1 2 3 4 5
විශ්මිත් විරංගත් කාර්යාල මේසය ඉදිරිපිට නිහඬව බලා උන්නෝය.
වාඩිවෙන්න...' ගුරුවරයා ඉදිරි අසුන් පෙන්වා කීවේය.
ඉස්සෙල්ලාම මේක බලන්න..' ගුරුවරයා තුනට හතරට නැවූ කොලයක් විරංගට දුන්නේය.විරංග කොලය දිග හැර බැලුවේය.විශ්මිද උන්නේ ඒ දෙස දෙනෙත් යොමු කරවාගෙනය.විරංග දුටුවහා එය හඳුනා ගත්තේය.තම නිවසට ආ ලියුමත් මෙයත් දෙකම එක සමානය.එය දුටු දෙදෙනාගේ සිත් නැවත කම්පා විය.
'මට දැන් විනය පිළිබඳ තීරණයක් ගන්න වෙනවා.ඔය ළමයින්ගේ දෙමව්පියන්ට හෙට ඉස්කෝලෙට එන්න කියන්න..දැන් යන්න,එක අතකට මේවා ඔය ළමයි එක්ක කතා කරලා තේරුමක් නෑ...' විදුහල්පතිවරයා ලිපිගොනුවක් අතට ගනිමින් කීවේය.ඒ වන විටත් විශ්මිගේ දෙනෙත් කඳුලින් තෙත් වී තිබුණාය.
සර්.................පොඩ්ඩක් මේකත් බලන්න...' විරංග නිවසට ආ ලිපිය විදුහල්පතිවරයා අත තැබීය.විශ්මිට තදින් හැඬුම් එන්නට ආවත් ඈ අමාරුවෙන් එය නවතාගත්තාය.ලිපිය කියවා කවරය දෙස නෙත් යොමු කළ විදුහල්පතිවරයා විරංග දෙස එක එල්ලේ බැලීය.
'විරංගගේ තාත්තා මේක දන්නවා එහෙනම්..?' විදුහල්පතිවරයා ඇසුවේය.
'නෑ සර්.....අම්මා දන්නවා....' විරංග කණගාටුවෙන් පැවසීය.
එතකොට විශ්මිලගෙ ගෙදරටත් මෙහෙම ලියුමක් ආවද?'
'නැහැ සර්.....' විශ්මි කඳුලු පිසදමමින් කීවාය.
'දැන් ඔය ළමයින්ගෙ ගෙවල් දෙකේම අය මේක දන්නවද?'
ඔවු සර්.....' විරංග පිළිතුරු දුන්නේය.
කවුද මේ ඔය ළමයින්ට කරදර කරන්නේ...? මේක මහා විකාරයක් උනානේ..මේක මම පොලිසියට බාර දෙනවා...' ගුරුවරයා ලියුම් දෙක ලාච්චුවට දමා ගනිමින් කීවේය.
'අනේ එපා සර්....අපිට ඉස්කෝලේ එන්න තියා පාරේ බැහැලා යන්නත් බැරිවෙයි..' විරංග ආයාචනාත්මකව කීවේය.
'ඊළඟට තව මොනවා වෙයිද කවුද දන්නේ?මමත් කැමති නෑ ඉස්කෝලේ නම කැත කරගන්න.ඒ උනත් මේක සුලුවෙන් තකන්නත් බැහැ...කොහොම උනත් ඔය ළමයින්ගෙ දෙමපියන්ට හෙට ඉස්කෝලෙට එන්න කියන්න.'
'ඔය ළමයි දෙන්නා ඔය තමන්ට ගැලපෙන යාලුවො හොයාගත්ත නම් ඔය ප්‍රශ්න නෑනේ...' ඔහු අවසානයේ කීවේය.
විරංගත් විශ්මිත් ශාලාවට එන තෙක්ම කතා නොකළෝය.
'මොනාද විරංග අපට මේ වෙන්නෙ...? ' විශ්මි ඇසුවේ ශාලාවේ කොනේ තිබූ පුටුවක් ඇද අසුන් ගමිනි.විරංග කතාවක් නොමැතිවම ඒ ඉදිරියෙන් අසුන් ගෙන මේසය මත හිස තබාගත්තේය.
'විරංග.............' විශ්මි ඔහුට කතා කළේ කතාවක් නොමැතිව හිස ගසාගෙනම ඉන්නා නිසාවෙනි.එකම මේසයේ දෙපැත්තේ දෙදෙනා උන් නිසා විශ්මිගේ කකුලට වැටුණ උණුසුම් කඳුලු බිංදුව විරංගගේ සියලු හැඟීම් කියා පෑවේය..ඇයට එය අදහාගත නොහැකි කරුණක් විය.
