ලා දම් අහසට පායන උදවිය ..

2013년 6월 29일 토요일

රුපියල් 600 න් දවස් දෙකක ට්‍රිප් එකක් ...කැමති අය එන්න යන්න

ඕං ඉතිං පොසොන් පෝය දා සල්ලි සල්ලි කියල බලන්නැතුව අපිත් ගියා වන්දනාවේ .. :D පොසොන් පෝයදා ට වැඩිපුරම යන්නේ මිහින්තලා ගමන නේ .ඒත් ඉතිං මගේ නං අදහස පෝය දවසට ගමේ පන්සලේ සිල් අරගෙන ,සිල් නොගන්න ඇත්තෝ පන්සලට ගොහිං (පන්සල් යන්න බැරි ඈයෝ ගෙදර බුදුන් ට හරි )දාන මානාදී පිං රැස් කොරගෙන ,හවස් අතේ එලි පහලියට බැහැල වෙසක් කුඩුවක දෙකක සිරි නරඹලා ,ගමේ අවට තියනවනං තොරනුත් බලලා (කුරුළු තොරන් හරි කමක් නෑ ඕන විදිහකට) ගෙදර ඇවිල්ල  නිදහසේ   නිදාගන්න එක තමයි  හොඳම දේ කියලා . වන්දනාවේ යනවනං  යන්න ඕන නිදහසේ  වඳ පුදාගන්න පුළුවන් දවසක් බලලා .මොකද ඉතිං සමහර ඇත්තන්ට නිවාඩු හම්බෙන්නෙත් වෙසක් පොසොන් ඇහැළ  පෝය තුනට විතරයිනේ .                                       
සිංහ පාද 
ගමේ ගොඩේ ඇත්තෝ එකතු වෙලා වන්දනාවේ යනවයි කියලා අපේ නැන්දම්මා කීවේ පොසොන් පෝයට ඉස්සරින් දා .. වෙලාවට අතේ සල්ලිත් තිබුන නිසාත් ගෙදර කම්මැලි කමේ තුන්සිය හැට පස් දවස ගෙවන හන්දා ත් මාත් ඔන්න දෝණි ත් එක්කාසු කොරගෙන වන්දනාවේ යන්න සුදානම් උනා .දැන් ඉතිං දන්නේ නෑ බස් එකේ යන අනිත් පිරිස කව්ද ,යන්නේ කොහේ බස් එකක්ද කිසිම දෙයක් . නැන්දම්මා කිවුවා  මන් ගියා .! බස් එකට එන්න කියල තිබුණේ පාන්දර 3ට ..බස් එක ඇවිල්ල නවත්තන්නේ ගමේ හන්දියේ .එතනට මී :300 විතර දුරයි .ඕං ඉතිං හොඳට ලැහැස්ති වෙලා අපිත් හන්දියට ගියා .හරියටම 3.00 ට ,හන්දිය කරුවලම කරුවලයි .බස් එකක් තියා මිනිස් පුළුටක් නෑ ."කෝ බොලව් බස් එක  ..?" අපිට ගමන සෙට් කරපු ඇන්ටි අහනවා ."ඇන්ටිට  ෂුවර් ද ඇන්ටි 3 ට එන්න කිවුවේ  කියලා " රෙහානි හොරෙන් දත් මිටි කන ගමන් ඇහුවේ යටින් අම්ම මුත්තා සිහි කරගෙන ...හි හි :D . "ඔවු ඔවු ...........3 ටනේ එන්න කිවුවේ ..." ඇන්ටි  හත් පොලේම දිව්රලා කියනවා .දැන් ඉතිං තප්පර ,විනාඩි ,විනාඩි 30 , ගෙවිලා ගියා .ඒ වෙද්දී තව නඩේ අය ඔතනට එකා දෙන්න සේන්දු උනා . "එනවා කිවුවනං වෙලාවට එන්ඩ ඕනි ..ඔන්න ඔය බොරුව තමයි මට හරියන්නේ නැත්තේ "  හුටා :D ....නැන්දම්මට පොසොන් භක්තිය දෙපිටිං ගිහිල්ලා .මාත් හිනාව අභ්‍යන්තරයට තල්ලු කොරගෙන දෝණි ගේ අතක් මිරිකගෙන කාගෙන හිටියා .වෙන මක් කොරන්නෙයි ඉතිං ..ඕං 3.45 විතර වෙද්දී යන්තන් බස් එක ආව .හිතුවේ ආපහු ගෙදර යන්ඩ  වෙන්ඩ  ඇති කියල නේ /? එහෙම උන් නෑ මං කිරිත් එක්ක මයිලෝ බොනවනේ .දැන් බස් එකට ගොඩ වෙලා හොඳ සීට් එකක් හොයන්  ඉඳගත්තා .යන්තන් ඇති කියලා හිතලා .කට්ටිය ඔක්කොම වාඩිවෙලා ,බස් එක යන්නේ නෑ "කෝ මේ සුරංගයා එහෙම තාම නෑනේ " ඒ ගමන සුරංගයෙක් එනකං ඉන්නවා .කෝල් කරලා කරලා 4:30 වෙද්දී යන්තං ඒ සුරංගයත් ආවා .ඔව් ඔව් ඒ පාර නං ගමන පිටත් උනා :D                                                                            
