ලා දම් අහසට පායන උදවිය ..

2013년 10월 30일 수요일

සිහින සශ්මික - 4

1    2    3



"ඇයි ඒ...............එයාට කරදරයක්වත්ද? " සශ්මික ඇසුවේ රත් උන තැටියක් වගේ පිච්චෙන හිතේ හද ගැස්ම අතරින් ඇස් රතු කරන්..

ඔයා කෂිනිව අඳුරන්නෙ නෑ නේද? " යෙහෙළිය ඇසුවේ පිටස්තරයෙකුට හෙළි කිරීමට නුසුදුසු යමක් කෂිනිගේ ජීවිතය ඇතුලේ සිද්දවී ඇති ගානට.

අඳුරන්නෑ....ඒත්................."

"ඒත්...........දැන් අඳුරගන්න හිතිලා...! එහෙමද..?" යෙහෙළිය සශ්මිකගේ පැටලෙන වචන වලට සහනයක් වී ඇසුවේ මනමාල හිනාවකුත් එක්ක

හ්ම්ම්............." සශ්මික පිළිතුරු බැන්ඳා.. " කියන්නකෝ...එයාගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා..." සශ්මික ඒ පිටටම ඇසුවා..

"මම කෙනෙක්ගේ පෞද්ගලික දේවල් එහෙම පිට කෙනෙකුට කියන එක හරි නෑ නේද? "

"ඒක නම් ඇත්ත....කමක් නෑ ඔයා අකමැති නම් නොකියා ඉන්න.... " සශ්මික කීවේ කෂිනිගේ යෙහෙළිය අමාරුවේ දැමීමට නොහැකි නිසා..

"කමක් නෑ මං කියන්නම්.......ඒක ටිකක් දිග කතාවක්.....අපි අරෙහෙන් වාඩිවෙමුද?" යෙහෙළිය කීවේ පුස්තකාලය ඉදිරිපස ඇති කොන්ක්‍රීට් බංකුවක් පෙන්නලා..

"උඹලා එතකං අරෙහෙන් වාඩි වෙලා ඉඳහල්ලා....මම පටාස් ගාලා එන්නං.." සශ්මික එසේ කියා යෙහෙළිය සමග කොන්ක්‍රීට් බංකුව උඩ අසුන් ගත්තා..

"කෂිනි කියන්නේ ගෙදර ගොඩාක් ප්‍රශ්න තියන ළමයෙක් සශ්මික".... යෙහෙළිය කතාව පටන් ගත්තා.ඒ වන විට සශ්මික සහ ඇය නම්වලින් පවා හඳුනාගෙනයි හිටියේ...


"කෂිනිට ඉන්නේ අම්මා විතරයි.කෂිනි පොඩි දවස්වල කෂිනිගේ තාත්තා එයාලව දාල ගියා. ඊට අවුරුදු හතරකට පහකට පස්සේ  කෂිනිගේ අම්මා වෙන කෙනෙක්ව බැන්දා,..එතකොට කෂිනි හත වසරේ විතර ඇති...දැන් කෂිනිගේ අම්මාව බැඳලා ඉන්න කෙනා එයාගේ තාත්තටත් වඩා හොඳින් එයා ගැන හොයලා බලනවාලු හුඟක් වෙලාවට.ඒත්............. කෂිනි ඒ මනුස්සයාට පොඩ්ඩක්වත් කැමති නෑ."

දිල්කි කියන වචනයක් වචනයක් පාසා සශ්මිකගේ හිත කීරි ගැහිල ගියා...මතුපිටින් පේන සුන්දර දේවල් ඇතුලේ කොච්චර ගින්දර තියනවද?කෂිනි කියන්නෙත් තමන් වගේම හිත ඇතුලෙන් පිච්චි පිච්චි විඳවමින් ජීවත් වෙන තවත් එක්කෙනෙක්....' සශ්මිකගේ හිත අමිහිරි සිතුවිලි ගොඩකින් පිරිලා ගියා..


"ඇයි ඉතිං එච්චරටම තරහා? අම්මා වෙන කෙනෙක් බැන්ඳ නිසාද?" සශ්මික ඇසුවේ තමන්ගේ ජීවිතේ ඇතුලේ තමන්ගේ අම්මා තාත්තවත් තමන්ට ආදරේ නොකරන එකේ පිට මනුස්සයෙක්ගෙ ආදරේ ඔය විදියටවත් ලබන්න කෂිනි පින් කර තිබෙන බව කල්පනා කරමින්..

"ඒකත් එක හේතුවක්....ඊටත් වඩා ලොකුම දේ තමයි එයා කරන රස්සාව..! " දිල්කි ඒක කිව්වේ පහත් ස්වරයකින්..

"රස්සාව..............?"

"ඔවු .......ඒ මනුස්සයා කරන්නෙ කසිප්පු පෙරලා විකුණන එක.....කෂිනි කන්නෙ බොන්නෙ අඳින්නේ,ඉගෙනගන්නේ ඔක්කොම ඒ සල්ලිවලින්. හැබැයි ඒ කැමැත්තකින් නෙමේ." 


"එතකොට.........කෂිනි ඉස්කෝලේ නාපු හේතුව?"


"අර මනුස්සයා කසිප්පුත් එක්කම පොලිසියට අහුවෙලා....මෙදා පාර ලේසි වෙන එකක් නෑ කියලා අම්මලා කිවුවා..ඇප දෙන්නෙත් නැති පාටක්ලු තියෙන්නෙ...ඔය අහු උන කී වෙනි වතාවද කියලා ඒ මනුස්සයවත් දන්නෙ නැතුව ඇති.."

"ඔහොම අහු උනහම කෂිනි ටික දවසක් යනකං ඉස්කෝලේ එන්නෑ... ලැජ්ජාවට..පව්....අනික අම්මත් එක්ක පොලිසි ගානෙයි උසාවි ගානෙයි ඇවිදින්නත් මේකි යනවා....කෙල්ලෙකුට ජීවත්වෙන්න සුදුසු පරිසරවල නෙවෙයි ඒකි හැදෙන්නේ....

යෙහෙළිය බොහොම කනගාටුවෙන් තවත් විස්තර ගොඩාක් කියාගෙන ගියා .සශ්මික ඒව අහගෙන හිටියේ ලොකු කලකිරීමකින්.ලෝකේ කී දෙනෙක් සතුටින් ඇත්ද...ඒ වගේ දහ ගුණයකින් මිනිස්සු දුක්බරව ජීවිත ගෙවනවා නේද?'යි කියා සශ්මිකගේ හිතට හැඟුණා.මේ මනුෂ්‍ය ලෝකය මහා පුදුමාකාර දුක් කඳු වලින් පිරුණ තැනක් කියා ඔහුට කල්පනා උනා.

අපේ එග්සෑම්වලට තව සතියයිනේ....මේ ටිකේ අපි නිහඬව ඉමු සශ්මික.අපි පස්සේ එයා ගැන තීරණයක් ගමු..." දැන් පරක්කු වෙනවනේ අපි යමු...දිල්කි මේ කතාව අවසානයේ සශ්මිකගේ හොඳම යෙහෙළියක් බවට පත්වුණා..

එහෙනම් මේ ටිකේ ඔයා එයා ළඟම ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න...ඒ වගේම එයාගෙ හිත හදලා එග්සෑම් එක හොඳට කරගන්න එයාට උදව් කරනවා කියලත්..........

සශ්මික දිල්කිට ඒ ටික කීවේ බොහොම හැඟීම්බරව.

අයි'ල් ප්‍රොමිස් යූ සශ්මික....

****************************************************
අම්මා....................... අම්මා......................"

සශ්මික නිවසට දිව ආවේ සතුටින් ඉපිලුන හිත අහසේ පා කරගෙන වගේ....සතුට වැඩිකමට සශ්මිකට පාර ද ගෙදරද කියලා වෙනසක් තිබුණේ නෑ...." යා....හූ" කියමින් කැරකෙමින් දඟලමින් ආ සශ්මික අතින් ඉස්තෝප්පුවේ තිබුණ සුදු මල් භාජනයත් පෙරළුණා..ඒ වගවත් ගානක් නොවුණු සශ්මික උඩ පනිමින් කෑගැසුවේ අම්මාගේ නම කියමින්...

සශ්මිකගේ කෑගැහිල්ලට අම්මා කොහෙදෝ සිට ඉස්තෝප්පුවට දුවගෙන ආවා...

මොකද මේ....?

"අම්මා.......... මං ඕලෙවල් පාස්..... ඒ හයයි.....බී තුනක් තියේ අම්මා.....ඔයාගෙ පුතාට ඒ හයයි බී තුනක්...."සශ්මික කීවේ හිතේ පිරුණ දරාගන්න බැරි තරම් සතුට අම්මත් එක්ක බෙදාගන්න හිතාගෙන. 

"ඉතිං...............ඕක බෙරිහන් දෙන්න දෙයක්ද...? හොඳ හිතින් අර මල් ටික අස් කරලා කැඩුන එකට භාජනයක් ගෙනත් තියනවා... මම නරක ගෑනි කියන්නෙපා පස්සේ...." අම්මා ගිරිය කැඩෙන තරම් මහා හය්යෙන් කෑ ගසා නැවත ගෙතුළට වුණා..එතෙක් වේලා පැවති සශ්මිකගේ සතුට කොහේදෝ අතුරුදන් උනා.අම්මාට තමන්ගේ ඕලෙවල් රිසාල්ට් එකටත් වඩා මේ මල් බඳුන වටිනවාදැයි සශ්මික කල්පනා කලේ මල් බඳුනේ කටු එකින් එක ඇහිඳින ගමන්..

තැලිලා පොඩිවෙලා විසිරිලා තිබුණ සශ්මිකගේ හිත තවත් තැලිලා ඉරිතලලා ගියා...තැලෙන යකඩේ පිරියම් වෙනවා වගේ සශ්මිකගේ හිතත් එන්න එන්නම ධෛර්යවන්ත උනා.අම්මලාගේ වෙනස්කම්වලට තමන්ට දෙන්න පුළුවන් එකම විසඳුම ඉගෙනීම කියන මතයේ සශ්මික හැමදාම හිටියා. 

"චූටි මහත්තයා විබාගෙ සමත්ද?"කොහෙදෝ සිට පැමිණි සිරිදාස ඇසුවේ සතුටින් හිනාවෙවී...සිරිදාස බිමට නැවී භාජනයේ කටු කෑලි අහුලා බිම අස් කර දැමුවා....

"සිරිදාස ...මට ඇත්ත කියන්න සිරිදාස..." සශ්මික ඇසුවේ හැඬුම් ස්වරයෙන්..

"මොනාද චූටි මහත්තය?................චූටි මහත්තයට මහන්සීනේ , ඇඟ සෝදන් එන්න්කෝ...! " සිරිදාස කීවේ කනගාටුවෙන්.

"බෑ.....අද සිරිදාස මට ඇත්ත කියන්නම ඕනි...මං අරං හදාගත්තු ළමයෙක්ද සිරිදාස..?"සශ්මික ඒ ටික ඇසුවේ ඇස් අගින් පැන්න කඳුලක් පිහිදාන ගමන් වෙව්ලන හඬින්..

අනේ චූටි මහත්තයා මේ මොනාද කියවන්නේ...?චූටි මහත්තයා මේ ගෙදර ම නෝනාගෙයි මහත්තයාගෙයි පුතා...ඒකේ ආයේ දෙකක් නෑ...මං මෙහාට ආවේ අදක ඊයෙකයෑ....හා....හා...යං ඇතුලට..." සිරිදාස සශ්මිකව ගෙතුළට ගෙන ගියා..

එහෙනං ඇයි සිරිදාස මට මේ තරං වෙනස්කං........ආ ...... උත්තර දෙන්න සිරිදාස ,මට උත්තර දෙන්න." සශ්මිකගේ වචනවලින් සශ්මික ඉන්නේ හොඳ මානසිකත්වයකින් නෙවෙයි කියලා සිරිදාසට තේරුණා..

