ලා දම් අහසට පායන උදවිය ..

2014년 7월 30일 수요일

5S ලු ඔෆිස් එක..



බුමුතුරුණු නැතිවාට
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස 
රෙඩ් ෆාම් පේලියට...

 කහ පාට ඊතල  ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා 

අංක කළ පංකාද
කැරකෙමින් සිසිල දෙයි..

රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..

"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..

2014년 7월 26일 토요일

නිසල සිත් මල 8



පසුගිය කොටස්..  
1  2  3  4  5  6  7

 විශ්මි ගමට ආ විගස අනිත් අතට මළ ගෙදරට ගියාය.පාර දෙපස තිබු සුදු කොඩි වැල් අතර තැනින් තැන බැනර් එල්ලා ඇත.නිවාස වටා මළ ගෙදරට ආ උදවියගෙන් පිරි තිබුණේය . මිදුල පුරා රඳවා ඇති බැනර් අතර එක් බැනරයක මෙසේ සටහන් වී තිබුණි.

"සිනහා කවටකම් මැද
අප අතර සැරිසැරූ
රන් හදවතක්...
වෙන්වීමේ දුක අපට පෙන්වා
යන්නට තරම් සැහැසි විය....
මතක ගොන්නක්
රඳවා අප හදෙහි...,
කුමක් කරම්ද අප?
නිවන් සුව පතනු හැර නුඹට....!"

~සුමන විදුහල් මිතුරු කැල ~


විශ්මිගේ නෙත් බර වී ගියේ නිතැතිනි.නිවසතුළට  පා නගන්නට තමන්ට හැකියාවක් නැති බව ඇයටම හැඟිණි .කඳුළු පුරවන් නිවසට එන විශ්මි දුටු මිලානි ඇයව තමා දෙසට වාරු කරගත්තාය.කලු ලී පෙට්ටියක දිගු නින්දේ සිටින යෙහෙළිය දුටු විශ්මිට ඉවසුම් නොවිය.විශ්මි හැඬුවාය.සුදු මේස් දමා ගැටගසා ඇති කකුල් අල්ලා වැන්දාය .පාසලේදී ගුරුතුමෙක් කීවේ කිසිදා මළ කුණකට වැඳිය නොයුතු බවය...එහෙත් මේ ඉන්නේ මගේ රත්තරං යෙහෙළියයි..වඳින්නට තරම් උතුම් ගති ඈ ළඟ තිබුණ බව ඒ ගුරුතුමා දන්නවාදැයි අසන්නට විශ්මිට සිත් විය.විශ්මි එතැනින් ඉවත්ව නිවස පිටුපස ඇති හට් එකේ පුටුවක වාඩි විය.කඳුළු පිසදා මදක් අවට බැලූ විශ්මි දුටුවේ හට් එකේ කොනක වාඩි වී බලාගත්වනම බලා සිටින විරංග වයි. 

 "විරංග....." විශ්මි කලෙකට පසු දුටු මිතුරා ආමන්ත්‍රණය කලේ කඳුළු සලමිනි.

විරංග තමන් දෙස බලා සිටින්නේ අසරණ හැගීමකින් බව ඇයට වැටහී ගියාය.වෙනදා දකින සිනා රැල්ලත්, දගකාර කමත් ඔහු කෙරෙන් අතුරුදන් වී තිබුණි.විශ්මි ඔහු අසලින් අසුන් ගන්නා තුරු ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය.

දැන්ද ආවේ ?"

ඔවු විරංග..." විශ්මි කතා කලේ තම කඳුළු වලින් රෝස පාට පුංචි මල් ලේන්සුව පොගවමිනි.

"අඬන්න එපා විශ්මි...මං ඔයා එනකං හිටියේ මේක කියවන්න..." විරංග කලිසම් සාක්කුවෙන් එලියට ගත්තේ ලිපියකි.

ලියුමක්.........?"

හ්ම්....අපි දෙන්නටම.....චමිලා ලියලා තියෙන්නේ..."

"අනේ......"

"ඔය ඉතිං ....අඬන්න ලෑස්තිවෙන්න එපා.." විරංග  කවරයෙන් ලියුම ගෙන දිග හැර බැලීය .


විරංග ලිපිය කියවගෙන යද්දී විශ්මිට කරුණු කිහිපයක් වැටහී ගියාය.එනම් ...ඇයට තිබු පිළිකා තත්වය සමග මෙලොව හැරයන්නට සිදුවන බව ඈ කල් තියා දැන තිබුණාය .ඇය කියා තිබුණේ විරංගටත් විශ්මිටත් උසස් ලෙස උසස් අධ්‍යාපනයෙන් ජයගන්න කියාය.එමෙන්ම අයියලා දෙන්නටයි අම්මටයි තාත්තාටයි තමන් නැති අඩුව මකන්න බැරි උනත් ,හැකි හැම විටෙකම ඒ ගෙදරට ගොඩවී හෝ එන්න කියන අහිංසක ඉල්ලීමත් ය.ලිපිය කියවා  අවසන් වන විට විරංගගේ ඇස් කොනකද කඳුළු කැටයක් දිලිසෙනු විශ්මි දුටුවාය. 