සීගිරි බිතු සිතුවම් 
පිටත් උනා කිවුවට කිවුවයෑ යන්නේ කොහෙද කියලා මිහින්තලේ කියලද හිතුවේ? නෑ  අනේ " සීගිරි -දඹුළු " මේගොල්ලන්ගේ  ආරම්බේ හැටියටම මට නං තේරුනා සිගිරිවත් හරියට නැග ගන්න බැරිවෙනවා කියලා .දෑල තිරිවනාකටියෙන් පහසුවෙන්ම යන්න පුළුවන්කම තියෙද්දී මෙන්න කහවත්ත පැල්මඩුල්ල පාරෙන් රත්නපුරේට යන්න යනවා .මේ අපබ්‍රන්ශේ මොකද්ද බලනකොට එහෙන් මෙහෙන් යන්තං කනට වැටුණා පැල්මඩුල්ලේ සෙට් එකකුත් නග්ගගෙන යන්නේ කියලා .. 'හෑ .......... බස් එක සීට් පිරෙන්න කට්ටිය ඉන්නවා .ඒ මදිවට දෙතුන් දෙනෙක් හිටගෙනත් ඉන්නවා ..තව ඇවිල්ල කොහෙද යන්නේ ඔලු උඩද ?" නෑ මං එහෙම කාගෙන්වත්  ඇහුවේ  නෑ හිතුවා විතරයි .. :D හි හි !ඒවා අපිට අදාළ නෑ අපිට ඉදගෙන පාඩුවේ යන්න තියනවනම් එච්චරනේ කියල හිතන්  හිටියා ඉතිං .හ්ම්ම් ... පැල්මඩුල්ලෙන් තව 10ක් විතර නැග්ගා .දැන් නිකං කලවාන -රත්නපුර බස් එකක ඇතුල වගේ .ටිකක් වයස අම්ම කෙනෙකුත් ඒ අතරේ ඉන්නවා .ඒ අම්ම බැන බැන ආපහු බහින්න යද්දී කව්දෝ ඉස්සරහින් නැගිටලා සීට් එකක් දුන්නා .ටික දුරක් ඔහොම යද්දී හිටගෙන යන අය ගැන අනුකම්පා හිතුන  දෝණි යි මමයි මාරුවෙන් මාරුවට කට්ටියට ඉඩ දුන්නා වාඩිවෙන්න .                          දන්සලක් පහුවෙන්න බෑ ..."අනේ අයිස් කිරිං ,අනේ පැණි කොමඩු ,අනේ කොස් ,අනේ නුඩ්ල්ස් ,අනේ මඥ්ඥොක්ක .. " මුං ජීවිතේට දැකල කාල නෑ වගේ කෑ ගහන්නේ ..ඒ කියන කියන පාරට නතර කලානං බස් එකේ ගිහිං ආපහු බස් එකේම ගෙදර එන්ඩ තිබුණා .අපේ ඩ්‍රයිවර් උන්නැහේ දවල් 12.30 විතර වෙනකොට  දෙය්යනේ  කියල  අපිව  දඹුල්ලට  අරන් ගියා .  දඹුලු  පන්සලට  නෙවෙයි ටවුම  පහුකරා විතරයි .   දවල්ට කාලම තමයි ගලේ නැග්ගේ . අපේ සංවිධායක  තුමිය කියලා තියනවා දිවා    ආහාරය දෙනවාය, ගේන්න එපාය කියලා . ඉතිං අපි උදේ කෑම විතරයි අරන්  ගියේ .බත් දන්සලුත් සේරම පෝලිං වලිං පිරිලා .දන්සැලකින් කන්න ගියොත් ගලේ නැගල හමාරයි .ඒ නිසා ඉතින් කඩේකින් අත දිග ඇරලා වියදං කරලා දිවා ආහාරය අනුභව කරගත්තා ,ඔය කෑම කඩේට අල්ලපු කඩේ කොමිනිකේෂන් එකක් .මට කාර්ඩ් එකක් ගන්න ඕන වෙලා එකට  ගියා දෝනිත් එක්ක, කඩේ අයිතිකාරයා අතුගානවා . "හදිස්සිද " ඇහුවා . "ඔව් බස් එක යයි "  මං උත්තර දුන්නා .අතුගාලා ඉවරවෙලා" මොනවද ඕන කාර්ඩ් එක ?" ඇහුවා . "මොබිටෙල් "මං කිවුවා .මනුස්සයා ටිකක් හිතල මතලා වගේ කාර්ඩ් 2ක් දුන්න මට .මාත් අරං සාක්කුවේ දාන් බස් එකට නැග්ගා .නැගලා ඩ්‍රයිවර් තවම එළියේ ඉන්නවා දැකල මන් කාර්ඩ් එක දාන්න හිතාගෙන අතට ගත්තා "හෑ .......මෙන්න හච් කාර්ඩ් එකක් .." ඇස්  දෙක ගිනි බෝල වගේ කරගෙන දත් මිටි කාගෙන කේන්තියෙන් වෙව්ලගෙන යක්ෂනියෙක් වගේ කඩං පැන්නා කොමිණිය ඇතුලට ! නෑ .....