ලා දම් අහසට පායන උදවිය ..

2013년 11월 27일 수요일

වල්ලපට්ටා ඇමේනියාව...

Meri baaton mein tera zikr sadaa
Meri yaad mein teri fikr sadaa
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa


රෙහානි මේ දවස්වල වශීකෘත වෙලා ඉන්න මෙන්න මේ ගීතයත් අහගෙන ගීතයේ ස්වර අලංකාර පතුළටම ගිලිලා , දෑසුත් පියාගෙන රෙහානි හිටියේ වෙනමම ලෝකෙක.ඔහොම ගීතය අහගෙන ඉද්දී ...............

"කීක්.............කී..............ක්...."

කවුදෝ ගේ දොරකඩ හෝන් කරනවා.

රෙහානි ගීතෙට වශී වෙලා නොවැ..හෙල්ලෙනවා බොරු...තව ටිකක් සවුන්ඩ් වැඩි කරගෙන ආයේ ඇස් පියාගත්තා...

කී...............................ක්......." ඒ පාර නලා සද්දේ බොහොම දිගයි...
ඒ වගේම සැරයි.


ඔන්න සද්දේ වහලා ඉස්සරහට ගියා බැරිම තැන.



කෝ තාත්තා...?"

 ගෙයි ඉන්නවා පොඩ්ඩක් ඉන්න එන්න කියන්නම්."  බයිසිකලය මත වාඩි වෙලා හිටපු මාමාට එහෙම කියලා තාත්තට කතා කළා..

ඔන්න දැන් තාත්තා උන්දැත් එක්ක කතාව.මට සිංදු අහන්ටත් බෑ නොවැ...මං ඒ හන්දා කාමරේට වෙලා උන්නා...සෑහෙන කුටු කුටුවකින් පස්සේ මාමා යන්න ගියා.දැං තාත්තා අම්මත් එක්ක කතාව.

"බලනවකෝ අනුර කියන කතාව....වල්ලපට්ටා පොතු කිලෝ එකක් ලක්ෂ විස්සයි කියන්නේ..."

ඔය ටික ඇහුණ ගමන් ඊ වේගෙන් රෙහානි සාලේ... :D

තව මොනවද අනුර කියන්නේ...." අම්මා අහනවා.

"අර තාරකා ඉබ්බෙක් ලක්ෂ පහක් විතර වෙනවලු.ඒ විතරක් නෙවේ , හූනු විශේෂයක් ඉන්නවලු ,උන්ව අඳුරගන්න පුළුවන් "ඌ ශොපින් කවරෙකට දැම්මොත් කවරේ උණු වෙලා හූණා වැටෙනවලු."

හ්ම්ම් තව..?" අම්මත් ඉස්පාසුවක් නැතුව වගේ ඕප කියද්දී :D

"තව ඉන්න්වලු මකුලු විශේෂයක් ද කක්කුටු විශෙෂයක් ද මන්දා කීවා ,විස විදින.............උං හොඳ ගානකට විකුණතෑකිලු.."

ඉතිං දැං අනුර ඔය ටික කීවේ? අම්මා ඇහුවේ මගෙත් හිතේ තිබුණ ප්‍රශ්නේ...

"නෑ...........මේ වල්ලපට්ටා තියන දිහාවක් දන්නවනම් කියන්නලු." තාත්තා කනකට නොගෙන කීවා..

පුරස්න කිහිපයක්ම අහන්න හිතාන සාලෙට ගියාට මොකෝ ඒවා නො අහාම මම ආයෙත් කාමරේට ආවේ "තාත්තා එහෙම ඕවා තියන දිහාවල් කියන්න යන්න එපා" කියලා කියන ගමන්.ඒ ගමන්ම අනිත් පැත්තට පීරුවා ජංජාලේ.වල්ලපට්ටා ගැන තොරතුරු වගේම ඒවා ළඟ තබා ගෙන බන්ධනාගාර ගිය අය ගැනත් තොරතුරු හම්බ උනා.වල්ලපට්ටා ගැන සෑහෙන කල් ඉඳලා කතා බහට ලක් උනත් මේ කාරණාව අපේ ගමේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටිලා තියෙන්නෙ දැන්.ගම්වල මිනිස්සු ඒවා ඔලුවට දාගෙන විතරක් නෙවේ .දැන් වනන්තර පීරලා වල්ලපට්ටා හොයන්න පටන් අරං.
වල්ලපට්ටා ශාකය



වල්ලපට්ටා වල තියන වටිනාකම මොකක්ද?

වල්ලපට්ටා නැතහොත් Gyrinops walla යන නමින් හඳුන්වන ශාකයේ agarwood නැමැති පටකය ලොව ප්‍රචලිත සුවඳ විලවුන් සාදා ගැනීමට යොදා ගැනීම මෙම වටිනාකමට හේතුවෙනවා.මෙම agarwood නමැති පටකය ස්වාභාවිකව හටගැනීම දුර්ලභ ක්‍රියාවලියක් ලෙස සලකනවා.මෙම ගසට සිදුවන දිලීර ආසාදනයන්ගෙන් වැලකීමට ස්වාභාවිකව මෙම පටකය හටගන්නා අතර එවැනි ආසාදනයක් නොමැති මෙම වර්ගයේ නිරෝගී ශාක වල එම පටකය දැකගන්නට නොහැකි වෙනවා.ඒ නිසා ගසේ වටිනාකම හැම වල්ලපට්ටා ශාකයක් තුළම දක්නට ලැබෙන්නේ නැහැ.