එහෙම තමයි චූටි මහත්තයා නරක කාලෙට....අම්මා තාත්තා උනත් විස්සෝප වෙනවා" සිරිදාස කීවේ සශ්මිකගේ හිත හදන්න.

මේ නරක කාලේ මට ලැබුණේ අදක ඊයෙක නෙවෙයි සිරිදාස...! මේක මට පුංචි කාලේ ඉඳන්ම උන දෙයක්..." සශ්මික කියවාගෙන ගියේ හිතේ අමාරුව වැඩිකමට.


දැන් ඔය කතාව නතර කොරලා චූටි මහත්තයා ඇඟ සෝදන් එන්න.මං කෑම ලේස්ති කරන්නම්.." සිරිදාස සශ්මිකගේ ඔලුව අතගාමින් කාමරයෙන් පිටවුනා..

*********************************************************

සශ්මිකගේ ඊළඟ කඩයිම උනේ අ.පො.ස. (උ.පෙ.) විභාගය.හැමෝගෙම වෙනස්කම් ගැන නොහිතා අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යනවා කියලා සශ්මික තරයේම සිතාගත්තා.කෂිනි විද්‍යා අංශයෙන් උසස් පෙළ කරනවා කියන ආරංචිය සශ්මිකට ලැබුණේ ප්‍රථිපල ලැබුණ මුල්ම දිනවලදී.ඒ ආරංචිය සශ්මිකගේ හිතට ලොකු හයියක් උනා."එයා ඩොක්ටර් කෙනෙක් මම ලොයර් කෙනෙක්" කොහොමද එහෙම උනාම තියන ගැම්ම? අපේ ගෙදර කට්ටියගේ මානසික රෝග ටික එයා සනීප කරයි,එයාගේ බාප්පොච්චා වැරදිවලින් ගලවගන්න මට බැරියැයි එතකොට..." සශ්මික ඒ ටික මිල්හාන් එක්ක උජාරුවෙන් කියපු අයුරු සශ්මිකගේ මතකයට නැගුණා.

සශ්මික, මිල්හාන් සුපුරුදු විදියට එකම පංතියේ කලා අංශයෙන් ඉගෙනගත්තා.උදාන් ,දීපාල් සහ දිලීප වෙනත් අංශයකින් උසස් පෙළට පෙනී සිටීම නිසා මිල්හාන් සහ සශ්මිකගෙන් මදක් ඈත්වෙලා ගියා.

මිල්හානයා....මම හිතන්නේ දැං කෂිනිගෙන් කරණාව අහන්න කාලේ හරි වගේ..." සශ්මික කීවේ පාසල ඇරී බස් නැවතුම්පලේ ඉන්න අතරතුර.

"ඔවු.......ඔවු...පුතේ....දැනටත් ඕඩර්ද දන්නෑ..ඉක්මං කරන තරමට හොඳයි....ඕං බලහංකෝ...තව ටික කාලෙකිං කෙල්ලන්ට ඕඩර් තියන්න වෙන්නේ බඩේ ඉද්දිමයි.." මිල්හාන් කියාගෙන ගියා. 

"මං කෙළින්ම ඒකිගෙං අහන්නද? "සශ්මික අවිනිශ්චිත බවකින් ඇසුවා.


"ඔවු...අහපං....ඒක තමයි හොඳම ක්‍රමේ...ඔය ලියුං ලියනවට, යාලුවෝ අතේ කියලා යවනවට වඩා කෙල්ලගෙං කෙළිංම අහනවට තමා උං කැමති.." මිල්හාන් උපදෙස් දෙන්නට උනා.

"මේ ඉරිදා ඒකිට ක්ලාස් ඇරෙන වෙලාවට අපි ලයින් එකක් දාමු..දිල්කි ඉන්නවනේ අපේ හෙල්ප් එකට..! "මිල්හාන් කීවා..

සශ්මික කවදාවත් නැති උනන්දුවකින් උදේම නැගිට්ටා.නාන කාමරයේ ඕනෑවටත් වඩා වෙලාව ගත කළා.නා අවසන් වූ පසු සශ්මිකගේ හිතේ ලොකු යුද්දයක්..! කොයි පාට ඇඳුමක්ද තෝරාගන්නේ...කොයි වගේද අඳින්නේ කියලා සෑහෙන කල්පනා කළා.වරෙක එකක් හැඳ එය ගලවා දමා තවෙකක් ඇඳගත්තා.කැඩපත ඉදිරිපිට ඒ මේ අත හැරෙමින් තමන්ගේම හැඩ බැලුවා..කොණ්ඩය අතින් පීරමින් කැඩපතත් එක්ක නිතර සිනාසී බැලුවා.වෙනදාට වඩා ලොකු වෙනසක් තමන්ගේම ඇතුළේ තියන බව සශ්මිකට නිකමට වගේ හිතුණා.මේ සියල්ල අද කෂිනිව හමුවීමට යන නිසා බව සශ්මික දැනන් හිටියා.අද තමන්ගේ බලාපොරොත්තුව කොයි අතට හැරේදෝයි  සිතෙන විට සශ්මික සිටියේ හිස් හැඟුමකින් හිත පුරවාගෙන.

සශ්මික මිල්හාන්වත් ගමනට එක්කරගත්තා.සෙනසුරාදාවේ සවස එකහමාර වන විට කෂිනි පෞද්ගලික පන්තිය නිමා වී කහවත්ත නැවතුම්පල වෙත එන බව සශ්මිකට කීවේ මිල්හාන්.ඒ අනුව මිල්හානුත් සශ්මිකත් කලවාන නැවතුම්පලෙහි රැඳී සිටියේ කහවත්ත නැවතුම පැත්තට යන ගැහැණු ළමයින් දෙස නෙත් යොමමින්.

"මං මෙහෙම එකපාරට අහන්න ගියාම ඒකි මට බැනලා පන්නයිද මිල්හාන්...අනික ඒකි බයවෙයිනේ බං?" සශ්මික දෙගෙඩියවකින් කීවා.

"ඕන මගුලක් කියලා අහලා දාපං....ඕක කොයිවෙලේ හරි කියන්න එපැයි බං" මිල්හාන් කීවා.

"උඹ දිල්කිගෙන් ඇහුවද අද අරකි එනවද කියලා?"

"මං උදේ කොල් කරා ,එතකොට කිව්වා ආව කියලා...."

දෙදෙනා මග බලමින් ඉන්නා අතරතුරේ පන්ති නිම වී ළමයින් බස් නැවතුම වෙත ඇදෙන්නට වුණා. 

"අන්න දිල්කි නම් එනවා...." මිල්හාන් පැවසුවේ ඒ දෙස පෙන්වමින්.

"ආආ..........කුමාරයා වැඩලා තියෙන්නේ..., අන්න ඔයාගේ කුමාරිත් ළඟ ළඟම එනවා,මොනාද ගන්න ශොප් එකකට ගියා...." දිල්කි කීවේ සශ්මික  දිහා නෝන්ඩියට වගේ බලමින්..."


"මම සශ්මික එයාට ලයින් කියලා  අඟවලා තියෙන්නේ...ඔන්න අපෙන් කෙරෙන්න ඕනි දෙවල් කරා...,ඔයාට තමයි ඉතුරු හරිය කරගන්න තියෙන්නෙ නෙහ්?" දිල්කි ඒ ටික කියා අවසානයේ ඇසුවේ මිල්හාන්ගෙන්..

"ඒ අන්න අරකි එනවා............" මිල්හාන් කීවේ නැවතුම්පළ වෙත යෙහෙළියක සමගින් එන කෂිනිව පෙන්නලා. 


කෂිනි කලවාන නැවතුම පසු කරගෙන යන විට දිල්කි කතා කරමින් උන් තරුණයෝ දෙන්නා දිහාවට ඉබේම වාගේ ඇගේ ඇස් යොමු වුණා.ඇගේ ඇස් මොහොතකට සශ්මිකගේ ඇස් ළඟ නතර වුණා නැවත වතාවක්.ඔහුව දුටු ඈ ඒ බැල්මෙන් මිදී ආවාට වඩා වේගයකින් කහවත්ත නැවතුම වෙත ඇදුණා.ඒ වන විටත් කහවත්ත නැවතුමේ බසයක් නතර කර තිබුණා.ඈ බසයට ගොඩ වී පසුපස දොරටුව අසළ තිබුණු පලමු ආසනයේ අසුන් ගත්තේ බසයෙන් බහින්නට ලේසි නිසා.ඒ වනවිටත් සශ්මික ඈ වෙත එමින් උන්නා.කෂිනි දිල්කි ඈට කීව "ලයින් කොල්ලා" සශ්මික බව ඒ වන විට වැටහී තිබුණ හෙයින් ඈ සිටියේ මදක් බියපත් වී මෙන්.. ඈ හිතේ සැකයෙන් වීදුරු කවුලුවෙන් එපිට බලද්දී සශ්මික මිල්හාන් සමග බසයට ගොඩ වී හමාරයි.සශ්මිකලාගේ උදව්වට හිටි දිල්කිත් ඒ සමගම බසයට නැගුණා .

"මේ නංගි කාවහරි හොයනවා වගේ නේද බං...?මිල්හාන් කීවේ ඈ වීදුරු කවුලුවෙන් එහා බලන අයුරු දුටු නිසාවෙන්.සශ්මික එරවීමෙන් මිල්හාන් වැඩි කතාවට නොයා උන්නා.

"ඒ දිල්මි.........පොඩ්ඩක් නැගිටහංකෝ..."දිල්කි කීවේ කෂිනි ළඟින් වාඩිවෙලා ඉන්න කෂිනිගේ යෙහෙළියට.

"එපා දිල් ඔයා ඔහොම ඉන්න..." කෂිනි කීවේ දිල්කි දෙස ඔරවා බලමින්.

"දැන් මොකටද මං නැගිටින්නෙ මෙතනින්..?දිල්මි ඇසුවේ තරහා මුසු ස්වරයකින්..


"ඔන්න බලාගන්නකො බබා.........." සශ්මික දිල්මිගෙ අතින් ඇද පසුපසම ආසනයේ බලෙන්ම වාඩි කෙරෙව්වා.සශ්මික කෂිනි ළඟි වාඩි උනේ " ඔයා කාවද හෙව්වේ" කියා රහසින් මෙන් අසමින්....

මට යන්න දෙන්න.........." කෂිනි එසේ කියා අසුනින් නැගිට්ටා.සශ්මික බලෙන්ම ඇගේ අතින් අල්ලා වාඩි කරවූවා.

"කලබල කරන්න එපා ...මිනිස්සු මට ගහලවත් දායි...."සශ්මික කීවේ සිනහාවෙමින්..

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ....ප්ලීස්..." සශ්මික යටහත් ස්වරයකින් කීවා.කෂිනි උන්නේ කවුළුවෙන් එපිට බලාන.

"ඔයා කවුද..........? ඇයි මට කරදර කරන්නේ? ඔයාට මොනවද ඕනේ? කෂිනි ඇසුවේ කේන්තිය මුසු හැඟීමකින්..

"මට ඕන දේ කියන්නද එහෙනම්....? සශ්මික ඇසුවේ ඇගේ ඇස් දෙසම බලාගෙන..කෂිනි නිහඬව බලගෙන් උන්නා..

"මේක කියන්න මේ බස් එක ඇතුළේ සුදුසුයිද කියලා මම දන්නෑ කෂිනි..ලස්සන හින්දි ෆිල්ම්ස්වල වගේ ලස්සන කඳු යායක් උඩට හරි ,ලස්සන මුහුඳු වෙරළකට හරි...එහෙමත් නැත්තන් තව ලෝකේ කොහේ හරි ලස්සන තැනක ඉඳන් මේක කියන්න ඕනිද කියලත් මං දන්නෑ කෂිනි...හැබැයි ඇත්ත ලෝකේ ඇත්තත් එක්ක ජීවත් වෙන මට ලස්සන කඳු මුදුන්,බීච් වගේ මේ බස් එක ඇතුලෙත් මට වෙනසක් නෑ, මම ඒ නිසා කියන්නම්....................... මට ඕනේ ඔයාගේ ආදරේ කෂිනි................." සශ්මික රහසින් වගේ මේ සියල්ල කෂිනිට කීවා.කෂිනි පුදුම වී මෙන් සශ්මික දිහා බලාන් උන්නා..

