගොඩ වුණා .නමුත් අම්මා අසුන්ගත් අසුනට පිටුපස අසුනේ ....මට ඕන උනේ නිදහස් වෙන්න...හෙමින් සීරුවේ වටපිට බලපු මං හෙවුවේ ඒ රුව....හ්ම්ම්.....පේන මානෙක නෑ ...හිතට දැනුණේ සතුටක්....

හිතේ තිබුණේ නොයිවසිල්ලක්...ඔහු කී දේ බලන්න......දැන් තමයි හොඳම වෙලාව.ඇසිල්ලකින් සයිඩ් බෑගයේ  පුංචි පොකැට්ටුව ඇරපු මං දැක්කේ පුංචි චිට්  එකක්...ම ඒක ඉක්මනින් දිගහැරියා.

0760000009
call or msg me..plz
I'm wishmitha

ලියලා  තිබුන විදිහෙන්  කලබලයෙන් ලියු බවක් පෙනුණා .මගේ කට කොනකට හිනාවක් ආවේ ඇයිද මංදා ....මම ඉක්මනින් බැලුවේ මං තනියම හිනාවෙනවා කවුරුත් දැක්කද කියලා..නෑ .බසය රත්නපුර නැවතුමෙන් සෙමින් ඉදිරියට  ඇදෙනවා..මම ජනේලයෙන් එපිට අරමුණක් නැතිව නෙත් යැව්වේ චිට් එක පරිස්සමට පොකැට්ටුවට දාලා ඉවරවෙලා....බසය ඉදිරියට නැවතුම පිටුපසින් ඇදුනා......

"විශ්මිත......!"..... ඔවු....ඒ ඔහු තමයි.බසය රවුමෙන් පිටවෙන්නට හැර ඔහු නැවතුම මැද්දෙන් ඇවිත්...මගේ දිහාව හිනාවීගෙන බලන් ඉන්නවා.මට හිනා ගියේ ඉබේටමයි..."පිස්සු කොල්ලෙක්" මට හිතුනා .

මම ඒ ඇස් මගහැරියා ...නමුත් ,හිත කිවුවේ ඒ දිහාවම බලන් ඉන්න කියලා .හිතට තරවටු කරපු මං ඒ ඇස් මගහරිම්න්ම  උන්නා .බසය ඔහු නොපෙනෙන දුරකට ආවාට  පස්සේ මට මතක් උනේ උදේ අම්මත් එක්ක රණ්ඩු වුණ  හැටි.

"මොන විකාරයක්ද මේ...අර අපලලු ...මේ අපලලු ..,කොඩිවින කරලලු...එක පාරක් බෙරයක් විතර සුරයක් එල්ලුවා ..මේ සුර ටිකේ බරට කොයිවෙලේ හරි බෙල්ලත් ගැලවිලා යනවා." මම එහෙම කියෙව්වේ අදත් දෙහි කැපිල්ලක් කියලා උදේම මහවලතැන්නේ දේවාලේ මාවත් ඇදගෙන ආපු තරහට.ඒත් ඉතිං දැන් තරහා හොරු අරං ගියා වගේ...මක් උනාද මන්දා .


                                      ~~~~~~~~~~~~

ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා වෙන්නේ විශ්මිත ගැන..මොකද කරන්නේ....මැසේජ් එකක් දානවද...?ඕන නෑ ...මොකටද එක අතකට.මගේ හිත විටින් විට එක එක දේ කීවා .

"නිල්මි.....එහා පැත්තේ ගෙදර කොටහලුවක්ලු....."

"හෑ ....................අපේ සිඟිති?" මම ඇහුවේ ඇඳෙන් බැහැලා  එහා ගෙදරට දුවන ගමන්...

"කොහෙද උඹ දුවන්නේ..? මං ආවේ ඒ පළාතට යන්න එපා කියන්ඩ....,ඔය සුරේ බල බිඳෙනවා ..මළ කිල්ලට අහුවෙන්නත් එපා කීවා ඇහුනේ  නැද්ද ?" අම්මා පුපුර පුපුරා කෑ ගහනවා.මම හිටි තැනම පුටුවකට වැටුනේ හිතේ තියන කේන්තියෙන් අම්මව රිද්දන්න බැරි කමට


                             ~~~~~~~~~~~~~~~

සති අන්තේ  මම ටවුමට යන දවස්.මගේ මැහුම් කෝස් එක ඉවර වෙනකම්ම මට ඒක සාමාන්‍යයි .වෙනදා මගේ වටේ ඉන්න යාලුවෝ පෙම්වතුන් එක්ක මල් පාරේ ගිහින්.. හුදෙකලා වෙච්ච මම  ෂෙඩ් එක ළඟ කෙටි පාරෙන් ඇවිත් ධර්මපාලේ පහු කරගෙන හෙමින්  සීරුවට කහ ඉර පැනලා බස් නැවතුම පැත්තට යමින් උන්නා ..අතරමගදී ඇස ගැටෙන්නේ උපකාරක පන්ති යන ළමුන්.ඒ  අතරේ හමුවන තරුණයෙක් දෙන්නෙක් මොනවදෝ කියනවා ඇහුනත් මම නෑසුන ගානට ගියා.