එහෙම උන් නෑ , සාන්ත දාන්තව ගිහිං කේන්තිය ඔක්කේ හංගාගෙන කිවුවා මේක හච් මට මොබිටෙල් එකක් දෙන්න කියලා " එයා හිතුවේ මම ගොඩක් කලබලෙන් යන්න ආවා කියලා ,ඉතිං මාරු උන විදිහට එයා  විකිනෙන්නේ නැති කාර්ඩ් මගේ ඇඟේ ගහන්නයි හැදුවේ .                                                  ඕං සීගිරි භූමියට ඇතුල් උනා .ටිකක් නැගගෙන ගියා .ඔක්කොම හරි !අපි දඹුළු යන්න ආවේ නෑ කියල හිතලා හිත හදාගත්තා .සූ  ගාලා සෙනග .ඒ විතරක්ද මාර බ්ලොක් එකක් තියෙන්නේ .නැගපු අය අම්ම මුත්තා සිහි කර කර බහිනවා .මගින් මගට පොලිසියෙන් හරක් වගේ ඉබාගාතේ රිංගන අයව පාලනය කරනවා .අනේ පව් ඒ මිනිස්සු ! ඇයි හත් දෙය්යනේ අපිත් පව් .හතරවටෙන්ම හිරවෙලා .ඔන්චිල්ලාවේ වගේ ඉස්සරහට යනවා ආයේ පස්සට එනවා .අම්මලා කොහෙවත් .අතින් අල්ලන් හිටපු හන්දා දෝණි යි මායි එක තැන .දොඩන් ගෙඩි දෙකක් උස නැතුව දෝණි අමාරුවෙන් හුස්ම ගන්නවා මං දැක්ක .කට්ටිය ඉස්සරහට යන්නේ කුඹි යන ගානට .මොනවා කරන්නද ආපහු හැරෙන්න යෑ .අමාරුවෙන් නැග්ගා කොහොමහරි .කොලු කුරුට්ටන්ටනං හරි ජොලි .කෙල්ලන්ට ටෝක් කෝටියයි . අම්මලා සිංහ පාදේ ළඟ නැවතුනා .එතනින් උඩට අම්මලට යන්න අමාරු හින්දා .මම නං දෙපාරක්ම කලින් නැග්ගා ..දෝණිගේ පලවෙනි වතාව හින්දා අමාරුවෙන් උඩටත් නැග්ග අපි දෙන්නා . නඩේ උදවිය කොහෙද නෑ .මං වගේ යකෙකුටවත් බය නැති කෙල්ලෝ හින්ද හොඳයි .හි හි :D ...ආ මට බ්ලොගියකුත් තියනවනේ දැන් විස්තර ලියන්න .පොටෝ ටිකක් ගහගන්න එපයි කියලා ගත්තා ෆෝන් එක අතට ..දැන් හිරවෙලා තෙරපිලා අමාරුවෙන් එහෙට මෙහෙට පැද්දී පැද්දී අමාරුවෙන් අවට චායාරූප 2-3ක් ගත්තා ..තුන්වෙනි එක ගද්දිම ෆෝන් එක ගල පල්ලට වැටුණා ..." අය්යෝ ..................මගේ ගැලක්සීය !" අනිවාර්යෙන් ඕක වෙන්න පුළුවන්
 කියලා මගේ චිත්ත රූප වලට පෙනුන නිසා මං ගත්තේ නෑ එක පොටෝවක් ආයුබෝවන්  :D                                                               අමාරුවෙන් ගලටත් නැගලා කොලු ටෝක් වලිනුත් නුලේන් බේරිලා යන්තං ගල පල්ලට බැහැ ගද්දි හවස හතටත් කිට්ටුයි .බස් එක ලඟට යනකොට අපේ නඩේ සමහරු බීල !ඒ උන්දැල ගලේ නැගලත් නෑ .තාත්තෙක් දුවෙකුට බනිනවා ගෙදර වගේ හිතාන ! මදැයි වෙහෙස නිවාගන්න බස් එකට ගොඩ උනා .බස් එකට ඇවිත් දැන් ඔක්කොම වාඩි  වෙලා ආපහු යන්නයි සුදානම !පොසොන් දවසේ බුදුන් වැදගන්නවත් නෑ .අන්තිම සීට් එකේ කොල්ලේ බස් එක ඇතුලෙම සිගරට් එකක් බොනවා .එක දැකපු තව කොල්ලෙක් එයාට බනිනවා "යකෝ පොඩි එවුනුත් ඉන්නවා මේක ඇතුලේ ඕනි එකෙක් එලියට ගිහිං බීපල්ලා" කියලා .හෆොයි ...කචල් විමානයයි .එක සෙට් එකක් අනිත් සෙට් එකට නොදී බිව්වා කියලා තව කේස් එකක් !