වල්ලපට්ටා ගැනුම්කරුවන් ලෙස මෙරටට විදේශිකයින් පැමිණෙනවා,ඉන් බොහෝ දෙනෙක් ඉන්දියානුවන්.ඒ වගේම අරාබි රටවලිනුත් ගැනුම්කරුවන් මෙහි පැමිණෙනවා.ඉන්දියාවේ වාණිජමය වගාවක් ලෙස දැනට වල්ලපට්ටා මහා පරිමාණයෙන් වගා කරනවා.වාණිජ වශයෙන් එම ශාකය මහා පරිමාණයෙන් වගා කරන ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට අත ‍පොවන්නේ වාණිජ වශයෙන් වගා කරන ඉන්දියාවේ ඇති ශාකයට වඩා ඉහළ ගුණාත්මක රෙසින ශ්‍රී ලාංකික වල්ලපට්ටා තුළ ඇති නිසා.මෙම ශාකය ශ්‍රී ලංකාවේ ද වාණිජ වගාවක් ලෙස ප්‍රචලිත කොට විදේශ විනිමය උපයා ගැනීමේ සැලසුමක් සකස් කරගෙන යන බවට තොරතුරු ලැබෙනවා.


මැලියම් සහිත කඳ කොටස

කෙසේ වෙතත් දිලීර නිසා මැලියම් ඇති නොවුන වල්ලපට්ටා ශාක කිසිම තේරුමක් නැතිව කපා දැමීම තුළින් ලංකාවට ආවේනික වූ මෙම ශාකය තව නොබෝ කාලයකින් වඳ වී යනු ඇත.කෘතිම ලෙස දිලීර එන්නත් කර වාණිජමය වශයෙන් මේ වගාව ඉදිරියට එන තුරු නිකරුණේ මෙම ගස් කපා දැමීමට තිත තබන්නට කාලය එළඹ ඇතැයි මට සිතේ. 

ප.ලි ::::::::: සමහර තොරතුරු හා පින්තූර අන්තර්ජාලය ඇසුරිණි

ප.ප.ලි ::::: දුරබණුවෙන් ගත්තු පොටෝ මැෂිමට දාන්ට බැරුව මේ දවස්වල පුරස්නයක්..!සමහර පෝස්ටු දාන්ටත් විදිහක් නෑ.පින්තූරු නැතිව. USB ගන්නෙ නැහැ නෙව මොනා කළත්.USB off කියනවා මිසක.

2013년 11월 12일 화요일

සිහින සශ්මික - අවසාන කොටස

1  2  3  4  5



ට්‍රීං ට්‍රීං .................. ට්‍රීං ට්‍රීං............."

සශ්මිකගේ නිවසේ දුරකතනය එක දිගට නාද වෙද්දී එයට පිළිතුරු දුන්නේ සශ්මිකගේ මව..

හෙලෝව්....." 

අනෙක් පසින් දිගු කතාබහක් වන බව සශ්මිකගේ මවගේ නිහඬතාවය කියා පාද්දී ඒ ගැන විමසිල්ලෙන් සශ්මිකගේ ලොකු අක්කා  හිමාලි ද ඒ කිට්ටුවට ආවා.අම්මාගේ මුහුණ අඳුරු වී යනු දුටු ලොකු අක්කා මදක් බියපත් වී කරුණු විමසන්නට වුණා..

ඇයි අම්මා..................? මොකද්ද ප්‍රශ්නේ ? හිමාලි ඇසුවේ අම්මගේ ඇස්වලින් වැගිරෙන කඳුළුවලට හේතුව දැනගන්නට හදිසියෙන් මෙන්.

"අනේ මගෙ අසරණ කොල්ලා........." මවට වචන වලට පෙරලාගත හැකි වූයේ එපමණයි.

"ඇයි අම්මා මල්ලිට මොකද? කවුද කතා කලේ.........?"


"අපි ඉක්මනට හොස්පිටල් යමු ....අනේ ඉක්මනට යමු...." හිමාලිත් මවත් හැඳ සිටි ඇඳුම් පිටින්ම රෝහල වෙත පිටත් වුණා.


සශ්මික උන්නේ වේදනා නාශක වල සැරත් සමග ලොකු නින්දක.අම්මාත් අක්කාත් සශ්මිකගේ ඇඳ ළඟට ආවේ සශ්මිකගේ තුවාල වුන අතත් වෙලා තිබුණ කකුලත් දිහාව බලාගෙන.අම්මා හැඬුම් නවතාගන්නට කොතෙකුත් උත්සාහ කළත් එය කොහෙත්ම කරන්නට බැරි උනා...අම්මාගේ සීතල කඳුළු බිංදු සශ්මිකගේ උරහිසට වැටෙද්දී සශ්මික ගේ ඇස් හෙමින් ඇරුණා.සශ්මික මුල්ම වරට අම්මාගේ කඳුළු වැටෙන මුහුණ දකිද්දී සෙමින් වටපිට බැලුවා.කනගාටුවෙන් තමන් දෙස බලා සිටින ලොකු අක්කාද පරිසරයද දුටු සශ්මිකට සියල්ල පැහැදිලිව මතකයට නැගෙමින් තිබුණා.අම්මා තමන්ගේ හිස අතගානු දැනුණ සශ්මිකගේ ඇස්වලට කඳුළු ඉනුවේ ඉබේටමයි...

"අ ..අම්මේ.........." සශ්මික කීවේ ඇස්වලින් වැටෙන කඳුළු අතරින්..