 "ආ....නංගි ...බොමුද සීතල වතුර වීදුරුවක්.." මගේ ඉස්සරහටම හමු උන පිරිමි ළමයෙක් එහෙම ඇහුවේ මම ඉහලන් යන රෝස පාට කුඩේ යටින් එබිලා.නෑසුන විදිහට යන්න උත්සහ කලත්,පදික වේදිකාවේ යකඩ වැටට අත තියලා ඔහු මට බාද කළා.මම බැලුවේ ඔහුගේ මුහුණ..

විශ්මිත.......! "

මට ඉබේටම කියවුණා ..

"නම මතකයි එහෙනම්.....ඇයි ඉතිං කෝල් නොකළේ?" ඔහු මගේ කුඩේ ඇතුලටම රිංගුවා.

"මට යන්න දෙන්න..." මට ඕන උනේ ඔහුගෙන් මිදෙන්න.මම බලෙන්ම ඔහුව තල්ලු කරගෙන ඉක්මනින් යමින් හිටියා.

"අද අනිවාර්යෙන් මට මැසේජ් කරන්න..නැතුව ඊළඟ දවසේ පැනල යන්න හිතන්නෙපා..." විශ්මිත කෑ ගහලා කියද්දී මට පුදුමත් හිතුණා .විශ්මිතගේ පැහැදිලි ඇස් ඔහු මට ලං වෙද්දී මම හොඳින්ම දුටුවා.ඒත්  ඒ ඇස්වල තියන හැඟීම හරියටම තේරුම්ගන්න මට තවමත් බෑ .විශ්මිතට තියෙන්නේ හරිම පැහැපත් දුඹුරු හමක්.කොහොමත් පුංචි දවස්වල ඉදන්ම මම ආස කලේ සුදු හම  තියන අයට වඩා දුඹුරු හම තියන අයට . ඒ නිසාමදෝ මන්දා මට විශ්මිත ගැන යම් ආකර්ෂණයක් ඇත්තේ.


ගෙදර ආපු වෙලාවේ ඉදන් සැරින් සැරේ විශ්මිත මගේ හිත අස්සේ හොල්මන් කරන්න අරං ...මට මතක් වෙන්නෙම ඔහුගේ පෞර්ෂය.ඒ දිලිසෙන ඇස් වල තිබුණ කාන්තිය.ඒ කළු පාට ඇස් එක්ක ගැලපෙන දුඹුරු පැහැපත් හම ..ඇත්තටම අයිති කරගන්න තරම් ආස හිතෙන  කොල්ලෙක්...ඒ හැමටත් වඩා ඔහුගේ දඟකාරකම.මගේ හිතේ ඇඳුන චරිතයමයි...අයිති කරගන්න තරම් වටිනා කමකුත් ඔහු තුළ ඇති.... 

අම්මා මේ ටිකේම එහා ගෙදර.මට යන්න විදිහකුත් නෑ .ගොඩක් පාලුයි."ම්ම්.....විශ්මිත මේ වෙලාවේ මොනවා කරනවා ඇද්ද....නිකමට වගේ මැසේජ් එකක් දැම්මොත්...." මං පොකැට්ටුවෙන්  චිට් එක අතට ගත්තේ ඔහුගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතමින්.."මටත් පාලු එකේ ඔන්නොහේ ඕන එකක් කියලා මැසේජ් එකක් දානවා."

දැන් මොනවද මං කියන්නේ.....කල්පනා කලත් දෙයක් ඔලුවට ආවෙම නෑ ...මම කළේ  එයා මට දීපු චිට් එකේ තිබුණ දේ ඒ විදිහටම මැසේජ් කරපු එක.



0760000009call or msg me..plz
I'm wishmitha

හරි....මැසේජ් එක සෙන්ඩ් වෙලා ඩිලිවරි රිපෝට් එකත් ආවා ..ඊළඟට ජංගම  තිරය දිහා නොයිවසිල්ලෙන් බලා සිටියේ ඇඳ උඩ එහෙට මෙහෙට පෙරලි පෙරලි...හරියටම විනාඩියකින් පිළිතුරක් ආවා ..

"hmm....mama band1e inne ane
thawa tikakin msg karannam" 

මගේ හිතට දැනුණේ මම නිකං පාච්චල් උනා වගේ හැඟීමක්...මම හිතුවේ වෙනස් විදිහේ උණුසුම් ප්‍රතිචාරයක් ගැන.ඒත් ....ඔහුට මාව ඒ තරම් ගානක් උනේ නෑ .."ගොන් හරකි....මී දෙන..."මම මටම බැනගත්ත .

හවස මල් කඩලා පහන තියලා පොතක් බලන්න ගත්තා ...."සුළඟ වගේ ඇවිදින්.." පොත පුරාම ගලාගෙන යන්නේ නව යොවුන් ප්‍රේමය.වැඩිමල් යුවතියකට පෙම් කරන පෙම්වතෙක්......ජිවිතයට සමීප බවක් පොත ඇතුලේ තියන නීසා ආසාවෙන් කියවගෙන ගියා ..

ජංගම දුරකතනය සංඥා දෙන්න ගත්තා ..කෙටි පණිවිඩයක්....!

ithin mk?

ඒ විශ්මිත....,අඩුම තරමේ සොරි කියලවත් නෑ ...මගේ හිතට ආවේ තරහක් 

"ai ahanne...awith karala dennada?"