ශාලාව කොනේ උන් දෙදෙනා දුටු වෙනුරි අනෙක්පසින් ගොස් කන්දීගෙන සිටියාය.දෙදෙනාම ඉන්නේ සිත් තැවුල්න් බව ඔවුන්ගේ ඉරියව් වලින් ඈ හැඳින්නීය.
විශ්මී............අපි අපිට ගැලපෙන යාලුවො හොයාගමු සර් කිව්වා වගේ...' විරංග හිස ඔසවා කීවේය.විශ්මිට තව තවත් හැඬුණි.
'අද ඔයා එසේ මෙසේ අපහාසයක් නෙවේ ඔය විඳින්නෙ....ඔයා කෙල්ලෙක් විශ්මි.....කෙල්ලෙක් ....මට කොහොමත් එකයි මම කොල්ලෙක්...ඔයාගෙ ජීවිතේට කැලලක් ඇති කරගෙන අපි දෙන්නා මේ අරන් යන යාලුකමේ තේරුම මොකද්ද විශ්මි...අපේ යාලුකම තියෙන්නෙ අපේ හිත්වලනෙ....ඒක කවදාවත් මැරෙන්නෙ නෑ....අපි ගතින් විතරක් ඈත් වෙලා ඉමු...ප්ලීස් විශ්මි...මුකුත් කියන්නෙපා.....අපිට ඈත්වෙන්න කාලෙ හරි.... අඩුම තරමේ මේක කරපු එකා හොයාගන්නකං හරි..'
'ඔවු විරංග...........අපහාස විඳින්නෙ මම විතරක් නෙවෙයිනේ ..ඒ නිසා අපි ඈත්වෙලා ඉමු..මෙන්න මේ වගේ අපි ළඟින් ඉදීවි හිතින්..' විශ්මි කීවේ අතේ ගැටගැසූ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක පෙන්වමිනි.
සියල්ල අසා සිටි වෙනුරිට තමා පිහිටා උන් වැරදි මතය පැහැදිලි විය.ගැහැණු ළමයෙක් හැටියට තමා අතින් ගැහැණු ළමයෙකුටම උන වරද සුලු පටු නොවේ යැයි ඇයට හැඟිණි.වෙනුරි දෙදෙනා අතරට ආවාය.
ඔයාලා දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉස්සරහට කවදාවත් නැතිවෙන්නෙ නෑ...' වෙනුරි කීවේ දෙදෙනාම දෙස බලමිනි.වෙනුරි කතා කරනා අයුරු විශ්මිත් විරංගත් පුදුමයෙන් අසා සිටියෝය.
'මං ආවේ ඔයාලා දෙන්නගෙන් සමාව ගන්න..' වෙනුරි කියනා විට ඇගේ දෑස් කඳුලින් තෙත් වෙනු දෙදෙනාටම පෙනුණි. 'මම........මම සමාව ගන්න තරම් වත් වටින්නෑ....ඒත් ....දැන් මට මේක කියන්න ඕනේ..'ඇය කියවාගෙන ගියාය.දෙදෙනා නිශ්ශබ්දව අසා උන්නෝය.
මම තමයි ගෙදරටයි ඉස්කෝලෙටයි ලියුම් එව්වේ විරංග...'වාර්තා පොතෙන් ඔයාගේ ගෙදර එඩ්ඩ්‍රස් එක ගත්තා....'වෙනුරි කීවේ බයාදු හඬකිනි.විරංගගේ දෑත් කේන්තියෙන් වෙව්ලන්නට විය.
පට්ට බැල්ලි...' විරංග උන් තැනින් ඉබේම නැගිට්ටුනේය.'වාඩිවෙන්න විරංග' විශ්මි ඔහුව බලෙන්ම වාඩි කරවීය.වෙනුරි සියල්ල පැහැදිළි කළාය.වෙනුරිගේ කතාව විරංග කේන්තියෙන් අසා උන්නත් විශ්මි සාවදානව කන් දීගෙන උන්නාය. අවසානයේ විශ්මිට සිතුණේ ඇය පව් කියාය.
වෙනුරි......මොනවා උනත් ඔයා අන්තිමේ ඇත්ත තේරුම් ගත්තා.., අපෙන් සමාව ගත්තා...මොනවා නැතත් ඇත්ත තේරුම් ගත්ත එක වටිනවා.වැරදි කා අතිනුත් වෙනවනේ...දැන් ඔයා ඒ හැම දෙයක්ම අමතක කරන්න.ඊට පස්සෙ හොඳින් ඉන්න...ඔයා මේ ගැන කාටවත් කියන්න ඕන්නෑ...අපි කියන්නෙත් නෑ..අපිත් ඒක අමතක කරලා දාන්නම්...'විශ්මි කියවගෙන ගියාය.විරංග විශ්මි දෙස රවාගෙනම සිටියේය.වෙනුරි හනිකට ඉවත්ව ගියේ හඬමිනි.