ඇයි මේ බයවෙලා................මම කීවේ බොහොම සාමාන්‍ය දෙයක්නේ ළමයෝ...." කෂිනි නිහඬ නිසා සශ්මික කීවා...

මේ වන විට බසයත් ගමන් ආරම්භ කරලා තිබුණා.බොහෝ නිහැඬියාවකට පසු කෂිනි කතා කළා.

"මට මේකට කොච්චර කල්පනා කළත් දෙන්න තියෙන්නේ එක උත්තරයයි..." කෂිනි කීවේ බැරෑරුම් සවරූපයකින්.."


"කියන්න.................මොකද්ද උත්තරේ?" සශ්මික ඇසුවේ ඒ වන විට අසාමාන්‍යව දැනුණු හද ගැහෙන රිද්මය අතරින්..



2013년 10월 23일 수요일

සිහින සශ්මික - 3



ගුරු නිවාසය පැත්තට හනි හනිකේ දිව ආව සශ්මිකත් දීපාලුත් සැඟවෙන්නට තැනක් සොයා වටපිට බැලුවේ කලබලයෙන්.

ෂ්........ෂ්......ෂ්.....................!

දිලීප ගුරු නිවාසය ඇතුලේ සිට ජනේලයකින් ඔලුව දමා ශබ්ද කලේ දෙදෙනාට ඇහෙන්න. 


රිංගහං ඇතුලට..." මිල්හාන් ඇතුලට  එන්නට දෙදෙනාටම අත දුන්නා.තත්පර ගානකින් ජේමිස් ජනේලය අසළ හක්කලං කරමින් පිරිස කොහි ගියාදැයි සූක්ෂම  බැල්මක් හෙලන අයුරු වැසූ ජනෙල් කවුළු තුලින් පිරිස බලා උන්නේ දහඩිය පෙරමින්..



මද වේලාවක් ඒසේ සිටි ජේමිස් පාසල පැත්තට යනවා මිල්හාන් බලාගෙන...

"ජේමිස්කාරයා යන්නේ ඔෆිස් එකටද කොහෙද බං.." මිල්හාන් කිවුවේ බියපත් ස්වරයකින්...

"ඉවරයි.........."එසේ  කියා ඔලුවේ අත ගහගත් සශ්මික වහා ජනේලය හැර එළියට පැන්නා..

"ජේමිස් අංකල්..........!' සශ්මික ඔහුට කතා කළා.

"මොනාද බූරුවො උඹ කරන්නේ? " උදාන් ඇහුවේ කේන්තියෙන්..


අංකල් ඔෆිස් එකට ගියොත් අපි ආයේ ඉස්කෝලෙ ඇවිල්ලත් ඉවරයි... තේරෙන්නෙ නැද්ද උඹට ඒක...? සශ්මික ඇහුවේ එවැනිම කේන්තියකින්.

ඒ වන විටත් ජේමිස් පුපුර පුපුරා ආපසු හැරී පිරිස වෙත ඇවිත්..


'මේ ඉන්නේ අලුගුත්තේරුවො ටික....., අලුගුත්තේරුවො නෙවෙයි මුං වතු පාලුවෝ.." ඉඳහං අද උඹලට මං හොඳ කෙලියක් කොරලා තමා පස්ස බලන්නේ..." ජේමිස් ඒ ටික කිවුවේ සශ්මිකගේ කනකුත් මිරිකගෙන...



අනේ අංකල් ප්‍රින්සිපල්ට නොකියා ඕන එකක්.." සශ්මික කීවේ පින්සේංඩු වෙවී...


"කියන්ඩ එපා...! තව කියන ලස්සන විතරක්...හැමදාම පොල්, කුරුම්බා නැති වෙනකොට මොන බහිරවයද ගිලින්නෙ කියලා හොයාගන්ඩ බැරුව  තමයි මම හිටියේ....! හිටපල්ලා තොපිට මන් කරන වැඩේ බලන්ඩ......යමව් පින්සිබෙල් ලඟට..." ජේමිස්ගේ බුරුලක් පේන මානෙක නෑ


"අපි අදමයි කුරුම්බා කඩන්න ගියේ අංකල්, බුදු හාන්දුරුවම්පා....! ඒකත් මේ උදාන්ගේ නෑයො හන්දා....නැත්තං අපි කඩන්නෑ අංකල්" දීපාල් හත් පොලේ දිවුරලා කිව්වා.

මොකාගේ නෑයෝ කීවා? " ජේමිස් පුපුරමින් ඇහුවා,

"මේ මෙයාගේ..." දීපාල් උදාන්ව පෙන්නුවා...

"මේ පුබ්බඩයෙක්ගේ නෑයො මං...? කව්ද බොට කිවුවේ... ?ජේමිස් ඇහුවේ උදාන් දිහාවට අතකුත් දික් කරන්...උදාන් ඔලුව කසමින් හොර පූස් බැල්ම දාගෙන නොදන්නා ළදරුවෙක් ගානට රංගනයක යෙදිලයි හිටියේ..

"ඇයි උදාන් උඹ කිවුවේ.............කියහංකෝ ඉතිං ...දිලීප උදාන්ට බල කලා.." උදාන් ඇද බා ඇත්තේ තඩි බොරුවක් බව සශ්මිකට නම් ඒ වන විට තේරිලා තිබුණේ..

උදාන් නිශ්ශබ්ද නිසා ඔහු කියා ඇත්තේ බොරු බව හැමෝටම වැටහුණා...

"එව්වා වැඩක් නෑ....මට මගේ අලාබෙ ගන්න ඕනේ...තොපිලටත් හොඳ පාඩමක් උගන්නලා...ආයේ මෙව්ව නොකරන්ඩ....යමල්ලා දැන් ඔපීසියට...."

ජේමිස් දැඩි තීරණයක් හිටියා...


"එහෙම නෙවෙයි අංකල් අදට අපිට සමාව දෙන්ඩ ...අපි මීට කලිං කුරුම්බා කඩලා නෑ..ඇත්තමයි අංකල්...අපි අංකල් කියන ඕනි දෙයක් කරන්නම්...ප්‍රින්සිපල්ට කියන්න එපා අංකල්....ප්ලීස් අංකල්..." සශ්මික නැවත වරක් ඉල්ලුවා...

මද වේලාවක් කල්පනා කළ ජේමිස් "හොඳයි, මං  පින්සිබෙල්ට කියන්නෑ...., හැබැයි තොපි පස්දෙනා අද ගෙදර යන්ඩ කලියෙං මේ පොල් වත්ත එළි පෙහෙළි කරලා යන්ඩ ඕනි... "ජේමිස් කොන්දේසියක් දැමුවා..

"අනේ අංකල්...අක්කරේකටත් වැඩී වගේනෙ...අපි ටිකක් එළි කරලා දෙන්නද? බොහොම සාවදානව උදාන් ඇහුවා .

"මොකද්ද?..............එහෙනං යමල්ල ඔපීසියට..!" ජේමිස් එය කීවේ තීරණයේ කිසිම වෙනසක් නොවන බව තරයේ දැනුම් දෙමින්...

"නෑ නෑ අංකල්......, අපි එළි කරන්නම් ඕක මොකද්ද.....? දීපාල් උදාන්ගේ කකුල පාගන ගමන් කිවුවා..

"අපි ඉස්කෝලෙ ඇරුන ගමන් ඇවිල්ල කරනවා අංකල්....එහෙනං අංකල් කියන්නෑ නේද? සශ්මික චාටුවෙන් මෙන් ඇසුවා..

උඹලා එළි නොකර කට්ටි පැන්නොත් හෙට උදේම මං කියනවා ඕක...." 


නෑ අංකල් එහෙම වෙන්නෑ..."


කලින්ම කට්ටි පනින්නට සිතා පාසල ඇරුන විගස ගේට්ටුවෙන් පිටමං වන්නට ගිය උදාන් දුටු දෙයින් හද ගැස්ම වැඩිවෙලා මදක් එක තැන නැවති බලා සිට්යා..ජේමිස් ඔහුගේ පුතා සමග ගේට්ටුව ඉදිරියට වී පාර බලන්නේ තමන් ඇතුළු කල්ලිය පනිනවාදැයි බැලීමට බව උදාන්ට තේරුණා..ඒ නිසාවෙන් පනින අදහස අතැර දැමූ උදාන්  සශ්මික වෙත ගියා.පොරොන්දු වූ අයුරින් පිරිස උඩ කමිස ගලවා බැනියම් පිටිං වත්ත සුද්ද කළා..


"උදානයා....උඹ අරක දෙය්යන්ට ඇරපු ගහක් කිවුවෙත් බොරුද එතකොට?"  දීපාල් ඇසුවේ උස ගස් වලට කැත්තෙන් පහර දෙන ගමං....


"ඕක අහන්නත් දෙයක්ද බං........මූ බොරු මවන්නෙක්....! " සශ්මික කීවේ කට කොනකින් හිනාවෙන ගමන්...

***************************************************
"මේ සශ්මිකයා...ඔන්න කිවුවා , අද නම් මට බෑ කටු කන්න එන්න උඹත් එක්ක.." මිල්හාන් පාසල නිමාවේ ගාථා කියන අතරතුරේ මිමිනුවා..

"අනේ මොකද්ද බං අද විතරයි.....අද ඒකි ස්ටෑන්ඩ් එකේ  නොහිටියොත් අපි මේක අතෑරලා දාමු..." සශ්මික කිවුවේ මිල්හාන්ව කොහොම හරි නතර කරගන්නට ඕන නිසා...

පාසල් ගේට්ටුවෙන් පිටතට ආ සශ්මිකත් මිලහානුත් ඉක්මනින් බස් නැවතුම්පල වෙත ආවා.. 

"බලපන් දැන් ඒකි හම්බවෙලා සතියකුත් උනා...මෙච්චර දවසක් ඒකි නැතිවෙන්න හේතුවක් නෑනේ,එග්සෑම්වලටත් තව සති දෙකයි  දැන් දවස් කීයක් නං රස්තියාදුවේද?" මිල්හාන් මැසිවිලි නගන්නට උනා...

"ඒක තමයි බං මටත් තියන ප්‍රශ්නේ...අඩුම තරමේ ඒකිත් එක්ක එකට හිටපු අනිත් උන් තුන් දෙනාගෙන් එකෙක්වත් නෑනේ..." සශ්මික කීවේ අවිනිශ්චිත බවකින් හිත පුරෝගෙන.


"එතකොට මචං අපිට තොරතුරක් ගන්න විදියක් ඇත්තෙම නැද්ද?" මිල්හාන් ඇසුවේ යමක් කල්පනාවට ගන්න උත්සහා දරමින්..

"අපි කාගෙන් කියලා අහන්නද බං....අනික කෂිනි කිවුවම හැමෝම අඳුරන්න එයා ඇක්ට්‍රස් කෙනෙක්යෑ...." සශ්මික කීවා


මද වෙලාවක් නිහඬව සිටි සශ්මික කහවත්ත නැවතුම දෙස හැරී බැලුවා.කෂිනිගේම වයසේ කිව හැකි ගැහැණු දරුවෙක් කහවත්ත නැවතුමේ බසයක් එනතුරු රැඳී සිටින අයුරු සශ්මික දුටුවේ එවිටමයි."සමහර විට මෙයත් එදා මෙතන හිටියද දන්නෑ" සශ්මික හිත යටින් හිතමින් උත්තර හොයන්න උනා.."ඒත්..........කොහොමද එකපාර මෙයාගෙන් කෂිනි ගැන අහන්නේ?," " අනික ඉතිං ෂෙඩ් එක ලඟට වෙන බස්වලත් යන්න පුලුවන්නේ" සශ්මික දිගටම හිතුවා...