මගෙ රත්තරං පුතේ" අම්මා ගේ කටින් ජීවිතයේ පළමු වතාවට ඇසුන ඒ වචන තුන සශ්මිකගේ හදවත පතුලටම කිමිදිලා ගියා,එය ඔහුට දරාගන්නට අමාරු හැඟීමක් උනා...හිමාලි මේ අම්මාගේත් පුතාගේත් අනුවේදනීය කතා බහ දරාගන්නට නොහැකිව මෙන් වෛද්‍යවරයා සොයා ගියේ සශ්මිකගේ තත්ත්වය සොයා බැලීමට.

"අ..අම්..මේ........., ඇයි මට මගේ අම්මා වෙනස් කම් කළේ...? සශ්මික උනන කඳුළු ඔහේ ගලා යන්නට හැර කතා කලා..

"රත්තරනේ...............ඕවා කතා කරන්න තැන නෙවෙයි මේ........මගෙ රත්තරන් සනීප වෙලා ගෙදර යමු ඉස්සරවෙලා.." අම්මා කවදාවත් නැති තරම් ලෙංගතුකමකින් කතා කිරීම සශ්මිකට සතුටක් උනා සේම හිතට ලොකු බරක් උනා..

හිමාලි එතැනට ආවේ ඒ අතරතුර...

" මොකද්ද පුතේ ඩොක්ටර් කියන්නේ? මව ඇසුවේ හිමාලිගෙන්...

"මල්ලිට තව දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන් කීවා අම්මේ...අතයි කකුලයි ටිකක් ඩැමේජ්ලු.....වාසනාවට බරපතල දෙයක් වෙලා නැහැලු..' හිමාලි කීවේ සුසුමක් හෙලමින්..

"අම්මා ..........මට අද මේ දැන්ම දැනගන්න ඕනේ...ඇයි අම්මලා අක්කලා මට වෙනස්කම් කරන්නේ කියලා.." මේ ගැන කතා කිරීමට මීට වඩා සුදුසු අවස්තාවක් නොමැති බව සශ්මිකට වැටහී තිබුණා..උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් පැත්ත නොබලපු අම්මා වෙනස් වූයේ මේ අනතුර  නිසා බවත් මේ අනතුර තමන්ගේ වාසනාවට සිදු වූවක් බවත් සශ්මික සිතුවා.

මම කිවුවනේ පුතේ.................ඉස්සෙල්ලා සනීපවෙලා මයෙ පුතා ගෙදර යමුකෝ..." මව නැවත කීවේ මුහුණේ තැනින් තැන ගිය කඳුළු පාරවල් පිස දමමින්..

"බෑ අම්මා........මට දැන් කියන්නම ඕන...." සශ්මික කීවේ නිවසට ගිය පසු තමන්ට ආපහු සුපුරුදු ජීවිතයම ගත කරන්නට වේ යැයි බියෙන්.සශ්මිකගේ පෙරැත්තය නොනවතින බව තේරුණු මව සියල්ල හෙළි කරන්නට වූයේ කඳුළු සලමින්..

පුතා ඉපදෙන්න හිටපු කාලේ අපි ස්කෑන් එකකින් දැනගත්තා අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා..ඒ දැනගෙන තාත්තා හරි කැමති වුනා.අක්කලා දෙන්නට පස්සේ අපිට ඔයාව ලැබුණම පව්ලට කිසිම අඩුවක් නෑ කියලයි අපි හිතුවේ.පුතා තමයි අපේ වාසනාව කියලා අපි පුතාට ගොඩාක් ආදරෙන් හිටියා ඉපදෙන්න කලින්..තාත්තා මට කන්න බොන්න කිසිම අඩුවක් කළේ නෑ.මාව ඒ දවස්වල පරිස්සම් කළේ මලක් වගේ.එච්චර සතුටින් හිටපු අපි දෙන්නා...... 

සශ්මිකගේ මව සියුම් ලෙස ඉකි බිඳින්නට වුණා..සශ්මික හිටියේ නොයිවසිලිමත්ව.

ඉතිං....කියන්නකෝ........" සශ්මික කීවා.

පුතා ලැබෙන්න අමාරු වෙලා හොස්පිටල් අරන් යද්දී තාත්තා ගෙදර හිටියේ නෑ.තාත්තා හිටියේ ලොකු වැඩකට ගිහිං.සිරිදාසයි අපේ අම්මයි තමයි මාව හොස්පිටල් ගෙනාවේ.පස්සේ ඔයාව මගේ අතට දෙනවා මට මේ දැන් වගේ මතකයි.මම කීවා සිරිදාසට තාත්තට කෝල් එකක් අරන් දෙන්න කියලා.සිරිදාස කෝල් එක අරං දුන්නා.මම පුතා ලැබුණු ආරංචිය සතුටින් කියද්දී තාත්තා ගිරි යටින් කෑගහලා කීවා "ඔය කාලකණ්ණියා මගේ ගෙදරට ගේන්න එපා කියලා.." එසේ කියූ මව මොහොතක් නිහඬව සිටියා..

"ඉතිං .........තාත්තා ඇයි අම්මේ මට කාලකණ්ණියා කිව්වේ? සශ්මික ඇසුවේ තුවාල වේදනාව යටපත් කරන තරම් ලොකු වේදනාවකින් තෙරපෙන හදවතේ හැඟුම් අතරින්..