මගේ පණිවිඩයක් එන තෙක් නොයිවසිල්ලෙන් ඉන්නවා කියූ ඔහු දැන් හැසිරෙන විදිහ..."SmS යවන්න ගිහිං මං කරගත්තු  මෝඩකම..."මටම හිතුණා .

ona nam barikamakuth ne miss

මේ පණිවුඩ එවන්නේ මම නොවන වග හැගෙන්න මම වෙනස් විදිහකට පණිවුඩ යැවුවා.දැන් මට අවශ්‍ය ඔහුගෙන් ගැලවෙන්න.

 "ochchara peranna epa machan
uba voice1wath ahuwada? "

uba kauda kiyapan?
kohenda A chit1 ?

විශ්මිත ඇත්තටම මං  කොල්ලෙක් කියලා හිතුවා වගේ..ඒ පාර ටිකක් නිහඬව ඉඳලයි පිළිතුරු එවුවේ..මතුපිටින් සුන්දරව පෙනුනට ඔහු එතරම් සුන්දර චරිතයක් නොවේ යැයි  මට හැඟුණා . 

"A kella bima daddi man ahindagaththa ban
me puluwannam reload1k dapanko"

මම පරණ පුරුදු සැහැල්ලුවෙන් කාලය ගෙවුවා .

~~~~~~~~~~

ඉරිදාවේ පුරුදු විදිහට මැහුම් පන්තියට ගිහින් ගෙදර එන්න මං නැවතුමේ...,මම හිටියේ රත්නපුර,නිවිතිගල නැවතුමේ යකඩ බටයකට හේත්තු වෙලා.මාව පහු කරගෙන යන දහසක් දෙනා අතරේ අමුතු හුරු පුරුදු බවක් මගේ ඉස්සරහින් ගිය තරුණයෙකුගේ චායාවෙන් දැනුණත් මම ඒ ගැන නොතකා මගේ පාඩුවේ උන්නා.ඒත් එක්කම වාගේ මගේ ජංගම දුරකථනය නාද වෙන්නට ගත්තා .දුරකථනය බෑග් සාක්කුවෙන් ගෙන එහි තිරයට නෙත් යොමා  බැලුවිට සත්තකින්ම මා කලබල වුණා .මන්ද යත් ඒ ඇමතුම විශ්මිතගෙන්  නිසා .ඇමතුමට පිළිතුරක් නොදීම නැවත බෑගය තුළට දුරකථනය දමාගත්තත් අනිවාර්යෙන්ම විශ්මිත කොහේ හෝ හිඳ මා දෙස බලා සිටින බව මට විශ්වාසයි..මම ඉක්මනින් වට පිට බැලුවා ....."හරිනේ..අර ඉන්නේ කණුවකට  මුවා වෙලා...." මගේ බැල්මෙන් මිදෙන්න දෝ මන්දා ඔහු මුණෙන් බාගයක් පොතකින් වහගෙන මගේ ඇස්  දිහාම බලන් උන්නා .ඉක්මනින් නිවිතිගල බසයකට නැගගත් මම ඔහුගෙන් පලා ගියා.ඒත්....ඔහු මගේ ලඟට එන්න උත්සහා නොකළේ ඇයි  කියන දේ තවමත් මම කල්පනා කරනවා..

ගෙදර ආ විගස මං දුරකථනය අතට ගෙන බැලුවා .හරිනේ...කෙටි පණිවිඩයක් තියනවා...

"thawath boru karanna epa,
oya koheda giye ada?"

මට තවත් හංගන්න දෙයක් නෑ ..මාත් ඔහුට පිළිතුරු දුන්නා .එතැනින් ඇරඹි මිතුදමක් සෙමින් ඉදිරියට ඇදුනා.නමුත්...ඔහුගේ ඇස් මායිමට නොයා ඉන්න මම ලොකු උත්සහයක් ගත්තා .ඔහුගේ හිතේ මං වෙනුවෙන් ආදරයක් ඇති බව මට විශ්වාසයි...නමුත් ඔහු ගැන මට ඇත්තේ වෙනස් හැගීමක්...

"ඉරිදා ඔයා ක්ලාස් ආවේ නැද්ද " ගොඩක් දවස්වලට විශ්මිත මගෙන් අහන්නේ..මම නැවතුමට නෑවිත් නැවතුමට පිටුපසින් රවුමෙන් එන බස්වල එල්ලිලා ගෙදර එන බව නොදැන..එහෙම වෙලාවට කටට එන පිළිතුරක් දීල මම විශ්මිතව මග හරිනවා...

"I love you.."

විශ්මිතගෙන් කෙටි පණිවුඩයක් ආවේ  නොහිතපු විටෙක...

"epa"

මට වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා ..

"ei nilmi oya mage adare epa kiyanne?"

"mata adarayak thiyana nisa"

"deiyane kohomada nilmi mn
oyawa amathaka karanne"

"kohomahari"

"mata oya nethuwa jiwath wenna be.
oya mage nilmi..
mama kohomada oya wena kenekge
wenawa balan inne?"

"plz...mawa therumganna,adin passe 
magen oyata msg nathiwei"

"oyath mathaka thiyaganna..adin passe
oya nisa mage jivithe wenas wei"

 ඊට පස්සේ විශ්මිතගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ .කොහොමත් විශ්මිත ඕනෑවට වඩා බැගෑපත් වෙන චරිතයක් නොවන විත්තිය මං දැනන් හිටියා ..මම ටිකක් රෑ වෙන්න ඇරලා විශ්මිතගේ යාළුවා ලක්ෂාන් ට ඇමතුමක් දීලා විශ්මිත ගැන බලන්න කියලා කීවේ හිතේ පුංචි චකිතයක් ඔහුගේ අන්තිම කෙටි පණිවිඩයත් සමගම ඇතිවෙලා තිබුන නිසා.

ලක්ෂාන්  කියපු විදිහට විශ්මිත කොහේ නමුත් මත් පැන් බොන තැනක සිටි බව දැනගන්නට ලැබුණා .



 මම ඒක ඇසුන සැණින් විශ්මිතට ඇමතුමක් ගත්තා ..මද වෙලාවකින් ඔහු කතා කළා .

"හෙලෝ නිල්මි කතා කරන්න ඉතිං ...හෙලෝ.....නිල්මි.....කතා කරන්ඩෝ...."

මම තවදුරටත් නිහඬව අහගෙන උන්නා ..පසුබිමෙන් බීමත් පුද්ගලයන් ගේ සිංදු  කීම් , නොයෙක් තට්ටු කිරිලි ආදී ශබ්ද ඇසෙන්න වුණා ..මං විශ්මිතගෙන් දැකපු පෞර්ෂත්වය මිරිඟුවක්...මට මහා අපුලක් දැනෙන්න ගත්තා ..කෙල්ලෙක් කැමති උනේ නැති පලියට එහෙමත් බොනවද? ප්‍රශ්නවලට බෝතලෙන් විසඳුම් හොයන්න යන පිරිමි  මට එපා උනේ මගේ අප්පච්චිගෙන්..