චමිලාගේ මල ගෙදර, හත් දින බණ ,දානය  අවසන් වනතෙක් විරංග ත් විශ්මිත් කැපවී උන්නෝය.ඒ සහෝදරත්වය හද පතුලේ වැඩෙද්දී චමිලා සදහටම මිහිකත වැළඳ උන්නාය.

                                 ~~~~~~~~~~~~~~~

විශ්මිත් විරංගත් පාසලේදී විභාග අවසර පත්‍ර සහ කාලසටහන් ලබගත්තෝය.දෙදෙනාටම එම මොහොතේ චමිලා සිහි වීය.ඒත් සමගම ලැබුණ සදාකාලික පාසල් නිවාඩුව විවිධ ප්‍රසංගයකින් කෙලවර විය.දෙනෙත් කඳුලින් පුරවා පිටවීමේ ගේට්ටුව අසලට ආ විශ්මි නැවත වරක් පාසල් මව දෙස හැරී බැලුවේ හද පතුලෙන් පාසල් මව වන්දනා කරමිනි.දැනුම මෙන්ම දඟකාර සොඳුරු මතකයක් රැගෙන පාසල් මව අද අලුත් පරපුරට දායාද කිරීම කළ යුතු වුනත් තම මව්ගේ තනයෙන් අන් දරුවකු කිරි බොන්නා සේ අවිහිංසක ඊර්ෂයාවකින් විශ්මිගේ හද පෙළෙන්නට විය.සැමරුම් පොත්වල අත්සන් පිරෙද්දී එසේ වන්නේ හැමගෙන් වෙන්ව යන්නට ලං වෙද්දී නේදෝ කියා ඇයට හැඟෙද්දී නැවත නැවතත් දෙනෙත් තෙත් විණි.මේ සුදු ගවුම ,කොණ්ඩ කරල් දෙක සුදු සපත්තු තව වැඩි කල් උරුම නැත.විභාගයෙන් පසු සදහටම මේ ඇඳුම හැඳ පාසල් ආ නොහැක,පාසලේ පිස්සු නටන්නටද බැරිය.

නියමිත පරිදි අගෝස්තුවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට විරංගත් විශ්මිත් හොඳින් මුහුණ දුන්නෝය.විභාග ශාලාවේ තමන්ට ඉදිරි අසුන නිතර හිස් වීම විශ්මිගේ දුකට හේතු වුයේ එම අසුන චමිලාගේ  නිසාය.ඇගේ ඇස් කොණින් ඉඳහිට වැටුන කඳුලක් විටෙක උත්තර පත්‍ර තෙමන්නට ඇත.සති තුනක් ඇතුලත විභාගය නිමා වෙද්දී එය එක අතකට හිත ට සහනයක් විය.නමුත් පාසල් ජීවිතය නිමා වීම ද හිතට දුකක් විය. විභාගය නිමා වීමත් සමග ම නිවසේ කාලය ගෙවූ විශ්මි රුපවාහිනිය ඉදිරියේත්,මල් වැවීමටත් වැඩිපුර කාලය යෙදවුවාය.

නිවසේ දුරකථනය නාද වෙද්දී විශ්මි උන්නේ රුපවාහිනිය නරඹමිනි.

හෙලෝ......" ඇය පිළිතුරු දුන්නාය.

හෙලෝ ....සුදු මැණික ...." විශ්මි හඬින් ඒ නිර්මල බව හැඳින්නාය .

"ආ..ආතේ...කොහොමද?........දැන් ඇවිදින්න පුලුවන්ද ...?"

"දැන් බොරුවට අහනවා..,මං මැරුණද බැලුවේ නෑ .."

"මෙහෙ වුන කරදර ඔයා දන්නේ නෑ නෙ .."

"සොරි කෙල්ලේ..., ඔයා මං ළඟ ඉඳගෙන කරපුවා මට මතක තියනවා.විහිළුවක් කරේ...අනික එක්සෑම් දවස් ටිකේ මං අම්මගෙන් ඔයා ගැන විස්තර ඇහුවා .."

"හ්ම්ම්...."

"එක්සෑම් ලේසිද?"

"..හ්ම්ම්....ටිකක්..."

"ලේසි වෙන්නේ කොහොමද ඉතිං ....අපි ක්ලාස් යන්නවත් දුන්නෑනේ , නේද සුදු නංගි ..."

"සුදු අයියා මගේ හිත නරක් කරන්නද කතා කළේ ...?"

"නෑ ......සොරි ....ආයෙත් ආයෙත්  සොරි...ආ .....බබෝ ඔයාගේ බර්ත් ඩේ ලඟයි නෙහ් ?

ආ...ඔවුනේ....." විශ්මිට එය මතකෙට ආවේ නිර්මල කී පසුය.


දිගු දුරකථන සංවාදයකට පසු විශ්මි කුස්සියට ගියේ මවට උදවුවක් කරන්නට සිතාය.

"සුදු අයියා නේද කතා කළේ ?"සුභද්‍රා ඇසුවේ එළවලු කපමිනි.

"ඔවු අම්මා ...."

"පහු ගිය ටිකේම මා එක්ක කතා කළා ..."

"මාත් එක්ක කිවුවා ....අම්මගෙන් මගේ විස්තර ඇහුවා කියලා .."

"හ්ම්ම්....ඒක නෙවෙයි...සුදු දූ දැන් ඔහොමම ඉන්නද කල්පනාව....අපරාදේ පුතේ කාලේ.." සුභද්‍රා ඇසුවේ විශ්මි නිකරුණේ කාලය ගෙවා දමන නිසාය.