උදේ බස් එක ස්ටාර්ට් කල වෙලාවේ ඉදන් සින්දු කියපු කට්ටිය රෑ හෙන සයිලන්ට් !හේතුව හොයා බලද්දී නොදී බිවුව එකටලු !කොච්චර සින්දු කිවුවත් මට ඇහුනේ අර "මගේ තැඹිලි ගෙඩිය රත්තරං "කියන සින්දුව විතරයි තාලෙකට කියනවා .අන්තිමට ඒකත් නැති තැන ඩ්‍රයිවර් කන පැලෙන්න සින්දු දාගත්තා .රෑ කෑමත් කඩෙන් කාලා ආපහු එන්න හැරුනා .පොසොන් වන්දනාවේ ගිය වාහන නිසාත් ටවුමක් මැද්දේ තිබුන තොරණක් නිසාත් පාර බ්ලොක් ..එතනත් පැය  ගානක් කට්ට කාල අන්තිමේදී ගෙදර එද්දී පහුවදා උදේ 7.30යි .මේ ට්‍රිප් එක හන්දා මං ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි කොහේ හරි වන්දනාවක හෝ වේවා .,මල ගෙදරක ,මගුල් ගෙදරක හෝ වේවා යද්දී තමන් යන්නේ කාත් එක්කද කොයි වගේ මිනිස්සු එක්කද කියන එක අංක එකට හිතන්න ඕන කාරණාවක් !තැනක හැසිරෙන්න දන්නේ නැති මේ වගේ අය නිසා අපිව අපහසුතාවලට පත් වෙන නිසා .රු :600ට දවස් දෙකක ට්‍රිප් එකක් යන්න ඕන නම් අමතන්න රෙහානි !                 ප.ලි                 :                     පින්තුර ගුගල් වෙතිනි

2013년 6월 26일 수요일

දුකා ,ශම්මි සමගින් රෙහානිටත් අවුරුදු !

බිඳුව බිඳුව එකතු වෙලා දොළක් හැදෙනවා ,දොළට දොළක් එකතු වෙලා ගඟක් හැදෙනවා ...ගඟට ගඟක් එකතු වෙලා මුඳ හැදෙනවා.අන්න ඒ වගේ .....අකුරු අකුරු එකතු වෙලා මේ පුංචි බ්ලොග් එක ලියවුනා ..මට බ්ලොග් ලෝකය ගැන දැනගන්න හම්බවෙන්නේ janaranga wijayindu අය්යාගේ ආයෙමත් ආදරෙන් කතාව කියවන්න ඇවිත් .ඒ කතාව කියවද්දී කොමෙන්ට් ඔස්සේ මන් ගොඩක් බ්ලොග් අදුනගත්තා .පස්සේ මට ලියන්න අදහසක් ආවේ ආසාවට .ලිවීමේ ලොකු හැකියාවක් නැති උනත් මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මම ලිව්වා .ඒවා කියවන්න කැමති අය වගේම නැති අයත් අදටත් ඉන්නවා කියල මන් දන්නවා ..මගේ ලිපි කියවලා වචනෙකින් හරි ඔයාලා දීපු දිරියෙන් මං අවුරුද්දක් පුරාවට නොදැනීම බ්ලොග් ලෝකය තුල ඇවිද ඇවිත් තියනවා .මට එහෙම වචනෙකින් හරි දිරි දීපු ඔයාලට ගොඩක් ස්තුතියි ...නම් වශයෙන් වෙන් කරලා නොකිව්වත් ඔයාල හැමදෙනාටම ගොඩක් ස්තුතියි ...ඉතිං මේ බ්ලොග් ලෝකේ තවත් දුර යන්න තමයි මගේ අදහස .                     ඉතිං ආසාවට පටන් ගත්තු බ්ලොග් එක කියවන්න කව්රුහරි ඇවිත් කොමෙන්ටුවක් දාල තියේවිද කියලා හැම වෙලාවේම හිතුවා .ඒවගේම මට පලවෙනි කොමෙන්ටුව  දාල තිබ්බේ batti අක්කා.                       මුලින්ම  මාව ෆලොව් කරල තිබුනේ "සඳ ' . බට්ටි සහ සඳ කියන්නේ මගේ බ්ලොග් එකේ අත්තිවාරම ..මේ දෙන්න තමයි මගේ ගොඩක් අඩුපාඩුකම් පෙන්නලා දුන්නේ .ඒත් සඳ දැන් බ්ලොග් ලියන එක අතහැරලා .ඊට පස්සේ සඳට උන දෙයක් මම දන්නේ නෑ .බට්ටි අක්කියත් දැන් ඉස්සර වගේ ලියන්නේ නැති එකටනම් මම තරහම තරහයි .