"මට ඔයාව ඇහෙන්නේ නෑ රත්තරනේ..මං පාටි එකක ඉන්නේ.....හෙලෝ....මං කියන දේ අහන්නකො ...මාත් එක්ක කතා කරන්නකෝ ඔයා ....හෙලෝ...මං ඔයාට ආදරෙයි...අයි ලව් යූ නිල්මි..මං තියනවා ඔයා කතා කරන්නේ නෑනේ..." විශ්මිත කියවගෙන කියවගෙන ගිහින් ඇමතුම විසන්දි කළා .


මම ආපහු විශ්මිතට කෙටි පණිවිඩ නොයවාම උන්නා.විශ්මිත මට කරදර කලෙත් නෑ .දවස් දෙක තුනකට පස්සේ දවසක හවස 6.30 -7.00 පමණ වන විට නැවත විශ්මිතගෙන් ඇමතුමක්..

"හෙලෝ නිල්මි...අනේ මගේ රත්තරනේ මාව මේ තත්වෙන් ගොඩගන්න..මාව ජිවත් කරවන්න පුලුවන්නම්.."

"අනේ...විශ්මිත...ඔයා  ගෙදර යන්න දැන්...." මට විශ්මිත කියන දේවල් අහන් ඉන්න හයියක් නැති තැන මම කිවුවා...හිතේ සියුම් වේදනාවක් එහා මෙහා යනවා.. විශ්මිතට ආදරේ කරන්න බලාපොරොත්තුවක් මගේ හිතේ ඇතිවෙලා තිබුණේ නෑ ..

 ටික වෙලාවකින් විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්...!


"me ahinsaka adare ai oyatama lan
une Nilmi?"

"I'm sorry wishmitha...mata oyata
msg nokara inna thibuna"

"ne Nilmi ...eda man oyawa dakka wele
nodekka wage giya nam me mukuth ne"

ඇත්තටම මගේ හිත රිදුණා ..මහා  වරදකාරී හැගීමකින් මගේ හිත පිරිලා ගියා .ගිය දේ අලි ඇත්තු ලවාවත් ආයේ ගෙන්න ගන්න බැරිලු.අන්තිමට ඉතිරි උනේ විඳවීමක් විතරයි.අද ආයෙත් විශ්මිතගෙන් ඇමතුමක්...

"හෙලෝ නිල්මි...අහගෙන ඉන්න නිල්ම් මං  කියන දේ ..."

'දෙයියනේ....අදත් බීලා ...." මගේ හිතේ තිබුණ වේදනාව තවත් පෑරිලා විසිරුණා .

"මං  ඔයා  වෙනුවෙන් ගොඩක් ඉවසුවා  නිල්මි..ඔයාට මගේ ආදරේ නොදැනෙන්න ඇත්තේ මං ඔයා ළඟ නොහිටපු නිසා වෙන්න ඇති..ඔයාට මේ ආදරේ එක විහිළුවක් වෙන්න ඇති...ඒත් ...මට? මන් ඔයාට මෙච්චර ලං උනේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ  නිල්මි...දැන් ඔයාව මට මගේ හැම හුස්මක්ම නිල්මි...හැම හුස්මක්ම....! ඔයාව මට මොකක් නිසා මගේ ජිවිතේට කොහොම ලං උනාද දන්නෑ  නිල්මි..ඔයාව මට හම්බවුණේ මගේ ජිවිතේ කොතනකට අරං යන්නද කියලා මට හිතා ගන්න බෑ නිල්මි....මං ඔයා ගැන ගොඩක් හීන මැවුවා  නිල්මි..ඒත්  නිල්මි අද......? ඔයා .....? ඔයාට තේරුම්ගන්න බැරිවුණ මගේ ආදරෙන් මං පළිගන්නවා නිල්මි .......මං  පළිගන්නවා."

මගේ ඇස් අගින් කඳුලක් වැටෙද්දී කිසිත් නොකියාම මම දුරකථනය විසන්ධි කළා.

ඒත්....විශ්මිත නැවත ඇමතුම් කළා....

"ඇයි  රත්තරනේ කට්  කරන්නේ? තව පොඩ්ඩක් අහන් ඉන්න රත්තරනේ...තව එකම එක දෙයක් ඔයාට කියන්න ඕන නිල්මි මට...මන් අඬ අඩා  හරි අද ඒක ඔයාට කියනවා නිල්මි...මං ......මං  නිල්මි මාව මේ ලෝකෙට බිහිකරපු අම්මාව මගේ ඇස් දෙකෙන් දැකලා නෑ නිල්මි....මගේ රත්තරං අම්මව මට අද ගොඩක් මතක් උනා නිල්මි...ඒ අඩුව මට අද ගොඩක් දැනුණා නිල්මි....මන් දන්නේ නෑ ඒ ඇයි  කියලා ..මට ගොඩක් වේදනා දෙනවා නිල්මි මේ ජිවිතේ...මට ඉක්මනටම මේ ජිවිතේ අන්තිම මොහොතට ලඟා වෙන්න තියනවා නම්..."

දැන් ඇති විශ්මිත....ඔය හොඳටම ඇති...මට ඒ තරම් ලං වෙන්න කලින් ඔයාට මං  ගැන හොයලා බලන්න තිබුණා ...ඔයා  ඉස්කෝලේ යන ළමයෙක්...මම ඔයාට වඩා වැඩිමල්...අනික මම ටැමිල් ගර්ල් කෙනෙක්....මගේ අම්මා සිංහල තාත්තා ටැමිල්...ඔයා  ගෙදරට කොහොමද ඒවා කියන්නේ? ඔයා  හිතනවද ඒ ටික කිවුවම මට කැමති වෙයි කියලා ....ඔය හැම දේකටම වඩා මට ,මගේ ජිවිතේට ආදරයක් තියනවා...වෙනස් නොවෙන ආදරයක්...! මම ඒ ගැන ඔයාට කිවුවා කලිනුත්...හරියටම තව මාස 3 කින් අපි මැරී  කරනවා..
දැන් ඔයා මාව තේරුම්ගන්න...ප්ලීස්...."

පසුදින උදයේම විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්....

"Nilmi....mata den aherune...mama
clz yanna hadanne"

ඒ මට ඔහුගෙන් ආ අවසාන කෙටි පණිවිඩය...!



"දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු..
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු..
හිත කියනවා තව ජීවත්වෙන්නට බැලූ...
ඔබ ලං නොවුනානම් නෑ මේ දුක පාලු.."