"තාත්තාගේ කන්ට්‍රක්ෂන් කම්පනි එකට ලැබෙන්න ගිය කෝටි ගානක ප්‍රොජෙක්ට් එකක් පිටට ගිහින් තිබුණා..තාත්තා දැන් ඉන්න තත්ත්වෙට වඩා දහස් ගුණයකින් ඉහළ හිටපු කෙනෙක් පුතේ..තාත්තා හිතුවේ පුතා ඉපදුනේ එයාට අවාසනාවත් අරගෙන කියලා.ඒ ප්‍රොජෙක්ට් එක නොලැබුණත් හරි, තාත්තා මාස හයක් වගේ කාලයක් ඇතුලත ගොඩාක් පහළට වැටුණා.ඒ හිටපු තත්ත්වෙට එන්න මේ අවුරුදු දා හතටවත් එයාට ආයේ පුළුවන්කමක් ලැබුණේ නෑ.. "

"එච්චරද අම්මේ? " සශ්මික ඇසුවේ මහා කළකිරීමක් හිතේ පුරවගෙන.

"නෑ පුතේ .............ඊට පස්සේ ටික වෙලාවකිං මට ආයෙත් කෝල් එකක් ආවා.ඒ සිරිදාසගෙන්.සිරිදාස අම්මත් එක්ක ගෙදර යද්දී ඇක්සිඩන්ට් වෙලා.අම්මා හිටපු පැත්ත පාර අයිනේ තිබුණ ගහක හැපිලා,සිරිදාස යන්තම් බේරිලා තිබුණා....ඒත්................පුතාව මට ගෙදර එක්ක යන්න උනේ මළ අඳෝනා කෙඳිරිලි විලාප හඬ මැද්දෙන්."

ඒ ටික අහද්දී සශ්මිකට තමන් "කාලකණ්ණි මුස්පේන්තුවකු " බව සශ්මිකටම සිතුණා..අම්මලා තමන්ට මේ තරම් හෝ සැලකුවා එක අතකට ඇති නේදෝ කියා සශ්මිකට සිතුණා..සශ්මිකගේ මුලු හිතම මහා මූසලකමකින් පිරිලා ගියා.සශ්මික තමන් ගැනම පසු තැවුනා..ඒත් දෙය්යනේ ඇයි මටම මෙහෙම දුක් දුන්නේ කියා සශ්මිකට කෑ ගසා අසන්නට සිතුණ ත් සශ්මික වචනයක්වත් පිට නොකර හිටියා..ඔහුටත් නොදැනී ඔහුගේ දෑ ස් වලින් වැටුණු කඳුලු බිඳු කොපමණදැයි ඔහු දැන සිටියේ නෑ.

සශ්මිකගේ මව මෙන්ම පියාද රෝහලේ සිට  නිවසට ආ සශ්මිකට ආදරයෙන් සලකන බව සශ්මිකට දැනෙමින් තිබුණා.අක්කලා දෙන්නා උනත් තමන්ට බත් කවා, නාවා, ඇඳුම් පැලඳුම් සෝදා දී දැන් තමන් සමග කාලය ගත කරනවා වැඩි යැයි ඔහුට දැනෙනවා.සශ්මික ඒ ගැන සතුටු වන තරමටම අතීතය සිහිපත් වීමෙන් සියුම් වේදනාවක්ද ඇතිවෙනවා.

සශ්මික ඇඳ මතට වී කල්පනා කරමින් උන්නේ කෂිනි පිළිබඳව .කෂිනි තමන්ට සිදුවූ අනතුර හෝ කිසිවක් නොදන්නා බව නම් විශ්වාසයෙන්ම සශ්මික හිතුවා..එසේ නොවුනානම් අනිවාර්යෙන්ම ඈ ඔහු බැලීමට රෝහල වෙත එනු නියත බව ඔහු සිතුවා."සමහරවිට මිල්හාන්ට කෝල් කරලා මං ගැන අහන්නත් ඇති- මම කියන්න එපා කීව නිසා මිල්හාන් කියන්න නැතුව ඇති." සශ්මික අනිත් අතට කල්පනා කළා.ඒත් සමගම සශ්මිකගේ ඇස ගැටුනේ ඔහුට එදා ආ ලියමන.සශ්මික එය විවෘත කර බැලුවා.

එහි තිබූ වචන කියවා සශ්මිකට උන් හිටි තැන් අමතක වී ගියා.සශ්මික අන්තර්ජාතික චිත්‍ර තරඟයකට යොමු කර තිබූ චිත්‍රයක් ප්‍රථමස්තානයට තේරී තිබුණා..එහි සහතික හා පදක්කම් ලබා ගැනීමට සශ්මිකට රටින් පිට වන්නට තිබුණේ තවත් දින දෙකයි.සශ්මික එය එවෙලෙහි විවෘත කර තිබුණේ වාසනාවකට මෙන්..මේ තොරතුර දැනගත් වහා සශ්මික කෂිනි සොයා ඇගේ නිවසට යන්නට තීරණය කළා.නිවිතිගලින් ත්‍රීවීලරයක් ගෙන්වාගත් ඔහු රත්නපුර කෂිනිගේ නිවස සොයා යන්නට වුණා.

රත්නපුර ෂෙඩ් එක ලඟින් පහළ අතුරු පාරේ ගිය ඔහු මදක් දුරට ගියපසු දුටුවේ වැල් පාලමක්.

"අය්යේ......මෙතනින් එහාට වීල් එකට යන්න බෑ වගේ.., ඔයා යන්න.මම එනකොට වෙන වීල් එකක එන්නම්.." සශ්මික මුදල් දෙන ගමන් කීවා..

"පිස්සුද සශ්මික මල්ලි.....ඔයාට එහෙම කරන්න පුළුවන්ද...අනික මේ තුවාලත් තියාගෙන ඉන්න ගමං... යං ...මාත් එන්නං.." ත්‍රි රෝද රථ රියදුරා සශ්මික සමග වැල් පාලමෙන් එගොඩ වුනා.වැල් පාලමේ දිරා ගිය ලෑලි අතරින් ගලා යන මහා ජල කඳ පෙනෙන්නට වුනා.