සඳයි බට්ටි අක්කියයි හැරුනහම මගේ පලවෙනි පොස්ටුවේ warnaa,   ගිම්හානි අක්කා , nandu, කියන අය කොමෙන්ටු දාල තිබුණා ..එතකොට korale mahaththayaahasithachandna ayya AKM, පසු කාලයේ මගේ පළමු ලිපිය කියවලා කොමෙන්ටු දාල තිබුණා ..මම දන්නවා තවත් අය මගේ පළමු ලිපිය කියවන්න ඇති ,කොමෙන්ට් දාන්න තරම් කාලයක් නොවුන නිසා හෝ හිතට හරි නොගිය නිසා හෝ මගේ ලිපිය කියවලා යන්න ඇති .එහෙම ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි මාව කියෙව්වට . ඉතින් එදා ඉදන් අද වෙනකං නම් වශයෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක් මාව කියවනවා ..ඒ හැමෝටම මම පොදුවේ කියනවා මාව කියවනවට ගොඩාක් ස්තුතියි කියලා.
 

   බ්ලොග් ලිවීම නිසා මට මුලිකවම ලැබුන දේ තමයි ආත්ම තෘප්තිය ! සතුටු හිතෙන දුක හිතෙන වගේම කේන්ති යන විදිහේ පොස්ට් මට මේ බ්ලොග් ලෝකේ කියවන්න ලැබුණා, siraa අය්යට වගේ  සමාජ මෙහෙවරක් කරන්න මට බැරි උනත් ඒ වගේ මනුස්සකම් තියන හුඟක් අය මේ බ්ලොග් ලිවිල්ල නිසා මට හමු වුනා ..කාගේ හරි දුකකදී කරදරයකදී බ්ලොග් ලියන හැමෝම එකතු වෙලා පුළුවන් දෙයක් කරා .ඒ සහයෝගය හුගක් වටිනවා ..මේ හැමෝම හැබැහින් අදුනගන්න මට උවමනාව තිබුනත් ගම්පහ බ්ලොග් ගෙට්ටුවේදීත් ඒකත් මග ඇරිලා ගියා .ඒ ගැන නම් ඇත්තටම දුකයි .දෙතුන් දෙනෙක් හැරුණු කොට බ්ලොග් ප්‍රවීනයන් උනත් මාව කියවන්න ආවා .., ඒ අයගේ කොන් වීමක් නොවීමත් සතුටට කරුණක් .   ඒ වගේම මේ බ්ලොග් ලෝකෙදි මට ලැබුන ලොකුම සතුටක් තමයි Stereo Hearts 2012 ජයග්‍රහණය !හිරුහිමාවී තමයි ඒ තරඟය සංවිධානය කලේ .පුංචි හේතුවක් නිසාවෙන් මම හිරුහිමාවිගේ තරඟය වෙනුවෙන් දාන්න හිටපු ස්තුති ලිපිය ප්‍රමාද කළා .ඒ ,ඒ ලිපියට තවත් වටිනාකමක් දෙන්න හිතාගෙන.ඒ ප්‍රමාද උන ලිපිය හිරු වෙනුවෙන් මම අද මෙසේ දිග හරිනවා. :)
                                                                                                                    "මම  හිතන්නේ හැමෝම දන්නවා Stereo Hearts වැඩසටහන ගැන.හරි මේ කියන්නේ නොදන්නා කෙනෙක් හිටියනම් දැනගන්න .Stereo Hearts 2012 කියන්නේ හිරුහිමාවී බ්ලොග් එක ලියන hiruhimaa  minsadee සංවිධානය කරපු වැඩසටහනක්.හිරුහිමා මුලින්ම ඇප්ලිකේෂන් ෆෝරම් එකක් මගින් අපේ නිර්මාණ එකතු කරගත්තා.  නිර්මාණ  ඉදිරිපත්  කරන්න  තිබුනේ  නිසඳැස්  ,කවි,ගීත,ගීත ගායනා සහ වාදන ,හඬ පටිගත කිරීම් වගේ පුංචි සීමාවක් ඇතුලේ.අපේ සහෘද බ්ලොග් අඩවි වල යාළුවො කරපු නිර්මාණයි මගේ නිර්මානෙයි : ඔක්කොම methanin  බලන්න  ඔයාලට  පුළුවන්. පුංචි  ප්‍රසන්ටේෂන්  ප්‍රෝග්‍රෑම්  එකකුත් එක්ක 2011 .11.03 රාත්‍රී 08.30 ඉඳන් තමයි විකාශය උනේ. හරිම සුන්දරයි.එදා "මගේ හබී"ත්  හිටපු නිසා අපි දෙන්නම එක්ක තමයි ප්‍රෝග්‍රෑම්  එක ඇහුවේ.!                                 