~~~~~ 

2014년 6월 20일 금요일

නිසල සිත් මල - 7

මෙතෙ ක්  කතාව කෙටියෙන්  ~

අ.පො.ස. සා/පෙ. සමත් වී උසස් අධ්‍යාපනය ලබන්නට යන විශ්මිට අලුත් පාසලේදී හමුවන හොදම මිතුරිය චමිලා.මිතුරා විරංග.පාසලේදී සිදුවන කම්කටොලු අතර , චමිලා හදිසියේ අසනීප තත්වයකට මුහුණ පානවා ....විශ්මිගේ ආදරණිය නැන්දණියගේ පුතු නිර්මල පො.වී.කා . බලකායේ සේවය කරද්දී ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ පා තුවාල ලබා රෝහල් ගත කරනවා..

සම්පුර්ණ කතාව පහත ලින්කු ඔස්සේ බලන්න..


 
1  2  3  4  
6

 
සුභද්‍රා..........කොල්ලා කලබල වෙලාවේ එතනට ගිහින් තියනව..එයත් එක්ක ගිය තුන් දෙනෙක්ම නැතිවෙලාලු..මගෙ කොල්ලා හොස්පිටල් ගෙනිහිං...අයියා විස්තරේ දැනගත්තු ගමන් පිටත් උනා..මාත් මේ ලොකු පුතා එක්ක යන්න කියලා හදන්නේ..අනේ සුහද්‍රා.....' තම එකම අයියාගේ බිරිඳ හඬා වැටෙද්දී සුභද්‍රාට ඉවසාගත නොහැකි විය.සුභද්‍රා නිර්මලට ඇලුම් කළේ තම කුසින් වැදූ දරුවෙකු ගානටය.

"සුදු දූ...අයියට ඇහැරවන්න...., අපිත් යන් සුදු අයියා බලන්න.." සුභද්‍රා කීවේ සාංකාවෙන් බලා උන් අත බලා සිටින විශ්මිගේ ඔලුව අතගාමිනි.

තාත්තා ඇහැරවන්න ඕන නෑ...අපි යමු ..යමින් ගමන් කතා කරලා විස්තරේ කියමු.. නැත්නම් තාත්තා ඔක්කොටම වඩා කලබල වෙයි...' සුභද්‍රා දමිත්ට කීවේ විශ්මි ඔහුව ඇහැරවාගෙන ආ පසුවය.