"මන්දා අම්මේ...

විරංග පුතා මොකද කරන්නේ?" සුභද්‍රා ඇසුවේ ටික දවසකින් නිවසටවත් නොපැමිණි නිසාවෙනි.

"එයා අම්මා ජේම් කටින් යනවා කීවා ....ගියාද දන්නෑ .."

"ඔයත් මොනවා හරි කෝස් එකක් වත් කරන්න පුතේ...."

"ඉන්නකෝ අම්මා ....මං  විරංගට කෝල් එකක් ගන්න..."
විශ්මි විරංග ට ඇමතුම් කළේය.විරංග මැණික් කැපීමේ පාඨමාලාවට නොගිය බව දැනගත් විශ්මි තම නිවසට පැමිණෙන ලෙස විරංග ට ආරාධනා කළේ සතුටින් ඉපිලෙමිනි.ඉන්පසු කාමරයට වී ඇය තම අතීතය මොහොතකට සිහිපත් කළාය .ගමේ පාසලේ ගෙවා දැමු අවුරුදු එකොළහක අතීතයට වඩා උසස් පෙළ අධ්‍යන අවුරුදු දෙක ට මහත් සේ ඇලුම් කළාය .සමහර විට ඒ පාසලේදී හමු වුණ යහළු යෙහෙළියන්ගේ සමීප බව එයට බලපාන්නට ඇත.

විශ්මිගේ දැහැන බිඳී ගියේ විරංගගේ බයිසිකලයේ හඬිනි.ඉදිරිපස දොර වසා තිබුණ බැවින් විරංග බෙල් එක නාද කරන්නට විය.විශ්මි නෑසුන ගානට දොර අසලම උන්නාය.

"විශ්මි....." විරංග බැරිම තැන කෑ ගසා කතා කළේය.

විශ්මි සිනහව පිටතට නොඇසෙන්නට කට අතින් තද කරගත්තාය.සුභද්‍රා විරංග කෑ ගසන ශබ්දයට සාලයට එත්ම විශ්මි කතා නොකරන ලෙස අතින් සන් කළාය .

"විශ්මි....මං යනවා...."

"හිටපං පොඩ්ඩක් ඉතිං ....." විශ්මි සිනාසෙන ගමන්ම දොර ඇරියාය.

"ආ...දැන් ඇහුනේ නේද?" විරංග විශ්මිගේ කන මිරිකුවේය.


"ඌයි ......අතාරිනවා මෝඩයා...."

"කන්න මොනාද තියෙන්නේ.....සෑහෙන දෙයක් තිබුනොත් සලකලා බැලුවෑකි.." විරංග කිවේ කන තව ටිකක් තදට අල්වාගෙන.

"ඌයි ....ඇපල් තියේ......"

"හා හා මදි ....තව...."

" අයිස් ක්‍රීම් තියේ....අතෑරපන් "

"බෑ ....මදි මදි....තව...."

"අනේ අම්මා ....බලන්නකෝ...,අර ෆ්‍රිජ් එකත් එක්කම කාපියකො ..."

"ආ....අන්න දැන් හරි..."

විරංග කුස්සියට ගියෙන් විශ්මි කන අතගාමින් ඔහු පසුපස වැටුනාය.විරංග ශීතකරණය විවෘත කර ඇපල් ගෙඩියක් ගෙන කෑවේ කෑම කාමරයේ පුටුවක අසුන් ගනිමිනි.


පෙරේතයා ...." විශ්මි කීවේ ඇපල් ගෙඩිය නොකපා ම කන්නට වු නිසාය.විරංග නැගිට ගත්  පසු විශ්මි දිව ගියේ නැවත කන මිරිකවාගන්නට බැරි නිසාය.විශ්මි දිව විත් නැවතුණේ මිදුලේ පිහිඹියා ගස යට බංකුව මතය.විරංග ද පැමිණ ඈ අසලින් වාඩි වුණේය .විශ්මි විරංග අතේ තිබුණ ඇපල් කෑල්ල කඩන් කෑවාය .

"හා....දැන් පේනවනේ කවුද පෙරේතී කියලා ..."විරංග කීවේ අත උලුක් කරමිනි.

"මට තුන් වෙනි පාර්ශවේ මතක් උනා .." විශ්මි කිවේ චමිලා මතක් වීමෙනි.

"අපිට එහෙ යන්නත් බැරි උනා නේද?" විරංග කිවේ දුකෙනි.

"හ්ම්ම්..අපි හෙට යං ..." විශ්මි යෝජනා කළෙන් විරංග එය අනුමත කළේය.


දිවා කාලය විරංග සමග ගෙවා දැමු විශ්මි සවස් කාලයේ මග බලන් උන්නේ අයියා එනතුරුය.වාහනයක හඬ ට ඉදිරිපස දොරටුව වෙත ගිය විශ්මිට දැකගත හැකි වුයේ නිවසට එන සමරවික්‍රමවය.

"අම්මා .....අද තාත්තා ඉක්මනට එනවා...." විශ්මි සතුටින් ඉපිලුණි.

"මං කලින්ම කියා තිබ්බා අද වේලාසන එන්න කියලා ..." සුභද්‍රා පිළිතුරු දුනි.