"ඒ මිල්හානයා..........අතන ඉන්න කෙල්ලට අපි ටෝකක් දාලා බලමුද....සමහරවිට අපිට අරකි ගැන තොරතුරක් එයි.... " සශ්මික මිල්හාන්ට අදහස යෝජනා කරලා බැලුවා..

"උඹට පිස්සුද?........එක ඉස්කෝලෙ හිටපු පලියට ඒකි කෂිනිව දන්නැතිව ඇති...." මිල්හාන් අදහස ප්‍රතික්ෂේප කලා...

"හරි ඉතිං......ඇහුවා කියලා කට ගෙවෙනවයෑ....වරෙන්කෝ....'  සශ්මික මිල්හාන්වත් ඇදගෙන කහවත්ත නැවතුමට ගියා...

"මේ නංගි..... අද කෂිනි ආවේ නැද්ද? " මිල්හාන් ඇය වෙත ගොස් ඇසුවේ කෂිනි බොහෝම හොඳින් අඳුරන වග පෙන්නලා.....

"ආ....අද කෂිනි ආවා....එයා ඉතිං යන්නේ ස්කූල් වෑන් එකේනේ ... ඇය පිළිතුරු දුන්නා..

ඒ වනවිටම නැවතුමට ආ ලංගමයකට ඇය ගොඩ උනේ මිල්හාන්ට 'යන්නම්"  කියා කියනා ගමන්මයි.  

"ඒකි කිවුවේ අපේ කෂිනි ගැන වෙන්නැතිද බං?" මිල්හාන් නිශ්චිත යමක් සිතාගත නොහැකිව ඇසුවා..


"අනිවා ඒකි ගැන තමයි.....කල්පනා කරලා බලහං.. අපි දවස් කීයක් නං කට්ට කාගෙන ඕකිව හෙව්වද?අපිට හම්බුනේ නෑනේ..ෂුවර් එකට එදා මේකි යන වෑන් එක කැඩෙන්න ඇති බං...ඒකනෙ හෙන සෙට් එකක් බස් එකේ ගියේ.....අනික මෙච්චර ස්ටෑන්ඩ් එකේ රස්තියාදු පාර දාන අපිට ඕකිව එදා වෙනකං අපේ ඇහැ ගැහුනේ නැති හේතුවත් ඕකයි...." සශ්මික කියාගෙන ගියා...


හ්ම්ම්....වෙන්ඩ පුළුවන්...!' හැබැයි සශ්මිකයා මේ සති දෙකේ අපි විභාගේ ගැන විතරක් හිතමු....විභාගෙන් පස්සෙ කෙල්ලව ෆලෝ කරමු...අනික ඒකිත් අපේ වයසේ මං හිතන්නේ ...දැන් යමං....." මිල්හාන් සශ්මික සමග කලවාන බසයක් වෙත ඇදුණේ සශ්මිකට කොන්දට තට්ටුවක් දාන ගමන්..

සශ්මික හිස වනා මිල්හාන් කී දේ පිළිගත්තා...මිල්හාන් වැනි යහළුවෙක් තමන්ට ලැබුණේ පෙර පිනකට යැයි සශ්මික හිතුවා...අම්මා තාත්තාට අක්කලාට නැති කැක්කුමක් මිල්හාන්ට තමන් ගැන ඇති බව සශ්මික දැනන් උන්නා..පව්ලේ බැඳීම් වලට වඩා බලවත් වූ සහෝදර බැඳීමක් සශ්මිකගේ හිතේ පතුලේම මිල්හාන් ගැන මුල් බැසගෙන තිබුණා..

හව්හරණක් නැති තමන්ගේ ජීවිතේට කවදා හෝ පිළිසරණක් වන්නේ ඉගෙනීම පමණක් බව සශ්මික දැනන් සිටි නිසාම ඔහු තීරණය කළා මේ දින ටික පසු වන තුරු ඉගෙනීම ගැන පමණක්ම සිතන්නට.අක්කලා සා.පෙළ විභගයට මුහුණ දෙන කාලේ අම්මා අක්කලාගේ පස්සෙන් ඇවිදලා , ගෙදරදීත් පස්සෙන්ම ඉඳලා , අමතර පංතිවලට  යවලා කොයිතරම් උද්යෝගිමත්ව එයාලා ඉගෙනගන්න එක ගැන හිතුවද? ඒත්.... තමන්ව එක දවසක් පාඩම් කරවන්නට උනන්දු උනේවත් , කවදාවත් අමතර පංතියකට යවන්නවත් අම්මාට තාත්තාට දෙන්නගෙන් කෙනෙකුටවත් උනන්දුවක් නැත්තේ ඇයි කියලා සශ්මික නිතරම හිතුවා...නමුත් පව්ලේ හැමදෙනාගෙම වෙනස්කම් මැද සශ්මික කවදාවත් පරදින්න කැමති උනේ  නෑ...සශ්මික හොඳින් ඉගෙනගන්න හිතට පුළුවන් තරම් දිරිය ගෙන කටයුතු කළා.. 

පාසලේ සා.පෙළ කඩයිමේ ගතවන අන්තිම සතියත් තරමක් දුක්බරව සශ්මික ගෙවා දැමුවා.පාසල් අවසාන වාර විභාගයටත් සශ්මිකට බොහොම හොඳින් මුහුණ දෙන්නට හැකි වුනා..සෙනසුරාදා ඉරිදා දිනයන්හි සශ්මික බොහෝ වෙලාවට නිවිතිගල මහජන පුස්තකාලය වෙත තනිවම ගොස් පාඩම් කරන්නට පෙළඹුනේ මිල්හානුත් ඒ දින දෙකේ අමතර පංති වලට යන නිසාමයි..

සශ්මික සහ මිල්හාන් රත්නපුර මහජන පුස්තකාලයේ පාඩම් කරමින් සිටියා..ගහැණු ළමුන් තුන් දෙනෙකු පොත් අතැතිව මේසයක් සොයා එන අයුරු මිල්හාන් පොතට උඩින් බලාගෙන.ගහැණු ළමෝ තිදෙනගේ හුරුපුරුදු ගතියක් දැනුන නිසා මිල්හාන් තවත් උනන්දුවෙන් ඒ දෙස බලාන උන්නා.සශ්මික අසුන් ගෙන උන්නේ මිල්හාන් ඉදිරියෙන් මුහුණට මුහුණලාගෙන.. 

මිල්හාන් සශ්මිකගේ කකුලට ගසා සංඥාවක් දී ඔලුවෙන් ගැහැණු ළමයි තිදෙනාව පෙන්නුවා...සශ්මික පාඩම් කිරීමට බාධා කල නිසා අකමැත්තෙන් මෙන් ඒ දෙස බැලුවා...ඒ ගැහැණු ළමයි තුන් දෙනා කෂිනිගේ යෙහෙළියෝ බව අඳුනගන්නට සශ්මිකට අපහසු උනේ නෑ...

"කෂිනිත් ඇතිද බං"...සශ්මික ඇසුවේ රහසින්..

ඉන්නවනම් ඉන්නෙපැයි ඉතිං..." මිල්හාන් රහසින්ම පිළිතුරු දුන්නා..

පැයක් දෙකක් අකුරු මනසට දා ගන්න තැත් කළත් සශ්මිකට එය කිරීම අපහසු උනා.කෂිනිගේ යෙහෙළියන් දැකීමෙන් සශ්මිකගේ මනස ඒ වනවිට ව්‍යාකූල වී තිබුණා.ඒ වනවිටත් කෂිනිගේ යෙහෙළියෝ ද සිටියේ පාඩම් කරමින්..

"අපිව මතකද?" මිල්හාන් කෂිනිගේ යෙහෙළියෝ පාඩම් කර අවසාන වී පුස්තකාලයෙන් එලියට එන විටම කතාවට අල්ලා ගත්තා..


නෑ........" එක යෙහෙළියක් කතා කලේ 'මේ කවුදෝ'යි කියා මතක් කරන්නට වෑයම් කරන්නට මෙන්,...

එවිටම අනෙක් ගැහැණු ළමෝ දෙදෙන මුහුණට මුහුණ බලාගත් ලෙසින්ම මිල්හාන් ඔහුව හැඳින ගත් බව දැනගත්තා..මිල්හාන් ගැහැණු ළමෝ දෙදෙන සමග සිනාසුනේ එදා උන දේට සමාවෙන්නැයි කියන්න වගේ....

'ඔයාලට මතකයි නේද අපිව,,...!' මිල්හාන් ගැහැණු ළමයි දෙපලගෙන් ඇසුවා..

'ආ.........මොකද අමතක....! අර ඔයාටනේ ගෑණු ළමයින්ගේ නැටි පේන ලෙඩක් තියෙන්නේ නේද? ....' ගැහැණු ළමයෙක් ඇසුවේ ඔච්චමට...

'ඒක පොඩි විහිළුවක්නේ..., ගණන් ගන්නෙපා...' මිල්හාන් කිවුවේ පැණි හිනාවකින් මූණ පුරෝගෙන..

"මේ......අර ඔයාලගෙ යාළුවා කෂිනි ආවේ නැද්ද?' සශ්මික නිහඬතාවය බිඳිමින් ඇසුවා..

'ආ...එයා නම් ආවෙ නෑ...' ගැහැණු ළමෙක් නෝන්ඩි හිනාවකුත් එක්ක සශ්මිකට කීවා..

'පහුගිය දවස්වල එයා ඉස්කෝලේ ආවෙත් නැද්ද...?' සශ්මික ඇසුවේ හරියටම යමක් දැනගන්නට තිබූ අවශ්‍යතාවය නිසා..


"නෑ....ආවේ නෑ...." කෂිනිගේ යෙහෙළිය එය කීවේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියන වැහි වලාවක් වගේ මූණ අඳුරු කරගනිමින් කියලා සශ්මිකට පෙනෙන්නට තිබුණා..

2013년 10월 16일 수요일

සිහින සශ්මික - 2

පළමු කොටසට  methanin යන්න

උඹලගේ චීත්ත පස්සෙ ඇවිදපු එකේ ආනිසංස....බලහං කට කපලා එන්නෙ...' මිල්හාන් පැවසුවේ ඈතින් එන කලවාන බසයක් පෙන්වමින්.

සශ්මික කිසිත් නොකියාම මිල්හාන් සමග පාපුවරුවේ එල්ලුණා.

************************************************
සශ්මික ගෙදරට එද්දී සවස තුන හමාරත් පහුවෙලා තිබුණා..තමන්ගේ උසට වඩා විසල් ගේට්ටුව ඇරගෙන සශ්මික ගෙවත්තට ඇතුල් උනා.. අක්කලා දෙන්නා වැඩ ඇරිලා ගෙදරට එද්දී හිනා කටක් පුරෝගෙන මග බලන අම්මා කවදාවත් තමං එනකං මේ අවුරුදු දහසයටම මග බැලුවේ නෑ...අදත් එහෙම මග බලන්නෙ නෑ කියන දේ දන්නවා උනත් සශ්මික හිත රවට්ටගන්න වගේ එහෙම හිතලුවකුත් එක්ක අදත් ගෙයි උලුවස්ස දිහා බැලුවා...වෙනදා හිතේ ඇතිවෙන හිස් හැඟුමත් එක්ක ගෙට ඇතුල් උන සශ්මික කොහෙදෝ ඉඳන් දිව ආව පොමනේරියන් වර්ගයේ ලැසීගේ ,ආදරයෙන් ඔලුව අතගෑවා..මේ අපායේ කාටත් නැති සෙනෙහසක් ලැසීට තමන් ගැන ඇති බව සශ්මිකගේ හිතට හැඟුනේ බල්ලන්ට ඇති යහ ගුණ වත් මේ ගෙදර අම්මාට ,තාත්තාට , අක්කලාට නැත්තේ ඇයි කියලා හිතන ගමන්.. 