කෂිනිගේ බාප්පාගේ නම කියූ සැනින් මිනිසුන් දන්නා නිසා නිවස සොයා ගන්නට සශ්මිකට අපහසු උනේ නෑ.ඉදිරිපස දොර වසා තිබූ හෙයින් සශ්මික දොරට තට්ටු කළා,..ඒත් සමගම ත්‍රී රෝද රථ රියදුරුද  "ගෙදර කවුද" යනුවෙන් කතා කළා...

කවුරුත් නෑ වගේ නේද මල්ලී? " රියදුරු කීවා..

"ඒකනේ අයියේ..........පොඩ්ඩක් ඉන්න මම පිටිපස්සෙ පොඩ්ඩක් බලලා එන්නම්..." සශ්මික එසේ කියා පිළිකන්නෙන් කුස්සිය පැත්තට ගියා.ක්ෂනයකින් යන්තම් ඇර තිබුණු ජනේලයේ ග්‍රිල් අතරින් සශ්මික දුටුවේ ඇස් අදහාගත නොහැකි සිදුවීමක්..

"කෂිනී.................................. ! " සශ්මික ගිරි යටින් කෑ ගසද්දී රියදුරුද එතැනට දිව ආවා.

"සශ්මික .............ඔයා ඇයි මෙහේ ආවේ........දැන් යන්න සශ්මික...අනේ දැන් මගෙන් වැඩක් නෑ යන්න සශ්මික..." කෂිනි හඬමින් කියාගෙන ගියා..

ඇයි රත්තරනේ මාව දාලා යන්න හදන්නේ.........දොර අරින්න මගෙ වස්තුව  ඔතනින් බැහැලා..." සශ්මික කීවේ වෙව්ලන හඬින්.ඒ වන විට සශ්මිකගේ දෙපා පණ නැති වී ගොස් තිබුණා.කෂිනි උන්නේ බෙල්ලේ වැල දා ගැනීමට සැරසෙමින්.එක්පසක් සාරියකින් ගැට ගසා තොණ්ඩුවක් සදා ගෙන පුටුවක් මතට වී දොරගුළුද ලා ගෙන සිටින කෂිනිට මේ අවස්තාවේ මොනවා කියන්න දැයි සශ්මිකට සිතාගන්නට පවා බැරි උනා.. 

"දොර අරින්න හොඳ බබා වගේ.........ඊට ප්ස්සේ අපි දෙන්නම එකට මැරෙමු..මාව තනියෙන් දාලා ඔයා යන්නෙ කොහොමද කියන්න කෂිනි " මේ සංවාදය අතරතුර ත්‍රි රෝද රථ රියදුරු කුස්සියේ දොර කඩා නිවසට ඇතුල් උනේ සශ්මික මල්ලී කියා කෑ ගසමින්...ඒ අනුව ගෙතුළට දුව ගිය සශ්මික කෂිනිගේ කාමරයේ අගුලට අලවංගුවෙන් පහර තුන හතරක් එල්ල කර ඒ දොර ද හැර ගත්තා..ඒ වන විටත් බෙල්ලට තොණ්ඩුව දමාගෙන හුන් කෂිනිව උස්සාගත් සශ්මික රියදුරු තොණ්ඩුව ලෙහන තෙක් සිටියා...යන්තමින් සිහි මූර්ජා වී සිටි කෂිනිට වතුර පොදක් ඉස ඈ යථා තත්ත්වයට පත් කර ගත්තා..

ඇයි රත්තරං මාව දාලා යන්න හැදුවේ? කෝ අම්මයි බාප්පයි? සශ්මික ඇසුවේ බොහෝ වේලාවකට පසුව.

කෂිනි නැවත හඬා වැටෙන්නට වුණා..

අම්මයි බාප්පයි අද කොළඹ ගියා ..අම්මගෙ ටෙස්ට් එකක් කරන්න . " කෂිනි කීවේ හැඬුම් අතරින්.. "ඇයි දෙය්යනේ ඔයා මට මැරෙන්න දුන් නැත්තේ? " කෂිනි කීවේ වැලපෙමින්.

"ඇයි ඔයා මැරෙන්න හදන්නේ කියන්නකෝ.........?" සශ්මික ඇසුවේ ආදරයෙන් ඇගේ ඔලුව අතගාන ගමන්..

"අද අම්මයි බාප්පයි නැති බව දැනගෙන බාප්පගෙ මිනිහෙක් මට කරදර කළා ගෙදරට ඇවිත්....මේ" 

කෂිනි කීවේ සීරීම් තුවාල සශ්මිකට පෙන්නන ගමන් ඉකිබිඳුම් අතරින්.

"මොනවා....? " සශ්මික කීවේ ඉවසාගත නොහැකි කේන්තියෙන්..ඌ කොහේ එකෙක්ද? ඔයා අඳුරනවද?

"මම හොඳටම දන්නවා ඌ.....මගේ වයසේ දුවෙකුත් ඉන්නවා තිරිසනාට.." කෂිනි කීවේ කලකිරීම මුසු කේන්තියකින්.

"ඕකාට දෙන්න තියන උපරිම දඬුවම දෙන්න ඕනේ ...මම ඒක බලාගන්නම්..." සශ්මික කීවේ ශාප කරමින්.