"ඇයි අම්මා ....විශේෂයක්ද?"

"නෑ පුතේ.....නිකං ..."

අම්මා එසේ කීවද යම් දෙයක් ඇතැයි විශ්මිට නිකමට සිතුණි .

තවත් මොහොතකින් දමිත්ද නිවසට ගොඩ විණි .

"මං කොච්චර වෙලා ඉදන්ද පාර බලන්නේ..." විශ්මි මැසිවිලි නැගුවාය .

"ඇයි ....සීනි බෝල ගේනවා කිවුවේ නෑනේ මං ..."


"අනේ...තමුසෙගෙ සීනි  බෝල මට ඕනිත් නෑ ..."

දමිත් නිවසට ආ විගස විශ්මිව ඇවිස්සුවේය.

"එහෙනං පීසා ...?"

"අනේ....මගුල.....! " විශ්මි ගස්සාගෙන ගොස් ඇඳට වැටුණාය.දමිත් ඇඳුම් මාරු කරගෙන එන තෙක්ම විශ්මි එලියට විත් නොතිබුණ බැවින් දමිත් විශ්මිගේ කාමරයට ගියේ ඇයව යාලු කරගන්නට සිතාය.


ඇය නින්දේ හිඳිනු දුටු දමිත් මවට ඒ බව සැල කළේය.

"සුදු දු ......නැගිටින්න...නැගිටලා කාලා  නිදාගන්න..." සුභද්‍රා  කතා කලද විශ්මි අනෙක් පසට හැරී නිදාගත්තාය.

"අනේ...මට නම් බෑ මේ ළමයා ඇහැරවන්න.." යැයි කියමින් සුභද්‍රා කාමරයෙන් ආවාය.

"මං ඇහැරවන්නම් ...., ඉන්නකෝ අම්මා ..." දමිත් කාමරයට පැන්නේ දඟ වැඩකට බව සුභද්‍රා  ට වැටහිණ .


වට පිට බැලූ දමිත් විශ්මිගේ පොත් මේසය උඩ ඇති පෑන් රඳවනයේ තිබුණ කලු ප්ලැටිග්නම් පෑනෙන් රැවුල් ඇන්දේය.විශ්මි අවදි උනත් ළග සිටින්නේ අයියා බව දුටු විට අඩ නින්දේම නැවත නෙත් පියා ගත්තාය.දමිත් තම කාර්යය අවසන් කර නැගණිය පිබිදෙව්වේය.."නිදාගන්න දෙන්නෙත් නෑ සීනි බෝලයා ..." යනුවෙන් මැසිවිලි නගමින් විශ්මි කෑම කාමරයට ගියේ නිදිමතින් ඔලුව කසමිනි.සමරවික්‍රමත් සුභද්‍රාත් උන් බර කතාව නතර කර පුදුමයෙන් විශ්මි දෙස බලා උන්නෝය.දෙදෙනා නතර නොවී සිනාසෙන අයුරු දැක විශ්මි උභතෝකෝටික ප්‍රශ්නයකය.ඒ අතර දමිත් ද එතැනට සේන්දු විය.තිදෙනාම සිනාසෙන්නට වුයෙන් විශ්මි තරහින් නාන කාමරයට ඇතුල් වූයේ මුහුණ කට සෝදා ගැනීමටය..කන්නාඩිය ඉදිරියේ විශ්මිගේ මුහුණ දුටු විශ්මිටම සිනහා පහල විය.

I'm wishmi ලෙස එක් කම්මුලක ලියා තිබුණි.

"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

2014년 7월 16일 수요일

හියානාව සහ ඔටෙරා



මේ හියානාවේ හිම මාලිගා වල හීතලෙන් ගල් ගැහුණු...
මගේ හිතේ නලියන
හීන පොකුර...

ආදරණිය ශතුල ....
මගේ හීන පොකුරම රියැනියා ගහ මුදුනේ පිපුණු
නපුරු රියැනියා මල ගිලගත්තා වාගෙයි...
ඒ හීන පොකුරම පරදන සොඳුරු සිහිනය ඔයයි ශතුල...
ඔයයි....




අර කතා කරන මියැස් ගහෙන් අහලා බලන්න....
හියානාවේ ඔටුන්න හිමි ශතුල කුමරුට අසරණ මේ පුංචි දාසි
ආදරේ බව කියාවි...කැල්නිම් ගංගාව සිඳී යන තරමට ...


මියැස් ගහ කතා කරන එක නතර කලත්...
කැල්නිම් ගංගාව ගලන්න බෑ කියා කීවත් ...
කවදාවත් නතර නොවෙන, වෙනස් නොවෙන ..
මේ පුංචි දාසිගේ ලෙන්ගතුකම ඔයාටමයි ශතුල...




"ඔටෙරා ....ඔයා දැක්කද දම් පාට ෆියරි මල් සුදු පාට වෙලා..
ගොඩක් දුකෙන් එහෙට මෙහෙට යන හැටි..."
මගෙන් ඇහුවේ පුංචි සයලි....එයා තමයි මට ඉන්න එකම යාළුවා..
එයාට තියෙන්නේ මිනිස් මුණක් උනාට කොටළු ඇඟක් ..
ඒත් එයා ප්‍රසන්නයි හුගක්......