සශ්මික නා කියාගෙන ඇඳුමක් ඇඟ ලා ගෙන නාන කාමරයේ දොර හරින විට ගෙදර වැඩ කරන සිරිදාස සශ්මිකගේ කෑම පිඟාන වතුර වීදුරුවද සමග කාමරයෙන් තබා පිටත්වන්නට සැරසුනා පමණි..,

සිරිදාස.......

ඇයි චූටි මහත්තයෝ....' සිරිදාස කවදත් සශ්මිකට කතා කළේ නම්බු දී හිස නමා ය.

කෝ අම්මා? සශ්මික එය ඇසුවේ පුරුද්දට මෙනි..ලඟක සිට අම්මා කෑම මේසයට තමන්ට කෑම අරින්නේ ද නැති බව දැන් ඔහු අත්දැකීමෙන් දනී..


අම්මාවරුන් මතු බුදු වන බව සශ්මික නොයෙක් වර අසා තිබුණත් මෙවැනි අම්මා කෙනෙකු පිළිබඳ වරෙක සශ්මිකට අදහාගන්නත් බැරි තරම්.ලඟකදී පටන් අම්මා බොහෝ සෙයින් වෙනස් වී ඇත.මේ වෙනස සශ්මිකට කුඩා කල පටන් දැනෙන වෙනසක් වුවද අම්මා බොහෝ විට තමන් පිළිබඳ අන් අයට වඩා සිතූ බව ඔහුට මතකය,..

"ලොකු නෝනා කාමරේ..........මොකක් හරි වැඩක් ඇති චූටි මහත්තයෝ..,"  සිරිදාස කියුවේ සශ්මිකගේ හිත හදන්න වගේ...

හරි සිරිදාස දැන් යන්න...." සිරිදාසට සශ්මික කතා කලේ  කරුණාවන්තව. සිරිදාස තමන්ගේ අප්පච්චිටත් වඩා වැඩිමහල් අයෙකු නිසා සිරිදාසගේ නම කියලා කතා කලා උනත් ඔහු ගැන ගරුත්වයක් සශ්මිකගේ  හිතේ තිබුණා..

තමන්ට මතක ඇති වයසේ පටන් තම නිවසේ මෙහෙකරුවෙක් වන සිරිදාස තමන්ට ගෙදර අයගෙන් වන අකටයුතුකම් ගැන හොඳින් දන්නා බව සශ්මිකට වැටහී ගියේ  දිනක් පව්ලේ තමන් හැර අනෙක් සිව්දෙනා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රූපවාහිනිය නරඹන අවස්ථාවක නිකමට වගේ එතැනට ගොස් වාඩි උන පසුව සියලු දෙනා අසතුටින් තම කාමර වෙත යද්දී සශ්මිකගේ ඇස්වල දුකට පිරුණ කඳුළු දිහා බලාන "චූටි මහත්තයා ඕවා ගණන් ගන්නෙපා.., දෙය්යෝම මේවා බලාගනී" කියමින් සිරිදාස තමන්ගේ හිත හැදූ අයුරු මතකයට එන විටදීය.

සශ්මික බත් පතට අතවත් නොතියා අම්මාගේ කාමරයට එබුණා.නමුත් අම්මා එහි නොමැති නිසා කුස්සිය පැත්තට ගියේ අම්මා මොනවා කරනවා ඇතිදෝ කියා දෑසින්ම බලාගන්න..යද්දී අම්මා මැෂින් එකකුත් එක්ක ලොකු යුද්ධයක්...මොකක් නමුත් අමුත්තක් ඇති බව ඔහුට තේරුණා..

කුස්සියේ විනාඩි පහකට දහයකට වඩා කාලය ගතකල ඔහු අම්මාගේ හැසිරීම් දෙසම බලා උන්නත්, අම්මා අම්මාගේ වැඩේ මිසක තමන් ආ වග සත පහකවත් මායිම් නොකළ වග තේරුණත් සශ්මික කරබාගෙන උන්නා..

"අම්මා මොනවා හරි හදන්නද යන්නේ? .. එතෙක් වේලා ඔහුගේ මුහුණවත් නොබලා සිටි අම්මාගෙන් එය ඇසුවේ නිහඬව හිඳ බැරිම තැන.

හ්ම්ම්..........' ඇය පිළිතුරු දුන්නේ සම්පූර්ණ අවධානය තමන්ගේ වැඩේට යොදවා ඇතියැ'යි කියන්න වගේ.

මොනාද හදන්නේ? 

කේක්...

'ශා.......නියමයිනේ.... මොකද්ද විශේෂත්වේ?' සශ්මික එවර ඇසුවේ ඇත්තටම හිතේ කහටක් නැතිව..

"තමුසෙට මතක නැති උනාට අද ලොකු අක්කගේ උපන් දිනේ...හවස් වෙනකොට එයාගේ යාළුවෝ ඒවි....ඔන්න ඉස්සරහට ඇවිත් අක්කගේ මූඩ් අප්සට් කරනවා එහෙම නෙවෙයි....දන්නවනේ අක්කගේ හැටි..කාමරේට වෙලා ඉන්නවා ඒක හන්දා..."

අක්කලාගේ පමණක් නොව දැන් තමන් අම්මාගේ හා තාත්තාගේද හැටි දන්නා බව කියන්නට සිතුණත් සශ්මික කර බා ගෙන නැවත කාමරයට එන්න සැරසුණා...

'මේ........ඔහොම ඉන්නවා....., අර එහා කඩෙන් ක්‍රේප් පටියි , බැලුම් බෝල ටිකකුයි අරං එනවා...ෆ්‍රිජ් එක උඩ සල්ලි ඇති....'අම්මාට තමන්ට පුතේ කියා කතා කරන්නට බැරි ඇයි දැයි අසන්නට සිතුණත් සශ්මික ඒ හැඟීමද යටපත් කරගත්තා..

අර සිරිදාස ඉන්නේ යවන්න........මට බෑ යන්න කඩේ....'  සශ්මික කීවේ කේන්තිය මුසු හැඟීමකිනි...

සිරිදාසට මම ලොකු වැඩක් පැවරුවා....තමුසේ ගිහිං එනවා...'

මව නැවත නැවත කීවද සශ්මික කඩේ යැවීම කරගැනීමට නොහැකි උනා.

****************************************************

විදුලි මේස ලාම්පුව දල්වාගෙන පොතක අකුරු අතරේ සැරිසරමින් උන් කෂිනි මොහොතකට ඉන් ඇස් ඉවතට ගත්තා...ජනෙල් කවුලු අතරින් කාමරයට වැටුන හඳ එළිය කහ පාටින් දිදුලන්නට උනා..ඇය ජනෙල් පියන් පතක් විවර කර නිකමට වගේ අහස දිහාව බැලුවා..තරු පොකුරු අහසේ පිපිලා තිබුණ අපූරුව දැක්ක ඇගේ හිත අමුතු ප්‍රබෝධයකින් පිරී ගියා... පේන්න  තිබුණ හඳේ තුන් කාලක පමණ කොටස කියා පෑවේ පසළොස්වක ළඟ ළඟම එන වග...මේ පුංචි තරු පොකුරුවලට  මෙච්චර ලොකු එළියක් කොහෙන්ද කියලා කෑගහලා අහසෙන් අහන්න තරම් බොළඳ අදහසක් ඇගේ හිතට එකවරම ආවා..

ඇගේ සිතුවිලි බිඳිලා ගියේ පිළිකන්න පැත්තෙන් ඇහුන  මිනිසුන් දෙතුන් දෙනෙකුගේ අඩි ශබ්ද කිහිපයකින්.ඒත් එක්කම පුංචි කසු කුසුවක්..!

ටක් ටක් ටක්.................

කවුදෝ දොරට ගහන හඬක්....! 

"සීතක්කේ.....................සීතක්කෙ දොර ඇරහං" 


කතා කරන උන් කතා කලේ රහසින් වගේ ,හරියට මිනියක් මරලා ඇවිත් හැංගෙන්න හදන ගානට 

"මට ඇහුණා බං..........ඔය දොර කඩන්නැතුව ඉඳහං...." අම්මා මැසිවිලි නගමින් දොර හැර ඔවුන් සමග කුටු කුටු ගාන්නේ මොනවාදැයි කෂිනිට අරුමයක් නැත...අවුරුදු දහසයක් තිස්සේ මේවැනි සිදුවීම් කොතෙකුත් නම් මේ වහල යට වන්නට ඇතිද?ඇස් කන් පියාගෙන සිටියා මිස මව සමග වාද කිරීමට කිසි දිනෙක ඇය සිතුවේවත් නැත..

"ජානක අය්යා කිවුවා බඩු වගයක් ඇති සීතක්කගෙං ඉල්ලං එන්ඩ කියලා.."

ඔහොම ඉදහං පොඩ්ඩක්...." යැයි කී සීතා ඇඳ යටින් ගත් ගෝනි දෙකක් ආ උන්ගේ අතේ තැබුවා.

සීතක්කෙ ගස්ලබු මල්ල කොයි?

ඔය ගෝනියක් ඇතුලෙම ඇති....දැන් ඉතිං පලයල්ල මෙතන තැක් ගැහි ගැහි ඉන්නැතුව..ඉක්මං කොරාලා..." සීතා ඒසේ කියා වහා දොර වසාගෙන විත් කෂිනිගේ කාමරයට එබුණා..

මයෙ කෙල්ලේ........." සීතා ඇයට කතා කරන්නේ එසේමය.සීතාට උන් එකම දරුවා කෂිනිය.එම නිසාවෙන් සීතා ඈ පණ මෙන් රැක්කාය.


දැන් ඔය මදැයි පාඩම් කොලා....දැන් එකොළහත් පහුවෙලා මයෙ හිතේ,මා පුතා නිදාගන්ඩ..." එසේ කී සීතා කෂිනිගේ ඇඳ අසලින්ම එහා පැත්තට වෙන්න ට දමා තිබුණ අනෙක් ඇඳේ හාන්සි විය.

*****************************************************
"මොකද බන් මොනාද කාපු මොකාද වගේ ඉන්නෙ....කිසි ගතියක් නෑනෙ.." මිල්හාන් සශ්මිකගෙන් ඇහුවේ පහුවදා ඉස්කෝලේ පරණ ගුරු නිවාසෙ පිටුපස අයි ටී පීරියඩ් එක කට් කරගෙන ඉන්න ගමන්...

"ඒ ...ඊලඟ පීරියඩ් එක ඉංග්‍රීසි නේද? ' මිල්හාන් ඇහුවේ උදාන් දිහාව බලලා.


"හා.......පෝ  ඔවු.., මේ මට නං බෑ වීරසිංහ කාරයගේ කියවිල්ල අහගෙන ඉන්න... නයිජීරියාවෙ වැද්දොත් එක්ක කතා කරනවා වගේ මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ..උඹලාට ඔන්නම් පලයන් මම මෙතනම ඉඳලා එන්නං.... " උදාන් දැඩි ලෙස විරෝධය පල කලා..

"උඹ හිතන්නේ අපිට යන්න ඕන කියලද?" මිල්හාන් අහන්නේ කට කොනකින් හිනාවෙන ගමන් ,

"මේ මේ පිස්සු නටන්නෙ නැතිව යමල්ලා පංතියට...." නිහඬව හිටි සශ්මික යාළුවන්වත් ඇදගෙන පංතියට එන්න උත්සහ කලා..

"මේ සශ්මිකයා ,උඹ ෆ්‍රිපානේ ..........උඹ පලයන් ...අපි එන්නෑ...." උදාන් කීවේ ස්ථාවර ස්වරයකින්...