විශ්මි නාන කාමරයට වී කල්පනා කරන්නට වූයේ විරංගට මේ බව කිව යුතු බවයි.නැතිනම් පසු දින ඇය නැති වූ වහා ඔහු තමන්ව සොයන්නට ඉඩ තිබෙන බව ඇය සිතුවාය.චමිලා උනත් තමන් නොගියහොත් වරදවා සිතන්නට බැරි නැත.ඒ නිසාවෙන් ඇය විරංග අමතා සියළු විස්තර කීවාය.චමිලා බලන්නට යාමට නොහැකි වීම ගැන ඇයට අවංක සිත් තැවුලක් විය.විරංග දුරකථනය විසන්ධි කිරීමට පෙර ඇයට කියූ වදන යළි ඇගේ මතකයට නැගුණි. "කොහේ ගියත්, මොනවා කරත් පාඩම් වැඩ ටික හරියට කරන්න.එතන තමයි අපේ අනාගතේම තියෙන්නේ" විරංග කියුවේ සැබවින්ම සත්‍යක් බව ඇයට හැඟුණාය.


'අම්මෙ..........පව් අම්මෙ චමිලා........මට බලන්න යන්න වෙන්නෑනේ...ඊයේ ඩොක්ටර්ලා බලන්න දුන්නෙත් නෑ..මට දුකයි...' විශ්මි කීවේ රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ කාරයේ නිහඬ බව දුරලමිනි.


'මොනවා කරන්නද ළමයෝ කරදර එන්නේ කියලා නෙවෙයිනේ...ඔයා විරංගට කියන්න විස්තරේ...එයා කියාවිනේ...' සුභද්‍රා කීවේ පිටුපස ආසනයේ සිට ඉදිරිපස ආසනයේ උන් විශ්මි දෙස බලමිනි.

'න..නංගී............ඇයි චමිලා නංගිට මොකද වෙලා තියෙන්නේ?' අයියා මදක් කලබල වී එසේ ඇසුවෙන් යමක් මතකෙට ආ විශ්මිට සිනා ආවත් ඇය ආයාසයෙන් එය මැඩගෙන කතා කළේය.විශ්මි සියල්ල අයියාට කීවාය.අයිය්ගේ මුහුණ අඳුරු වී යනු විශ්මිට මනාව දැකගත හැකි විය.තමන් දැන දැනම කළේ මෝඩ වැඩකැ'යි ඇයට කල්පනා විය.

'ඇයි මට ඒ ගැන කිව්වෙ නැත්තේ......කලින් කිව්වා නම් මාත් යනවනේ බලන්න...' දමිත් කතා කළේ කනගාටුව මුසු හැඟීමකිනි.

අයියාගේ සිතේ චමිලා ගැන ආදරයක් ඇති බව විශ්මි දැනගත්තේ දැනට මාස කිහිපයකට කලිනි.ඒ දමිත්ගේ කාමරය අස් පස් කරන විටදී දමිත් අතින් ලියැවුනු කවියක ඈ ගැන සටහනක් තබා තිබුණු නිසාවෙනි.ඔහුට තම නැගණියගේත් ඇයගේත් මිත්‍රත්ත්වය පළුඳු වේ යැයි බියක් සිතෙහි විය.

සොරි අයියා.........මට ඒක අමතක උනා...."  විශ්මි කීවේ  සැබවින්ම සිදු වුණ කාරණාව ය .

දමිත් ගේ ජංගම දුරකථනය නාද වනවාත් සමගම ඔහු කාරය මාර්ගය අයිනට කොට නැවතීය . කුඩා වතුර බෝතලය අතට ගත්  ඔහු වතුර උගුරු දෙක තුනක් ගිල දමා ඇමතුමට පිළිතුරු සැපයුවේය.ඇමතුම නිර්මලගේ පියාගෙනි. ඔහු පැවසූ පරිදි නිර්මලව අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත යොමු කරවනු ඇත.මිහින්තලයේ පුංචි උන්නේ වාසනාවට යැයි  විශ්මිට හැඟුණේ දමිත් විස්තරය දෙදෙනාට කීවාට පසුවය.

 මිහින්තලයේ රාත්‍රිය ගත කළ  විශ්මිත්, පවුලේ අයත් පසුදා පාන්දර යුධ හමුදා රෝහල වෙත ගියෝය.ලොකු මාමා දුන් තොරතුරු අනුව නිර්මල උන් තැන සොයාගැනීම එතරම් අපහසු නොවීය .නිර්මලගේ  වෙඩි වැදුන කකුල අවාසනාවන්ත අයුරින් නිර්මලගෙන්  වෙන් කර තිබුණි .දෑස්  අදහාගනු නොහැකිව ඒ දෙස බලා  සිටි විශ්මිගේ දෑස්  වලින් කඳුළු කැට රූරා වැටුනේ නිමක් නොමැතිවය.කවදාවත් කඳුළු තෙත් කර තිබෙනු නොදුටු ලොකු මාමාගේ පවා දෑස්  අග කඳුළු රැඳී තිබෙනු දුටු විශ්මිට වාවාගනු නොහැකිව හැඬුම් ආවාය.විශ්මි කල්පනා කළේ  සුදු අයියාගේ අනාගතය කෙසේ විසඳේ ද යන්නය.