                                                                                                           හිරූ කට්ටිය ඉල්ලන සින්දු දෙනකොට තමයි හිතුනේ අපරාදේ මටයි මගේ හබීටයිත් සින්දුවක් කලින් ඉල්ලගන්න තිබුන නේද කියල :( වැඩේ අමතක වෙලා ගියානේ.! ඉතින් ඔහොම සින්දු අහගෙන ඉන්නකොට අර සයිඩ් එකේ තිබ්බ චැට් එකටත් පොඩ්ඩක් ඔලුව දාල කිවුව අපිත් අහන්  ඉන්නේ කියලා. කොහොම හරි විනර් කවුද කියල දැනගන්න ඕන හන්ද අහගෙන හිටියා නිදි මත පැත්තකින් තියලා .:D මන් ප්‍රෝග්‍රෑම් එක අහන්න අරන් පැයකට  විතර පස්සේ තමයි කොහේ හරි ගිහින් මගේ හබී ආවෙත් ,ආපු ගමන් අහපි !මොකද්ද ඒ රේඩියෝ චැනල් එක කියලා . මන් කිවුවම ඒ අපේ බ්ලොග් සහෝදරියක් කියලා  හිරුගේ දක්ෂතාවය දැකල එයා පුදුම උනා..වෙන එකක් තියා පෙන්නනකන් එයා විස්වාස කරෙත් නැහැ !මේ වෙනකොට මන් නිර්මාණ යැව්වා කියලවත් මගේ හබී කොල්ල දන්නේ නැහැ ඔන්න ,අන්තිම හරිය යද්දී මායි මගේ හබියි බර කතාවක තමයි හිටියේ..හිරූ එකපාරටම කියනවා ඇහුණා "රෙහානි සතුටුයි නේද? ඔන්න ඔයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා " ඇත්තටම මට හිතාගන්න බැරි උණා . මන් දැකපු ගැහැණියකගේ  ජීවිතයේ වෙනස් පැත්ත ඒ විධිහටම විනිශ්චය කරපු කෙනාටත් දැනිලා තිබුණා .මන් දන්නවා ඒ නිසා තමයි මන් දින්නේ.!                               
                                                                                                              ඔන්න දින්නට පස්සේ මගේ හබී දැනගත්තා මාත් නිර්මාණයක් යවල තියන බව.!එයත් මට විශ් කරා දිනපු බව දැනගත්තු ගමන් !මන් හිතන්නේ හිරුගේ උත්සාහය ගොඩක් සාර්ථක උනා..ස්තුතියි හිරූ ඔයාට ..! ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක නිසානේ මම දින්නේ..!ඒ දිනපු නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුණා ,කෙනෙකුගේ හිතට සතුටක් දිය හැකිනම් ඊට වඩා පිනක් තියේද ?මන් විශ් කරනවා හිරු ඔයාට ඉස්සරහට ඔයා කරන්න හිතං ඉන්න හැමදේම ,ප්‍රර්ථනා කරන හැමදේම ඒ විදිහටම වෙන්න කියලා..!මන් මේ පොස්ට් එක දාන්න හිතුවේ ඇත්තටම ඔයාට ස්තුති කරන්න සහ කළගුණ සැලකීමක් හැටියට..!"