"සශ්මික...ඔයාට දැන් මගෙන් වැඩක් නෑ...ඇයි මට මැරෙන්න දුන්නැත්තේ..? මම කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නේ...මම කොහොමද ඉස්කෝලේ යන්නේ..?කෂිනි නැවත හඬමින් කීවා..

"ඇයි ඔයාගෙන් මට වැඩක් නෑ කියන්නේ...මම ආදරේ කළේ ඔයාට ...වෙන කිසිම දේකින් මට වැඩක් නෑ...මට ඕනි ඔයාව විතරයි...ඔයා හිතනවද මමත් ගොඩක් පිරිමි වගේ ලේ බිංදුවකින් ආදරේ මනීවි කියලා...? " සශ්මික කීවේ ස්ථිර අදහසින්...

"ඒත් ඔයාගේ අම්මලා?........... "

"මෙතනදි මගේ ආදරේ විතරක් විශ්වාස කරන්න කෂිනි.....මගේ ආදරේ විතරක්ම....!" සශ්මික එසේ කියා කෂිනිව පපුවට තුරුල් කර ගනිද්දී කෂිනිගේ හැඬුම් අතරින් රතු වෙච්ච ඇගේ මූණේ පුංචි සිනා රැල්ලක් මතුවෙලා ඒ අහිංසක   මූණ කැමීලියා මලක් වගේ විකසිත වුණා.

~නිමි~

ඔන්න මෙපමණ කලක් මගේ කතාව කියවපු හැමෝටම ගොඩාක් ස්තුතියි... ( කොමෙන්ටු නොදා හොරෙන් කියවපු අයටත් ස්තුතියී ඈ  :D )

2013년 11월 5일 화요일

සිහින සශ්මික - 5

1  2  3  4 
  


"උත්තරේ දෙන්නම්............ඊට කලින් අපි බස් එකෙන් බහිමු.............." කෂිනි එය කීවේ යම් තරමක කේන්තියකින් දෝ කියලා සශ්මිකට හිතුණා.

"මිල්හානයා, බහිමු?"  සශ්මික කීවේ අසුනින් නැගිටින ගමන්.

"නෑ..........බහින්නේ අපි දෙන්නා විතරයි " කෂිනි ස්ථිර ස්වරයකින් කියා අසුනින් නැගිට්ටා...

"ඒ................එතකොට මං...." මිල්හාන් හදිසියේ එය අහද්දී සශ්මිකත් කෂිනිත් දඩි බිඩියේ බසයෙන් බැහැගත්තා...මිල්හාන් තෙරපුම නිසා බැසගත නොහැකිවීමෙන් වීදුරු කවුලුවෙන් ඔලුව දමා සශ්මිකට දෙහි කපන්න උනේ බසය ඉදිරියට ඇදෙද්දීමයි...

දෙදෙනා බැස තිබුණේ බටුගෙදර විද්‍යාලය කිට්ටුවේදීයි.කිසිම කතාවක් නැතිව ඉදිරියට ඇදෙන කෂිනි පිටුපසින් සශ්මික ඇදෙන්නේ සිදුවන්නේ කුමක් දැයි හරි හැටි වටහාගැනීමට නොහැකිව අසරණකමකින්.

"මේ...............මේ අපි , කොහෙද යන්නේ? " සශ්මික ඇසුවේ බොහොම පහත් ස්වරයකින්, ඒත් සමගම වටපිට බලමින්.

"ඇයි?............. වීරයා බයද?" කෂිනි ඇහුවේ කටකාරකමට...

"අ........අපෝ නෑ........., දැනගන්න ඇහුවේ " සශ්මික කීවේ වෙනසක් නොපෙන්වන්නට උත්සහා කරමින්.

"ඉස්සරහින් අතුරු පාරක් තියනවා..............ඒකේ ඇතුලට යන ගමන් අපිට කතා කරන්න පුළුවන්..." කෂිනි කියන්නේ හරිම සැහැල්ලුවෙන්.


ගැහැණු ළමයෙකු මෙතරම් සැහැල්ලුවකින්  කොහෙත්ම හඳුනන්නේත් නැති තමා සමග බසයෙනුත් බැස...,තනිවම අතුරු පාරක යන්නටත් යෝජනා කරන්නේ කෙසේදැයි අතුරු පාර වෙත යන අතරේ සශ්මිකට  කල්පනා විය.එම අතරතුර කෂිනි වරින් වර තමා දෙස බලා සිනාසෙන්නේ ඇයිද කියා ත් ඔහුගේ සිතේ ගැටලුවකි.ඈ කියූ අතුරු පාරේ මූලාරම්භයට පැමිණි පසු සශ්මික කතාවට මුල පිරුවා.

"ඔයාට බය නැද්ද...............මෙහෙම පිරිමි ළමයෙක් එක්ක තනියම පාරවල්වල කතා කරන්න.......?" සශ්මිකගේ හිතේ එතෙක් වේලා කැකෑරුන සිතුවිල්ල එළියට පැන්නේ ඉබේම වගේ.

"හෙහ්.............. ඇයි කොල්ලො කෙල්ලන්ව ගිලින බිල්ලෝද බයවෙන්න? "සශ්මිකට කෂිනි දුන්නේ බලපොරොත්තු නොවුන උත්තරයක්..අහිංසක පෙනුමට වඩා ඈ කටකාරයි කියලා සශ්මිකට හිතුණා.

"හරි හරි.............ඔයා දිනුම්..,  දැන් මම අහපු දේට උත්තර දෙන්නකෝ...?" සශ්මික කීවේ සිහින් හිනාවකුත් එක්ක.