සුදු අයියාට සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබන්නට වෙන බව විශ්මිට හැඟී ගියාය.එහෙන් චමිලාට කුමක් සිදු වුවාදැයි දන්නේ ද නැත.දැන් සුදු අයියා දමා යන්නට ඈ ට සිත හදාගන්නට බැරිය.ඒ නිසාවෙන්ම ඈ මිහින්තලයේ නවතින්නට තීරණය කළා ය."ඉස්කෝලේ, පාඩම්, පංති .....කමක් නෑ මම ඒවා සුදු අයියා  වෙනුවෙන් කැප කරනවා..,දැන් රිවිශන්නේ ..කොහොම හරි තියරියෙන් ගොඩ යනවා...පාස් පේපර් තියනවනේ.." විශ්මි දුර දිග කල්පනා කළා ය.අඩුම තරමේ මාස දෙක තුනක් වත් ඔහු ළඟ තමන් සිටිය යුතු යැයි ඈ සිතුවාය.

දැන් විශ්මිගේ ජිවිතයේ පළමු තැන සුදු අයියාගේ  සැප දුක් සොයා බැලීමය.,මාස  දෙකක් රෝහලේ නේවාසිකව සිටි ඔහුව විජේසේකර  මිහින්තලයේ නවත්වාගෙන ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන යාම යි සිදු කළේ .විශ්මි විසි හතර පැයේම  ඔහු ගැන සොයා බැලිය.විශ්මිගේ පාඩම් වැඩ වලට ඈ ඔහුව හවුල් කර ගන්නීය.ඔහු ප්‍රශ්න අසන විට ඈ පිළිතුරු දෙන්නීය.වැරදුන විට ටොකු පහර ද ලබන්නීය . නිර්මලව සනසන්නට, ඔහුගේ ගිලිහුන මානසිකත්වය යථා  තත්වයට ගන්නට ව්ශ්මි බොහෝ වෙහෙසෙයි.

විශ්මි නිර්මල පසුපසම වැටී සිටියා මිස විරංග ට ඇමතුමක් දෙන්නට පවා සිතුවේවත් නැති බව ඇය කනගාටුවෙන් සිහි කළාය .දැන් චමිලාද සුව අතට හැරී ඇති බව ඇය  සතුටින් සිහි කළා ය.චමිලාත් ,විරංග ත් දැන් එකට පාඩම් කරනවා ඇති,ලයිබ්‍රි  යනවා ඇති ..."විශ්මි තමාත් ඒ දෙදෙනාත් කළ  කෙළිලොල් දගකාරකම් මදකට සිහියට නංවාගෙන සිතුවාය.සතුටු වුණා ය.විශ්මි වහා චමිලාගේ නිවසේ දුරකථනයට ඇමතුම් කළාය .එහෙ ත් එම මොහොතේ එය ක්‍රියා විරහිත කර තිබුණි. නැවත  නැවතත් උත්සහ කළද පලක් නොවූයෙන් ඇය විරංග ගේ නිවසට ඊ  ළඟ ඇමතුම  ගත්තාය.දුරකථනය නාද වෙනු ඇසීම විශ්මිගේ සතුටට හේතු විය.

"හෙලෝ.....' පිළිතුරු ඇසුනේ පිරිමි හඬකිනි.නමුත් ඒ විරංගගේ හඬ නොවේ..
අංකල් ....විරංග ඉන්නවද ?' විශ්මි ඇසුවේ අනිවාර්යෙන්ම ඒ විරංගගේ පියා  විය යුතු බව දන්නා නිසාය.

ආ...දුව.....! ,විරංග මල ගෙදරක ගිහින්නේ.....ඔයා එයාගේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න ...' විරංග ගේ පියා ඇය ව හඳුනා ගත්තේ නැත.

"හෑන්ඩ් ෆෝන් ? අප්පටසිරි කොල්ල දියුණුවෙලා " විශ්මි යටින් සිතමින් "අංකල්  නම්බර් එක දෙන්නකෝ එහෙනං " කියා එය ඉල්ලාගෙන එම අංකයට ඇමතීය .


 හෙලෝ....." කාලයකට පසුව ඇසුන විරංගගේ හඬ වෙනදා නොවෙන තරම් වෙනසක් ඇතැයි  ඇයට නිකමට මෙන් සිතුණි .

විරංග.....මං ......"

විශ්මි.....ඔයා ඇයි  කෝල් එකක් වත් නොදුන්නේ.." විශ්මිට කතා කිරීමට අවස්ථාවක් නොදීම විරංග කතා කළේය.

"අනේ මං  කතා කරන්න හිටියේ....ඒත් ...දවසින් දවස ඒක පහු වුණා ..සොරි  විරංග...ඒක  නෙවෙයි , කොහොමද චමිලට ?"

"ඒ ගැන මං  කොහොමද ඔයාට කියන්නේ විශ්මි...?" විරංග කීවේ කනගාටුව මුසු ස්වරයකිනි.

"ඒ කිවුවේ.......?" විශ්මි ඇසුවේ කලබලයෙනි.