"ඇයි සයලි....මොකද්ද ඒ වෙනස....ගඟ උඩින් එද්දී මට ඇහුණේ කැල්නිම් ගඟත්
හඬනවා වගේ.."මගේ හිතෙත් ඒ ගැන ලොකු කුකුසක්....


"අද ශතුල කුමාරයා..මේ හියානාව අතහැරලා වෙනත් දේශයකට යනවා..
නැවතත් ඔහුගේ පැමිණීම අනපේක්ෂිත දෙයක්...
ඔහු යන්නේ නපුරු මකර රාජධානියකට..." සයලිගෙයි ඔටෙරාගෙයි කතාවට
ඇහුම්කන් දී ගෙන උන්නු ෆියරි මලක් කිවේ බොහොම දුකින්...




"අනේ මගේ ළය පැලී මැරි වැටේවි.....
ඔහු තවමත් නොදන්න ඔහු වෙනුවෙන් මේ හදේ ගැහෙන ලෙන්ගතුකම.."
මගේ හිත පුපුරු ගසමින් වේදනා දෙනවා...

මං දාසියක්....ඔහු රාජ කුමාරයෙක්....නිකම්ම නෙවෙයි..
මුළු හියානාවටම....
ශතුලගේ ඇගේ වදින එක හුලඟකටවත් 
අයිතිවාසිකම් කියන්න මට බෑ ..
මම ඔහුගේ දෙනෙත් දිහා අඩුම තරමේ කෙලින් බැලුවොත් ,
මා එතැනම මරා දමන්නත් පුළුවන්....
ඒත් ...ඒත්  මේ හදවතේ කකියන හැඟීම....
නෑ ....ඔටෙරා ...ඒවා වැදගත් නෑ .....
ශතුල රාජ කුමාරයෙක්....
ඔටෙරා ශතුල පෑගු වැලිකටයක් තරම් නොවටින අසරණ පුංචි දාසියෙක් ...
යන්න අරින්න ඔටෙරා ..යන්න අරින්න ...



2014년 7월 3일 목요일

රෙහානි නටපු නැටිලි..



හුගක් අයගේ ඉගෙනීමේ ආරම්භය වෙන්නේ පෙර පාසල.දැන් ඔයාලා කියයි ...."ඈ ....යකෝ , ඒක වෙන්නේ අම්මා තාත්තා අකුරු කියවපු දවසෙනෙ " කියලා . ඔවු ....ඒත් මං කියන්න උත්සහා කළේ ක්‍රමවත් ව අධ්‍යාපනයට යොමුවෙන මුලාරම්භය ගැන.අකුරු කියවනවා කියද්දී තව කතාවක් මතක් උනා හැලප තුමා ට වගේ.. ;) .අපේ ගමේ එකම පවුලේ අක්කෙකුයි නංගෙකුයි ඉන්නවා.ලොකු කෙල්ල දැන් ඉගෙනගෙන ගුරුවරියක්.පොඩි කෙල්ල සා /පෙළ වත් සමත් නෑ .දැන් එයත් කසාද හෙම බැඳලා.ඔය පොඩි කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්...අකුරු කියවන්න ලියන්න පුළුවන් උනාට තේරුම්ගැනීම,මතක ශක්තිය අතින් ගොඩක් දුර්වලයි.ඉතිං ඉගෙන ගන්න බෑ කියලා කියන්න ත් බෑ ,උවමනාවක් නැතිකම සහ ගුරුවරුන්ගේ නිසි අවධානය යොමු නොවීම කියලා තමයි මට නම් හිතෙන්නේ..සමහර දාට එයාගේ ඉස්කෝලෙදි දෙන ගෙදර වැඩ කරන්නේ මම...නරකම නෑ නේද? 9 පංතියේ ඉද්දි 10 ප්‍රශ්න වලට උත්තර ලියනවා කියන්නේ.. ;) හැබැයි ඉතිං ඒවා පෙන්නලා ඉස්කෝලෙදි ගුටි කනවද නම් මං දන්නෑ .කිවුවම මොකෝ මෙයාගේ අකුරු මගේ අකුරුත් එක්ක බැලුවම මුතු කැට වගේ. :D

ඉතිං ඔය ලොකු කෙල්ල පොඩි එකීට හැමදාම නෝක්කාඩු කිය කියා රණ්ඩු වෙනවා. " මී හරකි ....හු ....හු ....අදත් මිස්ගෙන් ගුටි කෑවනේ.., මං දැක්කා දණ ගස්සවලත් තියනවා " කියලා .දෙන්නා සහෝදරියෝ උනාට ටිකක් අවුල්...එකිනෙකාට ඊර්ෂ්‍යා කරන ගතියක් තිබුණා .ඉතිං ඔය ගෙදර මහා දෙන්නා නිතර කියපු කතාවක් තමයි "ලොකු කෙල්ලට පන්සලේ ලොකු හාමුදුරුවෝ අකුරු කියෙව්වයින් තමයි අද ඔය තැන ඉන්නේ..,පොඩි එකීට ඉතිං අපි එහෙම විශේෂයක් කොලේ නෑනේ " කියලා .එහෙම අකුරු කියවන කෙනාගේ උගත්කම,තත්වය අකුරු උගනින දරුවට බලපානවා කියන එක මම නං විස්වාස කොරන් නෑ  ඕන් ...මම හිතන්නේ අර අත්ගුණේ වගේ විශ්වාස කරන දෙයක්නේ ඕකත්...දරුවෙකුට අකුරු කියවන දවසක තමන්ගේ හිතේ දෙවි කෙනෙක් වගේ ඉන්න මනුස්සයෙකු ලවා ඒ දේ කරවගත්තට කමක් නෑ ,ඒක ලොකු සතුටක් වේවි. .නමුත් ඒ නිසාම දරුවා කවදා හරි හොඳ තැනකට ඒවි කියලා හිතනවා නම් ඒක විහිළුවක්.