"අන්න අන්න මචෝ..............රෝන් ටෝක් එකක් උඹ දුන්නේ , එහෙනම් මිල්හානුත් ප්‍රිෆෙක්ට්නේ..." සශ්මික කීවේ පරාජිත හැඟීමකින්..

'හරි ඉතිං ඌට යන්න උවමනාවක් නෑනේ...'


"දිලීප....,දීපාල්...උඹලටත් පංතියට යන්න ඕනි නැද්ද?" සශ්මික ඇහුවේ අවසාන තීරණය ගන්න පෙරාතුව...

නිවුන් සහෝදරයින් වන ඒ දෙපලත් ඔලුව වැනුවේ අවශ්‍ය නැතයි කියන්නට වගේ....

'හරි ඔන්න එහෙනං මාත් හිටියා...." සශ්මික අවසානයේ කීවා...

"මෙතන විනාඩි හතලිස් පහක් අපි මොකෝ බං කරන්නේ...?? මිල්හාන් ඇහුවේ පිරිසගෙන්ම..


ගුරු නිවාස වැට මායිමෙන් එහා පැත්තේ පිහිටි ජේමිස් අංකල්ලගෙ වත්තේ උස පොල් ගහක දිලිසි දිලිසි තියන කුරුම්බා වලු දෙක තුන උදාන්ගේ ඇහැ ගැටුනේ කරන්නට යමක් සිතමින් වට පිට බලනා අතරේ... 

ඉස්කෝල වත්තෙන් එපිටට වන්නට පහළ බෑවුමක ජේමිස්ගේ ඉඩම පිහිටි නිසා ගුරු නිවාසය පිටුපසට  ගොස් බැලුවොත් මිසක ජේමිස්ගේ ඉඩම පාසලට දිස් නොවේ...

"අපි කුරුම්බා බොමු...." උදාන් යෝජනා කළා..

කුරුම්බා...............? කොහෙන්ද? දීපාල් ප්‍රශ්න කළා..

ඇයි බං ජේමිස් අංකල්ලගේ වත්තේ අර තියෙන්නේ දිලිසි දිලිසි..

"පිස්සුද උඹට.......අහු උනොත් එහෙම විලි ලැජ්ජයිනේ බං, ඊටත් කුරුම්බා බීලා.." සශ්මික ඇහුවේ උදාන්ගෙන්..

"ආයේ කාට අහුවෙන්නද?........අහු උනත් ගානක් නෑ බං..ජේමිස් අංකල්ලා අපේ  ඥාති වෙනවා.ඕවා කැඩුවට මට මුකුත් කියන්නෙ නෑ.." උදාන් කියවාගෙන ගියා..

"ඇයි යකෝ කලිං කියන්න තිබුණනේ....යමං යමං " මිල්හාන් කට්ටියවම ඇදගෙන වැට පැන්නා...

ෂුවර් එකටම පිනාට මාට්ටු වෙලා චාටර් කන්න වෙන වැඩක් මේක නං මචෝ" සශ්මික පසුබැස්සා.

මොකද්ද බං උඹ නිකං රබර් එක වගේ උනානේ.....කට වහගෙන මෙන්න මෙහෙ වර යන්න..." මිල්හාන් සශ්මිකවත් ඇදගෙන වත්ත කෙලවරට ගියා..

දැං කවුද ගස් නගින්නේ?"  ඒ පැනය  දිලීපගෙන්..

ඇයි මේ රත්තරං කඳක් වගේ බොලල්ලගේ අයියණ්ඩිය ඉන්නේ..." උදාන් කීවේ මුරුංගා අත්තේ තියලා..

"අනේ මට බෑ...." ගත් කටටම දීපාල් කීවා....

යකෝ පීරියඩ් එක ඉවර වෙන්න කලිං පලයන් ගහේ....." එහෙම කියපු උදාන් බලෙන්ම සුදු කමිසය ගලවා බැනියම පිටින් දීපාල් ගස් නැග්ගුවා...

ඔන්න ජේමිස් අංකල් ආවොත් උඹ ඔක්කොම බලා ගනිං හොඳේ ... " දීපාල් කීවේ ගහේ මදක් දුරට නැග ගොස් සිටියදී.

යකෝ මං කිවුවනේ ඒවා කේස් නෑ කියලා.." උදාන් එවර කීවේ යන්තමින් දත් මිටි කාගෙන...

දඩිස්................බිඩිස්.............!!!

කුරුම්බා ගෙඩි දෙක තුනක් බිම හෙලූ දීපාල් ගස මත සිටම ජේමිස් අංකල්ගේ ගෙවල් පැත්ත බැලුවා...යන්තමින් ගහ මතට පෙනුණේ ජේමිස් අංකල්ලාගේ උයන ගෙයි වහලය සමග උලුවස්ස හරිය විතරයි...ඔහු නැවතත් කුරුම්බා ගෙඩියක් වැරෙන් අඹරමින් උන්නා...එක්වරම වත්තේ කොනකිං මතු උන ජේමිස් අංකල් " ඔහි හිටු හොර කොල්ලෝ.... අද මම තොපි ප්‍රින්සිපල්ට අල්ලා දීලයි පස්ස බලන්නේ කියමින් " ගහ යටට දිව එද්දී

"උදාන් උඹ ඇයි දුවන්නේ , උඹලගේ අංකල්ට කියහංකෝ උඹයි කැඩුවේ කියලා " කියමින් "ස්රූස්" ගා දීපාල් ගහෙන් බැස්සේය.

"යකෝ.............අංකල් ඕක දෙය්යන්ට ඇරලා තිබුණ ගහක්...ඕකෙ ගෙඩි කඩනවට අංකල් කැමති නෑ..ඉක්මනට දුවහං "....කියමින් කුරුම්බා ගෙඩි දෙකක්ද අතැතිව ගුරු නිවාසය පැත්තට දුවන්නට විනි.ඒ වන විටත් උදාන් මිල්හාන් සමග දිලීප පැනගොස්  අවසානය.සශ්මික දීපාල් ගසෙන් බිමට බහින තුරු ඔහු දමා නොගියේය..

"ඉක්මනට වරෙං අංකල් අත ලඟ....." සශ්මික කෑ ගැසුවේ ඔහු හා දීපාල් අතර මීටර් සියයක පමණ පරතරයක් තිබියදීය.ඒ මේ අස්සේ කුරුම්බාද අහුලන්නට යන දීපාල් දැක සශ්මිකගේ තරහා දෙගුණ විය...

"ලබ්බක් කරනවද යකෝ කුරුම්බා ඕන්නෑ  වරෙං.........." සශ්මික කේන්තියෙන් කෑ ගැසුවේය..

"උඹ නං කියයි ......කඩපු මංනේ අමාරුව දන්නේ........." කියමින් කුරුම්බා ගෙඩියකුත් උස්සාන සුදු කමිසය කරේ දාන් බැනියම පිටින් දුවන් එන දීපාල් දිහා බලන විට එතරම් අවිනිශ්චිත අවස්ථාවක වුවද සශ්මිකට සිනා පහළ විය...

ඒත් සමගම සශ්මික දුටුවේ දීපාල්ට ළං ළංව දිව එන ජේමිස් අංකල්ය....

ඔය කුරුම්බා ගෙඩිය පැත්තකට දාලා දුවපිය....අංකල් උඹේ පිටිපස්සේ........... එසේ කී සශ්මිකද වහ වහා දුවන්නට විය....එතෙක් උස්සාන දිව්ව කුරුම්බා ගෙඩිය පසෙකට දමා දීපාල්ද ඇස් ගෙඩි විශාල කරගනිමින් උපරිම වැර යොදා දුවන්නට විය....


ප.ලි.   :::  සීතක්කගේ ගෙදරට රෑට එන්නේ කවුරුන්ද? දීපාල් ජේමිස්ට හසුවෙයිද? බලමු ඉතිරි කොටසින්..


2013년 10월 15일 화요일

සිහින සශ්මික

අසංක මුණසිංහ..

ඉන්නවා ටීචර් 

විදුරංග කුමානායක...

ඉන්නවා ටීචර්

සිහින සශ්මික..

ඉන්නවා ටීචර්


නාමලේඛනයට ඇහුම් කන් දීගෙන හිටපු සශ්මික නම ලකුණු කරවාගෙන වාඩි උණා..සශ්මික අන්තිම පේලියට කැමති උනේ වටේ පිටේ ඉන්න ගෑණු ළමයින්ට ඔච්චම් කරන්න පහසු වූ නිසා වන්නට ඇති.නමුත් ඒක හැමදාටම වලංගු නෑ.. දවස් මාරු වෙනකොට පිළිවෙලින් පේළි මාරුවෙන එක ගැන පංති භාර ගුරුතුමිය වන "දිලංකා මිස්" හොඳින්ම ඇහැ ගහගෙන උන්නෙ..කොයි තරම් විසේ කරත් සශ්මික ඉගෙනීම් කටයුතු හොඳින් කිරීම ගුරුවරුන්ගේ පැසසුමට ලක් වෙන කාරණයක් උනා.සශ්මිකට ශිෂ්‍ය නායක තනතුර ලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති.



සශ්මික..........එනවා මෙහාට...

දිලංකා මිස් කතා කරපු විදිහ එච්චර හරි නෑ කියලා සශ්මිකට තේරුණා.. 'ෂික්...., මම චතුනිට කොල උණ්ඩියක් ගහනවා මිස් දැක්කද දන්නෙත් නෑ..'  මාර චාටරේ ..සශ්මික හිතුවේ පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන ගමන්..

ඊලඟ පීරියඩ් එකට පස්සෙ පීරියඩ් එකේ සිංහල නේද?..... මිස් ඇහුවේ හිතුවට වඩා හාත්පසින් වෙන ප්‍රශ්නයක්..

ඔවු මිස්

හ්ම්ම්...එහෙනම් මම ඉන්නවා ස්ටාෆ් රූම් එකේ,අද සිංහල සර් නෑ.......මේ පීරියඩ් එක ඉවර උනහම තනියම එන්න...මට පොඩ්ඩක් කතා කරන්න තියනවා..

හා මිස්...
සශ්මික එහෙම කිවුවත් ඔහු හිටියේ දෙගෙඩියාවකින්...කවදාවත් නැතුව මිස් එහෙම කියපු එක ගැන සශ්මිකට පුදුමයි..

එම කාල ඡේද දෙක පහු උනාට පස්සේ සශ්මික ඉක්මනට දිලංකා මිස් හොයාගෙන ගියා...සශ්මික ස්ටාෆ් රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ මිස් කතා කරනකම්... 

ආ.........එන්න සශ්මික ඇතුලට...' දිලංකා මිස් ඔහුට කිවුවා...ස්ටාෆ් රූම් එකේ ඒ මොහොතෙ හිටියේ මිස් විතරමයි.

ඇයි මිස් මට එන්න කිවුවේ... ' සශ්මික ඇහුවේ හිතේ දෙගෙඩියාවකින්


ඉස්සෙල්ලා ඔතනින් වාඩිවෙන්නකෝ.. ' මිස් ඉදිරිප තිබුණ පුටුවක් පෙන්නලා කිවුවේ ඇය පිරික්සමින් හිටපු ෆයිල් කවරයක් කබඩ් එකට දාන ගමන්.වාඩිවෙලා කතා කරන්න තරම් මිස්ට තියන ප්‍රශ්නෙ මොකද්ද කියලා සශ්මික කල්පනා කලා.

මිස්ගේ වචනෙට අවනත උන සශ්මික ඇය ඉදිරිපසින් වාඩි උනා.මිස් තමන් දිහා හරි බැරෑරුම් විදිහට බලලා මොකක් නමුත් ලොකු දෙයක් අහන්න යන වග සශ්මිකට ඒ වෙද්දිත් තේරිලා තිබුණේ..