"අපි දෙන්නව පාට පාට හීන ලෝකවලට....එක්කගෙන ගිහිං ...අපිව සතුටු කරවපු...අපිව හිනා ගස්සපු එයා....අපිව දාල  ඒ හීන  ලෝකෙට ඇත්තටම ගියා  විශ්මි....ඇත්තටම ගියා..." විරංග බිඳුණු හඬින්  ඒ ටික කියද්දී විශ්මිගේ වාවාගත නොහැකි කඳුළු දෝර ගලන්නට විය.


"ම..ම... තාම  මිහින්තලේ....,මගේ රත්තරං  අයියා මේක දන්නවද විරංග?" විශ්මි කතා කලේ විනාඩි ගානක නිහැඬියාවකින් පසුවය.

"ඔවු විශ්මි....මං  එයා  පස්සෙන්ම ඉන්නවා..., ඔයා  ඒ ගැන වැඩිය හිතන්න එපා..මේ දැනුත් මාත් එක්ක ඉන්නේ "

"මං  අදම එනවා විරංග .....මට දුක......එයාව යන්න කලින් එක මොහොතක් බලාගන්න බැරි වුන එකට...,එක වචනයක්....එයත් එක්ක කතා කරන්න බැරි වුන එකට...කවදද මේක උනේ විරංග?"

"ඊයේ හවස.....බොඩි එක ගෙනාවේ අද පාන්දර....,එයාට  හැදිලා තිබුණේ  කාලකන්ණි  කැන්සර්  එකක් විශ්මි..., ඔයා  එන්න විශ්මි..මට දෙයක් තියනවා ඔයා ආවට  පස්සේ කරන්න..."


"දෙයක්.............?"

"ඔවු......විශ්මි.......ඉක්මනින් එන්න......"

ආයෙමත් අහස ....

ගරු බ්ලොග් ලියන්නන්ගෙන් අවසරයි.....,ම්ම්හු........එක හරියන්නේ නෑ ...දේශපාලන රැස්වීමක් වගේ.අනේ ඔයාටයි මටයි මොන කතන්දරද නේද මෙයා.ඔවු ඉතිං  කියවන උයාට තමයි මේ කියන්නේ.දැන් ඔයාල පහුගිය ටිකේ මට මොකක් වෙලා කියලද හිතුවේ ..



1. (ඉවාන් ) ඕකි කොරියා ගිහිං

2. (මනෝජ් ) ඕකි වත්තක් අරගෙන වවනවා..

3. (දිනේෂ් ) පොස්ට් ලියන්න කම්මැලිකමේ හෙමීට මාරු උනා ..

4. (බස්සි ) මේකිගේ පොස්ට් වලට රහ වැටිලා අගහරුවෙන් අරං  ගිහිං  එහේ  බ්ලොග් ලියන්ට.


ඔන්න ඔය වගේ නානාප්‍රකාර එවුවා මෙවුවා කස්ටිය හිතන අතරේ තවත් කට්ටිය මා ගැන හොයලා තිබ්බා.ඒ අහපු කරපු හිතපු ඔක්කොටම ස්තුතියි හදවතින්ම.හරි දැන් එතකොට ඇත්තටම වුණේ  මොකද්ද?මනෝජ් කියපු කාරණාවයි , දිනේෂ් කියපු දේයි , ඒකට  තව එකතුවෙන්න ඕන මගේ අලුත් කොම්පුතර මාමා ජී මේල් වලටයි බ්ලොග් වලටයි යන්නේ දෙන්නේ නැතුව තිබුණා .පරණ කොම්පුතර මාමා  මාව  දාල යන්නම ගියානේ .ඉතිං  මගේ කතාව කියවගෙන ආපු ඔයාලට වුන අසාධාරණේට සමාවෙන්න ඕන.ආයෙමත් ඒකෙ  ඉතිරිය ලියන්න තමයි හිතන් ඉන්නේ.

                                              ~~~~~~~~~~~~

කඳුළින්  පිරුණු මා දෙනෙත...
හිරු සුළඟින් වියළෙන්නට  හැර,
ගිනි දැල්ලෙන් කළු වුණ  මා මුව,
හරවා වැලපෙන පෘථිවියෙන්  ඔබ්බට ..
රුවල් ඔසවා බොහෝ කලකට පෙර,
නිවී ගිය තාරකාවකට,
එහි දිලෙන එළියට  ඇදෙමින්,
හැර දමා මා සිත මියෙන හිරුගෙන් මෙපිට ...
නටන තරු වළල්ලෙන් ආලෝක වර්ෂයකට මෙපිට ...

අනෙකුත් තාරකාවන් හඹා යන්නන් අතර,
සහ නාඳුනන ග්‍රහලෝක මත,
දියකර දමා මගේ වැලපෙන ගත,
සහ ඔබේ මියදුන සිත...
ක්ෂීර පථය හැර දමා  පිට සක්වලිනුත් එපිටට..
සොයා යමි සැබෑ දිවිය ....
අඳුරු අනන්තය වෙත....




ප.ලි.      නිසදැස ඇතුලේ තියන අදහස ඔයාලට දැනෙන විදිහ කියන්න අමතක කරන්න එපා.නිසදැස මගේ නෙවෙයි..ඔයාලගේ පොස්ට් ගොඩක් මග හැරුණානේ ....හෙමිහිට කියවන්නම්කො ඒවාත් ...