"අනිවාර්යෙන්ම දෙනවා............හැබැයි ඊට කලින් මට ප්‍රශ්න ටිකක් තියේ , ඒ ටිකට උත්තර දීලා ඉන්න...."කෂිනි ඒ ටික කීවේ ඇතුල් පාරේ මද දුරක් ගොස් විශාල ගෙදරක තාප්පයකුත් එක්ක තිබුණ ලොකු ගහක හෙවනැල්ලක් ළඟ නතරවෙන ගමන්...සශ්මිකත් ඒ අනුව එතැන නතරවුණා..

"ප්‍රශ්න අංක එක.... ඔයා මොනවද මං ගැන දන්නේ........" කෂිනි එය කීවේ එක අතකින් දබරගිල්ල පෙන්වන ගමන්.

"ම්ම්ම්..................ඔයා කෂිනි,තවම ඉගෙනගන්න ළමෙක් මං වගේම...අහිංසක ළමෙක්..." සශ්මික කීවේ ඇගේ මුහුණට මුහුණලා සිටගෙන ඇගේ ඇස් දෙසම බලමින්...

"ඔන්න ප්‍රශ්න අංක එකේ විග්‍රහය...! , ඒ ඇතිද දැනගත්තහම? ඔයා මාව ආශ්‍රය කරන්න හිතුවේ තාවකාලිකවද?" කෂිනි ඇසුවේ සශ්මික දිහා බැරෑරුම් බැල්මක් හෙලමින්.

"කොහෙත්ම නෑ..........මම දකින දකින කෙල්ලෝ පස්සේ යන්නෙ නෑ..ඔයා ගැන විතරයි මෙහෙම හිතුණේ.., මට ඔයාගේ ජාතකෙන්වත් කුල මලෙන්වත්  වැඩක් නෑ,අනික මට හැඟීමක් ඇති උනේ ඔයා ගැන මිසක්කා වෙන භෞතික දේවල් ගැන නෙවේ, ඔයාට ඕනනම් ඕන විදියකට ඒවා හොයා බලන්න." සශ්මික කීවේ අවංකවම.

"මං අහන්න ගිය ගොඩක් ප්‍රශ්නවලට උත්තර ඒ උත්තර ඇතුළේ තිබුණා..ඒ උනාට .........., ඔයා හිතනවට වඩා ගොඩක් වෙනස් මං ඉන්න තත්ත්වේ.ඔයා ඇහුවා නේද බය නැතිව ඔයත් එක්ක මම ආවේ කොහොමද කියලා..මගේ අම්මා පිරිමි දහ දොළොස් දෙනෙක් එක්ක හරි හරියට කසිප්පු බිස්නස් කරනවා.බාප්පා ඒවා පෙරනවා...මං ඉන්න පරිසරේ හැටියට මට බය දැනෙන්නේ නෑ,පිරිමි කියන්නේ මට අමුතු ජාතියක් නෙවේ....."

"මට තියෙන ප්‍රශ්නේ ඔයාලගේ ගෙදරිං මේවට ඉඩ දෙන්නේ නෑ නේද ?ඔයා නොදන්නවා උනාට ඔයාගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක් කියලා මම දන්නවා....ඔයාලා අපි පෑහෙන්නෙ නෑ...මට ඕන උනේ මේ ඇත්ත ඔයාට තේරුම් කරලා දෙන්න."

"ඔයා කොහොමද මගේ අප්පච්චි ගැන දන්නේ?" සශ්මික එකවර ඇතිවූ කුතුහලය නිසාවෙන් ඇසුවේ ටිකක් කලබලයෙන් වගේ.

"ඔයා ගැන,ඔයාගේ අප්පච්චි ගැන  මම නොදන්නේ මොනවද කියලා අහන්න ........." කෂිනි කීවේ හරි ලස්සනට ඇස් වලින් හිනාවෙලා..

"ඔයා කොහොමද ඔය තරමටම මං ගැන දන්නේ ?" සශ්මික ඇසුවේ නොඉවසිල්ලෙන්..

"ඔයා අඳුරනවද රුවිනි? ඉංගිරියේ?" කෂිනි ඇසුවේ සශ්මිකට තවත් පුදුම හිතෙන ප්‍රශ්නයක්..


රුවිනි ඉෂාරා?...., අපේ  අප්පච්චිගේ නංගිගෙ දූ?" සශ්මික පුදුමයෙන්, කුතුහලයෙන්  අහගෙන ගියා.

සශ්මිකගේ සහ කෂිනිගේම වයසේ පසුවන රුවිනි, කෂිනිට හමු වූ දා පටන් සශ්මිකගේ විස්තර තමන්ට රුවිනි කියා ඇත්තේ බොහෝ කලකට ඉහතදී බවත්, සශ්මිකගේ කඳුළු කතාව පවා තමන් දන්නා බවත් ,හැමෝම නොදන්නා කරුණ සශ්මිකට නිවසේ අය කෙණෙහිලි කම් කරන කාරණය පමණක් තමන් නොදන්නා බවත්,කොටින්ම සශ්මික යනු තමන්ට අලුත් චරිතයක් නොවන බවත් ඈ සශ්මිකට කීවා..සශ්මිකගේ සහ තමන්ගේ නිවෙස්වල ඇති ප්‍රශ්න දෙදෙනා සාකච්ඡා කළේ හරිම ආත්මානුකම්පාවකින්.

"මේ ඔක්කොම කියලා ඔයා මට කියන්න හදන්නේ ඔයා මට ආදරේ කරන්නෑ කියන එකද?" සශ්මික ඇසුවේ දිගු නිහඬතාවයකට පසුව සුසුමක් හෙලමින්..