'මොනවද ඒ කියෙව්වේ.....ආ.........සමාව දෙන්න ඕකිට......, මම හොඳ ගේමක් සෙට් කරලා තමයි පස්ස බලන්නේ...' විරංග කේන්තියෙන් කීවේය.
'මට පේන්නෙ ඒකි ඔයාට සීරියස් ලව්....ඒකනෙ හලෝ ඔයාව ලබාගන්න එයා එච්චර ටිකක් කලේ...' විශ්මි සියල්ල අමතක කර මනමාල සිනහවක් පා කීවාය.
'බම්බුව.........' විරංග තව තවත් කෝපයෙන් පිපිරුවේය.
'අපි එයාට සමාව දෙමු......කෙල්ල ඇත්ත කීවනේ අපිට.....' විශ්මි කීවාය.
'ඔයා ඉතිං අර පැනගෙන දුන්නේ.....තව දෙන්න දෙයක් නෑනේ.....' විරංග අසුනින් නැගිට පංති කාමරය දෙසට යමින් කීවේය.
විශ්මි පංති කාමරයට ආ වහා සෙව්වේ චමිලාවය.ඈ පෙනෙන්නට නැත.චමිලා විශ්මි නැති විට එකට සිටිනා යෙහෙළිය මිලානි පංතියේ වාඩිවී මොනවාදෝ ලියමින් උන්නාය.
කෝ මිලානි චමිලා?' විශ්මි ඇගෙන් විමසුවාය.
ඇයි ඔයා දන්නෙ නැද්ද.....? මිලානි කී ආකාරයෙන් විශ්මිගේ හදගැස්ම වේගවත් වූවාය.
මොකද්ද...? විශ්මි ඇසුවේ කලබලයෙනි.
එයාව හදිසියේම අසනීප උනානේ.....හිටිගමන් නහයෙනුයි කටිනුයි ලේ ආවා....ලොකු කැස්සකුත් එක්ක...' මිලානි කීවාය.
බලන්න විරංග......අපි නැති තප්පරේටමනෙ ඒකත් වෙලා තියෙන්නේ...' මිලානිගේ කතාව ඇසී එතැනට ආ විරංග දෙස බලා විශ්මි කීවේ හැඬුම් ස්වරයෙනි.
'අපි හවස හොස්පිටල් යමු විරංග.....' විශ්මි කීවේ චමිලාගේ හිතවත්කම් සියල්ල එක පෙළට සිතට නැගුණු නිසාවෙනි.
විරංගත් විශ්මිත් කතා කරගත් ලෙසින්ම සවස් කාලයේ රෝහල වෙත ගොස් චමිලාගේ තොරතුරු විමසා බැලුවෝය.වෛද්‍යවරු ද නිශ්චිත වචනයක් ඈ ගැන කියා තිබුණේ නැත.චමිලාගේ මව සහ අයියලා දෙදෙනා රෝහලේ සිටිනු දෙදෙනා දුටුවෝය. ඔවුන් කියනා ආකාරයට චමිලා හදිසි උවටැන් ඒකකය වෙත යොමු කර තිබුණි.විශ්මිටත් විරංගටත් චමිලාව බලන්නට හැකි වුනේ නැති නිසා ඔවුහු කනගාටුවෙන් නැවත නිවෙස් කරා පැමිණුනහ.
විශ්මි ඇඟ සෝදාගෙන රාත්‍රී ඇඳුමට මාරු වී තේ එකක් හදාගෙන බීවේ කෑම කන්නට පිරියක් නැති නිසාය.ඇය රූපවාහිනිය ඉදිරියේ වාඩි උනේ දුරස්ථපාලකය අතට ගනිමිනි..
අර ළමයා හිටපු ගමන් අයි සී යූ දාන්න තරම් ඒ ළමයාට මොකද උනේ සුදු දූ....' සුභද්‍රා යාබද අසුනකින් අසුන්ගන්නා ගමන් ඇසුවාය.
'මම දන්නෑ අම්මෙ....කාටවත් කරදරයක් නැති අහිංසක කෙල්ල......ඒකයි මට දුක....' විශ්මි කීවේ අරමුණක් නැතිව දුරස්ථ පාලකය ඔබන ගමන්ය.එක වර ඈ දුටුවේ හමුදා පිරිසකගේ කලබලයකි.ඇය කලබලයෙන් නැවත එම චැනලය හමුවනතුරු දුරස්ථපාලකය එබුවාය.