  හිරුත් නැවත ලියනවනම් මම කැමතියි ..ඒත් හිරු ගියේ කඩ ඉමක් ජයගන්න .ජය අරගෙන එන්න ආයෙමත් ලියන්න .ඉතිං මේ වෙලාවේ මගේ උදව්වට හිටපු Silentsahan අය්යාවත් අමතක කරන්න බෑ .එකී මෙකී නොකී හැමදෙනාට ගොඩක් ස්තුතියි ! නම් වශයෙන් ඔයාල හැමදෙනා ගැනම කියන්න බැරි උනාට සමාවෙන්න .මේ බ්ලොග් ලෝකයේ මන් ආපු පුංචි දුර හරිම හෙමින් ආපු එකක් .මේ වෙද්දීත් මම පොස්ටු 50ක් වත් ලියල නෑ .පුළුවන් උපරිමයෙන් ලියන්න උත්සහ කරනවා .ඉතිං මෙපමණ කලක් හදවතින්ම මගෙත් එක්ක රැඳුන ඔයාල හැමෝටම මගේ හද පිරි කෘතඥතාවය !  (දුකා අය්යාගේ අවුරුදු කෑම methanin  ශම්මිගේ අවුරුද්ද methanin )
මගේ ජයග්‍රාහි නිර්මාණය 

2013년 6월 8일 토요일

දිව ඇදෙන මළ සිරුර !

සමහර විට මේ මාතෘකාව පිළිඹදව ඔබේ විශ්වාසයක් නොවෙන්නට පිළිවන් .සත්‍ය කුමක්ද කියා කීමට මමත් නොදන්නා මුත් මේ කතාවන්  ඔබ හමුවේ දිග හරින්නට සිතුවා .නොයෙකුත් ගැටළු හේතුවෙන් අපේ ගමේ ගොඩක් වෙලාවට විදුලි බලය ඇන හිටිනවා .එහෙම දවසට අක්කගේ දුව "දෝණිත්" මමත් අපේ තාත්තාගෙන් පරණ කතා අහන්න හරිම ආසයි .ලාම්පු එලිය දල්වාගෙන ගෙදර තුන් හතර දෙනාම වටවෙලා මේ කතා අහනකොට හරිම සුන්දරයි .                                                                                                                                                තාත්තගේ ගම මාතර ..මන් හිතන්නේ මාතර ගුරුකම් ගැන නොදන්නා කෙනෙකු නැහැ කියා ,තාත්තගේ පියා මේ වගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන  කට්ටඩි උන්නාන්සේ කෙනෙක් (ලු ) .ඉතින් තාත්තලා පුංචි දවස්වල ඉඳලම කොහේ හරි කෙරෙන ගුරුකමක් තිබේනම් ,එතැනට ගිහින් තාත්තලටත් හොද හුරුවක් තිබිලා තියනවා .ඉතින් අපි හාරවුස්සලාම අහන්නේ ඔය කතා තමයි . දවසක් තාත්තාගේ පියාගේ යහළුවෙක් වන කට්ටඩි උන්නාන්සේ කෙනෙක් ,මහා බලගතු තෙලක් හදන්න අවශ්‍ය යි කියන මැරුණු මිනිසකුගේ දිවක් ගන්න සොහොන් පිටියකට ගියා .එදා ගුරුන්නාන්සේ රූපයෙන් අනුන තරුණයන් සිව් දෙනෙකුත් කැටුව තමයි ගියේ .ඒ තරුණයන් සිව් දෙනා අතරේ තාත්තා ද වුණා . ගියේ  සොහොන් පිටියකට ! අලුත වල දැමු මිනියක් සොයාගන්න .කට්ටඩි උන්නාන්සේ සොහොනට යන්න කලින් තරුණයන්ට උපදේශ ටිකක් දුන්නා , සිදුවීම මෙහෙමයි . කට්ටඩි උන්නාන්සේ මිනියක් ගොඩ දැමු පසු  ගහක එම මිනිය එල්ලනවා . එල්ලලා කට්ටඩි උන්නාන්සේ මතුරන්න ගන්නවා, එවිට ටිකෙන් ටික  දිව එලියට ඇදෙනවා . එම දිව  රැගෙන සොහොන් පිටියේ සීමාවෙන් ඉවතට පැමිණිය යුතුයි .  එසේ  පැමිණීම  ලේසි පහසු ක්‍රියාවක් නොවේලු . කට්ටඩි උන්නාන්සේ මතුරන අතර වාරයේදී මෝහිණී ලා සත් දෙනෙක් පැමිණ තරුණයන් වසඟ කරගැනීමට ඉඩ තිබේලු .කට්ටඩි උන්නාන්සේ ඒ පිළිඹදව කියා දැනුවත් කර තරුණයන් සිව් දෙනාද සමග රාත්‍රී 12.00 වන විටදීම සොහොන් පිටියකට ගියා . ගිහින්  උන්නාන්සේගේ  වැඩ කටයුතු  කරගෙන ගියා , තාත්තා ඇතුළු  තරුණයන්  බියෙන් පීඩිතව එල්ලා  ඇති මල කද දෙස ලොමු ‌ ඩෑහැ ගැන්වුන ශරීරය වෙව්ලමින් බලා සිටි බව ද කියුවා .