පහුගිය ටිකේ සශ්මික හරියට වැඩ කලේ නැහැ කියලා මට ගුරුවරු දෙතුන් දෙනෙක්ගෙන්ම පැමිණිලි ලැබුණා..ඔයා දැන් ගණන් වලටත් හරිම දුර්වලයිලු..දැන් බලන්න විභාගෙට තව මාස කීයද තියෙන්නෙ...හොඳට වැඩ කරන ළමයෙක් මෙහෙම වෙනකොට අපි කැමති නෑ...මං ඔයාගේ පංති භාර මිස්...මේ ඔයාගේ පංතිය මට භාර වෙලා තිබුණ පලවෙනි වතාව නෙවෙයිනේ, සශ්මික දන්නවා මම ඔයාලට අම්ම කෙනෙක් වගේ කියන එක.මට කියන්න සශ්මික ඇයි මෙහෙම වෙන්නෙ කියලා.. 

දිලංකා මිස් කියන හැමදේම ඇත්ත කියලා තේරුණත් සශ්මික වචනයක්වත් කතා කලේ නෑ

හරි සශ්මික...මම ඔයාට බල කරන්නෙ නෑ පුතේ....මට ඔයාට කියන්න තියෙන්නේ අපේ බලාපොරොත්තු නැතිකරන්නෙ නැතිව හොඳ රිසාල්ට් අරං ඉස්සරහට යන්න බලන්න කියලා..

හරි හරි....දැන් පුතා යන්න.හැබැයි.........ඔයාට ප්‍රශ්නයක් තියනවා කියලා මට තේරෙනවා...ඒක මට කියන්න බැරිනම් හොඳම යාලුවෙකුට කියලා හරි හිත නිදහස් කරගෙන ඉස්සෙල්ලා වගේ පාඩම් වැඩ ටික කරන්න බලන්න. දිලංකා මිස් ඒ ටික කිවුවේ බොහොම සෙමින් ආදරෙන් ..


එච්චර වෙලා බිමට හරවගෙන හිටපු ඇස් දෙක උඩට උස්සන්නේ නැතිවම සශ්මික පුටුවෙන් නැගිට්ටා..ඔලුව බිමට හරවාගෙනම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආපු සශ්මික ගේ ඇස් අග තිබුණ කඳුලු කැට දේකක් සුදු සපත්තුවට වැටිලා විසිරිලා ගියා.

මගේ හිතේ තියන බර, ගින්දර කාගේවත්ම හිතකට දෙන්න ඕනේ නෑ , මම මගේ හිතේ ගින්දර කොහොම හරි විඳ දරා ගන්නවා.කොහොමත් මගේ කතාව කාටවත් කටක් ඇරලා කියන්න පුළුවන් එකක්යැ..ඒ සිතුවිලි අතරින් සශ්මික කඳුළු පිහිදන් පංතියට ආවා...

"මොන ලබ්බෙ යනවද යකෝ...., උඹ එනකං බලං හිටියා ..,නෑ...........ඒ පාර අපි ප්‍රියංගනී ඇන්ටිගෙ කඩේට පැනලා තෝසෙ පාරක් දාගෙන ආව...' සශ්මිකගේ සෙට් එකේ උන්නු උදාන් කියෝගෙන ගියා.

කෝ ..මිල්හාන්.... ' සශ්මික ඇහුවේ සශ්මිකගේ හොඳම යහළුවා යැයි නිවැරදිම නිර්වචනය දෙන්න පුළුවන් පුද්ගලයා පිළිබඳවය.

අන්න ඌ උඹ එනකන් හිටියා දෙස් දෙවොල් තිය තියා...කැන්ටිමට යන්න.කෙල්ලොත් එක්ක කදේ දාන් ඇති කොහෙහරි..උදාන් එහෙම කිවුවේ එහා පැත්තේ වාඩිවෙලා උන් දිනිතිගේ කොණ්ඩ් කරලේ  රිබන් පටිය ඇදලා ගලවන ගමන්...

කැහිල්ලද උඹට....දීහන් ඕක මගෙ කොණ්ඩේ ලිහෙනවා... ' දිනිති හොඳ හැටි දෙහි කැපුවා..

නෙද්දකිං විතරක්...කටවල්,තොපි කෙල්ලෝ උනේ අපරාදේ..මහ බඹාට නූලෙන් මිස් වෙලාද කොහෙදෝ...


දැන් ඉතිං ගෝරිය ලේසියෙන් අවසන් නොවෙන බව සශ්මිකට නම් හොඳටම ෂුවර්..ඈත පිහිඹියා ගහ යට කෙල්ලන් දෙතුන් දෙනෙක් එක්ක කදේ දාන් ඉන්න මිල්හාන්ට අත්පුඩියක් ගසා කැන්ටිම පැත්තට යමු කියා අතින් සංඥා කරන ගමන් ඔහුද ඒ දෙසට ඇදුණා..

****************************************************


 පාසල ඇරී මිල්හාන් සමග රත්නපුර නගරයේ එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ ඇති වූ විට බස් නැවතුම් පල වෙත සශ්මික ආවේ දාඩිය පෙරාගෙන..පහසුවෙන්ම නිවිතිගල නගරයට යාමට කොතෙකුත් බස් තිබියදීත් සශ්මික මිල්හාන් සමග යන්නේ කලවාන බස් වලමයි...ඒ මිල්හාන් පදිංචි වෙලා හිටියේ කරවිට නිසා.මෙදිනත් සුපුරුදු විදියට ලංගමයක් එනකන් කලවාන නැවතුමේ කණුවකට හේත්තුවක් දාගෙන දෙන්නා ලොකු කතාවක්..

මොහොතකින් මිල්හාන් පසු කරගෙන යන සුපුරුදු රුවක් සශ්මිකගේ නෙත ගැටුණා....මිල්හාන් උන්නේ තවත් කියවමින් ...සශ්මිකගේ හිත වෙනතක කියලා මිල්හාන්ට තේරුණා.

ජපනෝ...තෝ මං කියන එක අහන්ද ඉන්නේ..... ' මිල්හාන්ගේ වචන අපරාදේ කියලා දැනෙද්දී මිල්හාන් කේන්තියෙන් පිපිරුණා .. ජපනා යැයි සශ්මිකට  නම වැටුනේ සිහින් දිගටි ඇස් දෙකකට උපතින්ම හිමිකම් කියා තිබුණ නිසා.. හැබැයි ජපන් ඇස් දෙකකට වඩා අමුතු ලස්සනක් ඒ ඇස්වල තිබුණා..

ඔවු බං කියපන්..'    සශ්මික වදේට වගේ එහෙම කියද්දී සශ්මික හැරි හැරී බලන පැත්තට මිල්හානුත් ඇස් යොමු කර බැලුවා.

ඇයි කවුද ඉන්නේ...? ' සශ්මික කාව හරි හොයන වග මිල්හාන්ට තේරුණා..

නෑ...බං........මට මා....ර දැකලා පුරුදු කෙල්ලෙක් ගියා....ඒකයි මචං මම කල්පනා පාරක් දාලා බැලුවේ, හැබැයි මං ඒ කෙල්ලව දැක්කෙත් අදමද මංදා බං..' සශ්මික කිවුවේ හරි හැටි අදහසක් දීගන්න බැරි වගේ.

ෆලොව් පාරක් දාමුද?............... මිල්හාන් ඇහුවේ සශ්මිකට නැති උද්යෝගෙකින්... 

එලකිරි අදහස........! සශ්මික කීවේ ලොකු සතුටකින්..

"ආ.........හා..........යකෝ ජීවිතේට චීත්තෙකට ට්‍රයි කරලා නැති මූට මොකෑ අද වෙලා තියෙන්නෙ..., මිල්හාන් කොලොප්පමට වගේ කීවා

මගුලක් කතා කරන්නැතිව යමං...ඒකි ගියේ කහවත්ත ස්ටෑන්ඩ් එක පැත්තට..

සශ්මික එහෙම කියලා මිල්හාන්වත් ඇදගෙන කහවත්ත ස්ටෑන්ඩ් එක පහු කරගෙන හෙමින් සීරුවේ සී අයි ඩී බැල්මක් දැම්මා..

කෝ බං...කොයි එකීද........?මිල්හාන් ඇහුවේ ඉවසිල්ලක් නැතිව වාගේ..

කෙලි රොත්ත ඇතුලට වෙලා ලස්සන හිනාවකුත් එක්ක මොන මොනාදෝ කියවන පුංචි කුමාරිව හඳුනගන්න සශ්මිකට අපහසු උනේ නෑ..
සශ්මික ටික වෙලාවක් ඒ ඇස් දිහාම බලන් උන්නා..ඒත් පුංචි කුමාරි නම් ඒක දැක්කේ නෑ..

කෝ බං....  

මිල්හාන් අහද්දි සශ්මික පුංචි කුමාරිව පෙන්නුවා... 

'අර කොලර් නැති ඉස්කෝලෙ එකීද?

ඔවු බං අර උරහිස ලඟට කොට කොණ්ඩ කරල් දෙක තියෙන්නේ...ඒකි..

අප්පට සිරි.........බල්ලො නටයි හඳපානේ...බලකො ඒකිගෙ ලස්සන...සුදු බෝනික්කියෙක් වගේ...උඹත් ඉඳලා ඉඳලා කොක්ක ගහන්න යන්නේ මරු කෑල්ලකටනේ මචං... මිල්හාන් සුරංගනාවිගේ වග පිස්සුවෙන් වගේ කියෝගෙන ගියා..


තූ තූ තූ............කට වහගනින්...හෙට ඕකිගෙ පිම්පල් එකක් හරි දාලා තිබ්බොත් තෝ මරනවා දැනගං... සශ්මික කිවුවේ විහිළුවට වගේ...

"ඔය සුදු මූණට නම් ඇස්වහ වදින්න එපා...සශ්මික හිත ඇතුලෙන් අහිංසකව ප්‍රාර්ථනා කලා

මොහොතකින් පැමිණි කහවත්ත ලංගමයකට පුංචි කුමාරි එයාගේ යාලුවො ටිකත් එක්ක ගොඩ උනා.

ඒ අරකි බස් එකට නැග්ගා බං... ' සශ්මික කලබලෙන් වගේ කිවුවා...

අපිත් නගිමු ඒකේ.........සශ්මික මිල්හාන්වත් බලෙන්ම ඇදගෙන බසයට ගොඩ උනා...

දෙදෙනා බසයට ගොඩ වෙද්දී ඉස්කෝලවල ළමයින්ගෙන් අසුන් පිරිලා තිබුණා.සුරංගනාවි තව යෙහෙළියකුත් එක්ක දොර ළඟම අසුනක වාඩිවෙලා..සශ්මික ඒ ලඟම අසුක් අල්ලාගෙන හිටගෙන උන්නා.මොහොතක් ගත වූ විට පාසල්  ළමුන්ගේ තෙරපුමෙන් බසය තුළ හිඳීම එතරම් පහසු උනේ නෑ,.සුරංගනාවිගේ යෙහෙළියන් දෙදෙනෙකු මිල්හාන්ට එහා පැත්තෙන් හිටගෙන උන්නා..ඒත් සමගම බසය ගමන් ගන්නට වුණා..

"බලහං බං අප්පච්චි මට කාරෙකේ එන්න කියද්දි මම ඇහුවේ නෑනේ...දැන් තමයි කට්ට තේරෙන්නේ...' මිල්හාන් ඒක කිවුවේ හොඳට සද්ද කරලා හැමෝටම ඇහෙන විදිහට..

ඇත්තටම ඒ කතාවට හිනා නොවී ඉන්න සශ්මිකට බැරි උනා...මොකද එයාලගේ කාර් එක ගැන හොඳහැටි සශ්මික දැනන් හිටපු නිසා..මිල්හාන්ගේ නයි ඇරිල්ල තේරිලා වගේ සුරංගනාවිගෙ යෙහෙළියෝ දෙන්නා මූණට මූණ බලන් හිනා උනා..