" මට මෙහෙම දේවල් පටන් ගන්න බෑ සශ්මික...මේවා අහු උනොත් බාප්පා ඔයාවයි මාවයි දෙන්නවම මරලා දායි.හිරේ යනවා කියන්නේ දැන් එයාට ගමේ යන ගානයි. කෂිනි කීවේ ලොකු කළකිරීමකින්.


"පිස්සුද ඔයාට..............? එහෙනම් එයාටම ගිය රට..! " මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.අනික අපේ ගෙවල්වල අයට අපිට නීති දාන්න බෑ...ඒගොල්ලො කරන අසාධාරණකම් එක්ක..." සශ්මික කීවේ මඳ කෝපයකින්.

"බාප්පා පැත්තකට දාමු.මගේ අම්මා?..........ඔයා ඒ ලෙවල් ඉවර උන ගමන් ඇවිත් අපේ අම්මාගෙන් අහන්න.එතකං අපි ආදරේ අමතක කරලා ඉගෙනගමු.ඔයාටයි මටයි අපි දෙන්නටම අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි.කෂිනි ඒ ටික කීවාට පසු සශ්මික කල්පනාවට වැටුණා.

කැමතිද කොන්දේසියට?" කෂිනි ඇසුවේ මොහොතක් ගත වූවාට පසුව.

"කමක් නෑ...........එහෙමයි කියලා අපි දෙන්නගේ හදවතේ බැඳීම නැති වෙන්නේ නැහැනේ ..........මම කැමතියි ඒකට.. ඔයා වෙනුවෙන්ම ඉන්නවා කියලා මම පොරොන්දු වෙනවා! ඔයත් මට පොරොන්දු වෙන්න..." සශ්මික අවසන ඒ  තීරණයට  කැමති උනේ කෂිනිවත් පොරොන්දු කරවාගෙන...

****************************************************
උදෙන්ම නා කියාගෙන මිල්හාන්ලගේ ගෙදරට යන්න සූදානම් වෙලා මිදුලට එත්ම වත්තේ කොනක ඇති ඔන්චිල්ලා දෙකේ පැද්දෙමින් අක්කලා දෙන්නා මොන මොනවාදෝ කියවමින් සිනාසෙන අයුරු සශ්මික ඈත ඉඳන් බලාගෙන.ඒ දැකලා සශ්මිකට සුපුරුදු ආත්මානුකම්පාව හිත අස්සේ කැකෑරෙන්න  ගත්තත් සශ්මික ඒ නොදුටුවා සේ ගේට්ටුවෙන් එළියට යන්න සැරසුණා..

"චූටි මහහ්තයාට ලියුමක්.........." ගේට්ටුව දෙස සිට පැමිණි සිරිදාස සශ්මික අතට ලියුම දුන්නා...


"මම ඇවිත් බලන්නම්...කාමරෙන් තියන්න..." බැලූ බැල්මට ටියුශන් පන්තියකින් ආ ලියුමක් සේ නිසා සශ්මික සිරිදාසට  කීවා.


"යන්තං ඇති....මුස්පේන්තුවා යනවා....." 

ලොකු අක්කා සශ්මිකට ඇහෙන සේ හය්යෙන්ම කියද්දී සශ්මික නෑසුනා සේ ඔහුගේ ගමන ගියා..ඒ අසා පොඩි අක්කා උලුක්කුවට සිනාසෙද්දී සශ්මිකට හිතට ආව කේන්තිය කියන්නට බැරි තරම්..

අල්ලපු ගෙදර අංකල්ගෙන් මෝටර් සයිකලය ඉල්ලා ගත් සශ්මික වේගයෙන් ඉගිල්ලුනේ හිතේ ඇති කේන්තියට මැරුණත් කමක් නෑ කියා හිතාගෙන..

නිවිතිගල නගරය පසුකර කලවාන පාරේ වේගයෙන් ඉදිරියට ඇදෙන සශ්මික ප්‍රාතමික විද්‍යාලය  විශාල වංගුවත් සමගම පසුකරන්නට සැරසෙද්දී වේගයෙන් ඉදිරියට ආ විශාල ටියුබ් ලොරියේ ගෑවී නොගෑවෙන තරමින් මෝටර් සයිකලය පාලනය කරගන්නට උත්සාහ කළත් ලොරියේ ඉදිරිපස මුහුනතේ ගැට්ටෙහි සයිකලය නොවැදී බේරාගන්නට සශ්මිකට හැකියාවක් නැතිවුනා.ක්ෂණයකින් ඉදිරියට වීසිවුන බයිසිකලයත් සශ්මිකත් දෙතැනක  වැටුණා...


මල්ලී මල්ලී..............." කවුදෝ කෙනෙකු තමන්ට කතා කරනු සිහිනයෙන් වගේ සශ්මිකට ඇහුනත් ඒ හඬ අඳුරක සැඟවී යනවා කියලා සශ්මිකට දැණුනා..

ප.ලි. ::::: සශ්මික ජීවතුන් අතර ඉඳීද? ලියුම කාගෙන්ද ? සහ සශ්මිකගේ සියල් තොරතුරු සමගින් අවසාන කොටසින් හමුවෙමු.


ප.ප.ලි. :::: ඔන්න රෙහානියා දුර ගමනක් යනවලු හෙට .කතාවේ අවසාන කොටස Schedule කරලා යන්නේ ...ඒකට රිප්ලයි දෙන්න පරක්කු වෙයි කොමෙන්ටු වලට...( ඔන්න කියලම තිබ්බා ඈ )