හරි...දැන් කතාවට....! සුටි කාලේ ඉතිං මම පෙර පාසල් ගියේ මාසයයිලු ..හේතුවක් නම් මතක නෑ ...කොටින්ම මම පෙර පාසල් ගියාද වත් මතක නෑ .මගේ යාලුවෝ ළග තියන "මොන්ටිසෝරි කොන්සට් " එකේ නැටුම් කරපු ඇඳුම් ඇඳලා ගත්තු පොටෝ දැක්කම නං මට ඉරිසියයි.මක් කොරන්නද ඉතිං :( පස්සේ "කෙලින්ම ඩිරෙක්ට් ' එක වසරට.මට තවම මතකයි සුදු ගවුම් පොඩිත්තේ උඩ සාක්කුවේ ආයා කටුවකින් එල්ලලා තිබ්බ ලේන්සුවේ කොනක් හප හපා අම්මගේ අතේ එල්ලිලා මට පන්තියට යන්න බෑ කියලා හොටු පෙරාගෙන අඬපු හැටි,අම්මා වදෙන් පොරෙන් මාව ඉන්දවලා ඉස්කෝලේ බිත්තියට උඩින් ගහල තිබිච්ච කොටු දැල් අතරින් බෙල්ල උස්සලා මා දිහා බලලා හිනා වෙනවා.මට එතකොට ගානක් නෑ .එත්...ටික වෙලාවකින් අම්මා අතුරුදහන් වෙනවා..මුල් දවස් ටිකේ අම්මා නැති වුණහම ඇඩුවට  පස්සේ ඒක ගානක් නෑ ...පුංචි දවස්වල ඉදන්ම මං සිංදු කියන්නයි නටන්නයි ආසලු.ගෙදර සිංදුවක්  දාපු ගමන් නොතේරෙන කාලෙත් මං නටනවලු.

ඔය නැටුමට පිං සිද්ද වෙන්න මං තූර්ය වාදන කණ්ඩායමේත් හිටියා නේ.මුලින්ම මාව ගත්තේ රබාන ගහන්ඩ.හරි අකමැත්තෙන් තමයි ගැහුවේ.මට නිකං ඒක සාටර් වගේ හිතුනා අප්පා.පස්සේ කාලේ මට තම්මැට්ටම හම්බ උනා .ඒක නම් ආසාවෙන් ගැහුවා.ඒත් ඕකට පැනගන්ඩ කෙල්ලෝ හීන මවනවනේ ඉතිං ;) ඔය ලොකු ලොක්කෙක් ඉස්කෝලෙට එන දාට තූර්ය වාදන කණ්ඩායම අනිවාර්යයි නේ.ගොඩක් වෙලාවට අපේ ඉස්කෝලේ උත්සව වලට, හවුස් මීට් වලට එන්නේ ජෝන් ඇමති තුමා තමයි.වැඩේ කියන්නේ එතුමාගේ අවාසනාවකටද අපේ අවාසනාවට ද මන්දා එතුමා ආවොත් අපි නානවා.

"නොදකිං ගල් මුසලය....මූ ආවොත් වහිනවා..."එතුමාව පිළිගන්ට බෑන්ඩ් ගහන අපේ උන්ගේ කටවල් වලිං වචන පනිනවා හෙමීට ..

"මුද කොහෙද වැහි දෙයියන්නාන්සේත් නාවන්නේ ...හෙනම ගහපිය මේ වැස්සේ අපිට නොවැදී .."




ඉතිං රෙහානිගේ මේ නැටිල්ල උග්‍ර අතට හැරුණේ 6 වසරෙන් පස්සේ..හයේ පන්තියේදී තියනවනේ එක අංශයක් තෝරාගන්න.මට මතකයි අපේ පන්තියේ ගෑණු ළමයින්ගෙන් බාගයක්ම  නැටුම් කරන්න ආවා ..ඒත් අඩියක්වත් තියාගන්න බැරි උන් හැලිලා හැලිලා අන්තිමට අපේ පන්තියෙන් ඉතුරු උනේ හය දෙනයි.මට මතක විදිහට අපි හය දෙනා නැති උත්සවයක් අපේ ඉස්කෝලේ තිබුණේ නෑ ;) ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් නම් අපි මාසෙකට විතර කලින් පෙර පුහුණුවීම් පටන් ගන්නවනේ..අපිට ඉතිං ඊට වඩා දෙයක් නෑ ..මුලින් මුලින් ඕෆ් පීරියඩ් එකක් ආවොත් නැටුම් කාමරේ..උත්සවේ ළං වෙන්න සතියක් විතර තියෙද්දී එක පීරියඩ් එකක් වත් පන්තියේ නෑ ඒ දවස්වල අපිට ගණන් උගන්නපු සර් ටිකක් ගණන් ;) ඔහොම දවසක අපි හය දෙනා පන්තියේ නෑ කියලා සර් ට නෝට් වෙලා. ..ළමයින්ගෙන් ඇහුවම කියලා "ආ ඒගොල්ලෝ සර්  නැටුම් කාමරේ බහිරව පුජා පවත්තනවා මේ දවස්වල "කියලා .අපේ නැටුම් ටීචර් හරි සුවිටි කෙල්ල එතකොට.බැඳලත් නෑනේ.ඉතිං සර් ආවේ නැතෑ මල කරේ තියන් නැටුම් කාමරේට.