මේ .......උඹ කට වහන් හිටපන් වාචාලයා වගේ කියවන්නැතිව මෙතන.., පුළුවන්නම් මාවත් චාටර් කරලා වැඩේ දෙල් කරහංකෝ.." සශ්මික කනට කරලා මිල්හාන්ට දෙහි කැපුවා..

දැන් උඹ අලේටද කියහංකෝ මේකට නැග්ගේ........., ඒකි පැත්තක තෝ පැත්තක...මං හරි කතා කරන්ඩ එපැයි...ඇයි වදේ.... ' මිල්හාන් කියෝගෙන ගියා.. 

"ඒ ඔන්න ඔය දෙන්නගේ නැටි පැටලිලා..." මිල්හාන් එහෙම කිවුවේ සුරංගනාවිගේ යෙහෙළියෝ දෙන්නට..ක්ෂණයකින් ඒ කී දේට කෙල්ලෝ දෙන්නට ඉබේටම වගේ පිටිපස්ස බැලුණා....ඒත් එක්කම කෙල්ලෝ දෙන්නට වෙච්ච චාටරෙන් මූණ රතු කරගෙන මිල්හාන් දිහා අලුවෙලා යන බැල්මක් හෙළුවා...

ඉවරයි...." සශ්මිකට ඉබේම කියවුනේ පුංචි කුමාරි දිහා බලන් ඔලුවේ අත ගහගන්න ගමන්..

නොහිතූ විදිහට ඒක ඇහුණ පුංචි කුමාරි සශ්මිකගේ මූණ දිහාව හරියටම කියනවනම් සශ්මිකගේ ඇස් දිහාවම බලන් හිටියා අමුතුම අමුතුම විදිහට.. 

ඒ බැල්මෙන් ගල්ගැහුන සශ්මිකට ඈ දිහාවෙන් ඇස් ඉවතට ගන්න ලෝබකමක් ඇති වුණා.සුරංගනාවි ඇස් ඉවතට අරගෙන වීදුරුවෙන් එහා බලාන උන්නා..හදීසියෙන් වගේ අසුනින් නැගිට බසයෙන් බැසීමට සූදානම් උන ඈ සශ්මිකත් මිල්හානුත් මැද්දෙන් පිටවන දොරටුව වෙත යන්නට සැරසුණා..ඈ දැන් සශ්මික අසලම ගෑවී නොගෑවී හිටගෙන .,ඇගේ කෙහෙරැල්ලක් සශ්මිකගේ මුහුණ අසළ දඟ කරමින් ඉන්නවා..

කෂිනි.... .උඹ අද අපිට යනවා කියන්නෙ වත් නැද්ද බං....' 

හ්ම්ම්...ලස්සන නමක්..."කෂිනි"එහෙනම් ඒකද මෙයාගෙ නම.ඇය ඉන්නේ ද නොසන්සුන් වී කියා සශ්මිකට සිතිණ.

සොරි දිල්මි , මම යනවා ......බුදුසරණයි...

ඔයා හෙට එනවනේ....

ඔවු එනවා දිල්මි........., 

ඈ එසේ කියා බසයෙන් බැසගත්තේය.ඇය බැස්සේ තිරිවානකැටිය ෂෙඩ් එක අසලින් බව මතකයේ රඳවා ගත් සශ්මික ඔරලෝසු කණුව අසලින් බැහැගෙන කලවාන බසයක් එනතුරු මග බැලුවේය.

ප.ලි      ::::    සශ්මිකගේ ප්‍රශ්නය කුමක්ද? , සශ්මිකට නැවත කෂිනි හමුවේවිද? මේ සියල්ලට පිළිතුරු සමගින් ඉදිරි දිනයකදී හමුවෙමු..මෙය හුදෙක් බොලඳ ආදර කතාවක් නොවේ....!

2013년 10월 13일 일요일

මගේ කවි හිත


හදින් හද ලඟ නමුත් ..
ගතින් නුඹ දුර ගිහින්
මල් මිලින වී වාගෙයි
අහස අඳුරු වී වාගෙයි
හිරු සඳු තරු සැඟවී වාගෙයි
කාලය නැවතී වාගෙයි..

කඳුලැල් බරවෙලා
මගේ නෙත් හොයනවා
කෝ .........
නුඹ කොහිද කියා
මා හැඟුම් නුඹ දන්නවා..
ඉතිං මං පෙර මග බලනවා
නුඹ යලි එනතුරා...

*********************************************



මා හද සහරාවට වට
ආදර මල් වරුසාවයි නුඹ..
සයුරු ගුවන් පෙම් පුවතේ
ක්ෂිතිජයයි නුඹ..
හිරු බැස යන සන්ධ්‍යාවේ 
රිවි දහරයි නුඹ..
මගේ ආත්මය පුරා පැතිරුණ
ආදරණීය වූ ස්නේහයයි නුඹ..

***********************

පින්තූර ගූගල් වෙතිනි

2013년 10월 4일 금요일

දාසියක් වී ස්නේහයේ...


යා වගෙ කෙනෙක් තවත් නොවේ ලොව
රක් නොවී හිත් මානයේ සරා
ටත් වඩා මං ගැන සිතනා නුඹ
ගෙ නත් දුන් අලුත් ජීවිතේ
ටත් මගේ පණ වගේ වටී,
වේ දනා නිමා වී වසන්තය ආ..
වා සනාවන් මේ ජීවිතේ
සර සයුරෙන් එතෙර වන තුරු
දා සියක් වී ස්නේහයේ , හිඳින්නෙමි මා...!


මෙම ක්‍රමය කියා දුන් හෙන්රි ගුරු භවතාට මගේ හද පිරි ප්‍රණාමය...!


උඩ පින්තූරය ගූගල් වෙතින්

2013년 10월 1일 화요일

ලෝක ළමා දිනය දා ඉපදුණ කෙනෙක්

ඔක්තොම්බර් පළමු වැනි දා ලෝක ළමා දිනය ලෙස නම් කර තිබෙනවා.ලොව පුරා පුංචි දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් මේ දිනය තුළ සංවිධානය කෙරෙනවා...අපි දන්නවා මේ පුංචි දරුවෝ රටේ අනාගතය කියලා..අපි පුංචි ළමයින්ව හඳුන්වන්නේ මල් වගේ කියලා..ඇත්තටම පුංචි ළමයින්ගේ හිත්  මෘදුයි ,සිනිදුයි අහිංසකයි.

නමුත් වර්තමානය වන විට දරුවෝ විවිධ අපයෝජන ඉදිරියේ මානසික ලෙඩ්ඩුන් බවට පත්වෙලා..,දැන් දැන් විකෘති කාමුකයන්ගේ බිලි වන්නේ මෙම පුංචි දරුවන්...පසුගිය කාලයේ අසන්නට ලැබුණා මාස පහක බිලිඳියක් කෙලෙසපු පුවතක්... අශීලාචාර නොමිනිසුන් සිටිනා මේ සමාජ තලය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා...සමහර ළමා දින වැඩසටහන් වලදී මේ පිළිඹඳ දැනුවත් කිරීමක් කරනවා...ළමයින් අපයෝජන වලින් වළක්වා ගැනීමට කළ යුතු දෑ ආදිය..!

නමුත් ළමයින් ගැන සොයා බැලිය යුත්තේ සහ මේ පිළිඹඳ දෙමාපිය වැඩිහිටියන් දැනුවත් කළ යුත්තේ එක් දිනයක් තුළ පමනක් නොවේ...සෑම දෙමව්පියෙකුම තම දරුවා පිලිඹඳව නිතර දැනුවත් විය යුතුයි...

ඔබේ දරුවා පාසල් වෑන් එකකින් පාසලට යැවීම පිලිඹඳ ඔබ දෙවරක් සිතා බලන්න.ඔබ එසේ යවන්නේ ඔබේ විශ්වාසනීයම පුද්ගලයා සමග විය හැකියී..නමුත්, සිය පියාගෙන් දූෂණයට ලක් වන දියණියන්, සිය බාප්පාගෙන් අතවරයට ලක් වන පුතණුවන් ඕනෑ තරම් මේ සමාජය තුළ ඇති බව අමතක කරන්න එපා.එමෙන්ම ඔබේ දරුවාගේ හොඳම ආරක්ෂකයා ඔබ මිස වෙන කිසිවකු නොවන බව සිහියේ තබා ගන්න.

ලෝකයේ සැප සම්පත් විඳිමින් ජීවත්වන දරුවන් මේ දින වෝටර් පාක් යාවි,ලෙෂර් වර්ල්ඩ් යාවි,තවත් නොයෙකුත් සථාන කරා යාවි.නමුත් එම දිනයේත් සුපුරුදු වීදි දරුවන් වීදි සරාවි...,සිඟමන් යදින දරුවන් සිඟමන් යදීවි., සරණාගත දරුවන් පිළිසරණක් සොයන දෑස් වලින් බලා සිටීවි...ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කර හෝ "අද ළමා දිනයනේ ඒ නිසා අපි පාක් යන්න තියන සල්ලි වලින් මේ ළමයින්ට ඇඳුමක් අරන් දෙමු'යි කියා කවුරුත් නොසිතාවි. අද දිනය ගෙවී තවත් දවසක් උදා වූ කල ළමා දිනය ද තවත් එක් දවසක් ලෙස නිමා වී යාවි. 

ඔබේ දරුවා අනවශ්‍ය ලෙස පාසල් යාමට බියද? පාසල් යමු'යි කී විට උණ ගන්නවාද? නැතිනම් එවැනි අසාමාන්‍ය හැසිරීමක්  ඔබේ දරුවා තුළින් දකිනවාද? එසේ නම් නොපමාව සොයා බලන්න.මක් නිසාද යත් ඔබේ දරුවා අපයෝජනයට ලක් වී තිබීමට ඉඩ ඇත.දරුවා එක වර එවැනි දෙයක් පිළිඹඳ ඔබ හා නොපවසනු ඇත.අපයෝජනයට ලක් කළ පුද්ගලයා විසින් තරයේ බලපෑමක් කර තිබුණේ නම් ,දරුවා එය පැවසීමට බිය වෙයි.  'මේ ගැන කාටහරි කිවුවොත් මම උඹව මරනවා, නතිනම් ඔහු හෝ ඇය ආදරය කරනා සමීපතමයෙක් මරන ලෙස තර්ජනය කළ හැක. එම නිසා බොහ්ම සෙමින් පියවරෙන් පියවර් ඔහුට ළංවී එය දැනගන්න.පසුව ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයට එය දැන්වීම හෝ පොලීසිය මගින් කරුණු විමසීමද කළ හැක.

පැය 24 පුරා ක්‍රියාත්මක ළමා ආරක්ෂක අධිකාරියේ නිදහස් 1929 සේවාව මගින් ළමා අපයෝජනයක් හෝ ළමා අයිතිවාසිකමක් කඩ වූයේ නම් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. 

නැතහොත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය - 011 2282644


ජාතික කාන්තා කමිටුව  -  011 2827002

මේවායින් කොයිතරම් දුරට සාධාරණ සේවයක් ඉටු වනවාද කියා මා නොදනී..මක් නිසාද යත් එවැනි කරුණක් සම්බන්ධව පෞද්ගලිකව මා පැමිණිලි ඉදිරිපත් කර නැත.

********************************************************
මේක ගත්තේ අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය වන අද දවසේ තවත් මට විශේෂ වෙන කාරණාවක් තියනවා,ඒ තමයි මගේ ආදරණීය ස්වාමියාගේ උපන් දිනය අදට යෙදී තිබීම..!ඉතින් අද දවසේ ටිකක් විතර කාර්යබහුල උනා...උදේම සුමන සමන් මහා දේවාලයට ගිහින් පූජාවක් තිබ්බා...හවස බෙධිපූජා පිංකමකුත් කළා.ඒ නිසා උදේ දාන්න හිටපු මේ පෝස්ටුව හවස දාන්න උණා..

ඉතිං මගේ ආදරණීය ස්වාමියාට සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම පතනවා...!
මේක ගූගල්ගෙන්