දිව යන්තමින් එලියට ඇදෙන දෙස බලා සිටිද්දී මෝහිණිලා එකින් එකා බැගින් සත් දෙනා පැමිණියා .දුහුල් සළු වත දරා රන්වන් සිරුරින් කාන්තිමත් ව පැමිණුන උන් දිහා ඇසිපිය නොහෙලා බලා සිටි තරුණයින් කට්ටඩි උන්නාන්සේ කියූ උපදෙස් නැවත නැවත සිහිකරගනිමින් තම සිත් වසඟ නොකර ගැනීමට වග බලා ගත්තා .නමුත් නොසිතු අයුරින් කට්ටඩි උන්නාන්සේට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වුණා .තරුණයින් සිව් දෙනා කොයි අත දිව්වාද යන්න ඔවුන්ටම පැහැදිලි නොවුන වග අවසානයේ තාත්තා කියුවා :D                 ********************************************************************                                              අපේ ගමේ ඉන්නවා චන්ද්‍රා කියලා නැන්දා කෙනෙක් .ඇගේ වයස දැන් අවු:60 කටත් කිට්ටුයි .මේ කතාව ඇයට අපේ ගමේදී වුන කතාවක් .ඇයට අවු:20 පමණ කාලයේදී යම් කිසි ආත්මයක් වැනි යමක් ඇයට වැහෙන ලෙඩක් තිබුණා (ලු ).තාත්තලා කියන විදිහට ඒක ප්‍රේත දිශ්ටියක් .කියන හැටියට ඒ ඇගේ ඥාති වන මිය ගිය ඇත්තියක් !මේ දිෂ්ටිය වැහුන වෙලාවට ඇය හූ කියනවා ...නටනවා ..කියවනවා ඔය වගේ හැසිරීමක් තමයි තියෙන්නේ .  ඉතින් කට්ටඩි උන්නාන්සේලා ගුරුකම් නොයෙක් වර කලත් තේරුමක් නැති වුනාලු .පස්සේ තාත්තගේ පියා තමයි මේ ගුරුකම කරලා තියෙන්නේ .චන්ද්‍රා ඇන්ටිට  තොවිලයක්  කරන ආකාරයෙන්  තමයි ගුරුකම කරලා  තියෙන්නේ . තොවිලයේ බෙර වයන්නා බෙර වයන විට ඇය පොල් මල් දෙකක් අතට ගෙන නටන්නට වුණාලු . බෙර වයන්නාට  එකවර  එය දැක  කලබල වීමෙන් බෙර පදය වැරදී ගියා .එවිට පොල් මලෙන් එලව එලවා බෙර වයන්නාට පහර දුන්  බව පවසනවා. නැවත බෙර පදය නිවැරදිව වයන විට නැවත නටන්නට වුනාලු .චන්ද්‍රා ගේ ශරීරයේ සිටි වේශය ශරීරය තුලින් ඉවත්ව   යැවීමට නම් ඒ සඳහා බිල්ලක් දිය යුතුව තිබුණා .මන්ත්‍ර කියන අතරතුර අවශ්‍ය බිල්ල කුමක්දැයි විමසද්දී එය මනුෂ්‍ය ප්‍රාණයක් යනුවෙන් කීම නිසා සැවොම වික්ෂිප්ත වී ගිය නමුදු කට්ටඩි උන්නාන්සේ එසේ වුයේ නැහැ ."හරි බිල්ල දෙන්නම් කොහොමද ඔබ මේ ආතුරයාගෙන් මිදී  ගියා යැයි අප දැනගන්නේ" කියා විමසුවා.නිවාස ඉදිරිපිට ඇති විශාල මාර ගහෙන් අත්තක් බිඳගෙන යන්නම් "කියා වේශය කියා සිටියා .එසේනම් හරියටම රාත්‍රී 12.00 පසු වුන විගස ඔබ යා යුතුයි ! කට්ටඩි උන්නාන්සේ කියා සිටියා .එය පිළිගත් වේශය මහා අත්තක් බිඳගෙන හරියටම මධ්‍යහ්න 12. පසු වුන විගස  ශරීරයෙන් මිදී යන්නට ගියා .අත්ත බිදෙනවාත් සමගම කට්ටඩි උන්නාන්සේගේ ප්‍රාණය ද නිරුද්ද වී බිම ඇද වැටුනා ...!                                                          ප.ලි .   =      හුදෙක් රසාස්වාදය උදෙසා පමණි .පෞද්ගලිකව මෙවැනි දෑ ඇසින් දැක නැත .