"ශ්‍යාමලී මිස් ...මගේ ළමයි හයදෙනා දෙන්න.."

මිස් අන්ඥකොරෝස් .....හිහ්  සර් ට ළමයි හය දෙනෙක්........! හපුච්චේ.

"සර් ....කොන්සට් එක ලගයිනේ ..ඒකයි ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් වලට මම ළමයි ටික ගත්තේ.

 "ඒවා මට අදාල නෑ ...මගේ පීරියඩ් එකේ ළමයි ටික ඉන්න ඕන.." කිවුවා ...වාෂ්ප උනා ..

සර් ඒ  පීරියඩ් එකේ අපිට ආදරේට අපිව අරන් ගියා නෙවෙයි හපුච්චේ...ඒක සර් මිස් ගෙන් ගත්තු ආදර පළියක් කියලා පසුව දැනගන්න ලැබුනලු....හිහ් :D

ඔන්න එතකොට මං 10 වසරේ..වර්ෂ අවසාන තෑගී ප්‍රධාන උත්සවය මට මතක විදිහට.අපේ හය දෙනයි, ඒ අවුරුද්දේ ඉස්කෝලෙන් අවුට් වෙන සෙට් එකේ අක්කලා 5 දෙනයි "දෑතට වළලු " ගීතයට නර්තනයක් කළා .අක්කලා සෙට් එක අපිත් එක්ක ලොකු එකමුතු කමකින් හිටියා .ඒක නම් මාරම ලස්සනට කළා .ඒකට මහපු පාට පාට කොටු කොටු රෙද්දයි හැට්ටෙයි මං ගොඩක් අසාවෙන් මේ ලඟක් වෙනකං තියන් ඉඳලා නැටුමකට කියලා ගෙදරටම ඇවිත් ඉල්ලපු ළමයෙකුට දුන්නා .ඇත්තටම පුංචි කාලේ නටපු ඇඳුම් වලට මං මෙච්චර ආදරේ ඇයි කියලා මට තේරෙන්නෑ.මං කරපු නැටුම් වලින් මට වැඩිපුරම ඇඟට දැනුණ එකක් තමයි ඔය "දෑතට වළලු " ගීතයට නටපු එක.

ඔය උත්සවේටම අපේ හය දෙනා වන්නම් ඇරෙන්න තව ගීත දෙකකට නැටුවා ..එකක් "නමස්තේ " හිංදි සිංදුව .අනික හිරුද "මුවා වී " කියන ගීතය.ඔය දෙකේම අංග චලන අපි අපි කතා වෙලා තමයි හදාගත්තේ.අපේ මිස් කිවුවේ ඒවාට පණු නැටුම් කියලා ... "මිස් අපිට ස්ටෙප් එකක් අල්ලලා දෙන්නකෝ "කීවාම මිස් කියන්නේ "අනේ උඹලගේ පණු නැටුම් මං දන්නෑ " කියලා .වන්නමක් නම් අන්න ඕන එකක්..

ඔය නමස්තේ ගීතයට අපි පුහුණු වීම් වෙන්න ගියාම පොඩි අවුල් ටිකක් තබ්බා.අපි ඔක්කොම පන්තිවල නැටුම් පුහුණුවීම් කරන්න තිබුණේ පුංචි කාමර කෑල්ලක් ඇතුලේ.. අනික තිබුණේ එක ගුවන් විදුලි යන්ත්‍රයයි..ඕකේ තමයි අදාළ කැසට් එක දාගෙන නටන්නේ.ඉතින් එක සෙට් එකක පුහුණු වීම් ඉවර වෙනකං අනිත් සෙට් එක වේලෙනවා.සමහර වෙලාවල් වලදී පාසල් කාලය අවසන් වෙලත් අපි හවස නැවතිලා පුහුණු වීම් කරනවා.හයේ පන්තියේ ඉදන් 11 පන්තියට එනකං නටන ඔක්කොටම ඔය සෙතේ තමයි.පස්සේ අපි පන්ති ටික කාලය වෙන් කරගත්තා .එතකොට බොරුවට වේලෙන්න ඕන නෑනේ..ඉතිං දවසක් උදේ වරුව අටේ පන්තියේ කෙල්ලෝ ටික කාමරේ බදු අරගෙන හිටියේ..12 වෙද්දී අපිට කාමරේ ලැබෙන්න ඕන...12 ට කලින් ඔතනට එකෙක් වත් නොගියොත් වෙන සෙට් එකක් කැසට් එක බදු ගන්න හන්දා කස්ටිය කිවුවා "රෙහා...උඹ දැන්ම ගිහින් ඇලට් එකේ ඉදහන් " කියලා .පීරියඩ් එකකුත් පාඩු කරන් ඔන්න මම කාමරේට රිංගුවා.අටේ සෙට් එක නටන්නේ ලතා වල්පොල මහත්මියගේ "ගලනා සීත ජලේ"...ඉතිං කස්ටිය ඔහොම ජලේ පා වේවි ඉද්දි එක කට හැකරිච්චියෙක් දැක්කා මාව. 