ඇයට අවශ්‍ය චැනලයට මරු වුන පසු ඈ මුව අයාගෙන පුවත නැරඹීය.නිහඬ රූපරාමු වලින් පසු එම ප්‍රවෘතිය නැවත විකාශය විය.ප්‍රහාරවලට ලක් වී තිබුණේ පුඩුකුඩි ඉරිප්පු ප්‍රදේශයයි.විශ්මිගේ හද ගැහෙන්නට වූයෙන් ඉබේම ඇගේ අත පපුව මත රැඳුණි.'අනේ අම්මෙ සුදු අයියා....' විශ්මිට ඉබේටම කියවිණි.
'සුදු අයියා එහේ හිටියට කෑම්ප් වෙනස් ඇතිනේ ළමයෝ.....අපි කෝල් කරලා බලමු..,බය නැතිව ඉන්න..' සුභද්‍රා දුරකතනය වෙත ළං විණි.
'වැඩක් නෑ අම්මා.....කොහොමත් සුදු අයියගේ ෆෝන් එකට සිග්නල් නෑ......' එයා පුලුවන් වෙලාවට තමයි මට ගන්නෙ...' විශ්මි කීවාය.
අපි නැන්දලාට අරගෙන බලමු...එතකොට තොරතුරක් දැනගත්තැහැකිනෙ....' සුභද්‍රා ඇමතුමක් ගත්තාය.
ඇයි...?' විශ්මි ඇසුවේ රිසිවරය කනේ තබාගෙන මව පමණට වඩා වෙලා ගත් හෙයිනි.
'රින් වෙනවා....ආන්ස්වර් කරන්නෑනෙ.....' සුභද්‍රා කීවේ නැවත ඇමතුම සම්බන්ධ කරගැනීමට උත්සහා ගනිමින්ය.එම උත්සාහයද පෙර පරිදි විය.සුභද්‍රා නැවත අසුන්ගත්තාය.එවිටම නිවසේ දුරකථනය නාද විණි.
'අරං බලන්න....' සුභද්‍රා කීවේ විශ්මිටය.
'මට බෑ....අම්මා ගන්න..' විශ්මි එය කීවේ බිය මුසු ස්වරයකිනි..
'විකාර........' එසේ කී සුභද්‍රා ඇමතුමට පිළිතුරු දුන්නාය.
''ආ පුතා....
ඔව් ඔව්
හා ඒකට නම් කමක් නෑ,
හැබැයි රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්න..
සුදු පුතාලගෙ කෑම්ප් එක පැත්තෙ කලබලයක්ලු..
පුලුවන්නම් තොරතුරක් දැනගන්න බලන්න..''
අම්මා මේ කතා කරන්නේ තමන්ගේ අයියා සමග බව විශ්මිට පැහැදිලි විය.සුසුමක් හෙලූ ඈ කාමරයට ගොස් ඇඳට වැටුණි.
බොහෝ වේලාවක් නිදිවර්ජිතව උන් විශ්මිගේ දෙනෙත් පියවී ආවා පමණි.නිවසේ දුරකථනය බොහෝ වේලාවක් නාද වෙනු ඇයට ඇසිණි.ඇය කාමරයෙන් පිට වන විට මවද සාලයට විත් තිබුණි.විශ්මි වහා ඇමතුමට පිළිතුරු දුන්නාය.
හෙලෝ...............සුදු දූ...........' කතා කළ විලාශයෙන්ම ඒ ලොකු නැන්දා බව විශ්මි හැඳින්නීය.
ඇ.....ඇයි ලොකු නැන්දේ මේ පාන්දර....' ඇය ඇසුවේ බියපත්වය.ඒ සුදු අයියා ගැන තොරතුරක් විශ්මිගේ හිත බලාපොරොත්තුවෙන් උන් නිසාය.
පුතේ............සුදු අයියා....' ඇයට කතා කරගැනීමට අපහසු බව විශ්මිට තේරුම් ගියාය.විශ්මි තව තවත් බියපත් වීය.ඇගේ හිත අස්සෙන් ආ සියුම් වේදනාවක් ඉක්මනින් හිත පුරා පැතිර ගියාය.
'ලොකු නැන්දේ අයියට මොකද....' විශ්මිගේ දෑත් වෙව්ලුවාය.මේ පාන්දරත් ඇගේ නළලතෙහි සිහින් ඩහදිය බිඳු මතු විය.
'කියන්නකො ලොකු නැන්දේ.....' ඇය නැවත ඇසුවේ ලොකු නැන්දා ගේ සිහින් ඉකිබිඳුම ඈව තවත් කලබල කළ නිසාවෙනි.
මගෙ කොල්ලට වෙඩි වැදිලා පුතේ.........' ලොකු නැන්දාගේ වචන කන් පසාරු කරගෙන යනවා දෝයි ඇයට හැඟිණි..ඒ වචන කන වැටුණේ මහත් වේදනාවක්ද සමගිනි.විශ්මි ඒ ළඟම අසුනින් අසුන්ගත්තේ රිසිවරය අතහැර දමමිනි.