කස්ටිය කුණු කුණු ගාල කන් වලට කොඳුරගත්තා  , පස්සේ හැකරිච්චි හැකර කමට අහපි."ආ ....රෙහා අක්කෝ....මුකෝ ....."

"මුකෝ ...අහන්නේ ඊළඟට සෙට් එක අපේ...." හැකරිච්චි ට දෙවැනි නොවෙන්ඩ මාත් කියපි.

"හා.....තව පැය බාගයක්ම තියෙන්නේ...තමුසේ අපේ කෑලි අල්ලන්න නේද ආවේ ..."

"නිකං හිනා යන කතා කියන්න එපා ඕයි ...ඇටිකිච්චියන්ගේ කෑලි අහුලන්න තරං අපි බාල වෙලා නෑ යකෝ.."

"ඒ උනාට කමක් නෑ , තමුසේ යනවා..." හත් උලවූවයි මෙන්න තුන් හතර දෙනෙක්ම වට උනා .

"යනවා තමයි යකෝ ....උඹලා ගේ හැකර කටවල් වලට බයේ නෙවෙයි ,මේක අපෙත් නැටුම් කාමරේ..." අන්තිම හරිය කීවේ දොරටුව පයින ගමං ටිකක් සද්දෙට..ඇටිකිච්චියන්ගෙන් කාල සාටර් වෙන්න ඕනැයි.


මම ගොහින් අපේ සෙට් එකට වැඩේ වාර්තා කළ වහාම ඔක්කොටම කේන්තියි."දොළහ වෙන්න ඕන නෑ ..දැන් යමල්ලා " ගිහින් උන් ටික පන්නලා අක්කලාගේ ආධිපත්‍ය පැතිරුවා.

ඔන්න දැන් කොන්සට් දිනය උදාවුණා.අපේ වන්නමකුයි,නමස්තේ ගීතයටයි අපි නටලා අනිත් විශේෂාංග යන අතරේ ඊළඟ එකට කිට් එක දාගෙන ඉක්මනට දුවගෙන ආවා  අටේ පන්තියේ එවුන්ගේ හැංගි හැංගි නටපු ලොකු නැටුම බලන්ඩ.පොඩි හරි මිස්ටේක් එකක් උනොත් "හු ...කියපල්ලා " කියලා අපේ කොල්ලන්ටත් උගන්නලා තිබුණේ ;) හරි පටාන් ගත්තා ..............

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත ජලේ.........."

හැකරිච්චි ඉස්සරහින්ම විරිත්තගෙන හොඳට පස්ස අඹර අඹර නටනවා....අප්පා බලන්ඩ එපෑ මුණේ තියන ආඩම්බර කම.අම්මපා මුං නටන තාලෙටම මගේ ඇගේ මාලුත් නටනවා...., අපේ අනිත් උන්ගේ කටවල් ඇරිලා.....


දෙවැනි පාරටත් යනවා......

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න......" 


හුකෑස් .....කරන්ට් ගියා . හැකරිච්චිගේ මුණ විලි ලැජ්ජාවෙන් රතුවෙලා,මිරිකිලා ( දැන් නම් පවු කියල හිතෙනෝ ) අනේ ඉතින් දෙයියන්ට වැඳ වැඳ අපි සතුටු වුණා .අපේ කොල්ලන්ගෙන් පටං ගත්තු හුව මුළු ශාලාවේම හිටපු කොල්ලන්ගේ කටවල් අවදි කරලා තමයි නතර වුණේ .එක පාරටම ආයෙත් කරන්ට් ආවා ...හැකරිච්චිලා හිත හදන් නටන්න ගත්තා .දැන් අපිට කොහොමත් එකයි.උන් චාටරේ කෑවනේ....

"ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත...."

අනේ දෙවියනේ....ආයෙත් කරන්ට් ගියා ....ඒ පාර නම් දෙයියෝ කාගේ ප්‍රාර්ථනාවකට ඒක කරාද මන්දා ..දෙවැනි පාරටත් කොල්ලෝ හු තිබ්බම අටේ පන්තියේ උන් සටස් ගාල පිටිපස්සෙන් පැනගත්තා.ඊළඟට අපේ නැටුම..අම්මපා අපි නැටුවේ බිත්තර තම්බන්න පුළුවන් තරමට බොක්ක රත් කරගෙන.කරන්ට් ගියොත් කොහොමද සනීපෙ... 


ඒත් එහෙම අවුලක් උනේ නෑ අපේ වෙලාවට.අටේ කෙල්ලෝ ටික කොන්සට් එක ඉවරවෙලා අපිට මුණ නොදී හරි අමාරුවෙන් යනකොට අපේ එකෙක් හීනියට හින්ට් පාරක් දුන්නා .

"අර දිට්ඨ ධම්මවේදනීය කර්මේද මොකද්ද එකකුත් තියේලු නේ නේද රෙහෝ...."